Skip to content

පටුනට යන්න

දහඅටවෙනි පරිච්ඡේදය

‘මරියා වැදගත් දේ සිතේ තබාගත්තා’

‘මරියා වැදගත් දේ සිතේ තබාගත්තා’

1, 2. මරියා ගමන් කරන්නේ කොහේටද? ඇයට එය දුෂ්කර ගමනක් වුණේ ඇයි?

මරියා සහ යෝසෙප් දැන් ගමන් කරන්නේ බෙත්ලෙහෙම දෙසටයි. ගැබ්බරව සිටින මරියාට බූරුවෙකු පිට යන මේ ගමන ඉතා වෙහෙසකර එකක් වෙන්න ඇති. ඔවුන් මේ ගමන අරඹා දැනටමත් පැය ගණනාවක් ගෙවී තිබෙනවා. ගමන අතරතුරේදී තම කුසේ සිටින දරුවා විටින් විට දඟලන අයුරුත් ඇයට දැනෙනවා.

2 මරියාට මේ ගමන එතරම් දුෂ්කර එකක් වෙන්නේ ‘දරුවාව ප්‍රසූත කිරීමේ කාලය ළඟා වී තිබුණු’ නිසයි. (ලූක් 2:5) බෙත්ලෙහෙමට යන අතරතුරේදී ඔවුන්ට බොහෝ කෙත්වතු පසු කර යෑමට සිදු වෙනවා. ගැබිනි මවක් මෙවන් ගමනක නියැලෙන්නේ ඇයි කියා ඒ කෙත් වතුවල සිටි ගොවියන් සමහරවිට කල්පනා කරන්න ඇති. ඇත්තෙන්ම නාසරෙත්හි විසූ මරියා දුරකතර ගෙවාගෙන බෙත්ලෙහෙම බලා යන්නේ ඇයි?

3. මරියාට ලැබුණු විශේෂ වරප්‍රසාදය කුමක්ද? අපි සලකා බලන්නේ කුමක් ගැනද?

3 මීට මාස ගණනාවකට කලින් මරියාට යෙහෝවා දෙවිගෙන් විශේෂ වරප්‍රසාදයක් ලැබී තිබුණා. ගැලවුම්කරු වූ දෙවිගේ පුත්‍රයාව මෙලොවට බිහි කිරීමට දෙවි තෝරාගෙන තිබෙන්නේ ඇයවයි. (ලූක් 1:35) නමුත් බලාපොරොත්තු නොවූ ලෙස දරුවාව ප්‍රසූත කිරීමට ආසන්නව සිටියදී මරියාට බෙත්ලෙහෙම බලා යෑමට සිදු වෙනවා. මේ ගමනේදී මරියාට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණත් ඇය දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටියේ කෙසේද කියා අපි බලමු.

බෙත්ලෙහෙම බලා යයි

4, 5. (අ) යෝසෙප් සහ මරියා බෙත්ලෙහෙමට යන්නේ ඇයි? (ආ) සීසර්ගේ නියෝගය මඟ පෑදුවේ කුමන අනාවැකියක ඉටු වීමටද?

4 යෝසෙප් හා මරියා මෙන් තවත් විශාල පිරිසක් තමන්ගේ උපන් ප්‍රදේශ බලා ගමන් කරනවා. එයට හේතුව සියලුදෙනාම ලියාපදිංචි විය යුතු බවට ඔගස්ටස් සීසර් නියෝගයක් පනවා තිබීමයි. ඒ අනුව යෝසෙප්ද තමන්ගේ උපන් ගම බලා පිටත් වූ බව බයිබලයේ සඳහන් වෙනවා. “යෝසෙප්ද දාවිත්ගේ පෙළපතින් පැමිණි කෙනෙක් වූ නිසා ඔහු ගලීලයේ පිහිටි නාසරෙත් නුවරින් පිටත් වී යුදයේ පිහිටි දාවිත්ගේ නුවරට ගියේය. එම නුවර හඳුන්වන්නේ බෙත්ලෙහෙම ලෙසයි.”—ලූක් 2:1-4.

