Skip to content

පටුනට යන්න

දේවරාජ්‍යයෙන් ඉටු කරන්නේ මොනවාද?

දේවරාජ්‍යයෙන් ඉටු කරන්නේ මොනවාද?

දේවරාජ්‍යය ඉල්ලලා යාච්ඤා කරන්න කියලා යේසුස් ගෝලයන්ට ඉගැන්නුවා. ඔහු එහෙම කළේ පොළොවේ සිද්ධ වෙන්නේ දෙවියන්ගේ කැමැත්ත නෙවෙයි කියලත් ප්‍රශ්න විසඳන්න පුළුවන් එකම ආණ්ඩුව දේවරාජ්‍යය කියලත් හොඳින්ම දැනන් හිටිය නිසයි. දේවරාජ්‍යයෙන් ඉටු කරන්නේ මොනවාද කියලා අපි දැන් බලමු.

දේවරාජ්‍යයෙන් දැනටමත් කරලා තියෙන දේ

කලින් ලිපියෙන් අපි බැලුවා යේසුස් දීපු ලකුණ ගැන. ඒ ලකුණට අයත් සිද්ධීන් ලෝකේ පුරාම ඉටු වෙද්දී යේසුස් ක්‍රිස්තුස් රජ හැටියට කටයුතු කරන දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටුවලා තියෙනවා කියලා හොඳින්ම පැහැදිලි වෙනවා.

යේසුස් දේවරාජ්‍යයේ රජු හැටියට කටයුතු කරන්න පටන්ගත්තාම ඔහු සාතන්ව සහ භූතයන්ව ස්වර්ගයෙන් පන්නා දමනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. යේසුස් ඒ දේ කරපු නිසා සාතන්ටත් භූතයන්ටත් බලපෑම් කරන්න පුළුවන් පොළොවේ කාරණාවලට විතරයි. 1914 ඉඳන් පොළොවේ දුක් කරදර වැඩි වෙන්න ඒක හේතුවක් වෙලා තියෙනවා.—එළිදරව් 12:7, 9.

ලෝකේ තත්වය දවසින් දවස නරක අතට හැරුණත් දේවරාජ්‍යයේ රජු විදිහට යේසුස් ලෝකේ පුරාම ඉන්න මිනිසුන්ගේ යහපත වෙනුවෙන් දේවල් කරලා තියෙනවා. යේසුස් කලින්ම කියලා තිබුණු විදිහට ලෝකේ පුරාම ඉන්න මිනිසුන්ට බයිබලයේ තියෙන තොරතුරු ගැන දැනගන්න සැලැස්මක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නිසා බයිබල් ප්‍රතිපත්ති ගැන ඉගෙනගෙන ඒවා ජීවිතේට අදාළ කරගන්න හුඟදෙනෙක් පෙලඹිලා තියෙනවා. (යෙසායා 2:2-4) පවුල් ජීවිතය සතුටින් ගත කරන විදිහ ගැනත් ජීවිතේ මුල් තැන ධන සම්පත්වලට සහ රැකියාවට දෙන එකෙන් වළකින විදිහ ගැනත් මිලියන ගාණක් දෙනෙක් ඉගෙනගෙන තියෙනවා. දැන් සතුටින් ජීවත් වෙන්නත් අනාගතයේදී දේවරාජ්‍යයේ යටත්වැසියෙක් වෙන්න ඕන කරන සුදුසුකම් අත් කරගන්නත් එයාලා ඉගෙනගන්නවා.

දේවරාජ්‍යයෙන් ඉදිරියේදී කරන දේ

යේසුස් දැන් ස්වර්ගය පාලනය කරන්න පටන් අරන් තිබුණත් මේ පොළොව තවමත් පාලනය කරන්නේ මිනිසුන්. කොහොමවුණත් දෙවියන් යේසුස්ට කියලා තියෙනවා “ඔබේ සතුරන්ව යටත් කරගන්න” කියලා. (ගීතාවලිය 110:2) යේසුස් ළඟදීම දෙවියන්ට විරුද්ධ වෙන හැමෝවම විනාශ කරලා කැමැත්තෙන්ම දෙවියන්ට කීකරු වෙන අයට ප්‍රශ්න ගැටලු නැති යහපත් කාලයක් ලබා දෙනවා.

