Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්: මිනිසුන්ව බියගැන්වූ ලෝකාන්තිමය කෝ?

ලෝකාන්තිමය නොදත් දේ දැනගන්න

ලෝකාන්තිමය නොදත් දේ දැනගන්න

පැරණි මායා දිනදර්ශනයකින් හොයාගත්ත තොරතුරු නිසා හුඟදෙනෙක් හිතුවා 2012 දෙසැම්බර් 21වෙනිදා ලෝකයට මොකක් හරි ලොකු විනාශයක් සිද්ධ වෙයි කියලා. ඒ වගේ දෙයක් වෙයි කියලා ඔයත් හිතුවද?

බයිබලයෙත් ‘ලෝකාන්තිමයක්’ ගැන සඳහන් වෙනවා. (මතෙව් 24:3 පැරණි අනුවාදය) සමහර අය හිතන්නේ ලෝකාන්තිමයේදී මේ මුළු පොළොවම ගින්නෙන් විනාශ වෙලා යයි කියලා. ඒ නිසා එයාලා ඉන්නේ භයෙන්. ඒ වගේම ලෝකාන්තිමයේදී මොකක් වෙයිද කියලා දැකගන්න ආසාවෙන් බලාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. තව බොහෝදෙනෙක්ට නම් ලෝකාන්තිමය එනකම් බලාගෙන ඉඳලා ඉඳලා දැන් ඇති වෙලා.

හැබැයි ලෝකාන්තිමය ගැන ඇත්තටම බයිබලයේ කියලා තියෙන්නේ මොකක්ද කියලා දැනගත්තොත් ඔයාට පුදුම හිතෙයි. ඒ ගැන දැනගත්තම ලෝකාන්තිමය ගැන තියෙන භය නැති කරගන්නත් හිතපු දවසේ ඒක ආවේ නෑ කියලා කලකිරෙන්නේ නැතුව ඉන්නත් ඔයාට පුළුවන්. දැන් අපි ලෝකාන්තිමය ගැන හුඟදෙනෙක් අහන ප්‍රශ්න කීපයකට පිළිතුරු බයිබලයෙන් බලමු.

මේ පොළොව ගින්නෙන් විනාශ වෙලා යයිද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි: ‘දෙවි පොළොව ස්ථිර ලෙස පිහිටෙව්වේය. එය කිසිදා නොසෙල්වෙන අයුරින් සෑදුවේය.’ගීතාවලිය 104:5.

මේ පොළොව ගින්නෙන්වත් වෙන කිසිම විදිහකින්වත් කවදාවත් විනාශ වෙන්නේ නැහැ. මොකද මේ පොළොව තමයි හැමදාටම මිනිසුන්ගේ නිවහන. බයිබලයේ ගීතාවලිය 37:29 මෙහෙම කියලා තියෙනවා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 115:16; යෙසායා 45:18.

පොළොව නිර්මාණය කළාට පස්සේ ‘සියල්ල ඉතා හොඳින් තිබුණා’ කියලා දෙවියන් පැවසුවා. (උත්පත්ති 1:31) අදටත් මේ පොළොව ගැන ඔහුට හැඟෙන්නේ ඒ විදහටමයි. ඒ නිසා දෙවියන් කවදාවත් මේ පොළොව විනාශ කරන්නේ නැහැ. ඒ වෙනුවට දෙවියන් ‘පොළොව විනාශ කර දමන අයව විනාශ කරලා’ පෘථිවිය රැකගන්නවා.—එළිදරව් 11:18.

එහෙමනම් “දැන් පවතින අහසත් පොළොවත් වෙන් කර තිබෙන්නේ ගින්නෙන් දවාලීම සඳහා” කියලා බයිබලයේ කියන්නේ ඇයි? (2 පේතෘස් 3:7) ඒකෙන් අදහස් වෙන්නේ ඇත්තටම මේ පොළොව ගින්නෙන් විනාශ වෙනවා කියලා නෙමෙයි. බයිබලයේ සමහර අවස්ථාවලදී “අහස,” “පොළොව,” “ගින්න” ගැන සඳහන් කරලා තිබුණට ඒවායින් වෙනත් දෙයක් නියෝජනය වෙන්නත් පුළුවන්. උදාහරණයකට, බයිබලයේ එක තැනක “පොළොව ප්‍රීති වේවා” කියලා සඳහන් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ පෘථිවිය ප්‍රීති වෙනවා කියන එක නෙමෙයි ඒකෙ ඉන්න මිනිසුන් ප්‍රීති වෙනවා කියන එකයි.—ගීතාවලිය 97:1.

