2 කොරින්ති 9:1-15

9  ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් ලබා දෙන උපකාර+ ගැන මා ඔබට අමුතුවෙන් ලියා එවීමට අවශ්‍ය නැත.  මන්ද දීමට කැමැත්තක් ඔබට තිබෙන බව මම දනිමි. ඔබ නිසා මුළු ඇකේයාවේම සිටින සහෝදරයෝ මීට අවුරුද්දකට පෙර සිටම තම පරිත්‍යාග ලබා දීමට සූදානමින් සිටිති.+ ඔවුන්ගෙන් වැඩිදෙනෙකු ඒ සඳහා පෙලඹී තිබෙන්නේ මේ කාරණය සම්බන්ධයෙන් ඔබ දැක්වූ උද්‍යෝගය නිසා බව මම මහත් ආඩම්බරයකින් මැසිඩෝනියාවේ සිටින සහෝදරයන්ට පැවසුවෙමි.  අප ඔබ ගැන ආඩම්බරයකින් පැවසූ ඒ දේවල් බොරුවක් බවට පත් නොවී ඒවා එයාකාරයෙන්ම සිදු වීම සඳහා මම මේ සහෝදරයන්ව ඔබ වෙතට එවන්නෙමි. එවිට මා පැවසූ ලෙසම ඔබට සූදානම්ව සිටීමට හැකි වනු ඇත.+  එසේ නැත්නම් මැසිඩෝනියාවේ සහෝදරයන් මා සමඟ පැමිණි විට යම් විදිහකින් හෝ ඔබ සූදානමින් නොසිටින බව ඔවුන් දුටුවොත් අප ඔබ ගැන පැවසූ දේ බොරුවක් වී ඇති නිසා අපටත් ඔබටත් ලැජ්ජාවක් විඳින්න සිදු වේ.  එහෙයින් ඔබ කලින් පොරොන්දු වූ ඔබේ ත්‍යාගශීලී දීමනා සූදානම් කිරීමට සියලුදෙනාවම දිරිගැන්වීම සඳහා කල් ඇතුව මෙම සහෝදරයන්ව එවීම සුදුසුයි කියා මම සිතුවෙමි.+ එවිට ඒ දීමනා බල කිරීමක් නිසා දුන් දෙයක් නොව මුළු හදවතින්ම දුන් යමක් වනු ඇත.+  නිර්ලෝභීව+ වපුරන තැනැත්තා බොහෝ දේ කපාගනියි. නමුත් ලෝභකමින්+ වපුරන තැනැත්තා ස්වල්පයක් කපාගනියි.  මෙහිදී කොපමණ ප්‍රමාණයක් දෙනවාද කියා එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන්+ හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. මන්ද දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.+  එලෙසම තම මහත් කරුණාව ඔබට බොහෝ සෙයින් ලබා දීමට දෙවිට පුළුවන. එහෙයින් ඔබට අවශ්‍ය දේ නිතරම ලැබෙන අතර බොහෝ යහපත් දේවල් කිරීම සඳහා අවශ්‍ය දේද ඔබට බහුලව ලැබෙනු ඇත.+  (එවැනි කෙනෙකු ගැන ලියවිලිවල සඳහන් වන්නේ, “ඔහු ත්‍යාගශීලීව බෙදා දුන්නේය. ඔහු දිලිඳුන්ට දුන්නේය. ඔහුගේ ධර්මිෂ්ඨකම සදහටම පවතින්නේය”+ කියාය. 10  වපුරන්නා සඳහා බීජද කෑම සඳහා ආහාරද බහුලව සපයා දෙන තැනැත්තාණන්+ ඔබට වැපිරීම සඳහා බීජ නොඅඩුව සපයා දෙයි. ඒ නිසා ඔහු ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් ඇති වන ප්‍රතිඵල තව තවත් වැඩි කරයි.)+ 11  දෙවි ඔබට එසේ සෑම අතින්ම ආශීර්වාද කරන්නේ ඔබටත් ත්‍යාගශීලී වීමට විවිධ අවස්ථාවන් උදා කර දීම සඳහාය. ත්‍යාගශීලී වීමට අප දරන ඒ උත්සාහය තුළින් දෙවිට ස්තුති දීමට සියලුදෙනාම පෙලඹෙති.+ 12  මන්ද බොහෝදෙනෙකුට ප්‍රයෝජනවත් වන මෙම සේවය ඉටු කිරීමෙන් ශුද්ධ තැනැත්තන්ගේ අවශ්‍යතා+ හොඳින් ඉටු කිරීමට හැකි වෙනවා පමණක් නොව දෙවිට බොහෝ සෙයින් ස්තුති කිරීමටද එය හේතුවක් වේ. 13  ඇත්තටම එසේ උපකාර ලබා දීමෙන් යමක් ඔප්පු වේ. එනම් ඔබ පවසන ආකාරයටම ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියට ඔබ යටත්ව සිටින බවත්+ ත්‍යාගශීලීව ශුද්ධ තැනැත්තන්ටත් අන් සියලුදෙනාටත් පරිත්‍යාග කිරීමට ඔබ කැමැත්තෙන් සිටින බවත්ය. ඒ දේ තේරුම්ගන්නා සියලුදෙනා දෙවිට ප්‍රශංසාව හා ගෞරවය ලබා දෙති.+ 14  එහෙයින් ඔබ වෙනුවෙන් දෙවිට කන්නලව් කරන ඔවුහු, කිසිවකට සම කළ නොහැකි දෙවිගේ මහත් කරුණාව+ අද්දකින ඔබව දැකීමටත් මහත් ආශාවකින් සිටිති. 15  දෙවි නොමිලේ ලබා දෙන, කියා නිම කළ නොහැකි ඒ දීමනාව ගැන ඔහුට ස්තුති වේවා!+

පාදසටහන්