Skip to content

“අවසාන කාලය” අඳුරගන්න තියෙන ලකුණ මොකක්ද?

“අවසාන කාලය” අඳුරගන්න තියෙන ලකුණ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලේ කියනවා අපි මේ ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” නැත්නම් “අන්තිම කාලයේ” කියලා. (2 තිමෝති 3:1; දානියෙල් 8:19, ‘පැරණි අනුවාදය’) ඒ කාලය “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” කියලත් බයිබලේ හඳුන්වලා තියෙනවා. (මතෙව් 24:3) ඒත් අපි ජීවත් වෙන්නේ අවසාන කාලයේ කියලා හරියටම කියන්නේ කොහොමද? ඒ කාලේ අඳුරගන්න බයිබලේ ලකුණක් දීලා තියෙනවා. ඒ ලකුණට ලෝකේ පුරාම සිද්ධ වෙන සිද්ධීන්, මිනිස්සුන්ගේ ආකල්ප සහ මිනිස්සු හැසිරෙන විදිහ ඇතුළත් වෙනවා.

“අවසාන කාලය” ගැන බයිබලේ කියලා තියෙන සමහර අනාවැකි මොනවාද?

 බයිබලේ කියලා තියෙනවා යම් කාලපරිච්ඡේදයක් ඇතුළත සිද්ධීන් කීපයක් එක පිට එක සිද්ධ වෙද්දී ඒක අවසාන කාලය අඳුරගන්න “ලකුණක්” කියලා. (ලූක් 21:7) බයිබලේ කියන ඒ සිද්ධීන් මොනවාද කියලා දැන් අපි බලමු.

 ලෝකේ පුරාම යුද්ධ. යේසුස් කිව්වා “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි” කියලා. (මතෙව් 24:7) එළිදරව් පොතෙත් ඒ වගේම දෙයක් කියලා තියෙනවා. (එළිදරව් 6:4) ඒකේ කියනවා ගමන් අරඹන අසරුවෙක් ගැන. ඒ අසරුවාගෙන් “පොළොවෙන් සාමය තුරන් කරන” යුද්ධ සංකේතවත් වෙනවා.

 ආහාර හිඟකම්. ලෝකේ පුරාම “ආහාර හිඟකම්” ඇති වෙනවා කියලා යේසුස් කිව්වා. (මතෙව් 24:7) ඒ වගේම දෙයක් එළිදරව් පොතෙත් සංකේතාත්මක විදිහට විස්තර කරලා තියෙනවා. ඒකේ තවත් අසරුවෙක් ගැන කතා කරනවා. ඒ අසරුවා ගමන් අරඹනවාත් එක්කම ලෝකේ පුරාම දරුණු සාගත ඇති වෙනවා.—එළිදරව් 6:5, 6.

 ප්‍රබල භූමිකම්පා. ‘එක් තැනක් පාසා තවත් තැනක භූමිකම්පා’ ඇති වෙනවා කියලත් යේසුස් කිව්වා. (මතෙව් 24:7; ලූක් 21:11) ඒ භූමිකම්පා නිසා වෙන කවරදාකටත් වඩා මිනිස්සු පීඩා විඳිනවා. හුඟදෙනෙක්ගේ ජීවිත නැති වෙලා තියෙනවා.

 දරුණු අසනීප. යේසුස් කිව්වා ලෝකේ පුරාම හුඟක් දරුණු ලෙඩ රෝග නැත්නම් “වසංගත” ඇති වෙනවා කියලා.—ලූක් 21:11.

 අපරාධ. ඇත්ත, අවුරුදු සිය ගාණක් තිස්සේ ලෝකේ පුරා අපරාධ සිද්ධ වෙලා තියෙනවා. හැබැයි යේසුස් කිව්වා අවසාන කාලේදී එන්න එන්නම “අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වෙනවා” කියලා.—මතෙව් 24:12.

 මිනිස්සු පොළොව විනාශ කරන එක. එළිදරව් 11:18 කියනවා මිනිස්සු “පොළොව විනාශ කරලා දානවා” කියලා. පොළොව විනාශ කරනවා කියද්දී මිනිස්සු කරන දුෂ්ටකම් විතරක් නෙවෙයි, එයාලා පරිසරයට කරන හානියත් ඒකට ඇතුළත් වෙනවා.

 හොඳ ගතිගුණ පිරිහෙන එක. අන්තිම කාලේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ගතිලක්ෂණ ගැන 2 තිමෝති 3:1-4 කලින්ම කියලා තියෙනවා. එතන මෙහෙම කියනවා. මිනිස්සු ‘ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර අය වෙනවා.’ ඒ ගතිගුණ සමාජයේ කොච්චර පැතිරෙනවාද කියනවා නම් බයිබලේ කියන්නේ ඒ කාලය “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක්” කියලා.

 පවුල් දෙදරලා යන එක. 2 තිමෝති 3:2, 3 කලින්ම කියලා තියෙනවා හුඟක් අයට “තමන්ගේම අය ගැනවත් කිසිම සෙනෙහසක් නැහැ” කියලා. ඒ වගේම දරුවන් “දෙමාපියන්ට අකීකරු වෙනවා” කියලත් ඒ අනාවැකියේ කියලා තියෙනවා.

