මාක් 4:1-41

4  නැවතත් යේසුස් ගලීල මුහුද අසලදී+ සමූහයාට උගන්වන්න පටන්ගත්තේය. අතිමහත් සමූහයක් ඔහු ළඟට රැස් වූ නිසා ඔහු දියේ තිබුණු ඔරුවකට නැඟ එහි ඉඳගත්තේය. මුළු සමූහයා සිටියේ ගොඩබිමෙහිය.+  ඔහු ඔවුන්ට බොහෝ දේවල් ඉගැන්වූයේ උපමා යොදාගෙනය.+ ඔහු ඔවුන්ට මෙසේ කීවේය.+  “සවන් දෙන්න. එක්තරා වපුරන්නෙක් කෙතක බීජ වපුරමින් සිටියා.+  ඔහු වපුරමින් සිටින අතරේදී සමහර බීජ මඟ දිගේ වැටුණා. කුරුල්ලන් ඇවිත් ඒවා කා දැමුවා.+  තවත් බීජ වැටුණේ නොගැඹුරු පස් තට්ටුවක් තිබූ ගල් බිමක් මතයි. එම බීජ විගස වැඩෙන්න පටන්ගත්තත් ඒවාට හොඳින් මුල් අදින්න නොහැකි වුණා.+  දැඩි අව් රශ්මිය නිසා ඒවා මැලවී ගියා. ඒවායේ මුල් ගැඹුරටම විහිදී ගියේ නැති නිසා ඒවා සම්පූර්ණයෙන්ම මැරී ගියා.+  තවත් සමහර බීජ වැටුණේ කටු ගස් අතරෙහියි. නමුත් කටු ගස් වැවී ඒවා යට කර දැමුවා. එමනිසා එම බීජද පල දැරුවේ නැහැ.+  නමුත් තවත් සමහර බීජ සරු පසෙහි වැටුණා.+ ඒවා පැළ වී, වැඩී, පල දරන්න පටන්ගත්තා. සමහරකින් තිස් ගුණයක්ද සමහරකින් හැට ගුණයක්ද තවත් සමහරකින් සිය ගුණයක්ද බැගින් අස්වැන්න නෙළාගන්න හැකි වුණා.”+  ඉන් අනතුරුව, “මා පවසන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න”+ කියාත් ඔහු පැවසුවේය. 10  ඉන්පසු ඔහු තනිව සිටි අවස්ථාවකදී දොළොස්දෙනාද ඔවුන් සමඟ තවත් පිරිසක්ද ඔහු පැවසූ උපමා ගැන ඔහුගෙන් ප්‍රශ්න අසන්න පටන්ගත්හ.+ 11  ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “දෙවිගේ රාජ්‍යය පිළිබඳ පරිශුද්ධ රහස+ තේරුම්ගන්න ඔබට අවස්ථාව ලබා දී තිබුණත් අන් අයට ඒවා ඇසෙන්නේ උපමා කතා ලෙස පමණයි.+ 12  එමනිසා මා කරන දේ ඔවුන් දැක්කත් ඔවුන්ට වැටහෙන්නේ නැහැ. මා පවසන දේ ඔවුන් අසාගෙන සිටියත් එහි නියම අර්ථය ඔවුන්ට අවබෝධ වන්නේ නැහැ. ප්‍රතිඵලයක් ලෙස හැරී සමාව ලබාගන්න ඔවුන්ට කිසි කලෙක හැකි වන්නේ නැහැ.”+ 13  ඔහු ඔවුන්ට මෙසේද කීවේය. “ඔබට ඒ උපමාව තේරුම්ගන්න බැරි නම් අනික් උපමා තේරුම්ගන්න ඔබට පුළුවන් කොහොමද? 14  “වපුරන්නා වපුරන්නේ රාජ්‍යය පිළිබඳ පණිවිඩයයි.+ 15  එම පණිවිඩය මඟ දිගේ වපුරනු ලැබුවා. එයින් අදහස් වන්නේ ඒ පණිවිඩය ඇසූ විගස, සාතන් ඇවිත්+ එය ඇසූ අයගේ සිත් තුළ තිබූ පණිවිඩය පැහැරගෙන ගිය බවයි.