Skip to content

ස්වර්ගයට යන්නේ කවුද?

ස්වර්ගයට යන්නේ කවුද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 යෙහෝවා දෙවියන් ඔහුට විශ්වාසවන්තව ඉන්න අයගෙන් සුළු පිරිසකට මරණයෙන් පස්සේ ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙනවා. (1 පේතෘස් 1:3, 4) දෙවියන් ඒ අයව තෝරාගත්තාට පස්සේ ඒ අය දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඕනේ. ඒ වගේම එයාලා මරණය දක්වාම දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්න ඕනේ. නැත්නම් ස්වර්ගයේ ජීවත් වෙන්න ලැබෙන අවස්ථාව ඒ අයට නැති වෙනවා.—එෆීස 5:5; ෆිලිප්පි 3:12-14.

ස්වර්ගයට යන අය එහේ කරන්න යන්නේ මොනවාද?

 ඒ අය අවුරුදු 1,000කට යේසුස් එක්ක ස්වර්ගයේ රජවරුන් සහ පූජකයන් විදිහට සේවය කරන්න යනවා. (එළිදරව් 5:9, 10; 20:6) “අලුත් අහස” ඒ කියන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන ආණ්ඩුව හැදෙන්නේ ඒ අයගෙන්. ඒ ආණ්ඩුව “අලුත් පොළොව” ඒ කියන්නේ ධර්මිෂ්ඨ මිනිස් සමාජය පාලනය කරන්න යනවා. දෙවියන් මිනිස් වර්ගයාට මුලින් ලබා දෙන්න බලාපොරොත්තු වුණු ජීවිතය නැවත දෙන්න කටයුතු කරද්දී ස්වර්ගයට යන අය ඒ සඳහා උපරිම සහයෝගය දෙනවා.—යෙසායා 65:17; 2 පේතෘස් 3:13.

ස්වර්ගයට යන්න කීදෙනෙක්ට අවස්ථාව ලැබෙනවාද?

 බයිබලයේ කියන්නේ මරණය දක්වාම විශ්වාසවන්තව ඉන්න 1,44,000දෙනෙක්ව ස්වර්ගයේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවනවා කියලයි. (එළිදරව් 7:4) ඒ ගැන තමන් දැක්ක දර්ශනය නියෝජිත යොහන් විස්තර කළේ මෙහෙමයි. “බැටළු පැටවා සියොන් කන්ද මත සිටගෙන සිටින ආකාරය මම දුටුවෙමි. ඔහු සමඟ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙක් සිටියෝය.” (එළිදරව් 14:1-3) මේ දර්ශනයේ සඳහන් ‘බැටළු පැටවාගෙන්’ නියෝජනය වෙන්නේ නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ක්‍රිස්තුස්වයි. (යොහන් 1:29; 1 පේතෘස් 1:19) ‘සියොන් කන්දෙන්’ නියෝජනය වෙන්නේ දේවරාජ්‍යයේ පාලකයා වන යේසුස් සහ ඔහුගේ හවුල් පාලකයන් 1,44,000දෙනාට ස්වර්ගයේ ලැබිලා තියෙන උසස් තත්වයයි.—ගීතාවලිය 2:6; හෙබ්‍රෙව් 12:22.

 යේසුස් සමඟ දේවරාජ්‍යය පාලනය කරන්න “කැඳවනු ලැබූ, තෝරාගනු ලැබූ” අයව බයිබලයේ හඳුන්වන්නේ “කුඩා රැළ” කියලයි. (එළිදරව් 17:14; ලූක් 12:32) “කුඩා රැළ” කියද්දී යේසුස් යටතේ මේ පොළොවේ සදාකාලයටම ජීවත් වෙන්න නියමිත යේසුස්ගේ වෙනත් බැටළුවන්ට වඩා ඒ කණ්ඩායම ගොඩක් පොඩියි කියන එක පැහැදිලි වෙනවා.—යොහන් 10:16.

