Skip to content

පටුනට යන්න

15වෙනි පාඩම

වැඩිමහල්ලන්ගෙන් සභාවට වෙන්නේ මොන වගේ සේවයක්ද?

වැඩිමහල්ලන්ගෙන් සභාවට වෙන්නේ මොන වගේ සේවයක්ද?

ෆින්ලන්තය

අපිට උගන්වනවා

අපිව දිරිගන්වනවා

දේවසේවයේ හවුල් වෙනවා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරේ පූජකයන් විදිහට සේවය කරන විශේෂ කට්ටියක් නැහැ. ‘දෙවිගේ සභාව රැකබලා ගන්න’ ඉන්නේ දෙවිට ළැදි, විශ්වාසවන්ත පුරුෂයන්. ඒගොල්ලන්ව හඳුන්වන්නේ වැඩිමහල්ලන් කියලයි. (ක්‍රියා 20:28) වැඩිමහල්ලන් හැටියට සේවය කරන අය සභාව රැකබලා ගන්නේ ‘කිසිවෙකුගේ බල කිරීම නිසා නෙමෙයි, කැමැත්තෙන්මයි.’ ඒ වගේම එයාලා සේවය කරන්නේ ‘වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නෙමෙයි, අවංක උනන්දුවකිනුයි.’ (1 පේතෘස් 5:1-3) වැඩිමහල්ලන් අපි වෙනුවෙන් කරන්නේ මොන වගේ සේවයක්ද?

දෙවිට ළං වෙලා ඉන්න අපිට උදව් කරනවා. වැඩිමහල්ලන් නිතරම අපිට බයිබලෙන් උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දෙනවා. ඒ අය දන්නවා සභාවේ ඉන්න අයව රැකබලා ගැනීමේ වගකීම එයාලට දීලා තියෙන්නේ යෙහෝවා දෙවි කියලා. ඒ නිසා එයාලා අපිව පාලනය කරන්න හදන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රීතියෙන් දෙවිට සේවය කරන්න එයාලා අපිට උදව් කරනවා. (2 කොරින්ති 1:24) සාමාන්‍යයෙන් එඬේරෙක් එයාගේ හැම බැටළුවෙක් ගැනම හොඳට දන්නවා වගේ වැඩිමහල්ලනුත් සභාවේ ඉන්න හැම කෙනෙක්වම හොඳට අඳුනගන්න උත්සාහ කරනවා.—හිතෝපදේශ 27:23.

දෙවිට සේවය කරන්න ඕනේ කොහොමද කියලා අපිට කියලා දෙනවා. දෙවි ගැන අපිට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන තොරතුරු හැම සතියකම වැඩිමහල්ලන් රැස්වීම්වලදී අපිට කියලා දෙනවා. (ක්‍රියා 15:32) ඒ වගේම එයාලා ශුභාරංචිය දේශනා කරන්න මූලිකත්වය අරගෙන වැඩ කරනවා. එයාලා අපිත් එක්ක දේවසේවයේ යන නිසා අපේ සේවය හොඳින් කරන්න අවශ්‍ය පුහුණුවත් එයාලාගෙන් අපිට ලැබෙනවා.

අපිව දිරිගන්වනවා. සභාවේ ඉන්න වැඩිමහල්ලන් අපිව පෞද්ගලිකව හම්බ වෙලා අපිට ඕන කරන දිරිගැන්වීම්, සැනසීම බයිබලෙන් ලබා දෙනවා. එයාලා එහෙම කරන්නේ යෙහෝවා දෙවි එක්ක අපි එක් එක් කෙනාට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අපිට උදව් කරන්නයි.—යාකොබ් 5:14, 15.

වැඩිමහල්ලන් හැටියට සේවය කරන ගොඩක් අය රැකියාවල් කරනවා. ඒ වගේම එයාලට පවුල් වගකීමුත් තියෙනවා. ඒ හැම දෙයක්ම කරන අතරවාරේ තමයි එයාලා සභාවේ වගකීමුත් ඉටු කරන්නේ. අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා සේවය කරන මේ පුරුෂයන් අපේ ආදරේ, ගෞරවය ලබන්න වටිනවා.—1 තෙසලෝනික 5:12, 13.

  • වැඩිමහල්ලන් හැටියට සේවය කරන අයට සභාවේ තියෙන වගකීම් මොනවාද?

  • වැඩිමහල්ලන් අපි ගැන සැලකිලිමත් කියලා පෙන්නන්නේ කොහොමද?