Skip to content

මැරුණට පස්සේ මොකද වෙන්නේ?

මැරුණට පස්සේ මොකද වෙන්නේ?

බයිබලයේ ඒ ගැන කියන දේ

 “ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත” කියලයි බයිබලේ කියන්නේ. (දේශනාකාරයා 9:5; ගීතාවලිය 146:4) ඒ කියන්නේ අපි මැරුණට පස්සේ අපේ පැවැත්ම අවසන් වෙනවා කියන එකයි. මැරුණට පස්සේ හිතන්න, පතන්න හෝ කිසිම දෙයක් කරන්න බැහැ. ඒ වගේම කිසිම හැඟීමක් දැනීමක් නැහැ.

‘ඔබ දූවිල්ලටම හැරී යන්නෙහිය’

 මුල්ම මිනිසා වූ ආදම් දෙවියන්ට අකීකරු වුණු වෙලාවේ දෙවියන් ඔහුට මෙහෙම කිව්වා. “ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19) දෙවියන් ආදම්ව නිර්මාණය කළේ “භූමියේ දූවිල්ලෙන්.” ආදම්ව නිර්මාණය කරන්න කලින් ඔහු කොහේවත් හිටියේ නැහැ. (උත්පත්ති 2:7) ඔහු මිය ගියාට පස්සෙත් කොහේවත් ගියේ නැහැ. ඔහු නැවත දූවිල්ලටම හැරිලා ගියා.

 මිය යන හැම කෙනෙක්ටම වෙන්නෙත් ඒ ටික තමයි. මිනිසුන්ට හා සතුන්ට මැරුණට පස්සේ වෙන දේ ගැන බයිබලේ මෙහෙම කියලා තියෙනවා. “සියල්ලෝ දූවිල්ලෙන්ය. සියල්ලෝ දූවිල්ලටම හැරී යන්නෝය.”—දේශනාකාරයා 3:19, 20.

මිය ගිය අය ගැන අපිට කිසිම බලාපොරොත්තුවක් නැද්ද?

 බයිබලේ මරණය නින්දකට සමාන කරලා තියෙනවා. (ගීතාවලිය 13:3; යොහන් 11:11-14; ක්‍රියා 7:60) තද නින්දක ඉන්න කෙනෙක්ට වටපිටාවේ සිද්ධ වෙන දේවල් ගැන කිසි දැනීමක් නැහැ. ඒ හා සමානව මිය ගිය අයටත් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. හැබැයි කෙනෙක්ව නින්දෙන් අවදි කරනවා වගේ මිය ගිහින් ඉන්න කෙනෙක්ට නැවත ජීවිතය දීලා මරණ නින්දෙන් ඔහුව අවදි කරන්න දෙවියන්ට පුළුවන්. (යෝබ් 14:13-15) එහෙම බලද්දී මිය ගිය අයව අනාගතේදී ආපහු දැකගන්න පුළුවන් කියන බලාපොරොත්තුව අපිට තියෙනවා.