ස්වර්ගයට යන අය ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: හැම හොඳ කෙනෙක්ම ස්වර්ගයට යනවා.

 ඇත්ත මේකයි: ස්වර්ගයට යන්නේ නැති අනිත් හැම හොඳ කෙනෙක්ටම දෙවියන් මේ පොළොවෙම සදාකාලික ජීවිතයක් පොරොන්දු වෙලා තියෙනවා.—ගීතාවලිය 37:11, 29, 34.

  •   යේසුස් මේ පොළොවේ ඉද්දී කිව්වා “මේ වන තුරු කිසිම මනුෂ්‍යයෙක් ස්වර්ගයට ගිහිල්ලා නැහැ” කියලා. (යොහන් 3:13) ඒකෙන් පැහැදිලි වෙන්නේ යේසුස්ට කලින් මිය ගිය ආබ්‍රහම්, මෝසෙස්, යෝබ් සහ දාවිත් වගේ අය ස්වර්ගයට ගිහින් තිබුණේ නැහැ කියලයි. (ක්‍රියා 2:29, 34) ඒ වෙනුවට ඔවුන්ට තිබුණේ නැවත නැඟිටීමක් ලබලා මේ පොළොවේම සදාකාලයටම ජීවත් වීමේ බලාපොරොත්තුවයි.—යෝබ් 14:13-15.

  •   ස්වර්ගයේ ජීවත් වීම සඳහා මිනිසුන්ව නැවත නැඟිටුවන එක බයිබලයේ හඳුන්වන්නේ “පළමුවෙනි නැවත නැඟිටීම” කියලයි. (එළිදරව් 20:6) ඒකෙන් පැහැදිලි වෙන්නේ තවත් නැවත නැඟිටීමක් තියෙනවා කියන එකයි. ඒ මේ පොළොවේ ජීවත් වීම සඳහා මිනිසුන්ව නැවත නැඟිටුවන එකයි.

  •   දෙවියන්ගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී “මරණය තවත් නොවන්නේය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 21:3, 4) ඒ පදයේ කතා කරන්නේ මේ පොළොවේ මිනිසුන් ලබන ආශීර්වාදයක් ගැනයි. මොකද ස්වර්ගයේ කවදාවත් මරණය තිබුණේ නැහැ.

 වැරදි මතය: ස්වර්ගයට යනවාද, මේ පොළොවෙම ඉන්නවාද කියලා අපි එක් එක් කෙනාට තීරණය කරන්න පුළුවන්.

 ඇත්ත මේකයි: තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ගෙන් ස්වර්ගයට යන අය කවුද කියලා තීරණය කරන්නේ දෙවියන්. (ෆිලිප්පි 3:14) කෙනෙක්ට ඒ ගැන තියෙන ආසාව දෙවියන් ගන්න තීරණයට බලපාන්නේ නැහැ.—මතෙව් 20:20-23.

 වැරදි මතය: මේ පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුව ලැබෙන්නේ ස්වර්ගික ජීවිතයක් ලබන්න තරම් වටින්නේ නැති අය.

 ඇත්ත මේකයි: මේ පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුව ලැබෙන අයව දෙවියන් බයිබලයේ හඳුන්වලා තියෙන්නේ “මාගේ සෙනඟ,” “මාගේ තෝරාගත් අය” සහ “යෙහෝවා දෙවි වන මාගෙන් ආශීර්වාද ලැබූ අය” කියලයි. (යෙසායා 65:21-23) මිනිසුන්ව පාරාදීස පොළොවක සදහටම ජීවත් කරවන්න දෙවියන්ට තියෙන අරමුණ ඔහු ඉටු කරද්දී ඒකට දායක වෙන්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. ඒක ලොකු වරප්‍රසාදයක්.—උත්පත්ති 1:28; ගීතාවලිය 115:16; යෙසායා 45:18.

 වැරදි මතය: එළිදරව් පොතේ කතා කරන 1,44,000 සංඛ්‍යාව සංකේතයක් විතරයි.