ළඟදීම දේවරාජ්‍යය මගින් කරන්න යන දේවල් කිහිපයක් අපි දැන් බලමු.

  • අසත්‍යය උගන්වන ආගම් විනාශ කරනවා. දෙවියන් ගැන බොරු උගන්වන, මිනිසුන් මත අනවශ්‍ය බරක් පටවන ආගම් ළඟදීම විනාශ වෙනවා. ගණිකාවක් විදිහට බයිබලයේ හඳුන්වන ඒ අසත්‍යය උගන්වන ආගම් හදිස්සියේම විනාශ වෙද්දී හුඟදෙනෙක්ට ඒක අදහාගන්න බැරි වෙනවා.—එළිදරව් 17:15, 16.

  • මිනිස් ආණ්ඩු නැත්තටම නැති කරනවා. දේවරාජ්‍යයෙන් ළඟදීම සියලුම මිනිස් ආණ්ඩු නැති කරන්න පියවර ගන්නවා.—එළිදරව් 19:15, 17, 18.

  • දුෂ්ටයන්ව විනාශ කරනවා. හිතාමතාම දුෂ්ටකම් කරන, දෙවියන්ට අකීකරු වෙන අයට වෙන දේ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය.”—හිතෝපදේශ 2:22.

  • සාතන්වත් භූතයන්වත් සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. සාතන්ට සහ භූතයන්ට “ජාතීන්ව තවදුරටත් නොමඟ යවන්න” පුළුවන් වෙන්නේ නැහැ.—එළිදරව් 20:3, 10.

එහෙමනම් දේවරාජ්‍යයට යටත් වෙන අයට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවාද? ඒ ගැන දැන් බලමු.

දේවරාජ්‍යයෙන් මිනිසුන් වෙනුවෙන් කරන දේ

කිසිම මිනිස් පාලකයෙක්ට කරන්න බැරි දේවල් දේවරාජ්‍යයේ රජ වන යේසුස් ඉටු කරන්න නියමිතයි. මිනිසුන් අතරින් තෝරගත් 1,44,000දෙනෙක් හවුල් පාලකයන් විදිහට කටයුතු කරමින් යේසුස්ට සහාය දෙනවා. (එළිදරව් 5:9, 10; 14:1, 3) දෙවියන්ගේ කැමැත්ත ඔහු පොළොවේ ඉටු වෙන්න සලස්වනවා. දේවරාජ්‍යය ඒකේ යටත්වැසියන් වෙනුවෙන් කරන්නේ මොනවාද?

  • අසනීප සහ මරණය නැත්තටම නැති කරනවා. “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.” “මරණයද තවත් නොවන්නේය.”—යෙසායා 33:24; එළිදරව් 21:4.

  • සාමය සහ සුරක්ෂිතභාවය ඇත්තටම ඇති කරනවා. ‘ඔබේ සියලු දරුවන් නිමක් නැති සමාදානයක් භුක්ති විඳිනු ඇත.’ “ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත. කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.”—යෙසායා 54:13; මීකා 4:4.

  • සතුටක් ලබන්න පුළුවන් අර්ථවත් වැඩ ලබා දෙනවා. “මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය. ඔවුන්ගේ වෙහෙස මහන්සිය කිසිවිටෙක අපතේ යන්නේ . . . නැත.”—යෙසායා 65:22, 23.

  • පාරිසරික ගැටලුවලට නිමාවක් ගේනවා. “වැලි කතරද වියළි දේශයද සතුටෙන් පිනා යන්නේය. පාළුකරය කෙතේ මලක් මෙන් පිබිදී ප්‍රීතියෙන් ඉපිල යන්නේය.”—යෙසායා 35:1.

  • හැමදාටම ජීවත් වෙන්න කරන්න ඕන දේවල් උගන්වනවා. ‘සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස්වත් දැන හඳුනා ගැනීමයි.’—යොහන් 17:3.

දෙවියන් හුඟක් ආසයි ඔයා ඒ ආශීර්වාද අද්දකිනවාට. (යෙසායා 48:18) ඒ ආශීර්වාද අද්දකින්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද? ඊළඟට අපි ඒ ගැන බලමු.