Skip to content

පටුනට යන්න

දේවරාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නේ කවදාද?

දේවරාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නේ කවදාද?

යේසුස්ගේ විශ්වාසවන්ත අනුගාමිකයන් කීපදෙනෙක්ට දැනගන්න ඕන වුණා දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වෙන්නේ කවදාද කියලා. ඒ ගැන ඇහුවාම යේසුස් කිව්වේ දේවරාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන්න පටන්ගන්න දවස හරියටම දැනගන්න එයාලට බැහැ කියලයි. (ක්‍රියා 1:6, 7) හැබැයි “දෙවිගේ රාජ්‍යය ළඟ බව” ඒ කියන්නේ ඒකෙන් මේ පොළොව පාලනය කරන්න පටන්ගන්න කාලය ළඟ බව දැනගන්න උදව් වෙන සිද්ධීන් කිහිපයක් ගැන කලින් වතාවකදී යේසුස් එයාලට කියලා තිබුණා.—ලූක් 21:31.

මොන වගේ සිද්ධීන් වෙයි කියලාද යේසුස් කිව්වේ?

යේසුස් මෙහෙම කිව්වා. “ජාතියක් තවත් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් තවත් රාජ්‍යයකට විරුද්ධවත් යුද්ධ කරයි. මහත් භූමිකම්පාත් ඇති වෙයි. ඒ වගේම එක් තැනක් පාසා තවත් තැනක වසංගතද ආහාර හිඟකම්ද ඇති වෙයි.” (ලූක් 21:10, 11) ඒ සිද්ධීන් ලෝකේ පුරාම එකම කාල වකවානුවක ඉටු වෙද්දී “දෙවිගේ රාජ්‍යය ළඟ බව” දැනගන්න අපිට පුළුවන්. ඒක දේවරාජ්‍යය ළඟටම ඇවිත් කියන එකට පැහැදිලි ලකුණක්. ලෝකේ පුරාම ඒ සිද්ධීන් ඉටු වෙනවා ඔයා දකිනවාද? සාක්ෂි කිහිපයක් අපි දැන් බලමු.

1. යුද්ධ

ඉතිහාසඥයන් 1914 හඳුන්වන්නේ ලෝකය කණපිට පෙරළපු අවුරුද්දක් විදිහටයි. මොකද ඒ අවුරුද්දේ තමයි 1වෙනි ලෝක මහ යුද්ධය පටන්ගත්තේ. ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා ලොකු විනාශයක් ඒ යුද්ධයෙන් සිද්ධ වුණා. යුධ ටැංකි, ගුවන් ප්‍රහාර, මැෂින් තුවක්කු, විෂ වායු ඇතුළු මාරාන්තික ආයුධ මුල්ම වතාවට මහා පරිමාණයෙන් පාවිච්චි කරන්න පටන්ගත්තේ ඒ යුද්ධයේදීයි. ඒ යුද්ධයෙන් පස්සේ ඇති වුණු 2වෙනි ලෝක මහ යුද්ධයෙදී තමයි න්‍යෂ්ටික අවි හඳුන්වලා දුන්නේ. 1914 ඉඳන් මේ වෙන කල් යුද්ධ නිසා මිනිසුන් මිලියන ගණනකගේ ජීවිත අහිමි වෙලා තියෙනවා.

2. භූමිකම්පා

හැම අවුරුද්දකම “ප්‍රබල හානියක් විය හැකි” භූමිකම්පා 100ක්වත් ඇති වෙනවා කියලා විශ්වකෝෂයක සඳහන් වෙනවා. (Britannica Academic) එක්සත් ජනපදයේ භූගෝලීය සමීක්ෂණ ආයතනය කියන්නේ “1900 සිට සිදු වී ඇති භූමිකම්පා සැලකිල්ලට ගද්දී සෑම වසරකම අඩුම තරමින් ප්‍රබල භූමිකම්පා 16ක්වත් ඇති වීමට ඉඩ තිබෙනවා” කියලයි. ඒ තරම් භූමිකම්පා ප්‍රමාණයක් සටහන් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ නවීන තාක්ෂණය නිසයි කියලා සමහරු කියන්න පුළුවන්. ඒ කොහොමවුණත් ලෝකේ වටේම සිද්ධ වෙන භූමිකම්පා නිසා වෙන කවදාටත් වඩා මිනිසුන් අද දුක් විඳිනවා. ඒ වගේම හුඟදෙනෙක්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවා.