5 මෙය අහම්බෙන් සිදු වූ දෙයක් කියා නම් සිතන්න බැහැ. ගැලවුම්කරු උපත ලබන්නේ බෙත්ලෙහෙමේ බව එය සිදු වීමට අවුරුදු 700කට කලින් අනාවැකියක සඳහන් වුණා. බෙත්ලෙහෙම යන නමින් නගර දෙකක් තිබුණා. ඉන් එක් නගරයක් පිහිටා තිබුණේ නාසරෙත් නුවරේ සිට කිලෝමීටර් 11ක පමණ දුරකින්. නමුත් අනාවැකියේ සඳහන් වුණේ ගැලවුම්කරු ‘බෙත්ලෙහෙම් එෆ්‍රාතාවල’ උපත ලබන බවයි. (මීකා 5:2 කියවන්න.) නාසරෙත් සිට සමාරිය හරහා එහි යෑමට කිලෝමීටර් 130ක පමණ දුරක් තිබුණු අතර එය වැටී තිබුණේ කඳුකර මාර්ගයක් ඔස්සෙයි. යෝසෙප් මේ යන්නේ දාවිත්ගේ මුතුන්මිත්තන්ගේ නගරයටයි. යෝසෙප් හා මරියා යන දෙදෙනාම පැමිණෙන්නේ දාවිත්ගේ පෙළපතින්.

6, 7. (අ) බෙත්ලෙහෙමට යන ගමන මරියාට දුෂ්කර වෙන්න ඇත්තේ ඇයි? (ආ) විවාහයෙන් පසුව මරියා ගත් තීරණ ගැන කියන්න පුළුවන් මොනවාද? (පාදසටහනද බලන්න.)

6 මරියාට මේ ගමන දුෂ්කර වීමට තවත් හේතු බලපෑවා. වියළි කාලය අවසන් වී ශරත් ඍතුව ඇරඹී තිබුණු නිසා විටින් විට පොද වැසි වැටෙන්නත් ඇති. ඒ විතරක් නෙවෙයි බෙත්ලෙහෙම පිහිටා තිබුණේ මුහුදු මට්ටමේ සිට මීටර් 760ක් පමණ ඉහළින් නිසා කඳුකර ප්‍රදේශ පසු කර යෑමටත් සිදු වෙනවා. දැන් මරියා සිටින තත්වය නිසා ඔවුන්ට යම් තැන්වල නැවතී විවේක ගන්නත් සිදු වෙන්න ඇති. ඒ නිසා මේ ගමන යෑම සඳහා ඔවුන්ට සාමාන්‍යයට වඩා වැඩි කාලයක් ගත වෙන්න ඇති. සාමාන්‍යයෙන් දරුවෙක්ව ප්‍රසූත කිරීමට ආසන්නව සිටින ඕනෑම මවක් තමන්ට අවශ්‍ය උපකාරය, සහනය ලබාගැනීම සඳහා තමන්ගේ පවුලේ අය හා හිතමිතුරන් සමඟ සිටීමට කැමති වෙනවා. නමුත් මරියා ඒ සෑම දෙයක්ම පසෙකලා බොහෝ දුර ගමනක් යනවා. ඒ සඳහා ඇයට මොන තරම් එඩිතරකමක් අවශ්‍ය වෙන්න ඇද්ද!

බෙත්ලෙහෙමට යන ගමන දුෂ්කර එකක් වුණා

7 මරියා ඒ වන විට “යෝසෙප් සමඟ විවාහ වී සිටි” නිසා “ලියාපදිංචි වීම සඳහා” ඇය ඔහු සමඟ බෙත්ලෙහෙමට යනවා. (ලූක් 2:4, 5) විවාහ වීමට කලින් ඇය තනි තීරණ ගෙන තිබුණත් දැන් පවුලේ මූලිකයා වන යෝසෙප්ට ඇය පූර්ණ සහයෝගය දෙන බව ඉන් පැහැදිලි වෙනවා. * ඇය දෙවිගේ සැලැස්මට කීකරු වෙන්නේ කැමැත්තෙන්මයි.