ඒ වගේම මේ ගැනත් හිතන්න. බයිබලයේ කියනවා පුරාණයේදී අහසයි පොළොවයි ජලගැල්මකින් විනාශ වුණා කියලා. (2 පේතෘස් 3:5, 6) හැබැයි අපි දන්නවා නෝවාගේ කාලයේදී සිදු වුණු මහා ජලගැල්මේදී අහසයි පොළොවයි විනාශ වුණේ නැහැ කියලා. ඇත්තටම විනාශ වුණේ පොළොවේ ජීවත් වුණු නරක මිනිසුන්. “පොළොව” විනාශ වුණා කියන එකෙන් අදහස් වෙන්නේ ඒකයි. “අහස” විනාශ වුණා කියන එකෙන් අදහස් වෙන්නේ මිනිසුන්ව පාලනය කරපු අයත් ඒ ජලගැල්මෙන් විනාශ වුණා කියන එකයි. (උත්පත්ති 6:11) ඒ නිසා ගින්නෙන් අහසයි පොළොවයි විනාශ වෙනවා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ පොළොවේ ජීවත් වෙන දුෂ්ට මිනිසුන් හා දූෂිත ආණ්ඩු සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා කියන එකයි. හරියට ගින්නෙන් යමක් පිලිස්සී යනවා වගේ.

ලෝකාන්තිමය කියන්නේ මොකක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි: “මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යන්නේය. නමුත් සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය.”—1 යොහන් 2:17.

‘ලෝකය නැති වෙලා යනවා’ කියන එකෙන් අදහස් කරන්නේ දෙවි අකමැති දේවල් කරන අයගේ විනාශය මිසක් පෘථිවියේ විනාශය නෙමෙයි. පිළිකාවලට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් රෝගියාගේ ජීවිතය රැකගන්න පිළිකා සෛල මරලා දානවා වගේ දෙවියනුත් පොළොවේ ඉන්න දුෂ්ට මිනිසුන්ව විනාශ කරලා යහපත් මිනිසුන්ට මේ පොළොවේ ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙනවා. (ගීතාවලිය 37:9) ඒ අතින් බලද්දී ලෝකාන්තිමය කියන්නේ භය වෙන්න ඕන දෙයක් නෙමෙයි.

සමහර බයිබල්වල ලෝකාන්තිමය කියනවා වෙනුවට ‘පවතින සමාජයේ අවසානය’ කියලත් සඳහන් වෙනවා. (මතෙව් 24:3) දැන් තියෙන දුෂ්ට මිනිස් සමාජය විනාශ වුණාට පස්සේ පොළොවේ ඉතුරු වෙන්නේ දෙවියන් කැමති විදිහට ජීවත් වෙන යහපත් මිනිසුන් විතරයි. ඒක හරියට නව යුගයක ආරම්භයක් වගෙයි. බයිබලයේ ‘මතු පැමිණෙන කාලය’ කියලා යොමු දක්වන්නේ ඒ අලුත් යුගයටයි.—ලූක් 18:30.

ඒ කාලය ‘සියල්ල අලුත් කරන කාලය’ හැටියටත් බයිබලයේ හඳුන්වලා තියෙනවා. (මතෙව් 19:28) එහෙම හඳුන්වලා තියෙන්නේ දෙවියන් මිනිස් වර්ගයාට ලබා දෙන්න බලාපොරොත්තු වුණු ජීවිතය එදාට නැවත ලබා දෙන්න පියවර ගන්න හින්දයි. ඒ කාලයේදී . . .

