Skip to content

යේසුස්ගේ ජීවිත පූජාව වන්දියක් වුණේ කොහොමද?

යේසුස්ගේ ජීවිත පූජාව වන්දියක් වුණේ කොහොමද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 දෙවියන් මිනිසුන්ව පාපයෙන් හා මරණයෙන් මුදවාගත්තේ යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන්. බයිබලයේ යේසුස්ගේ රුධිරය හඳුන්වලා තියෙන්නේ මිනිසුන්ව පාපයෙන් මුදවාගන්න ගෙවපු වන්දියක් හැටියටයි. (එෆීස 1:7; 1 පේතෘස් 1:18, 19) ඔහු පැමිණියේ “බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි” කියලා යේසුස්ම කිව්වා.—මතෙව් 20:28.

“වන්දියක්” ගෙවන්න ඕන වුණේ ඇයි?

 පළවෙනි මිනිසා වුණ ආදම්ව දෙවියන් නිර්මාණය කළේ පරිපූර්ණ කෙනෙක් විදිහට. සදාකාලයටම ජීවත් වෙන්න එයාට අවස්ථාව තිබුණත් එයා දෙවියන්ට අකීකරු වෙලා ඒ අවස්ථාව නැති කරගත්තා. (උත්පත්ති 3:17-19) එයාගෙන් පැවතෙන අයටත් පාපය උරුම වුණා. (රෝම 5:12) ආදම් කරපු දේ හරියට තමන්වත් තමන්ගෙන් පැවතෙන අයවත් වහලුන් විදිහට පාපයට හා මරණයට විකුණුවා වගෙයි. (රෝම 7:14) මිනිසුන් හැමෝටම පව්කාරකම උරුම වෙලා තියෙන නිසා ආදම් අහිමි කරගත්ත සදාකාල ජීවිතය ලබාගන්න ඒ කිසිම කෙනෙක්ට බැහැ.—ගීතාවලිය 49:7, 8.

 මිනිසුන් හිටපු ඒ අසරණ තත්වය ගැන දෙවියන්ට ලොකු අනුකම්පාවක් දැනුණා. (යොහන් 3:16) දෙවියන්ට ඕනෙ නම් තිබුණා මිනිසුන් කරපු වැරදි අමතක කරලා ඒ අයට සමාව දෙන්න. ඒත් දෙවියන් යුක්තිසහගත කෙනෙක් නිසා ඒ දේ කරන්න ඔහුට නීත්‍යනුකූල පදනමක් ඕනෙ වුණා. (ගීතාවලිය 89:14; රෝම 3:23-26) දෙවියන්ගේ හිතේ මිනිසුන් ගැන කොයි තරම් ආදරයක් තිබුණද කියනවා නම් මිනිසුන්ගේ පව්වලට සමාව දීලා ඒක සම්පූර්ණයෙන්ම අමතක කරන්න අවශ්‍ය නීත්‍යනුකූල පියවර ඔහු ගත්තා. (රෝම 5:6-8) දෙවියන් ඒ දේ කළේ වන්දියක් විදිහට යේසුස්ගේ ජීවිත පූජාව ලබා දීලයි.

යේසුස්ගේ ජීවිත පූජාව වන්දියක් වුණේ කොහොමද?

 බයිබලයේ වන්දියක් කියලා කියද්දී ඒකෙන් අදහස් වෙන දේවල් තුනක් තියෙනවා.

  1.   ඒක යම් ගෙවීමක්.ගණන් කතාව 3:46, 47.

  2.   ඒක නිදහස්වීමක් නැත්තම් මුදවාගැනීමක් වෙනවා.—නික්මයාම 21:30.

  3.   වුණ පාඩුවට සමාන වටිනාකමක් ගෙවනවා. a

 ඒ කාරණා තුන යේසුස්ගේ ජීවිත පූජාවෙන් ඉටු වුණේ කොහොමද කියලා බලන්න.