+ 16  එම පණිවිඩය ගල් බිම්වල වපුරනු ලැබුවා කීමෙන් අදහස් වන්නේ සමහර අය පණිවිඩය අසා එය ප්‍රීතියෙන් පිළිගන්නා+ බවයි. 17  නමුත් ඒ පණිවිඩය ඔවුන් තුළ ගැඹුරටම මුල් බැස නැති නිසා එය ඔවුන් තුළ පවතින්නේ කෙටි කාලයකටයි. පණිවිඩය පිළිගත් නිසා යම් හිංසා හෝ පීඩා හෝ පැමිණි විගස ඔවුන් තුළ තිබෙන විශ්වාසය දුර්වල වී ඔවුන් වැටී යයි.+ 18  මෙම පණිවිඩය කටු ගස් අතරේ වපුරනු ලැබුවා. එයින්ද ඒ පණිවිඩය අසන පිරිසක්+ අදහස් වෙනවා. 19  නමුත් පවතින මේ සමාජයේ තිබෙන දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර වන නිසාත්+ ධනය පසුපස හඹා යෑමෙන් මුළා වන නිසාත්+ අනිකුත් දේවල් සඳහා දැඩි ආශාවක් ඇති කරගන්නා නිසාත්+ ඔවුන්ගේ සිත් තුළ තිබෙන පණිවිඩය යටපත් වී යන අතර ඔවුන් පල නොදරන තත්වයකට පත් වෙනවා.+ 20  සරු පසෙහි වපුරනු ලැබුවා කීමෙන් අදහස් වන්නේ පණිවිඩයට සවන් දී එය මහත් සතුටකින් පිළිගෙන පල දරන අයවයි. සමහරුන් තිස් ගුණයකින්ද සමහරුන් හැට ගුණයකින්ද තවත් සමහරුන් සිය ගුණයකින්ද පල දරනවා.”+ 21  ඉන්පසු ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “කෙනෙක් පහනක් රැගෙන එන්නේ එය බඳුනකින් වසා තබන්න හෝ ඇඳක් යට තබන්නද? ඔහු එය රැගෙන එන්නේ පහන් රුකක් මත තැබීමට නොවෙයිද?+ 22  යම් දෙයක් සඟවා තබනු ලබන්නේ එය කවදා හරි අනාවරණය වන නිසයි. යමක් ඉතා ඕනෑකමින් රහසක්ව තබන්නේ එයත් කවදා හරි හෙළි කරනු ලබන නිසයි.+ 23  මා පවසන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.”+ 24  යේසුස් ඔවුන්ට මෙසේද කීවේය. “ඔබ දැන් සවන් දෙන දේවල් හොඳින් සිතට ගන්න.+ ඔබ අනුන් සමඟ කටයුතු කරන ආකාරය අනුවයි ඔවුන් ඔබ සමඟත් කටයුතු කරන්නේ.+ ඔබ කරන දේට වඩා වැඩියෙන් ඔවුන්ගෙන් ඔබට ලැබෙයි.+ 25  මන්ද යම් අවබෝධයක් ඇති තැනැත්තාගේ අවබෝධය තවත් වැඩි වෙයි. නමුත් අවබෝධයක් නැති තැනැත්තාට තිබෙන අවබෝධය පවා අහිමි වෙයි.”+ 26  එවිට ඔහු මෙසේ කීවේය. “දෙවිගේ රාජ්‍යය සමාන කළ හැකි තවත් උපමාවක් මම ඔබට කියන්නම්. එක්තරා මිනිසෙක් බීජ වපුරයි.+ 27  ඔහු සෑම දිනකම සාමාන්‍ය පරිදි රාත්‍රියෙහි නිදාගෙන උදෑසනින් අවදි වෙයි. ඒ අතරතුර බීජය පැළ වී උසට වැඩී ඇති ආකාරය ඔහු දකියි. නමුත් එය සිදු වුණේ කොහොමද කියා ඔහු දන්නේ නැහැ.