8. (අ) යෝසෙප්ට කීකරු වෙමින් මේ ගමන යෑමට මරියාට තවත් හේතු තිබුණාද? (ආ) අපිට ඇගේ ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 යෝසෙප්ට කීකරු වෙමින් මේ ගමන යෑමට මරියාට තවත් හේතු තිබුණාද? ගැලවුම්කරු උපත ලබන ස්ථානය ගැන සඳහන්ව තිබුණු අනාවැකිය ගැන ඇය දැන සිටින්න ඇද්ද? ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. කොහොමවුණත් එම අනාවැකිය ගැන එදා සිටි බොහෝ ආගමික නායකයන් සහ ජනයා දැන සිටියා. (මතෙ. 2:1-7; යොහ. 7:40-42) එසේනම් ශුද්ධ ලියවිල්ල ගැන මනා අවබෝධයක් තිබුණු මරියා ඒ ගැන දැන සිටියේ නැහැ කියා අපිට සිතන්න බැහැ. (ලූක් 1:46-55) මරියා බෙත්ලෙහෙම බලා යෑමට තීරණය කළේ තමන්ගේ ස්වාමිපුරුෂයාට කීකරු වීමක් ලෙසද, එවකට පැවති නීතියට කීකරු වීමට වුවමනා වූ නිසාද, ගැලවුම්කරු ගැන සඳහන් වී තිබුණු අනාවැකිය නිසාද එසේත් නැත්නම් ඒ සියලු හේතු නිසාද කියා අපි හරියටම දන්නේ නැහැ. ඒ කොහොමවුණත් ඇය ක්‍රියා කළ ආකාරය අපිට කදිම ආදර්ශයක්. යෙහෝවා දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ යටහත්පහත්ව සහ කීකරුව ක්‍රියා කරන අයටයි. නමුත් අද සිටින බොහෝ අය සිතන්නේ තමන් කිසිම කෙනෙකුට යටත් වීමට හෝ කීකරු වීමට අවශ්‍ය නැහැ කියායි. එවන් සමාජයක ජීවත් වන අපිට මරියාගේ ආදර්ශය දිරිගැන්වීමක් නෙවෙයිද!

ක්‍රිස්තුස්ගේ උපත

9, 10. (අ) බෙත්ලෙහෙම නෙත ගැටෙද්දී මරියාට සහ යෝසෙප්ට කුමන දේවල් සිහියට නැඟෙන්න ඇද්ද? (ආ) ඔවුන්ට ගවමඩුවක නතර වීමට සිදු වෙන්නේ ඇයි?

9 බෙත්ලෙහෙම පෙනෙන මායිමට පැමිණෙද්දී මරියා සැනසුම් සුසුමක් හෙළන්න ඇති. කඳුකර ප්‍රදේශය පසු කරමින් ඔලීව වතු මැදින් ගමන් කරද්දී බෙත්ලෙහෙම් නගරය හා බැඳි අතීත සිදුවීම් ඔවුන්ගේ මතකයට නැඟෙන්න ඇති. අනාගතවක්තෘවරයෙක් වූ මීකා එම නගරය හැඳින්වූයේ යූදා නගර අතරින් කුඩාම නගරය ලෙසයි. ඒ වුණත් ඈත අතීතයේදී බෝවස්, නායොමි සහ දාවිත් වැනි අය උපත ලැබුවේ එම නගරයේයි.