3. ආහාර හිඟකම්

යුද්ධ, වංචා දූෂණ, ආර්ථිකය බිඳ වැටීම, නිසි ක්‍රමවේදයකට කෘෂිකාර්මික කටයුතු නොකිරීම, අහිතකර කාලගුණික තත්වයන්වලට කලින්ම සූදානම් නොවීම වගේ දේවල් ආහාර හිඟ වෙන්න හේතු වෙලා තියෙනවා. ලෝක ආහාර වැඩසටහනේ 2018 වාර්තාවේ මෙහෙම සඳහන් වෙනවා. “ලෝකේ පුරාම මිනිසුන් මිලියන 821කට කුසට හරි හැටි කෑමක් ලැබෙන්නේ නැහැ. ඒ අතරින් මිලියන 124ක් හාමතෙන් පෙළෙනවා.” මන්දපෝෂණය නිසා හැම අවුරුද්දකම දරුවන් මිලියන 3.1ක් විතර මිය යනවා. 2011දී සිද්ධ වුණු ළදරු මරණවලින් සියයට 45ක්ම වෙලා තියෙන්නේ මන්දපෝෂණය නිසයි.

4. ලෙඩ රෝග සහ වසංගත

ලෝක සෞඛ්‍ය සංවිධානය “21වෙනි සියවස හඳුන්වලා තියෙන්නේ දරුණු වසංගතවලින් පිරුණු යුගයක්” විදිහටයි. “මේ වෙද්දී කොලරාව, මහාමාරිය සහ කහ උණ වගේ වසංගත ආයෙත් හිස ඔසවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කොරෝනා, සාස්, ඉන්ෆ්ලුවෙන්සා, මර්ස්, ඉබෝලා සහ සිකා වගේ අලුත් වසංගතත් බිහි වෙලා තියෙනවා.” විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන් ලෙඩ රෝග ගැන හුඟක් තොරතුරු හොයාගෙන තිබුණත් හැම ලෙඩක්ම සම්පූර්ණයෙන්ම සුව කරන්න එයාලට පුළුවන් වෙලා නැහැ.

5. ලොව පුරා කරන දේශනා සේවය

ලකුණට අයිති තවත් සිද්ධියක් ගැන යේසුස් මෙහෙම කිව්වා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” (මතෙව් 24:14) මේ වෙද්දී ලෝකේ කොයි තරම් ප්‍රශ්න ගැටලුවලින් පිරිලා තිබුණත් රටවල් 240ක ඉන්න මිලියන 8කටත් වඩා වැඩි සෙනඟක් භාෂා 1,000කටත් වඩා වැඩි ගණනකින් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරනවා. ඉතිහාසයේ වෙන කවදාවත් ඒ වගේ දෙයක් නම් කරලා නැහැ.

ලකුණ ඉටු වෙන එකෙන් පැහැදිලි වෙන දේ

යේසුස් සඳහන් කරපු ලකුණට ඇතුළත් හැම සිද්ධියක්ම ලෝකේ පුරාම අද ඉටු වෙනවා. ඒ ගැන අපි අවධානය දෙන එක වැදගත් වෙන්නේ ඇයි? යේසුස් කියපු මේ දෙයින් ඒක තේරුම්ගන්න පුළුවන්. “ඔබ මේ දේවල් සිදු වෙනවා දකින විට දෙවිගේ රාජ්‍යය ළඟ බව දැනගන්න.”—ලූක් 21:31.

ළඟදීම දේවරාජ්‍යයෙන් දෙවියන්ගේ කැමැත්ත පොළොවේ ඉටු කරන්න යනවා

යේසුස් දීපු ලකුණ 1914දී ඉටු වෙන්න පටන්ගත්ත එකෙන් සහ දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වෙන කාලය ගැන බයිබලයේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා දෙවියන් 1914දී a දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටෙව්වා කියලා. ඒ රාජ්‍යයේ රජු හැටියට දෙවියන් ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ව පත් කළා. (ගීතාවලිය 2:2, 4, 6-9) ළඟදීම දේවරාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නවා. ඒකෙන් අනිත් හැම ආණ්ඩුවක්ම විනාශ කරලා මේ පොළොව මිනිසුන්ට හැමදාටම ජීවත් වෙන්න පුළුවන් පාරාදීසයක් බවට පත් කරනවා.

“ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියලා යාච්ඤාවෙන් යේසුස් උගන්වපු දේ ළඟදීම සම්පූර්ණයෙන්ම ඉටු වෙනවා. (මතෙව් 6:10) 1914දී ස්වර්ගයේ පිහිටුවපු දා ඉඳන් මේ දක්වා දේවරාජ්‍යයෙන් ඉටු කරමින් තියෙන්නේ මොනවාද? ඒ වගේම අනාගතයේදී පොළොවේ පාලනය භාරගත්තාට පස්සේ මිනිසුන් වෙනුවෙන් ඒකෙන් මොනවාද කරන්න යන්නේ?

a 1914 ගැන වැඩි විස්තර දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ 32 පාඩම බලන්න.