Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන්

මිනිසුන් කරන හානිය කවදා හෝ නතර වෙයිද?

මිනිසුන් කරන හානිය කවදා හෝ නතර වෙයිද?

“පරම්පරාවක් පහව යයි. තවත් පරම්පරාවක් බිහි වෙයි. එහෙත් පොළොව සදහටම පවතියි.”—සලමොන් රජ, ක්‍රි.පූ. 11වෙනි සියවසේදී. *

මිනිසුන්ගේ කෙටි ආයු කාලයත් පෘථිවියේ ආයු කාලයත් අතර වෙනස අහසට පොළොව වගෙයි. අවුරුදු දහස් ගණන් පුරා පරම්පරා බිහි වෙනවා. පරම්පරා පහ වෙනවා. ඒත් මේ පෘථිවි නිවහන හැමදාටම පවතිනවා. බයිබල් ලේඛකයෙක්ට හැඟුණේ ඒ විදිහටයි. හැබැයි දැන් පෘථිවි නිවහන හානියට ලක් වෙලා!

2වෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ ආරම්භ වුණ කාලපරිච්ඡේදය සමහර අය හැඳින්නුවේ ලොකු වෙනස්කම් ශීඝ්‍රයෙන් ඇති වුණ කාලපරිච්ඡේදයක් කියලයි. අවුරුදු 70ත් 80ත් අතර කාලයකදී ප්‍රවාහණය, සන්නිවේදනය සහ වෙනත් තාක්ෂණික ක්‍රම අතින් විශාල දියුණුවක් ලැබිලා තියෙන නිසා ආර්ථික ප්‍රගතියක් අද්දැකලා තියෙනවා. හුඟක් අයගේ ජීවන මට්ටමත් ඉහළ ගිහින්. ජනගහනයත් තුන් ගුණයකින් විතර වැඩි වෙලා.

ඒ හැම දියුණුවක්ම ලබාගෙන තියෙන්නේ පෘථිවියට හානි කරලයි. ඒක මොන තරම්ද කියනවා නම් වැඩි කාලයක් යන්න කලින් භෞතික චක්‍ර පවා හරියට ක්‍රියාත්මක නොවෙන්න ඉඩ තියෙනවා. සමහර විද්‍යාඥයන් කියන්නේ මේ යුගය මිනිස් ඉතිහාසයේ වෙන කිසිම කාලයකට වඩා පෘථිවියට හානි කරන යුගයක් කියලයි.

මිනිසුන් “පොළොව විනාශ කරන” කාලයක් එනවා කියලා බයිබලයෙත් කියනවා. (එළිදරව් 11:18) අපි ඉන්නේ ඒ වගේ කාලයක නම් තව කොච්චර හානියක් වෙයිද, පිළිසකර කරන්න බැරි තරමටම හානි වෙයිද කියලා සමහරු හිතයි.

 පිළිසකර කරන්න බැරි තරමටම හානි වෙයිද?

මිනිසුන් කරලා තියෙන හානිය නිසා අනාගතයේදී ඇති වන බලපෑම හරියටම කියන්න බැහැ කියලා සමහර විද්‍යාඥයන් කියනවා. ඒත් දේශගුණික විපර්යාස නිසා මිනිසුන්ට දරුණු ව්‍යසනවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා ඔවුන් හිතනවා.

උදාහරණයකට බටහිර ඇන්ටාක්ටිකාවල තියෙන අයිස් තට්ටු ගැන හිතන්න. දිගටම ගෝලීය උණුසුම පැවතුණොත් අයිස් තට්ටු දිය වෙන එක නවත්තන්න බැහැ කියලා සමහරු හිතනවා. හිරු එළිය සාමාන්‍යයෙන් අයිස් තට්ටුවලට පතිත වුණාම නැවත පරාවර්තනය වෙනවා. ඒත් අයිස් තට්ටු තුනී වෙලා ප්‍රමාණයෙන් කුඩා වෙද්දී සාගර ජලය හිරු එළියට නිරාවරණය වෙනවා. සාගර ජලය උණුසුම් වෙන්න පටන්ගනිද්දී අයිස් තට්ටු තව තවත් දිය වෙනවා. ඒ වගේ පාලනයෙන් තොර තත්වයක් හටගත්තොත් අයිස් දියවීමෙන් සාගර ජල මට්ටම ඉහළ යන නිසා මිනිස් ජීවිත මිලියන ගණනක් අනතුරේ.