10 මරියා සහ යෝසෙප් බෙත්ලෙහෙමට ඇතුල් වෙද්දී ලියාපදිංචි වීමට පැමිණ සිටි අයගෙන් ඒ නගරය පිරී තිබෙනවා. ඒ නිසා නවාතැන් ගැනීම සඳහා වෙන් කර තිබුණු ස්ථානයේ ඔවුන්ට ඉඩක් ලැබෙන්නේ නැහැ. * අවසානයේදී ඔවුන්ට රාත්‍රිය ගත කිරීමට සිදු වෙන්නේ ගවමඩුවක. ප්‍රසව වේදනාවෙන් පසු වන මරියා මොන තරම් අපහසුතාවයකට පත් වී සිටිනවාද කියා දකින යෝසෙප් කර කියාගන්න දෙයක් නොමැතිව අසරණව ඇය දෙස බලා සිටිනවා.

11. (අ) මරියා අද්දුටු වේදනාව ඕනෑම මවකට තේරුම්ගන්න පුළුවන් ඇයි? (ආ) යේසුස්ව “කුලුඳුල් පුත්‍රයා” ලෙස හඳුන්වන්නේ කුමන හේතු දෙක නිසාද?

11 ඒ අවස්ථාවේදී මරියාට කොතරම් වේදනාවක් දැනෙන්න ඇතිද කියා ඕනෑම මවකට තේරුම්ගන්න පුළුවන්. ගැබිනි මව්වරුන්ට දරු ප්‍රසූතියේදී වේදනා විඳීමට සිදු වන බව මීට වසර 4,000කට පමණ කලින් යෙහෝවා දෙවි පවසා තිබුණා. (උත්. 3:16) මරියාටත් ඒ වේදනා අත්විඳින්න සිදු වුණා. කොහොමවුණත් මරියා ඒ මොහොතේ අද්දුටු වේදනාව ගැන බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. එහි සඳහන් වෙන්නේ “ඇය තම කුලුඳුල් පුත්‍රයාව මෙලොවට බිහි කළා” කියා පමණයි. (ලූක් 2:7) ඉන්පසුව ඇය තවත් දරුවන්ව බිහි කළා. අඩුම තරමින් ඇයට දරුවන් හත්දෙනෙක්වත් ලැබෙන්න ඇති. (මාක් 6:3) කොහොමවුණත් ඇගේ කුලුඳුල් දරුවාට විශේෂ තැනක් හිමි වෙනවා. එයට හේතුව එම දරුවා “දෙවිගේ කුලුඳුල් නිර්මාණය” වීමයි.—කොලො. 1:15.

12. මරියා දරුවාව තැබුවේ කොහේද? යේසුස්ගේ උපත හා බැඳි බොහෝ නාට්‍ය සහ පින්තූරවල එහි සැබෑ තත්වය පෙන්වනවාද?

12 මරියා තම කුලුඳුලාව බිහි කළ පසුව “ඇය දරුවාව රෙදි පටිවලින් ඔතා ගවමඩුවක තිබුණු ගවඔරුවක” තබනවා. (ලූක් 2:7) නමුත් බොහෝ මිනිසුන් යේසුස්ගේ උපත හා බැඳි නාට්‍ය සහ පින්තූරවල එම සිද්ධිය හුවා දක්වද්දී එහි සැබෑ තත්වය පෙන්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගවමඩුවක් තුළ දරුවෙකුව බිහි කිරීමට තරම් පිරිසිදු වටපිටාවක් නැහැ. නමුත් එවැනි ස්ථානයක මරියාට තම දරුවාව බිහි කිරීමට සිදු වුණේ ඔවුන්ට නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් ලැබුණේ නැති නිසයි. ඕනෑම දෙමාපියෙකු කැමති වෙන්නේ තම කිරිකැටි බිලිඳාව ඉතාමත් පිරිසිදු ස්ථානයක බිහි කිරීමටයි. එසේනම් ගැලවුම්කරුව මෙලොවට බිහි කරන්න ඊටත් වඩා පිරිසිදු තැනක් තෝරාගන්න යෝසෙප් සහ මරියාට මොන තරම් වුවමනාවක් තියෙන්න ඇද්ද!

