Skip to content

පටුනට යන්න

බයිබලය විශ්වාස කළ හැකිද?

බයිබලය විශ්වාස කළ හැකිද?

බයිබලය ලියැවී තිබෙන්නේ ‘දෙවිගේ මඟ පෙන්වීමෙන්’ කියා පාවුල් පැවසුවා. * ඇත්තටම ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? (2 තිමෝති 3:16) ඔහු අදහස් කළේ දෙවි තමන්ට අවශ්‍ය දේවල් වාර්තා කිරීමට තම සේවකයන්ට මඟ පෙන්වූ බවයි.

බයිබලයේ සඳහන් වෙන්නේ ‘මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුන් කතා කළා’ කියායි. (2 පේතෘස් 1:21) පාවුල් බයිබලයේ තිබෙන පොත් “ශුද්ධ ලියවිල්ල” ලෙස හැඳින්වූයේ ඒ නිසයි.—2 තිමෝති 3:15.

බයිබලයේ කර්තෘ දෙවි බව අද සිටින බොහෝදෙනා විශ්වාස කරන්නේ නැහැ. එමෙන්ම බයිබල් විවේචකයන්ද එහි නිරවද්‍යතාව ගැන වැරදි අදහස් පළ කර තිබෙනවා. පුරාවිද්‍යාඥයෙක් වූ ශ්‍රීමත් චාල්ස් මාස්ටර්න් පැවසුවේ “බයිබලය ගැන පළ කර තිබෙන වැරදි අදහස් නිසා එහි නිරවද්‍යතාවට හානියක් වී තිබෙනවා” කියායි. ඇත්තෙන්ම සමහර අය බයිබලය සලකන්නේ “ප්‍රබන්ධ කතා ඇතුළත් පොතක්” ලෙසයි.

සාක්ෂි සලකා බලන්න

බයිබලය විශ්වාස කළ හැකි පොතක්ද කියා සොයා බැලීම ඇත්තෙන්ම ඉතා වැදගත්. එයට හේතුව බයිබලයේ සඳහන් දෙවිගේ අදහස් නොසලකාහැරීම අඥාන දෙයක් වීමයි. කෙසේවෙතත් බයිබලයේ සඳහන් වෙන්නේ මිනිසුන්ගේ අදහස් කියා ඔබ සිතනවා නම් එහි ඇති උපදෙස් අදාළ කරගන්න ඔබ කවදාවත් පෙලඹෙන්නේ නැහැ.—1 තෙසලෝනික 2:13.

මුල් පිටපත්වල තිබූ අදහස් මොනවාද කියා තේරුම්ගැනීමට බයිබල් විශාරදයන් සෑහෙන වෙහෙසක් දරා තිබෙනවා. ඒ නිසා ඔවුන්ව ඇත්තෙන්ම අගය කළ යුතුයි

බයිබලයේ සඳහන් තොරතුරු විශ්වාසවන්තයි කියා තීරණය කරන්නේ කෙසේද? මෙසේ සිතන්න. යම් කෙනෙකුව විශ්වාස කිරීමට පෙර ඔබ ඔහු ගැන සොයා බලන්නේ නැද්ද? ඔබ අනිවාර්යයෙන්ම එසේ කරන බව පැහැදිලියි. බයිබලය සම්බන්ධයෙන්ද එය අදාළ වෙනවා. යම් අය බයිබලය ගැන සැක මතු වන දේවල් පැවසුවත් බයිබලය ‘දෙවිගේ මඟ පෙන්වීමෙන්’ ලියා ඇති පොතක්ද කියා දැනගැනීමට ඒ සඳහා තිබෙන සාක්ෂි සොයා බලන්න. එවිට එහි විශ්වාසවන්තභාවය ගැන ඔබටම නිසැක විය හැකියි.

චෝදනා කරන්නෝ

සමහර අය බයිබලය විශ්වාස කරන බව කියා සිටියත් ඇත්තටම ඔවුන් එහි විශ්වාසවන්තභාවය ගැන සැක කරනවා. නමුත් එවැනි අය පවසන දේවල් නිසා ඔබ මුළා වෙන්න එපා. ක්‍රිස්තියානීන්යැයි කියාගන්නා බයිබල් විචාරකයන් පවා “බයිබලය මිනිසුන්ගේ අදහස් තිබෙන පොතක්” කියා පවසන බව එක් ශබ්දකෝෂයකද සඳහන් වුණා.—New Dictionary of Theology.