  1.   ගෙවීමක්. බයිබලයේ කියන්නේ ක්‍රිස්තියානීන්ව “මිල දී ගත්තේ ඉතා වටිනා යමක් දීමෙනි” කියලයි. (1 කොරින්ති 6:20; 7:23) ඒ වටිනා දේ තමයි යේසුස්ගේ රුධිරය. ඒ මාර්ගයෙන් තමයි යේසුස් ‘සෑම ගෝත්‍රයකින්, භාෂාවකින්, ජනතාවකින් සහ ජාතියකින් මිනිසුන්ව දෙවි වෙනුවෙන් මිල දී ගත්තේ.’—එළිදරව් 5:8, 9.

  2.   නිදහසක්. පාපයෙන් නිදහස් වෙන්න අවශ්‍ය “වන්දිය” යේසුස්ගේ ජීවිත පූජාව මඟින් ලබා දුන්නා.—1 කොරින්ති 1:30; කොලොස්සි 1:14; හෙබ්‍රෙව් 9:15.

  3.   සමාන වටිනාකමක්. ආදම් නැති කරගත්තේ පරිපූර්ණ ජීවිතයක්. ඒ නිසා යේසුස්ගේ පරිපූර්ණ ජීවිතය ඒකට හරියටම ගැළපෙන එකක් වුණා. (1 කොරින්ති 15:21, 22, 45, 46) ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “එක මිනිසෙකු [ආදම්] අකීකරු වූ නිසා බොහෝදෙනෙකුව වරදකරුවන් ලෙස ගණන් ගනු ලැබීය. එලෙසම එක් කෙනෙකුගේ [යේසුස් ක්‍රිස්තුස්ගේ] කීකරුකම නිසා බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලැබේ.” (රෝම 5:19) පරිපූර්ණ පුද්ගලයෙකුගේ ජීවිත පූජාවෙන් හුඟක් අයව මුදවාගන්න පුළුවන් කියලා ඒකෙන් පැහැදිලියි. හැබැයි “සියලුදෙනාව මුදවාගැනීමට දිය යුතු නියමිත වන්දිය” විදිහට දීපු යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා වෑයම් කරන අයට විතරයි.—1 තිමෝති 2:5, 6.

a බයිබලයේ “වන්දියක්” හැටියට පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් සහ ග්‍රීක වචනවලට යම් මුදලක් ගෙවනවා, වටිනා දෙයක් දෙනවා සහ යමක් ආවරණය කරනවා කියන අදහස් ඇතුළත්. උදාහරණයකට “කාෆාර්” කියන හෙබ්‍රෙව් වචනයෙන් යම් ආලේපයකින් වසා දැමීම කියන අදහස දෙනවා. (උත්පත්ති 6:14) බයිබලයේ වැඩියෙන්ම ඒ වචනය පාවිච්චි කරලා තියෙන්නේ වැරදි වසා දැමීම ඒ කියන්නේ වැරදිවලට සමාව දෙන එක විස්තර කරන්නයි. (ගීතාවලිය 65:3) ඒකටම සම්බන්ධ “කොෆෙර්” කියන හෙබ්‍රෙව් වචනයෙන් ජීවිතය ගලවාගන්න ගෙවන වන්දි මුදලක් අදහස් වෙනවා. (නික්මයාම 21:30) “ලිට්රොන්” කියන ග්‍රීක වචනය හුඟක් වෙලාවට පරිවර්තනය කරලා තියෙන්නේ වන්දියක් විදිහටයි. මුදවාගන්නවා කියන අදහස එන විදිහටත් ඒක පරිවර්තනය කරලා තියෙනවා. (මතෙව් 20:28) හුඟක් ග්‍රීක ලේඛකයන් ඒ වචනය යොදාගන්නේ යුද සිරකරුවෙක්ව නිදහස් කරගන්න නැත්තම් වහලෙක්ව මුදවාගන්න ගෙවන මුදලක් විස්තර කරන්නයි.