Skip to content

යක්ෂයා ඇත්ත කෙනෙක්ද?

යක්ෂයා ඇත්ත කෙනෙක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඔව්, යක්ෂයා ඇත්ත කෙනෙක්. අපිට යක්ෂයාව නොපෙනුණාට මේ “ලෝකයේ පාලකයා” ඔහුයි. (යොහන් 14:30; එෆීස 6:11, 12) යක්ෂයා දෙවිට විරුද්ධව කැරලිගැහුවා. යක්ෂයා මොන වගේ කෙනෙක්ද කියලා බයිබලේ ඔහුව හඳුන්වලා තියෙන විදිහෙන් තේරුම්ගන්න පුළුවන්.

  •   “විරුද්ධකාරයා” යන අර්ථය ඇති සාතන් යන නමින් ඔහුව හඳුන්වනවා.—යෝබ් 1:6.

  •   යක්ෂයා යන වචනයේ ග්‍රීක අර්ථය “අපහාස කරන්නා” කියන එකයි.—එළිදරව් 12:9.

  •   මිනිසුන්ව ‘නොමඟ යවන’ නිසා ඔහුව සර්පයා කියලා හඳුන්වනවා.—2 කොරින්ති 11:3.

  •   වරදට පොලඹවන්නා.—මතෙව් 4:3.

  •   බොරුකාරයා.—යොහන් 8:44.

යක්ෂයා හෙවත් සාතන් කියන්නේ හිතේ තියෙන නරක සිතුවිල්ලක් නෙවෙයි

 යක්ෂයා කියන්නේ කෙනෙකුගේ හිතේ තියෙන නරක සිතුවිල්ලක් නැත්නම් නරක ස්වභාවයක් කියලා සමහරු හිතනවා. හැබැයි බයිබලේ කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. දෙවියන් සහ යක්ෂයා අතර සිදු වුණු සංවාදයක් ගැන බයිබලේ සඳහන් වෙනවා. මිනිසුන් හිතන විදිහට යක්ෂයා කියන්නේ නරක සිතුවිල්ලක් නම් දෙවියන් කතා කරලා තියෙන්නේ ඔහුගේම හිතේ තිබුණු නරක සිතුවිල්ලක් එක්කයි. එහෙම දෙයක් වෙන්න බැහැ. මොකද දෙවියන් ශුද්ධ කෙනෙක්. ඔහු තුළ කිසිම නරකක් නැහැ. (ද්විතීය කතාව 32:4; යෝබ් 2:1-6) තවත් අවස්ථාවක යක්ෂයා යේසුස්වත් වරදට පොලඹවන්න හැදුවා. හැබැයි යේසුස් තුළ කිසිම පාපයක් තිබුණේ නැහැ. (මතෙව් 4:8-10; 1 යොහන් 3:5) ඒකෙන් තේරෙන්නේ යක්ෂයා සැබෑ කෙනෙක් මිසක හිතේ තියෙන සිතුවිල්ලක් නෙවෙයි කියලයි.

 යක්ෂයා ඇත්ත කෙනෙක් කියලා හුඟක් අය විශ්වාස කරන්නේ නැත්තේ යක්ෂයා මිනිසුන්ව නොමඟ යවලා තියෙන නිසයි. (2 තෙසලෝනික 2:9, 10) එයා හරිම කපටි විදිහට මිනිසුන්ට හිතන්න සලස්වනවා එයා ඇත්ත කෙනෙක් නෙමෙයි කියලා. ඒ විදිහට එයා හුඟක් මිනිසුන්ගේ මනස් අන්ධ කරලා තියෙනවා.—2 කොරින්ති 4:4.

යක්ෂයා ගැන සමහරු දරන වැරදි අදහස්

  වැරදි අදහස: ලුසිෆර් කියන්නේ යක්ෂයාට කියන තවත් නමක්.

 බයිබලේ කියන දේ: සමහර බයිබල්වල පාවිච්චි කරලා තියෙන ලුසිෆර් යන වචනයේ හෙබ්‍රෙව් අර්ථය “දීප්තියෙන් බැබළෙන තාරකාව” කියන එකයි. (යෙසායා 14:12) බයිබලේ ඒ යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ බැබිලෝනියේ උද්ධච්ච රජවරුන්ව හෝ රජ පෙළපත හඳුන්වන්නයි. (යෙසායා 14:4, 13-20) දෙවිගෙන් දඬුවම් ලැබුව බැබිලෝනියේ රාජකීය පෙළපත “දීප්තියෙන් බැබළෙන තාරකාව” හැටියට හඳුන්වලා තියෙන්නේ උපහාසයක් හැටියටයි.

  වැරදි අදහස: වැරදි කරන අයට දඬුවම් කරන්න දෙවියන් තම සේවකයෙක් විදිහට යක්ෂයාව පාවිච්චි කරනවා.

 බයිබලේ කියන දේ: යක්ෂයා දෙවිගේ සේවකයෙක් නෙවෙයි දෙවිගේ හතුරෙක්. දෙවිගේ විතරක් නෙවෙයි දෙවිට සේවය කරන අයගෙත් හතුරෙක්. ඔහු දෙවිගේ සේවකයන්ට විරුද්ධව නිතරම බොරු චෝදනා නඟනවා.—1 පේතෘස් 5:8; එළිදරව් 12:10.