Skip to content

පටුනට යන්න

මේ පොළොව බේරගන්න පුළුවන් කාටද?

මේ පොළොව බේරගන්න පුළුවන් කාටද?

 මිනිස්සු මේ පොළොවට, ඒකේ ඉන්න ජීවීන්ට කරන හානිය ගැන හුඟක් අය වධ වෙනවා. පරිසර විශේෂඥයන් කියන විදිහට ඒ හානිය වෙන කවදාටත් වඩා ජෛව විවිධත්වයට බලපාලා තියෙනවා. ඒ නිසා හුඟක් සත්ව සහ ශාක විශේෂ වඳවීමේ තර්ජනයටත් ලක් වෙලා.

 මෙහෙම ගියොත් මිනිස්සු මේ පොළොව නැත්තටම නැති කරලා දායිද? එහෙමත් නැත්නම් පොළොව රැකගන්න මිනිස්සුන්ට පුළුවන් වෙයිද?

මිනිස්සුන්ගේ වෑයම් සාර්ථක වෙයිද?

 හුඟක් ප්‍රවීණයන් විශ්වාස කරනවා මේ පොළොවට වෙන හානිය නවත්තලා ඒක බේරගන්න මිනිස්සුන්ට පුළුවන් කියලා. හැබැයි සමහර පර්යේෂකයන් කියන්නේ එයාලා කියන දේ වෙන්න නම් එකම කාලෙක විවිධ පැතිවලින් හුඟක් වෙනස්කම් කරන්න වෙනවා කියලා. ඒ වෙනස්කම්වලට මේ දේවලුත් ඇතුළත්.

  •   ගොඩබිම්, වගුරුබිම්, වනාන්තර සහ සාගර මීට වඩා හොඳින් රැකබලා ගන්න ඕනේ.

  •   පරිසර හිතකාමී විදිහට බලශක්තිය නිපදවන්න, කෘෂිකාර්මික කටයුතු කරන්න අලුත් ක්‍රම හොයාගන්න ඕනේ.

  •   මස්, මාළු කන එක අඩු කරලා පුළුවන් තරම් එළවළු, පලතුරු කෑමට ගන්න ඕනේ. ඒ වගේම ඒවා අනවශ්‍ය විදිහට පරිභෝජනයට ගන්න එකත් නාස්ති කරන එකත් අවම කරන්න ඕනේ.

  •   ජීවිතේ සතුටින් ගත කරන්න අත්‍යවශ්‍යම දේ සල්ලි හම්බ කරන එක නෙවෙයි කියලා මිනිස්සු තේරුම්ගන්න ඕනේ.

 ඔයා හිතන්නේ මොකක්ද? මෙච්චර කාලෙකට එකට එකතු වෙලා වැඩ කරපු නැති ආණ්ඩු, ව්‍යාපාරිකයන් සහ මිනිස්සු එකතු වෙලා පරිසරය සුරකින වැඩපිළිවෙළක් ඇති කරයි කියලා හිතන්න පුළුවන්ද? එයාලා එහෙම කළා කියලා හිතමු. ඒත් කෑදර, ආත්මාර්ථකාමී, දුර දිග බලලා වැඩ කරන්නේ නැති මිනිස්සු ඒ වගේ දේකට ඉඩ දෙයිද?—2 තිමෝති 3:1-5.

බලාපොරොත්තුවක් තියන්න පුළුවන්ද?

 මේ පොළොව කවදාවත් සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නේ නැහැ කියලා බයිබලේ සහතික කරනවා. ඒ වගේම මේ පොළොවට වෙන විනාශය මිනිස්සුන්ගේ තනි උත්සාහයෙන් නවත්වන්න බැරි ඇයි කියලත් වෙනස් වෙන්න ඕනෙ කොතැනද කියලත් බයිබලේ පැහැදිලි කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ වෙනස සිද්ධ වෙන විදිහත් ඒකේ කියලා තියෙනවා.

 මිනිස්සුන්ගේ තනි උත්සාහයෙන් පොළොව රැකගන්න බැරි ඇයි? යෙහෝවා a දෙවියන් මේ පොළොව නිර්මාණය කරලා ඒක රැකබලා ගන්න වගකීම මිනිස්සුන්ට බාර දුන්නා. (උත්පත්ති 1:28; 2:15) එයාලා දෙවියන් දීපු මඟ පෙන්වීම් පිළි අරන් ඒවාට කීකරු වුණා නම් ඒ වගකීම හරියට කරන්න එයාලට තිබුණා. (හිතෝපදේශ 20:24) හැබැයි එයාලා යෙහෝවා දෙවියන්ව ප්‍රතික්ෂේප කරලා එයාලට හරියි කියලා හිතෙන විදිහට දේවල් කරන්න පටන්ගත්තා. (දේශනාකාරයා 7:29) ඒ විදිහට මිනිස්සු එයාලගෙම හැකියාවෙන් මේ පොළොව රැකබලා ගන්න කොච්චර මහන්සි වුණත් එයාලා හිතන තරම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.—හිතෝපදේශ 21:30; යෙරෙමියා 10:23.

 වෙනස් වෙන්න ඕනෙ කොතැනද? මිනිස්සු මේ පොළොවට කරන විනාශය දෙවියන් ළඟදීම නවත්තනවා. (එළිදරව් 11:18) හැබැයි ඔහු ඒක කරන්නේ මේ පොළොව විනාශ කරන ආණ්ඩුවත් මිනිස්සුන්වවත් පාවිච්චි කරලා නෙවෙයි. ඒ වෙනුවට දෙවියන් එයාලව විනාශ කරනවා කියලා බයිබලේ කියනවා. (එළිදරව් 21:1) ඒ නිසයි යෙහෝවා දෙවියන් කියන්නේ “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි” කියලා.—එළිදරව් 21:5.

 ඒ වෙනස වෙන්නේ කොහොමද? දෙවියන් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට මිනිස් ආණ්ඩු මේ පොළොවෙන් අයින් කරලා දෙවියන්ගේ ආණ්ඩුවක් ගේන්න යනවා. ඒක හඳුන්වන්නේ දේවරාජ්‍යය කියලා. ඒ ආණ්ඩුවේ රජ විදිහට දෙවියන් පත් කරලා තියෙන යේසුස් මුළු පොළොවම පාලනය කරන්න යනවා.—දානියෙල් 2:44; මතෙව් 6:10.

 දේවරාජ්‍යයෙන් එදාට දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිති මිනිස්සුන්ට උගන්වනවා. මිනිස්සු නිර්මාතෘව අඳුරගෙන ඔහු දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී පරිසරයට පුංචිම විදිහකින්වත් හානියක් නොකර ජීවත් වෙන්න එයාලට පුළුවන්. (යෙසායා 11:9) දේවරාජ්‍යයෙන් මිනිස්සුන්ට ඉස්සරහට ලස්සන ජීවිතයක් දෙන්නේ කොහොමද කියලා බයිබලේ පැහැදිලි කරලා තියෙනවා. එදාට . . .

 දේවරාජ්‍යයෙන් ළඟදීම ඒ වෙනස්කම් කරන්න යනවා. ඒ ගැන තවත් තොරතුරු දැනගන්න “දේවරාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නේ කවදාද?” කියන ලිපිය බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.