පාරිසරික අර්බුදය

පෘථිවියට සිද්ධ වෙලා තියෙන අනතුරුදායක තත්වයට විසඳුම් හොයන්න නොයෙක් ක්‍රම දියත් කරලා තියෙනවා. එක ක්‍රමයක් නම්, පොළොවට දරාගන්න පුළුවන් විදිහට ආර්ථිකය සංවර්ධනය කරන එක හා මිනිසුන්ට අවශ්‍ය දේවල් පාලනයක් ඇතුව සපුරන එකයි. සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවාද?

මිනිසුන් පරිසරයට කරන හානිය නිසා ස්වාභාවික සම්පත් එන්න එන්නම අඩු වෙනවා. පෘථිවියට සම්පත් සපයන්න තියෙන හැකියාවට වඩා වැඩි ප්‍රමාණයක් මිනිසුන් ඒවා භාවිතයට ගන්නවා. විද්‍යාඥයෙක් මේ වගේ දෙයක් කිව්වා. “පෘථිවියට හානියක් කරන්නේ නැතුව සම්පත් පාවිච්චි කරන විදිහ ගැන අපිට හරිහැටි අවබෝධයක් නැහැ.” මේ තත්වය හා සමාන දෙයක් ගැන බයිබලයෙත් කියනවා. මිනිසාට ‘තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට හැකියාවක් නැහැ.’යෙරෙමියා 10:23.

ඒත් පෘථිවිය නිර්මාණය කරපු දෙවියන් පෘථිවිය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න මිනිසුන්ට ඉඩ දෙන්නේ නැහැ. බයිබලයේ ඒ ගැන මෙහෙම සහතික කරලා තියෙනවා. “පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය.” (ගීතාවලිය 115:16) පෘථිවිය අපේ ස්වර්ගික පියාණන්ගෙන් අපිට ලැබුණු “යහපත් දීමනාවක්.” (යාකොබ් 1:17) සමහර දේවල කල් ඉකුත් වෙන දිනයක් තිබුණත් දෙවි දීපු ඒ තෑග්ගේ කල් ඉකුත් වෙන්නේ නැහැ. පෘථිවිය සදාකාලයටම පවතිනවා කියන එක ඒක නිර්මාණය කරලා තියෙන විදිහෙන් පැහැදිලියි.

 නිර්මාතෘගේ අරමුණ

බයිබලයේ උත්පත්ති පොතේ පෘථිවිය නිර්මාණය කරපු විදිහ ගැන විස්තරාත්මකව සඳහන් කරලා තියෙනවා. මුලින්ම “පොළොව හිස්ව, පාළුව” තිබුණා කියලත් “අන්ධකාරය” තිබුණා කියලත් සඳහන් වෙනවා. ඒත් ජීවීන්ට අත්‍යවශ්‍ය දෙයක් වන “ජලයත්” තිබුණා. (උත්පත්ති 1:2) ඊටපස්සේ දෙවියන් “ආලෝකය ඇති” කළා. (උත්පත්ති 1:3) සූර්ය කිරණ වායුගෝලය හරහා පොළොවට මුලින්ම පතිත වුණේ එතකොටයි. ඊටපස්සේ දෙවියන් වියළි බිමත් මුහුදත් වෙන් කළා. (උත්පත්ති 1:9, 10) “තණකොළද ඒ ඒ බීජ වර්ගයට අනුව බෝ වන පැළෑටිද පල දරන ගස්ද හටගත්තේ” ඊටපස්සෙයි. (උත්පත්ති 1:12) ප්‍රභාසංස්ලේෂණය ඇතුළු පොළොවේ ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය හැම දේමත් භෞතික චක්‍රත් ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා. මේ තරම් සුවිශේෂී ආකාරයකට පොළොව නිර්මාණය කළේ ඇයි?