13. (අ) මරියා සහ යෝසෙප් ඔවුන්ගේ උපරිමය කළේ කොහොමද? (ආ) මරියා සහ යෝසෙප්ගෙන් දෙමව්පියන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

13 කොහොමවුණත් මරියා සහ යෝසෙප් ඔවුන්ට මුහුණ දීමට සිදු වූ මේ තත්වය ගැන වුවමනාවට වඩා කනස්සලු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් තමන්ට හැකි උපරිමය කරනවා. තම කිරිකැටි බිලිඳා ගැන ඉතාමත් සැලකිලිමත් වූ මරියා දරුවාට අවශ්‍ය උණුසුම ලබා දීම සඳහා ඔහුව රෙදි පටිවලින් ඔතනවා. තමන්ට මුහුණ දීමට සිදු වී තිබෙන දේවල් ගැන ලත වෙනවා වෙනුවට ඇය දරුවා වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය කරනවා. දරුවා වෙනුවෙන් කළ හැකි වැදගත්ම කාර්යය වෙන්නේ ඔහුට යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට උපකාර කිරීම බව මරියා සහ යෝසෙප් තේරුම්ගෙන සිටියා. (ද්විතීය කතාව 6:6-8 කියවන්න.) අද සිටින නැණවත් දෙමව්පියන්ද වැඩි අවධානයක් දිය යුත්තේ තම දරුවන්ට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීම සඳහා උපකාර කිරීමට බව තේරුම්ගෙන තිබෙනවා.

එඬේරුන්ගෙන් දිරිගැන්වීමක්

14, 15. (අ) අලුත උපන් බිලිඳාව බැලීමට එඬේරුන් එතරම් උනන්දුවක් දැක්වූයේ ඇයි? (ආ) එඬේරුන් ඉන්පසු කළේ මොනවාද?

14 මරියාව සහ යෝසෙප්ව හමු වීමට අමුත්තන් පිරිසක් දැන් ගවමඩුවට පැමිණෙනවා. ඔවුන් විශේෂයෙන්ම පැමිණ තිබෙන්නේ අලුත උපන් බිලිඳාව දැකගැනීමටයි. එලෙස පැමිණි එඬේරුන් පිරිස දරුවාව දැකීමෙන් මහත් සේ ප්‍රීතියට පත් වෙනවා. ඔවුන් එසේ පැමිණියේ රාත්‍රියේ තම බැටළු රැළවල් බලාගෙන සිටි අතරතුරේදී ලැබුණු පණිවිඩයක් නිසයි. * ඔවුන්ට ලැබුණු ඒ පණිවිඩය ගැන ඔවුන් මරියාට සහ යෝසෙප්ට දැනුම් දෙනවා. ඔවුන් මධ්‍යම රාත්‍රියේ තණ පිට්ටනිවල තම බැටළුවන් රැකබලා ගෙන සිටි අවස්ථාවේදී එකවිටම දේවදූතයෙක් දර්ශනය වූ බවත් එවිට එතැන යෙහෝවා දෙවිගේ තේජසින් ආලෝකවත් වූ බවත් එඬේරුන් පවසනවා. ගැලවුම්කරු බෙත්ලෙහෙමේ උපත ලබා තිබෙන බවත් ඒ දරුවා ගවමඩුවක තිබෙන ගවඔරුවක රෙදි පටිවලින් ඔතා තිබෙන බවත් දේවදූතයා දැනුම් දුන්නා කියා ඔවුන් මරියාට සහ යෝසෙප්ට පවසනවා. ඒ විතරක් නෙවෙයි එම ප්‍රීතිමත් පණිවිඩය පැවසීමෙන් පසු ඒ පණිවිඩය පැවසූ දේවදූතයාට තවත් දේවදූත සේනාවක් එකතු වී දෙවිට ප්‍රශංසා කළ ආකාරය ගැනත් ඔවුන් විස්තර කරනවා.—ලූක් 2:8-14.