බොහෝ විශාරදයන් බයිබලයේ ඇතැම් පොත්වල ලේඛකයන් ගැනත් විවිධ සැක පළ කරනවා. උදාහරණයකට යෙසායා පොතේ ලේඛකයා යෙසායා නොවෙයි කියාත් එය ලියැවී තිබෙන්නේ යෙසායා ජීවත් වූ කාලයට පසුව කියාත් ඔවුන් පවසනවා. එක් බයිබල් විවේචකයෙක් වන ලෙයූතර් ක්ලාක් පැවසුවේ “විවිධ කාල වකවානුවල සිටි මිනිසුන් යෙසායා පොත ලියා ඇති” බවයි. නමුත් යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන් යෙසායා පොතේ ලේඛකයා ලෙස සැලකුවේ යෙසායාවයි. ඒ කාරණය බයිබල් විවේචකයන් අමතක කර තිබෙනවා.—මතෙව් 3:3; 15:7; ලූක් 4:17; යොහන් 12:38-41; රෝම 9:27, 29.

එමෙන්ම දානියෙල් පොතේ ලේඛකයා “අතීතයේ සිදු වූ සිදුවීම් ඉදිරියේදී සිදු වීමට නියමිත දේවල් ලෙස දානියෙල් පොතට ඇතුළත් කර ඇති බව” එක් බයිබල් විවේචකයෙක් වූ ජේ. ආර්. ඩමලෝ පැවසුවා. නමුත් එය සත්‍යක් නොවෙයි. දානියෙල් පොතේ වාර්තා වී තිබෙන අනාවැකි බොරු නම් යේසුස් ඒ පොතේ සඳහන්ව තිබූ අනාවැකි උපුටා දක්වයිද? නැහැ. (මතෙව් 24:15) ඉන් ඔප්පු වන්නේ දානියෙල් පොතේ සඳහන් අනාවැකි කලින් සිදු වූ දේවල් නොව ඉදිරියේදී සිදු වීමට නියමිතව තිබූ දේවල් බවයි.

බයිබලයේ තිබෙන්නේ කාගේ අදහස්ද?

“බයිබලයේ තිබෙන්නේ කාගේ අදහස්ද කියා දැනගැනීම වැදගත්ද” කියා ඔබට සිතෙන්න පුළුවන්. ඇත්තටම එය දැනගැනීම ඉතාමත් වැදගත්. ඊට හේතුව තේරුම්ගැනීමට මේ උදාහරණය සලකා බලන්න. ඔබේ මිතුරෙකුගේ අන්තිම කැමති පත්‍රය ඔබට ලැබුණායැයි සිතන්න. එම අන්තිම කැමති පත්‍රය ලියා තිබෙන්නේ ඔබේ මිත්‍රයා නොවන බවත් මිතුරාගේ හිතවතුන් පිරිසක් මිතුරාගේ කැමැත්ත ‘මෙය විය හැකියි’ කියා අනුමාන කරමින් එය ලියා තිබෙනවා කියාත් යම් කෙනෙක් ඔබට පැවසුවොත් තත්වය කුමක්ද? එසේ වුණොත් ඔබ එම අන්තිම කැමති පත්‍රය සැක කිරීමට පෙලඹෙන්නේ නැද්ද?

බයිබලය සම්බන්ධයෙන්ද එය සැබෑවක්. බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණු පොතක් නොවෙයි කියා සමහර අය පවසන නිසා එහි ඇති උපදෙස් නොසලකාහරින්න මිනිසුන් පෙලඹෙනවා. උදාහරණයකට ක්‍රිස්තියානීන්යැයි කියාගන්නා අය පවා අවංකකම, ලිංගික දුරාචාරය ඇතුළු බයිබලයේ සඳහන් බොහෝ ප්‍රතිපත්ති සිතාමතාම නොසලකාහරින්නේ ඒ නිසයි. තවත් අය පැරණි ගිවිසුම “යල් පැන ගිය පොතක්” ලෙස සලකනවා. මෙලෙස කටයුතු කිරීමෙන් ඔවුන් “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි” කියා පාවුල් පැවසූ දෙය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සමහර විශාරදයන් බයිබලයට විරුද්ධව චෝදනා නඟන නිසා බයිබල් විශාරදයන්ගෙන්ද කිසිම පලක් නැහැ” කියා පැවසීම සාධාරණද? නැහැ. සියවස් ගණනාවක් පුරා බයිබලය නැවත නැවතත් පිටපත් කර තිබෙන නිසා එම පිටපත්වල සුළු සුළු අඩුපාඩුකම් සිදු වී තිබෙන්න පුළුවන්. ඒ වුණත් ඒවා පවා හඳුනාගෙන මුල් පිටපත්වල තිබූ අදහස් මොනවාද කියා තේරුම්ගැනීමට බයිබල් විශාරදයන් සෑහෙන වෙහෙසක් දරා තිබෙනවා. ඒ නිසා ඔවුන්ව ඇත්තෙන්ම අගය කළ යුතුයි. කෙසේවෙතත් පිටපත්කරුවන් අතින් සිදු වූ සුළු සුළු අඩුපාඩුකම් නිසා මුළු බයිබලයම ලියැවී තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් නොවෙයි කියා පැවසීම සාධාරණද? නැහැ.