යෙසායා කියන බයිබල් ලේඛකයා යෙහෝවා දෙවියන් ගැන මෙහෙම කිව්වා. ‘දෙවියන් පොළොව නිර්මාණය කර එය ස්ථිර ලෙස පිහිටෙව්වා. ඔහු පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහායි.’ (යෙසායා 45:18) දෙවියන් පොළොව නිර්මාණය කළේ මිනිසුන් සදාකාලයටම ඒකේ ජීවත් වෙනවා දකින්නයි.

කනගාටුවට කරුණක් නම්, දෙවියන් දුන්න මේ ලස්සන පොළොව මිනිසුන් විනාශ කරන එකයි. ඒත් දෙවියන්ගේ අරමුණ වෙනස් වෙලා නැහැ කියලා මේ වදන්වලින් පැහැදිලියි. “මනුෂ්‍යයන් බොරු කීවත් දෙවි කිසිදාක බොරු කියන්නේ නැත. මනුෂ්‍යයන් තමන් ගත් තීරණ ගැන පසුතැවෙන නමුත් දෙවි තම තීරණ ගැන පසුතැවෙන්නේ නැත. දෙවි යමක් කීවොත් එය ඉටු කරන්නේය.” (ගණන් කතාව 23:19) එහෙමනම් දෙවියන් පොළොව විනාශ කරන්න දිගටම ඉඩ දෙන්නේ නැහැ. ඔහු “පොළොව විනාශ කර දමන අයව විනාශ කරන” කාලය ඉතා ළඟයි.එළිදරව් 11:18.

අපේ සදාකාලික නිවහන

යේසුස් කන්ද උඩ දේශනයේදී මෙහෙම කිව්වා. “මෘදු ගුණැති අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ට පොළොව උරුම වෙයි.” (මතෙව් 5:5) ඒ දේශනයේදීම යේසුස් මේ පොළොව ආරක්ෂා වෙන විදිහ ගැනත් කිව්වා. ඔහු ගෝලයන්ට ඉගැන්නුවේ “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියලා යාච්ඤා කරන්න කියලයි. ඇත්තෙන්ම දෙවියන්ගේ කැමැත්ත මේ පොළොවේ සිද්ධ වෙන්නේ දේවරාජ්‍යය මගිනුයි.මතෙව් 6:10.

 දේවරාජ්‍යයෙන් කරන වෙනස්කම් ගැන දෙවියන් මෙහෙම කිව්වා. “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි.” (එළිදරව් 21:5) ඒකෙන් අදහස් කළේ දැන් තියෙන පොළොව විනාශ කරලා අලුත් එකක් නිර්මාණය කරනවා කියන එකද? නැහැ. අපි ජීවත් වෙන මේ පොළොව විනාශ කරන්න හේතුවක් නැහැ. ඒත් “පොළොව විනාශ කර දමන අයව” ඒ කියන්නේ අද ඉන්න දුෂ්ට සමාජය ඇතුළු සියලු මිනිස් ආණ්ඩු දෙවියන් විනාශ කරනවා කියන එකයි. ඔහු “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” පිහිටුවනවා. අලුත් අහසෙන් අදහස් කරන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන දේවරාජ්‍යයි. අලුත් පොළොවෙන් අදහස් කරන්නේ දේවරාජ්‍යය යටතේ ජීවත් වෙන මිනිස් සමාජයයි.එළිදරව් 21:1.