 ඇත්ත මේකයි: එළිදරව් පොතේ යම් දෙයක් සංකේත කරන්න සංඛ්‍යා පාවිච්චි කරලා තියෙනවා. ඒත් සංකේත විදිහට ගණන් ගන්න බැරි නිශ්චිත සංඛ්‍යාත් එළිදරව් පොතේ තියෙනවා. ඒකට එක උදාහරණයක් තමයි “බැටළු පැටවාගේ නියෝජිතයන් දොළොස්දෙනාගේ නම් දොළොස” කියලා යොහන් සඳහන් කරපු දේ. එතන කතා කරන 12 නිශ්චිත සංඛ්‍යාවක් මිසක් සංකේතයක් නෙවෙයි කියලා අපි දන්නවා. (එළිදරව් 21:14) ඒ වගේ 1,44,000 නිශ්චිත සංඛ්‍යාවක් මිසක් සංකේතයක් නෙවෙයි. එහෙම කියන්න තියෙන හේතු කිහිපයක් බලන්න.

 එළිදරව් 7:4 ‘මුද්‍රා කරනු ලැබූ අයගේ [ස්වර්ගයේ ජීවත් වෙන්න තෝරාගෙන තියෙන අයගේ] ගණන එක්ලක්ෂ හතළිස්හාරදහසකි’ කියලා නිශ්චිතව සඳහන් කරනවා. ඊටපස්සේ පදවල තවත් කණ්ඩායමක් ගැන සඳහන් කරනවා. එතන කතා කරන්නේ “කිසිවෙකුට ගණන් කළ නොහැකි” “මහත් සමූහයක්” ගැනයි. ඒ සංඛ්‍යාව නිශ්චිත නැහැ. අවිනිශ්චිතයි. (එළිදරව් 7:9, 10) 1,44,000 සංකේතයක් නම් ඒකෙන් අදහස් කරන ගණනත් නිශ්චිතවම කියන්න බැහැ. එහෙමනම් අවිනිශ්චිත සංඛ්‍යා දෙකක්, පද දෙකේ දෙවිදිහකට සඳහන් කරලා තියෙන එකෙන් ඒ කණ්ඩායම් දෙක අතර තියෙන පැහැදිලි වෙනස හඳුනාගන්න බැරි වෙනවා. ඒ නිසා 1,44,000 නිශ්චිත සංඛ්‍යාවක් කියලා කියන්න පුළුවන්. a

 ඊට අමතරව බයිබලයේ 1,44,000 විස්තර කර තියෙන්නේ ‘පළමු පල ලෙස මිනිසුන් අතරින් මිල දී ගෙන තිබෙන’ අය විදිහටයි. (එළිදරව් 14:4) “පළමු පල” කියද්දී ඒකෙන් තෝරාගත් කුඩා පිරිසක් අදහස් වෙනවා. අනාගතයේදී පාරාදීස පොළොවේ ජීවත් වෙන්න යන මිනිසුන්ගේ ගණන එක්ක සසඳද්දී ස්වර්ගයේ ඉඳන් පාලනය කරන්න මිනිසුන් අතරින් ගන්න අයගේ සංඛ්‍යාව ඉතා කුඩායි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.—එළිදරව් 5:10.

a මහාචාර්ය රොබට් එල්. තෝමස් එළිදරව් 7:4 සඳහන් 1,44,000 සංඛ්‍යාව ගැන මෙහෙම සඳහන් කරලා තියෙනවා. “මේක නිශ්චිත සංඛ්‍යාවක්. ඒත් 7:9 කතා කරන්නේ ඊට වඩා වෙනස් අවිනිශ්චිත සංඛ්‍යාවක් ගැනයි. 1,44,000 කියන සංඛ්‍යාව සංකේතයක් විදිහට සලකනවා නම් බයිබලයේ තියෙන අනිත් හැම සංඛ්‍යාවක්ම සලකන්න වෙන්නෙත් සංකේත විදිහටයි.”—Revelation 1-7: An Exegetical Commentary, page 474.