  • මේ පොළොව උයනක් වගේ ලස්සන තැනක් වෙනවා. එදාට හැමෝටම සුරක්ෂිතව සතුටින් ජීවත් වෙන්න පුළුවන්.—යෙසායා 35:1; මීකා 4:4.

  • වෙහෙස මහන්සි වෙලා කරන වැඩවලින් අපි නියම සතුට අද්දකිනවා.—යෙසායා 65:21-23.

  • කිසිම කෙනෙක් ලෙඩ වෙන්නේ නැහැ.—යෙසායා 33:24.

  • මහලු අය ආපහු තරුණ වෙනවා.—යෝබ් 33:25.

  • මිය ගිහින් ඉන්න අයට දෙවියන් යළි ජීවිතය දෙනවා.—යොහන් 5:28, 29.

අපි ‘දෙවියන් කැමති විදිහට’ ජීවත් වෙනවා නම් ලෝකාන්තිමය ගැන භය වෙන්න කිසිම හේතුවක් නැහැ.

ලෝක විනාශය ළඟදිම වෙයිද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි: “ඔබ මේ දේවල් සිදු වෙනවා දකින විට දෙවිගේ රාජ්‍යය ළඟ බව දැනගන්න.”ලූක් 21:31.

“හිතාගන්න බැරි අමුතු අමුතු දේවල් වෙද්දී ලෝක විනාශයක් අත ළඟයි කියලා මිනිස්සු නිගමනය කරනවා” කියලා ආචාර්ය රිචඩ් කයිල් එක පොතක සඳහන් කරලා තියෙනවා.—The Last Days Are Here Again.

බයිබල් ලේඛකයන් ලෝකාන්තිමය ගැන බයිබලයේ තොරතුරු වාර්තා කළේ මීට බොහෝ කාලෙකට කලින්. ඒ තොරතුරු බයිබලයේ වාර්තා කරන්න ඒ අයට දෙවියන් මඟ පෙන්නුවේ ඔහුගේ බලය මාර්ගයෙන්. විනාශය ළං වෙද්දී මේ පොළොවේ සිද්ධ වෙනවා කියලා ඔවුන් වාර්තා කරපු සමහර දේවල් දැන් අපි බලමු. ඒවා අපි ජීවත් වෙන මේ කාලයේ සිද්ධ වෙනවාද කියලා කල්පනා කරලා බලන්න. ලෝකාන්තිමය ළං වෙද්දී . . .

  • යුද්ධ, සාගත, භූමිකම්පා හා දරුණු වසංගත ඇති වෙනවා.—මතෙව් 24:7; ලූක් 21:11.

  • අපරාධ එන්න එන්නම වැඩි වෙනවා.—මතෙව් 24:12.

  • මිනිසුන් මේ පොළොව විනාශ කරනවා.—එළිදරව් 11:18.

  • මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් හිතන්නේ තමන් ගැනම විතරයි. ඔවුන් මුදලට කෑදරයි. දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වනවා.—2 තිමෝති 3:2, 4.

  • පවුල් ජීවිත බිඳ වැටෙනවා.—2 තිමෝති 3:2, 3.

  • කොච්චර සාක්ෂි තිබුණත් මිනිසුන් විනාශය ළඟයි කියන එක ගැන කිසි තැකීමක් කරන්නේ නැහැ.—මතෙව් 24:37-39.

  • දේවාණ්ඩුව ගැන ශුභාරංචිය ලොව පුරාම ප්‍රකාශ කරනවා.—මතෙව් 24:14.

“මේ සියල්ල දකින විට” විනාශය අත ළඟ බව තේරුම්ගන්න කියලා යේසුස් කිව්වා. (මතෙව් 24:33) විනාශය ළං වෙද්දී සිදු වෙනවා කියලා බයිබලයේ සඳහන් වෙලා තියෙන දේවල් අද ඒ විදිහටම සිද්ධ වෙන නිසා අපි ජීවත් වෙන්නේ විනාශය අද්දර කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් රටවල් 236කම ඒ ගැන නොකඩවා දැනුම් දෙනවා.

