Skip to content

පටුනට යන්න

පිළිසඳරක් | බ්‍රෙට් ෂෙංක්

“ජීවීන්ව නිර්මාණය කෙරුවෙ දෙවියන් කියලා මට හොඳටම තහවුරු වුණා”

“ජීවීන්ව නිර්මාණය කෙරුවෙ දෙවියන් කියලා මට හොඳටම තහවුරු වුණා”

බ්‍රෙට් ෂෙංක් ඇමරිකාවේ සිටින විශ්‍රාම ගිය පරිසර උපදේශකයෙක්. ඔහු ශාක, සතුන් හා පරිසරය අතර ඇති සහජීවනය පිළිබඳව අධ්‍යනය කළා. සියල්ල නිර්මාණය කළේ දෙවියන් කියලා ඔහු විශ්වාස කරන්නෙ ඇයි කියන එක ගැනත් ඔහු හදාරපු විෂය ගැනත් අපි ඔහුගෙන් අහලා බැලුවා.

ඔයා ගැන අපිට ටිකක් කියන්න පුළුවන්ද?

තාත්තා කාර්මික ඉංජිනේරුවෙක්. එයා නිතරම විද්‍යාව, ගණිතය වගේ විෂයන් ගැන හුඟක් ආසාවෙන් කතා කළා. අපි හිටියේ ඔහියෝ ප්‍රාන්තයේ නිව් පැරිස් කියන ගමේ. පොඩි කාලෙ ඉඳන්ම පොකුණුවල, දිය කඩිතිවල හිටිය සත්තුන්ට, පැළෑටිවලට මං හුඟක් ආදරේ කෙරුවා. පර්ඩු විශ්ව විද්‍යාලයෙදී මං තෝරගත්තෙත් පරිසර විද්‍යාව.

ආගමට උනන්දුවක් තිබුණද?

ඔව්. ලුතරන් ආගම ගැන ඉගෙනගන්න කියලා තාත්තා මට උනන්දු කෙරුවා. ඒ එක්කම මං සාමාන්‍ය මිනිස්සු කතා කරපු ග්‍රීක භාෂාවත් ඉගෙනගත්තා. ඒක බයිබලය මුලින්ම ලියපු භාෂාවක්. බයිබලය ගැන ලොකු ගෞරවයක් ඇති වුණේ ඊටපස්සෙ.

පරිණාමවාදය ගැන ඔයාට තිබුණේ මොන වගේ අදහසක්ද?

මං ගිය පල්ලියෙ අය ඒක පිළිගත්තා. මගෙ යාළුවොත් ඒක විශ්වාස කළා. ඉතිං මමත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පරිණාමවාදය පිළිගත්තා. මං දෙවියන්වත් විශ්වාස කළා. ඒත් මේ කාරණා දෙක ගැනම මට පැහැදිලි අවබෝධයක් තිබුන්නෑ. බයිබලයට ගරු කළාට ඒක දෙවියන්ගෙ වචනය කියලා නං පිළිගත්තෙ නෑ.

මොකක් නිසාද බයිබලය ගැන තිබුණු අදහස වෙනස් වුණේ?

දවසක් ස්ටීව් සහ සැන්ඩි කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවො දෙන්නෙක් මාවයි මගේ බිරිඳ ඩෙබීවයි මුණගැහෙන්න ආවා. එයාලා පෙන්නුවා බයිබලය විද්‍යා අත්පොතක් නොවුණට ඒක විද්‍යාවට පටහැනි නෑ කියලා. උදාහරණෙකට “පෘථිවි ගෝලයට ඉහළින් වාසය කරන තැනැත්තෙක් සිටියි” කියලත් ‘ඔහු පොළොවද හිස් අවකාශයේ එල්ලා තැබුවේය’ කියලත් බයිබලේ කියලා තියෙනවා. (යෙසායා 40:22; යෝබ් 26:7) ඒ දවස්වල මම පරිසර විද්‍යාව හදාරන්න චන්ද්‍රිකා ඡායාරූප පාවිච්චි කර කර හිටියේ. ඒ හින්දා මේ බයිබල් පද දෙක මගේ හිතට කාවැදුණා. ඒවා ලිව්වේ පෘථිවි ගෝලය රැඳිලා තියෙන්නේ හිස් අවකාශේ කියලා ඡායාරූපවලින් ඔප්පු කරන්න හුඟ කාලෙකට කලින්. බයිබල් පාඩම කරගෙන යද්දී අනාවැකි ඉටු වෙලා තියෙන විදිහ, බයිබල් උපදෙස් ජීවිතේට ප්‍රයෝජනවත් වෙන විදිහ වගේ දේවල් අපි දැනගත්තා. බයිබලේ තියෙන තොරතුරු ගැන මට සෑහීමට පත් වෙන්න පුළුවන් වුණා. ටිකෙන් ටික මට පැහැදිලි වුණා මේක දෙවියන්ගෙම වචනය කියලා.

ජීවයේ ආරම්භය ගැන ඔයාට තිබුණු අදහස වෙනස් වුණේ කොහොමද?

මිනිසාගේ ආරම්භය ගැන බයිබලේ කියන දේ ස්ටීව් මට පෙන්නුවා. ඒකෙ පැහැදිලිව කියලා තියෙන්නේ ‘යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් මිනිසාව සෑදුවා’ කියලයි. (උත්පත්ති 2:7) බයිබලයේ මුල්ම මිනිසා ඇති වුණ විදිහ වාර්තා කරලා තියෙනවා. ඒත් එතනදි මට ප්‍රශ්නයක් ආවා, මේ තොරතුරු විද්‍යාවත් එක්ක එකඟ වෙනවාද කියලා. එතකොට ස්ටීව් කිව්වා උත්තරේ ඔයාම හොයන්න කියලා. මං ඒක කළා.