 දෙවියන් ගැන තියෙන ආදරේ අඩු වෙන එක. යේසුස් කලින්ම කිව්වා “වැඩිදෙනාගේ ප්‍රේමය හීන වෙනවා” කියලා. (මතෙව් 24:12) යේසුස් එතන විශේෂයෙන්ම කතා කළේ මිනිස්සුන්ගේ හිතේ දෙවියන් ගැන තියෙන ආදරේ අඩු වෙන එක ගැනයි. ඒ වගේම 2 තිමෝති 3:4 කියනවා අවසාන කාලේදී මිනිස්සු “දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය” වෙනවා කියලා.

 ආගමට මුවා වෙලා කරන කුහක වැඩ. 2 තිමෝති 3:5 කියනවා මිනිස්සු දෙවියන්ට ලොකු භක්තියක් තියෙනවා වගේ පෙන්නුවාට එයාලා බයිබලේ කියලා තියෙන විදිහට ජීවත් වෙන්නේ නැහැ කියලා.

 බයිබල් අනාවැකි ගැන අවබෝධය වැඩි වෙන එක. දානියෙල් කලින්ම කියලා තිබුණා “අවසාන කාලයේදී” හුඟදෙනෙක්ට බයිබලේ ගැන තියෙන අවබෝධය වැඩි වෙනවා කියලා. ඒ අවබෝධයට අවසාන කාලය ගැන බයිබලේ කියලා තියෙන අනාවැකි ඉටු වෙන විදිහ තේරුම්ගන්න එකත් ඇතුළත්.—දානියෙල් 12:4.

 ලෝකේ පුරාම ශුභාරංචිය දේශනා කරන එක. යේසුස් කලින්ම කිව්වා “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනවා” කියලා.—මතෙව් 24:14.

 ශුභාරංචිය ගැන කිසි තැකීමක් කරන්නේ නැති එක සහ ඒකට අපහාස කරන එක. යේසුස් කලින්ම කිව්වා විනාශය ළං වෙලා තියෙනවා කියලා පැහැදිලිව පේන්න තියෙද්දී හුඟදෙනෙක් ඒ ගැන කිසි තැකීමක් කරන්නේ නැහැ කියලා. (මතෙව් 24:37-39) ඒ වගේම 2 පේතෘස් 3:3, 4 කියලා තිබුණා ඒ විනාශය ගැන කියද්දී හුඟක් අය ඒක විහිළුවට ගන්නවා කියලා.

 අනාවැකි හැම එකක්ම ඉටු වෙන එක. යේසුස් කිව්වේ අවසාන කාලය අඳුරගන්න තියෙන අනාවැකි එකක් දෙකක් නැත්නම් ඒවායින් වැඩි හරියක් ඉටු වෙනවා කියලා නෙවෙයි, ඒ හැම එකක්ම එකම කාලයක ඉටු වෙනවා කියලයි.—මතෙව් 24:33.

ඇත්තටම අපි ඉන්නේ “අවසාන කාලයේද”?

 ඔව්. ලෝකේ සිද්ධ වෙන සිදුවීම්වලින් සහ බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා අවසාන කාලය පටන්ගත්තේ 1914 කියලා. ඒ අවුරුද්දේම තමයි පළවෙනි ලෝක මහා යුද්ධයත් ඇති වුණේ. අපි ඉන්නේ අවසාන කාලයේ කියලා දැන් සිද්ධ වෙන දේවල්වලින් පැහැදිලි වෙන්නේ කොහොමද? ඒ ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න.

 1914 දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටෙව්වා. ඒත් එක්කම සාතන්වයි, භූතයන්වයි මේ පොළොවට හෙළුවා. (එළිදරව් 12:7-12) එදා ඉඳලා සාතන්ගේ නරක බලපෑම දරුණු වසංගතයක් වගේ ලෝකේ පුරාම පැතිරිලා තියෙනවා. ඒක අද මිනිස්සු හිතන පතන, වැඩ කරන විදිහෙන් හොඳටම පැහැදිලියි. ඒ නිසා තමයි මේ අවසාන කාලය “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක්” වෙලා තියෙන්නේ.—2 තිමෝති 3:1.

 අද සිද්ධ වෙන දේවල් නිසා හුඟදෙනෙක් ඉන්නේ කලකිරිලා. ඒ වගේම බයෙන්. අනිත් අයත් එක්ක සාමයෙන් පෑහිලා වැඩ කරන්නේ කොහොමද කියලා මිනිස්සු දන්නෙත් නැති තරම්. මිනිස්සු කරන දේවල් නිසා ඉස්සරහට මිනිස් ජාතිය මේ පොළොවෙන් තුරන් වෙලාම යයි කියලා හුඟක් අය හිතනවා.

 ඒත් ඒ මොන දේ වුණත් කලකිරෙන්නේ නැතුව අනාගතය දිහා බලාපොරොත්තුවක් ඇතුව බලන් ඉන්න කට්ටියක් ඉන්නවා. එයාලට හොඳටම විශ්වාසයි දේවරාජ්‍යයෙන් ළඟදීම මේ හැම ප්‍රශ්නෙකටම විසඳුමක් ලැබෙනවා කියලා. (දානියෙල් 2:44; එළිදරව් 21:3, 4) දෙවියන් දීලා තියෙන පොරොන්දු ඉටු වෙන කල් එයාලා හරිම ආසාවෙන්, ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. යේසුස් කියපු මේ වචන එයාලට ලොකු සහනයක්. “ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.”—මතෙව් 24:13; මීකා 7:7.