හිතපු දවසේ විනාශය ආපු නැති එකෙන් අදහස් කරන්නේ ඒක කවදාවත් වෙන්නේ නැහැ කියලද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි: “ඒ අනුව ඔවුන්, ‘මෙන්න, සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා’ කියා පවසමින් සිටින විට ගැබිනි මවකට ප්‍රසව වේදනාව ඇති වන්නා සේ නොදැනුවත්වම හදිසි විනාශයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. එයින් ඔවුන් කිසි ලෙසකින්වත් ගැලවෙන්නේ නැත.”1 තෙසලෝනික 5:3.

ගැබිනි මවකට ප්‍රසව වේදනාව ඇති වෙන්නේ නොහිතන මොහොතකයි. ඒ හා සමානව විනාශය සිදු වෙන්නෙත් නොහිතන මොහොතකයි. සමහරවිට වෛද්‍යවරයා කිව්ව දවසෙම දරුවා බිහි නොවුණත් එයා බිහි වෙන දවස අත ළඟ බව තමා අද්දකින දේවල් නිසා මව හොඳින්ම දන්නවා. දරුවා අනිවාර්යයෙන්ම බිහි වෙනවා. ඒ හා සමානව විනාශය සිද්ධ වෙනවා කියලා හිතපු දවසේ ඒක වුණේ නැතත් ඒක අනිවාර්යයෙන්ම වෙනවා කියලා අපි දන්නවා. මොකද විනාශය ළං වෙද්දී සිද්ධ වෙනවා කියලා බයිබලයේ සඳහන් වෙලා තියෙන හැම දෙයක්ම අද ඒ විදිහටම සිද්ධ වෙනවා.—2 තිමෝති 3:1.

එහෙමනම් විනාශය ළඟයි කියලා මිනිස්සු විශ්වාස කරන්නේ නැත්තේ ඇයි කියලා ඔයා හිතනවා ඇති. ඒකට හේතුවත් බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. මේ කාලේ ජීවත් වෙන වැඩිදෙනෙක් හිතන්නේ මෙහෙමයි. “මේ ලෝකය සෑදූ දා පටන් කිසි දෙයක් කිසි ලෙසකින්වත් වෙනස් වී නැත.” (2 පේතෘස් 3:3, 4) ඒකෙන් තේරෙන්නේ විනාශය ළඟයි කියලා විශ්වාස කරන්න කොච්චර සාක්ෂි තිබුණත් හුඟදෙනෙක් ඒවා එච්චර ගණන් ගන්නේ නැහැ කියලයි. (මතෙව් 24:38, 39) මොකද සමාජයේ සිද්ධ වෙන දේවල් ඉස්සරට වඩා දැන් දරුණුයි කියලා ඔවුන් හිතන්නේ නැහැ. ඒ වගේම විනාශයක් ළඟයි කියලා විශ්වාස කරන අයටත් ඔවුන් සමච්චල් කරනවා.

අපි මේ ලිපියෙන් සලකලා බැලුවේ විනාශය ළඟයි කියලා තේරුම්ගන්න උදව් වෙන බයිබලයේ තියෙන සාක්ෂි කීපයක් විතරයි. * ඒ ගැන තියෙන තවත් සාක්ෂි දැනගන්න ඔයා කැමතිද? එහෙමනම් බයිබලයේ තියෙන දේවල් ගැන තව දැනගන්න ඔයා කැමතියි කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට කියන්න. ඔයාගේම ගෙදරදී හරි ඔයාට පහසු වෙනත් තැනකදී හරි නැත්නම් දුරකතනයෙන් හරි බයිබලයේ තියෙන දේවල් ගැන ඔයාට ඒ අය එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඒ සඳහා කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඔයාගේ කාලයෙන් බිඳක් ඒ වෙනුවෙන් දුන්නොත් ඔයාට ප්‍රයෝජන හුඟක් ලැබෙයි.

^ 39 ඡේ. වැඩි විස්තර දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පළ කර තිබෙන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු කියන පොතේ 9වෙනි පරිච්ඡේදය බලන්න. ඒකේ මතෘකාව “අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’”