පූර්ණ විශ්වාසක් තබන්න

මුළු ශුද්ධ ලියවිල්ලම දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියා තිබෙනවා කියා පැවසීමට පෙර ශුද්ධ ලියවිල්ල එතරම් වටින්නේ ඇයි කියාත් පාවුල් සඳහන් කළා. ඔහු පැවසුවේ “අවසාන කාලයේදී” ජීවත් වන ‘දුෂ්ට මිනිසුන් සහ ප්‍රෝඩාකාරයන් තව තවත් නරක අතට හැරෙමින් අනුන්ව නොමඟ යවන අතර ඔවුහුද නොමඟ යන’ බවයි. (2 තිමෝති 3:1, 13) පාවුල්ගේ කාලයේදී එය ඒ ආකාරයෙන්ම ඉටු වුණා. එනම් එදා සිටි ‘ප්‍රඥාවන්ත සහ බුද්ධිමත්’ අය “මුළා කරවනසුලු තර්ක” යොදාගෙන ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනි ඉගැන්වීම් ව්‍යාප්ත කළා. (1 කොරින්ති 1:18, 19; කොලොස්සි 2:4, 8) එවැනි බොරු ඉගැන්වීම්වලින් මුළා නොවී සිටීම සඳහා කුමක් කළ යුතුද කියාත් ඔහු පැවසුවා. ඒ සඳහා දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවී තිබෙන ශුද්ධ ලියවිල්ලෙන් ඉගෙනගෙන තිබූ දේවල් මුළු සිතින්ම විශ්වාස කර ඒවා පිළිපැදිය යුතු වුණා.—2 තිමෝති 3:14, 15.

අපි අද ජීවත් වෙන්නේ ‘අවසාන කාලයේයි.’ ඒ නිසා බයිබලයට විරුද්ධව “මුළා කරවනසුලු තර්ක” ඉදිරිපත් කරන උගතුන් අද ඕනෑ තරම් සිටිනවා. එවැනි තර්කවලින් මුළා නොවී සිටීම ඉතා වැදගත්. ඒ සඳහා අපට කළ හැක්කේ කුමක්ද? මුල් ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් මෙන් අපිත් දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියා තිබෙන බයිබලය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා කටයුතු කිරීමයි.

බයිබලය විශ්වාස කිරීමට තිබෙන හේතු ඔබට පහදා දීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා. උදාහරණයකට බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගැනීමේ ඇති වටිනාකම, විද්‍යාත්මක කාරණා ගැන එහි සඳහන් තොරතුරුවල ඇති නිරවද්‍යතාව, බයිබලයේ මුල සිට අග දක්වා ඇති තොරතුරුවල තිබෙන එකඟතාව සහ අනාවැකි එයාකාරයෙන්ම ඉටු වී තිබෙන ආකාරය ඇතුළු තවත් බොහෝ කාරණා ඊට ඇතුළත් වෙනවා. ඒ දේවල් ගැන ඉගෙනගැනීමට ඔබ කැමති නම් මේ සඟරාවේ සඳහන් ලිපිනයකට ලියන්න.

^ 2 ඡේ. ‘දෙවිගේ මඟ පෙන්වීමෙන්’ ශුද්ධ ලියවිල්ල ලියැවුණා කියා පැවසීමට පාවුල් යොදාගත් ග්‍රීක වචනයේ අර්ථය “දෙවි හුස්ම හෙළුවා” යන්නයි. ඉන් අදහස් වන්නේ බයිබලය ලියන්න දෙවි ඔහුගේ බලයෙන් මිනිසුන්ට මඟපෙන්වූ බවයි. එමනිසා ඔවුන් බයිබලයට ඇතුළත් කළේ දෙවි පැවසූ දේවල් පමණයි.