මිනිසුන් පරිසරයට කරලා තියෙන හානිය දෙවියන් පිළිසකර කරනවා. ඒ ගැන බයිබල් ලේඛකයෙක් විස්තර කළේ මෙහෙමයි. “පොළොවේ පලදාව බොහෝ සෙයින් වැඩි වීම සඳහා ඔබ එයට ආශීර්වාද කර ඇත. ඔබ එය සාරවත් කර ඇත.” එදාට දේශගුණික විපර්යාස නැහැ. ආහාර බහුලව තියෙනවා. වඩාත්ම වැදගත් දේ වන දෙවියන්ගේ ආශීර්වාදයත් නොඅඩුව ලැබෙනවා. මුළු පොළොවම පාරාදීසයක් වෙනවා.ගීතාවලිය 65:9-13.

ඉන්දියාවේ හිටපු නායකයෙක් වන මොහන්දාස් ගාන්ධි කිව්ව දෙයක් ඔහුගේ ලේකම් වන පියාරේලාල් මෙහෙම සඳහන් කළා. “හැම කෙනෙක්ගෙම අවශ්‍යතාව සපුරන්න මේ පොළොවට හැකියාව තිබුණත් තණ්හාව සංසිඳවන්න හැකියාවක් නැහැ.” දේවරාජ්‍යය යටතේ ඉන්න මිනිසුන්ට ඒ අයගේ ආකල්ප වෙනස් කරගන්න උදව් කරනවා. ඒ නිසා එදාට මිනිසුන් අනිත් අයටවත් පොළොවටවත් “හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත් විනාශයක් සිදු කරන්නේවත් නැහැ.” (යෙසායා 11:9) මිලියන ගණන් ජනයා මේ වෙනකොටත් දෙවියන්ගේ උසස් ප්‍රමිති ඉගෙනගන්නවා. දෙවියන්ට හා අසල්වැසියන්ට ප්‍රේම කරන්නත් තමන්ට ලැබිලා තියෙන දේවල්වලට ස්තුතිවන්ත වෙන්නත් ඔවුන්ට උගන්වනවා. ඒ විතරක් නෙමෙයි පොළොව සම්බන්ධයෙන් දෙවියන්ට තියෙන අරමුණට එකඟව ක්‍රියා කරන්නත් පාරිසරික සම්පත් රැකබලා ගන්නත් ඔවුන් ඉගෙනගන්නවා. අනාගතයේදී පාරාදීස පොළොවේ ජීවත් වෙන්න ඔවුන් දැන් ඉඳන්ම පුහුණුවක් ලබනවා.දේශනාකාරයා 12:13; මතෙව් 22:37-39; කොලොස්සි 3:15.

මේ පොළොව සම්පූර්ණයෙන් විනාශ කරන්න දෙවියන් කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ

උත්පත්ති පොතේ විශ්වයේ නිර්මාණය ගැන සඳහන් වාර්තාව අවසන් වෙන්නේ මෙහෙමයි. “දෙවි තමා සෑදූ සියල්ල දෙස බැලුවේය. ඒ සියල්ල ඉතා හොඳින් සාදා තිබුණු බව ඔහු දුටුවේය.” (උත්පත්ති 1:31) දෙවියන් මේ තරම් ලස්සනට නිර්මාණය කරපු පොළොව සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ. අපේ පෘථිවි නිවහනට හානියක් වෙන්නේ නැහැ කියලත් ඒකේ නිර්මාතෘ ඒක ආරක්ෂා කරනවා කියලත් දැනගෙන ඉන්න එක මොන තරම් සැනසීමක්ද! ඔහු මෙහෙම පොරොන්දු වෙනවා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.” (ගීතාවලිය 37:29) ඔබටත් ඒ අය අතරේ ඉන්නත් මේ පොළොව ඔබේ සදාකාලික නිවහන කරගන්නත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

^ 3 ඡේ. බයිබලයේ දේශනාකාරයා 1:4න්.