+ 28  මුලින්ම පොළොවෙන් මතු වන්නේ කුඩා අංකුරයක්. ඉන්පසුව ක්‍රමානුකූලව ඒ අංකුරය පැළයක් බවට වැඩී එහි කරල් හටගනී. අන්තිමට සම්පූර්ණයෙන් පැසී ඇති ධාන්‍ය කරල් එහි දක්නට ලැබෙයි. 29  ධාන්‍ය සම්පූර්ණයෙන්ම පැසුණු වහාම අස්වැන්න නෙළීමේ කාලය පැමිණ තිබෙන නිසා එම මිනිසා දෑකැත්තෙන් එය කපාගනියි.” 30  ඔහු ඊළඟට පැවසුවේ මෙසේයි. “අපි දෙවිගේ රාජ්‍යය සමාන කරන්නේ කුමකටද? ඒ ගැන පැහැදිලි කිරීමට භාවිත කළ හැක්කේ මොන වගේ උපමාවක්ද?+ 31  එය අබ ඇටයකට සමානයි. අබ ඇටයක් පොළොවෙහි වපුරන විට එය පොළොවෙහි තිබෙන සියලුම බීජවලට වඩා කුඩායි.+ . . . 32  නමුත් එය වැපුරූ පසු එය වැඩී සියලුම පලා ගස්වලට වඩා විශාල වෙයි. එහි හටගන්නා විශාල අතුවල+ අහසේ කුරුල්ලන් ලැගුම් ගෙන+ එහි සෙවණෙහි උන් වාසය කරයි.”+ 33  ඔවුන්ට තේරුම්ගත හැකි තරම අවබෝධ කරගත් ඔහු, එවැනි උපමා කිහිපයක්ම+ යොදාගනිමින් රාජ්‍යය පිළිබඳ පණිවිඩය ගැන කතා කිරීමට පුරුදු වී සිටියේය. 34  ඔහු උපමාවක් නැතුව ඔවුන්ට කතා කළේ නැත. පසුව ඔහු තම ගෝලයන්ට පෞද්ගලිකව ඒ සියල්ල පහදා දුන්නේය.+ 35  එදින අඳුර වැටීගෙන එද්දී, “අපි එගොඩට+ යමු” කියා යේසුස් ඔවුන්ට පැවසුවේය. 36  එතැන රැස්ව සිටි සෙනඟව පිටත් කර යැවූ ගෝලයෝ, ඒ වන තුරු ඔහු සිටි ඔරුවේම නැඟී එගොඩට යාත්‍රා කළෝය. තවත් ඔරු කිහිපයක්ද ඔවුන් පසුපස ගියේය.+ 37  එවිට ඉතා බිහිසුණු කුණාටුවකට ඔවුන් හසු විය. සැඩ සුළං නිසා කැලඹුණු රළ වේගයෙන් ඔරුවට ගසන්න පටන්ගත්තේය. කුණාටුව කොතරම් බිහිසුණුද කියනවා නම් දියෙන් ඔරුව පිරී එය ගිලෙන්න ආසන්න විය.+ 38  නමුත් ඔරුවේ අවරෙහි කොට්ටයක හිස තබාගෙන යේසුස් නිදාගෙන සිටියේය. ඔවුහු ඔහුව අවදි කර, “ගුරුතුමනි, අපිව ගිලෙන්නයි යන්නේ.+ ඔබට ඒ ගැන ගානක්වත් නැද්ද” කියා ඔහුට පැවසූහ. 39  එය අසා අවදි වූ ඔහු සුළඟටත් මුහුදටත් තදින් කතා කරමින්, “නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න”+ කියා පැවසුවේය. එවිට සැඩ සුළං නතර වී, මහත් නිශ්චලතාවක් ඇති විය.+ 40  එවිට ඔහු, “ඇයි ඔබ මේ තරම් භය වෙලා? ඔබට තවමත් කිසිම විශ්වාසයක් නැද්ද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. 41  ඇත්තෙන්ම ඒ අවස්ථාවේදී ඔවුන් තුළ මහත් බියක් ඇති විය. එහෙයින් ඔවුහු, “සුළඟත් මුහුදත් ඔහුට කීකරු වෙනවා. ඇත්තටම මේ කවුද”+ කියා පවසමින් එකිනෙකා අතර කතා කරන්න පටන්ගත්තෝය.

පාදසටහන්