15 බෙත්ලෙහෙමට පැමිණි එඬේරුන් දේවදූතයා පැවසූ සියල්ල තම දෑසින්ම දකිද්දී මොන තරම් ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන්න ඇද්ද! ඔවුන් මේ ප්‍රීතිමත් පණිවිඩය රහසක් ලෙස තබාගන්නේ නැහැ. ඒ වෙනුවට අන් සියලුදෙනාටත් දැනුම් දෙනවා. බයිබලයේ සඳහන් වෙන්නේ “එඬේරුන් දැන්වූ දේවල් ඇසූ සියලුදෙනා මවිතයට පත් වූ” බවයි. (ලූක් 2:17, 18) ඒ කාලයේ සිටි ආගමික නායකයන් එඬේරුන්ව පහත් කර සැලකුවත් යෙහෝවා දෙවි නම් එසේ කළේ නැහැ. දෙවිට විශ්වාසවන්තව සිටි එම නිහතමානී එඬේරුන්ව දෙවි අගය කළ බව මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා.

දෙවිට විශ්වාසවන්තව සිටි නිහතමානී එඬේරුන්ව දෙවි අගය කළා

16. මරියාට ශක්තිමත් විශ්වාසයක් ඇතුව ඉන්න පුළුවන් වුණේ ඇයි?

16 දරුවාව ප්‍රසූත කිරීමෙන් පසු මරියා යම් වේදනාවකින් සිටියත් එඬේරුන් පවසන සෑම දෙයකටම ඇය හොඳින් සවන් දෙනවා. අසන්න ලැබුණු ‘ඒ සෑම දෙයක් ගැනම ගැඹුරින් කල්පනා කරන මරියා ඒවායෙහි වැදගත්කම තම සිතෙහි තබා ගන්නවා.’ (ලූක් 2:19) ඇය කාරණා සැහැල්ලුවට ගන්නේ නැති ගැඹුරින් කල්පනා කරන කෙනෙක්. ඒ නිසා යෙහෝවා දෙවි දේවදූතයා මාර්ගයෙන් එඬේරුන්ට හෙළි කර තිබෙන පණිවිඩය ඉතා වැදගත් දෙයක් බව ඇය තේරුම්ගන්නවා. දෙවි තමන්ට ඒ දේවල් හෙළි කර තිබෙන්නේ තමන්ගේ පුත්‍රයා ගැලවුම්කරු බව තහවුරු කිරීමට බව තේරුම්ගන්න මරියා ඒවා කිසිදා අමතක නොවන ආකාරයෙන් තමන්ගේ සිතේ පැලපදියම් කරගන්නවා. මරියාට යෙහෝවා දෙවි කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් ඇතුව සිටීමට හැකි වුණේ ඒ නිසයි.හෙබ්‍රෙව් 11:1 කියවන්න.

එඬේරුන් පැවසූ දේවල් මරියා කිසිදා අමතක නොවන ආකාරයෙන් තමන්ගේ සිතේ පැලපදියම් කරගත්තා

17. මරියාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

17 මරියාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? යෙහෝවා දෙවි වටිනා සත්‍යයන් ගැන බයිබලය තුළින් අපිට හෙළි කර තිබෙනවා. නමුත් අපි ඒ දේවලට හොඳින් අවධානය දෙන්නේ නැත්නම් ඉන් ප්‍රයෝජන ලබන්න අපිට හැකි වෙන්නේ නැහැ. එහි සඳහන් වෙන්නේ දෙවිගේ වචනය බව සිහියේ තබාගනිමින් එය නිතිපතා කියවීමට අදිටන් කරගමු. (2 තිමෝ. 3:16) මරියා ගැඹුරු කාරණා සිතේ තබා ගත්තා හා සමානව අපිත් බයිබලයෙන් කියවන දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බලා ඒවා සැමදා මතකයේ තබා ගනිමු. එලෙස අපි ඉගෙනගන්නා දේවල් ජීවිතයට අදාළ කරගන්නවා නම් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට එය අපට උපකාරවත් වෙනවා.

