Skip to content

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ‘දේවරාජ්‍යය’ කියන්නේ සැබෑ අණ්ඩුවකටයි. ඒ රාජ්‍යය ස්ථාපිත කළේ යෙහෝවා දෙවියි. ඒ රාජ්‍යය පාලනය කරන්නේ ස්වර්ගයේ සිට නිසා ඒකට “ස්වර්ග රාජ්‍යය” කියලත් කියනවා. (මාක් 1:14, 15; මතෙව් 4:17) මිනිස්සුගේ ආණ්ඩුවල තියෙන යම් යම් ලක්ෂණ දේවරාජ්‍යයට තිබුණත් මිනිස් ආණ්ඩුවලට වඩා දේවරාජ්‍යය ගොඩක් උසස් සහ වෙනස්.

  •   පාලකයන්. දෙවි, යේසුස් ක්‍රිස්තුස්ව දේවරාජ්‍යයේ රජු හැටියට පත් කරලා තියෙනවා. ඒ වගේම කිසිම මිනිස් පාලකයෙකුට නැති බලයක් දෙවි යේසුස්ට දීලා තියෙනවා. (මතෙව් 28:18) යේසුස් පොළොව මත ඉන්න කාලේ ඔහුට තිබ්බ බලය යහපත් දේවල් සඳහා පමණක් යොදාගත් අතර යටත් වැසියන් ගැන අනුකම්පාවක් තියෙන කෙනෙක් බව පෙන්නුවා. (මතෙව් 4:23; මාක් 1:40, 41; 6:31-34; ලූක් 7:11-17) ඒ නිසා යේසුස් ඔහුගේ බලය මිනිසාගේ යහපත වෙනුවෙන් අනාගතයේදීත් යොදාගනියි කියලා ස්ථීරයි. දෙවිගේ මඟ පෙන්වීම යටතේ යේසුස්, ‘පොළොවේ රජකම භාර දෙන්න’ සියලු ජාතීන්ගෙන් පිරිසක්ව තෝරගන්නවා.—එළිදරව් 5:9, 10.

  •   පාලනය කරන කාලය. මිනිස් ආණ්ඩු වගේ දේවරාජ්‍යයේ පාලනය අවසන් වෙන්නේ නැහැ. දේවරාජ්‍යය ‘සදහටම පවතිනවා.’—දානියෙල් 2:44.

  •   යටත්වැසියන්. දෙවිට කීකරු වෙන ඕනෑමකෙනෙකුට පෙළපත හෝ උපන් ප්‍රදේශය මොකක් වුණත් දේවරාජ්‍යයේ යටත්වැසියෙක් වෙන්න පුළුවන්.—ක්‍රියා 10:34, 35.

  •   නීති. දේවරාජ්‍යයේ නීති නිකම්ම යමක් කරන්න එපා කියලා කියන ඒවා නෙවෙයි. ඒ නීතිවලින් යහපත් ගතිපැවතුම් ඇති කරනවා. උදාහරණයකට, “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’ උතුම්ම සහ පළමුවෙනි ආඥාව එයයි. දෙවෙනි ආඥාවත් ඒ හා සමානව වැදගත්. එනම්, ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’” කියලා බයිබලයේ තියෙනවා. (මතෙව් 22:37-39) ඒ ආඥාව පිළිපඳින දේවරාජ්‍යයේ යටත්වැසියන් අනික් අයට හානියක් කරන්නේ නැහැ. ඒ අයගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරනවා.

  •   අධ්‍යාපනය. දේවරාජ්‍යය යටතේ ජීවත් වෙන අය උසස් ප්‍රමිති පිළිපඳින්න ඕනේ වුණත් ඒ ප්‍රමිති පිළිපඳින්නේ කොහොමද කියලා දේවරාජ්‍යයෙන් උගන්වනවා.—යෙසායා 48:17, 18.

  •   කරන සේවය. දේවරාජ්‍යයේ පාලකයන් යටත්වැසියන් පීඩාවට පත් කරලා තමන් වැජඹෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ට ප්‍රේම කරන අයට පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට අවස්ථාව දෙන බවට දෙවි දුන්න පොරොන්දුව ඇතුලුව දෙවිගේ කැමැත්ත ඉටු කරන්න ක්‍රියා කරනවා.—යෙසායා 35:1, 5, 6; මතෙව් 6:10; එළිදරව් 21:1-4.