පරිණාමවාදය ගැන ඔයා මොනවද තේරුම්ගත්තේ?

පරිණාමවාදීන් ජීවයේ ආරම්භය පැහැදිලි කරන්න ඉදිරිපත් කරන්නෙ උපකල්පන විතරයි. ඒත් ජීවියෙක් දිහා බැලුවම ඒ ජීවියාගේ හෘදය, පෙනහැල්ල, ඇස් වගේ අවයව පිළිවෙළට පිහිටා තියෙනවා. ඒ වගේම ඒවා හරිම කාර්යක්ෂමව වැඩ කරනවා. ඇහැට පේන්නැති සෛලයක් දිහා අන්වීක්ෂයෙන් බැලුවම ඒ තුළ තියෙන සංකීර්ණ සැකැස්මත් හරිම පුදුමාකාරයි. ඒ ගැන පරිණාමවාදීන් කියන්නේ පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව ඇති ජීවියාට ඊට උචිත ආකාරයේ අවයව ඇති වුණා කියලයි. ඒත් ඒ උචිත අවයව ඇති වුණේ කොහොමද කියලා කවුරුත් කියන්නෑ. ඒ ප්‍රශ්නෙට පරිණාමවාදීන්ට උත්තරයක් නෑ කියලා ගොඩක් විද්‍යාඥයන් පිළිගන්නවා. සත්ව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් දවසක් මට කිව්වා එයා පරිණාමවාදයේ කිසිම න්‍යායක් විශ්වාස කරන්නෑ කියලා. ඒත් එයා රස්සාව නැතිවෙයි කියන භයටයි ප්‍රසිද්ධියේ ඒ ගැන කියන්නැත්තෙ.

දෙවියන් ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න පරිසරය ගැන දැනුම උදව් වෙනවද?

ඔව්. මං අධ්‍යයනය කළේ සතුන් හා ගහකොළ අතර තියෙන සහජීවනය ගැන. මිහිපිට තියෙන හැම දෙයක්ම තව දෙයක් මත යැපෙනවා. උදාහරණෙකට මලකුයි මී මැස්සෙකුයි අතර තියෙන සහජීවනය බලන්න. මලක පාට, සුවඳ, පැණි වගේම හැඩය ඒ විදිහට නිර්මාණය කරලා තියෙන්නෙ මී මැස්සාව ආකර්ෂණය කරගන්න. මී මැස්සාව නිර්මාණය කරලා තියෙන්නෙ පැණි බීලා පරාග සංසේචනය සඳහා තව මලකට පරාග ගෙනියන්න. ඒකෙන් පේනවා මී මැස්සයි මලයි නිර්මාණය කරලා තියෙන්නෙ එකිනෙකා මත යැපෙන්න කියලා.

යථා තත්වයට පත් වෙන්න ජෛව පද්ධතියට තියෙන හැකියාව ගැන හිතද්දී ජීවීන්ව නිර්මාණය කෙරුවෙ දෙවියන් කියන එක මට හොඳටම තහවුරු වුණා

පරිසර පද්ධතියක් කියන්නෙ සත්තු, ගහකොළ, බැක්ටීරියා සහ දිලීර වර්ග දහස් ගාණක් තියෙන තැනක්. ඒ තුළ සහජීවනය මහා පරිමාණයෙන් දකින්න පුළුවන්. උදාහරණෙකට සත්තු, ආහාර සහ ඔක්සිජන් සඳහා ගහකොළ මත යැපෙද්දී හුඟක් මල් පිපෙන ශාක සත්තු මත යැපෙනවා. පරිසර පද්ධතිය හරිම සංකීර්ණ වුණත් විනාශ වී යාමේ අවදානමක් තිබුණත් තව අවුරුදු මිලියන ගාණක් පැවතීමේ හැකියාවක් තියෙනවා. දූෂණය නිසා පරිසරයට යම් හානි සිදු වුණත් ඒ දූෂණය ඉවත් වූ ගමන්ම පරිසරය ආයෙත් යථා තත්වයට පත් වෙනවා. ජෛව පද්ධතියේ තියෙන ඒ හැකියාව ගැන හිතද්දී ජීවීන්ව නිර්මාණය කෙරුවේ දෙවියන් කියලා මට හොඳටම තහවුරු වුණා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න හිතුවෙ ඇයි?

මිනිස්සු පරිසරයට කරන විනාශය දැක්කම මට ලොකු වේදනාවක් ඇති වුණා. පරිසරයට නැවත යථා තත්වයට පත් වෙන්න හැකියාවක් තිබුණත් දිගින් දිගටම හානි කළොත් ඒක විනාශ වෙන්න පුළුවන්. දෙවියන් ‘පොළොව විනාශ කර දමන අයව විනාශ කරනවා’ කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් මං දැනගත්තා. ඒ වචන ටික මට ලොකු සහනයක් වුණා. (එළිදරව් 11:18) ඒ වගේම මම බයිබලය ඉගෙනගද්දී ටිකෙන් ටික තේරුම්ගත්තා ඒකෙ තියෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා.

මං ඉගෙනගත්ත දේවල් අනිත් අයට කියන්න මට තිබ්බේ ලොකු උවමානවක්. විද්‍යාඥයන් කිහිපදෙනෙක්ට මං බයිබලේ තියෙන දේවල් උගන්නලා තියෙනවා. අවුරුදු 55දී මං විශ්‍රාම ගත්තා. කලින්ම මං එහෙම විශ්‍රාම ගත්තෙ විශ්වයේ නිර්මාතෘ ගැනත් පොළොව සම්බන්ධයෙන් ඔහුගේ අරමුණු ගැනත් අනිත් අයට කියලා දෙන්න වැඩි කාලයක් ගත කරන්නයි.