දේවමාලිගාවේදී ලැබුණු දිරිගැන්වීම්

18. (අ) මරියා සහ යෝසෙප් දෙවිගේ නීතියට කීකරු වුණේ කොහොමද? (ආ) ඔවුන්ගේ ආර්ථික තත්වය ගැන පවසන්න පුළුවන් මොනවාද?

18 දරුවා ඉපදී අටවන දවසේදී මරියා සහ යෝසෙප්, දෙවිගේ නීතියේ සඳහන් වූ ආකාරයට දරුවාව චර්මච්ඡේදනය කර ඔහුට යේසුස් යන නම තබනවා. (ලූක් 1:31) පසුව 40වෙනි දිනයේදී ඔවුන් බෙත්ලෙහෙමේ සිට කිලෝමීටර් දහයක දුරකින් පිහිටි යෙරුසලමේ දේවමාලිගාවට දරුවාව රැගෙන යනවා. එලෙස ඔවුන් යෙරුසලමට යන්නේ පවිත්‍ර වීමේ පූජාව පැවැත්වීමටයි. එම පූජාව ඔප්පු කිරීමේදී බැටළුවෙකු වෙනුවට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු පූජා කිරීමට දිලිඳු අයට අවසර තිබුණා. බැටළුවෙක් පූජා කිරීමට තරම් ඔවුන්ට වත්කමක් නොතිබීම ගැන ඔවුන් ලැජ්ජා වෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ට හැකි උපරිමය කරමින් දෙවිගේ නීතියට කීකරු වෙනවා.—ලූක් 2:21-24.

19. (අ) සිමියොන්, මරියාට පැවසුවේ මොනවාද? (ආ) යේසුස්ව දුටු ආනා කළේ මොනවාද?

19 කොහොමවුණත් දේවමාලිගාවේදී ඔවුන් දෙදෙනාටම විශාල දිරිගැන්වීමක් ලැබෙනවා. දේවමාලිගාවේදී හමු වූ මහලු පුද්ගලයෙකු වූ සිමියොන්, මරියාට වැදගත් කාරණා හෙළි කරනවා. මිය යන්න කලින් තමන්ට ගැලවුම්කරුව දැකගන්න අවස්ථාව ලැබෙන බවත් ඒ ගැලවුම්කරු යේසුස් බවත් දෙවි ඔහුට දැනුම් දුන් බව සිමියොන් ඇයට පවසනවා. ඒ විතරක් නෙවෙයි මරියාට අනාගතයේදී මොන තරම් වේදනාවක් අත්විඳින්න සිදු වෙනවාද කියා පැවසූ ඔහු දිග කඩුවක් හදවත පසාරු කරගෙන යනවා හා සමාන වේදනාවක් ඇයට දැනෙයි කියාත් පවසනවා. (ලූක් 2:25-35) මරියා මේ දේවලුත් ඇගේ සිතේ පැලපදියම් කරගන්නවා. සිමියොන් ඇයට පැවසුවේ අනාගතයේදී ඇයට මුහුණ දීමට සිදු වන අසීරු තත්වයක් ගැන වුණත් එම තත්වයට හොඳින් මුහුණ දීමට ඒ තොරතුරු උපකාරවත් වෙන්න ඇති. ඉන්පසු යේසුස්ව දකින දෙවිගේ අනාගතවක්තෘවරියක් වන ආනා යෙරුසලමට ගැලවීම ලැබෙන තුරු ආශාවෙන් බලා සිටි සියලුදෙනාටම ඒ දරුවා ගැන පවසනවා.ලූක් 2:36-38 කියවන්න.

දේවමාලිගාවේදී මරියා සහ යෝසෙප් මහත් සේ දිරිගැන්වුණා

20. දරුවාව දේවමාලිගාවට ගෙන ගිය නිසා ලැබුණු ආශීර්වාද මොනවාද?

20 දරුවාව දේවමාලිගාවට ගෙන ගිය නිසා ඔවුන්ට මොන තරම් ආශීර්වාද ලැබුණාද කියා සිතන්න. දිවි ඇති තුරා දෙවිට සේවය කිරීම සඳහා දරුවාට හොඳ අඩිතාලමක් ලබා දීමට ඔවුන්ට හැකි වුණා. තමන්ගේ උපරිමයෙන් දෙවිට පූජාවක් පැවැත්වීමටත් හැකි වුණා. ඒ විතරක් නෙවෙයි දේවමාලිගාවේදී ඔවුන්ට අසන්න ලැබුණු දේවලින් ඔවුන් බොහෝ සෙයින් දිරිගැන්වීම් ලැබුවා. දේවමාලිගාවෙන් නැවත නිවස බලා යද්දී දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය තව තවත් ශක්තිමත් කරගැනීමට පමණක් නෙවෙයි අන් අය සමඟ බෙදාගැනීමට හැකි තොරතුරුත් මරියාට ලැබුණා.

21. මරියාට මෙන් දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය ශක්තිමත් කරගන්න අපට පුළුවන් කොහොමද?

21 අද සිටින බොහෝ දෙමව්පියන්ද මරියා සහ යෝසෙප්ගේ ආදර්ශය අනුගමනය කරනවා. ඔවුන් තම දරුවන්ව දිගටම ක්‍රිස්තියානි රැස්වීම්වලට රැගෙන යනවා. ඔවුන් හැකි උපරිමයෙන් සෙසු ක්‍රිස්තියානීන්ව දිරිගන්වනවා. ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමෙන් දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය ශක්තිමත් වන නිසාත් එහිදී ඉගෙනගන්නා දේවල් අන් අය සමඟ බෙදාගැනීමට හැකි වන නිසාත් ඔවුන් නැවත තම නිවෙස් බලා යන්නේ හද පිරි සතුටින්. ඇත්තෙන්ම අපි ක්‍රිස්තියානි රැස්වීම්වලින් මොන තරම් දිරිගැන්වීම් ලබනවාද! අපිත් දිගටම ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙනවා නම් මරියා මෙන් දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය තව තවත් ශක්තිමත් කරගැනීමට හැකි වෙන බව නිසැකයි.

^ 7 ඡේ. මරියා කලින් ක්‍රියා කළ ආකාරයේ හා දැන් ක්‍රියා කරන ආකාරයේ පැහැදිලි වෙනසක් තිබෙනවා. ඇය එලිසබෙත්ව බැලීමට ගිය අවස්ථාව ගැන බයිබලයේ සඳහන් වෙන්නේ ‘මරියා ඉක්මනින් සූදානම් වී ගමන් කළා’ කියායි. (ලූක් 1:39) ඒ වන විට ඇය යෝසෙප් සමඟ විවාහ වී සිටියේ නැති නිසා ඒ ගමන සඳහා ඔහුගෙන් අවසර නොගන්න ඇති. නමුත් ඔවුන් බෙත්ලෙහෙම බලා යන ගමන තීරණය කරන්නේ යෝසෙප් විසින්. මරියා ඊට කැමති වෙනවා.

^ 10 ඡේ. අමුත්තන්ට නතර වීම සඳහා නගරයේ යම් පොදු ස්ථානයක් සූදානම් කර දීම එවකට පැවති සිරිතක් වුණා.

^ 14 ඡේ. යේසුස් ඉපදුණු රාත්‍රියේදී එඬේරුන් පිරිස තම සත්ව රැළ සමඟ එළිමහනේ සිටීමෙන් පැහැදිලි වෙන්නේ යේසුස්ගේ උපත දෙසැම්බර් මාසයේදී සිදු නොවූ බවයි. ඒ කාලයේදී අධික සීතලක් තිබෙන නිසා එඬේරුන් සතුන්ව එළිමහනට ගෙනයන්නේ නැහැ. එසේනම් යේසුස් ඉපදී තිබෙන්නේ ඔක්තෝබර් මාසයේ මුල් කාලයේදී විය හැකියි.