Skip to content

පටුනට යන්න

පස්වෙනි පරිච්ඡේදය

“අගනා කාන්තාවක්”

“අගනා කාන්තාවක්”

1, 2. (අ) රූත් වෙහෙස නොබලා කරන්නේ මොනවාද? (ආ) දෙවි දී තිබෙන නීතිය ගැනත් දෙවිගේ මිනිසුන් ගැනත් රූත් දැනගත්තේ මොනවාද?

සවස අඳුර වැටීගෙන එත්ම කමතේ වැඩ කරමින් සිටි අය එක්කෙනා දෙන්නා තම තමන්ගේ නිවෙස් බලා යෑමට සූදානම් වෙනවා. නමුත් රූත් තවමත් වැඩ නතර කරන පාටක් පේන්න නැහැ. ඇය දවස පුරා එකතු කරගත් බාර්ලි කරල් කෝටුවකින් තළ තළ කරල්වලින් ඇට වෙන් කරගන්නවා. ඇගේ මුළු ගතම දහඩියෙන් නැහැවිලා. කොතරම් වෙහෙසකර දවසක් වුණත් ඇය ඉන්නේ සතුටින්.

2 මේ තරුණ වැන්දඹුව තම නැන්දණියව බලාගැනීමේ වගකීමත් කැමැත්තෙන්ම කරට අරන්. ඇය මේ තරම් වෙහෙසෙන්නේ ඒ නිසයි. තම නැන්දණිය සමඟ දිගටම යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ඇය තීරණය කර තිබෙනවා. ඊශ්‍රායෙල් දේශයේ සිටි දිලිඳුන්ට වගේම විදේශිකයන්ටත් දෙවි දී තිබුණු නීතිය නිසා බොහෝ ප්‍රයෝජන ලැබුණා. දැන් රූත් ඒ ප්‍රේමණීය සැපයුමෙන් ප්‍රයෝජන ලබනවා. ඒ විතරක් නෙවෙයි දෙවිට කීකරු වූ අය ඒ නීති මොන තරම් කැමැත්තෙන් පිළිපදිනවාද කියලත් අන් අයට මොන තරම් කාරුණිකව සලකනවාද කියලත් ඇය අද්දැක්කා.

3, 4. (අ) බෝවස්, රූත්ව දිරිගැන්නුවේ කොහොමද? (ආ) ආර්ථික ප්‍රශ්න එක්ක පොරබඳින අයට රූත්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

3 බෝවස් කියන්නෙත් එවැනි කෙනෙක්. රූත් මේ වැඩ කරන්නේ වත්පොහොසත් වැඩිහිටියෙක් වූ ඔහුට අයිති කෙතේ. ඇය තම නැන්දණිය වන නායොමිව රැකබලා ගනිමින් සැබෑ දෙවිගේ පියාපත් සෙවණේ රැකවරණය ලැබීමට ගත් තීරණය ගැන බෝවස් ඇයව බෙහෙවින් අගය කරනවා. ඔහු ඇයට සැලකුවේ දුවෙක් ලෙසයි. ටික වෙලාවකට කලින් ඔහු තමන්ව අගය කළ අයුරු මතකයට නැඟුණු රූත්ගේ මුවඟට නැඟුණේ අහිංසක සිනහවක්.—රූත් 2:11-14 කියවන්න.

4 ඒ කොහොමවුණත් අනාගතය ගැන සිතන විට ඇගේ සිතේ දහසකුත් ප්‍රශ්න මතු වෙන්න ඇති. සැමියෙක්වත් දරුමල්ලෙක්වත් නොමැතිව අසරණව සිටින ඇයට තම නැන්දණියව බලාගැනීමට හැකි වෙයිද කියාත් වයසට ගියාම කවුද මාව බලාගන්නේ කියාත් ඇයට සිතෙන්න ඇති. කරල් ඇහිඳීමට දෙවි දී තිබෙන සැලැස්මෙන් පමණක් ඒ සියල්ල කිරීමට හැකි වෙයිද කියාත් ඇය සිතන්න ඇති. අභියෝග මැද පවා ඇය දෙවිට විශ්වාසවන්තව සිටි නිසා ඒවාට සාර්ථකව මුහුණ දෙන්න ඇයට හැකි වුණා. ඒ නිසා ඇගේ ආදර්ශය සලකා බැලීම අද දිනත් ආර්ථික ප්‍රශ්න එක්ක පොරබඳින අයට උපකාරවත් වන බවට සැකයක් නැහැ.

පවුලේ සෙනෙහස

5, 6. (අ) රූත් කරල් ඇහිඳින්න ගිය පළවෙනි දවස සාර්ථකද? (ආ) රූත්ව දැක්කාම නායොමි ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද?

5 රූත් දවස පුරා දැරූ වෙහෙස අපතේ ගියේ නැහැ. සියල්ල එකතු කර බලද්දී එතන සුද්ද කරගත් බාර්ලි ඒපාවක් තිබුණා. කිලෝ 14ක පමණ බරකින් යුත් ඒ බාර්ලි තොගය රෙද්දක ඔතාගත් ඇය එය හිසේ තබාගෙන නිවස බලා පිටත් වෙද්දී අවට ගොම්මන් අඳුර පැතිරෙමින් තිබුණා.රූත් 2:17.

6 රූත් ගෙනා එම බාර්ලි තොගය දැකීමෙන් නායොමි පුදුම වෙනවා. බෝවස්, සේවකයන්ට දුන් කෑමවලින් ඉතුරු වූ කොටසකුත් ඇය අරන් ඇවිත්. තම ලේලිය තමන්ට මොන තරම් ආදරෙයිද කියා ඇයට සිතෙන්න ඇති. දෙදෙනාම සතුටින් කෑම කන අතරතුරේදී නායොමි, රූත්ගෙන් මෙහෙම අහනවා. “අද කරල් ඇහින්දේ කොහෙද? අද දුව වැඩ කළේ කාගේ කෙතේද?” ඉන්පසු ඇය මෙහෙම කියනවා. “දුවට හොඳින් සැලකූ තැනැත්තාට ආශීර්වාද ලැබෙන්න ඕනේ!” (රූත් 2:19) රූත්ට මෙතරම් දේවල් ලැබිලා තියෙන්නේ කවුරු හරි කෙනෙක් ඇයට කාරුණිකව සලකලා තියෙන නිසා කියා නායොමිට තේරුණා.

7, 8. (අ) බෝවස් රූත්ට එතරම් කාරුණිකව සලකන්න පෙලඹුණු හේතුව ගැන නායොමි හිතුවේ මොකක්ද? (ආ) රූත් තම නැන්දණියට සැබවින්ම ප්‍රේම කළ බව පෙන්නුවේ කොහොමද?

7 කවුරු හරි රූත්ට කාරුණිකව සලකලා තියෙනවා කියලා නායොමි සිතුවා හරි. බෝවස් තමන්ට මොන තරම් හොඳින් සැලකුවාද කියා රූත් නායොමිට අකුරක් නෑර විස්තර කරනවා. ඔය අතර නායොමි මෙහෙම කියනවා. “ජීවතුන් වගේම මළවුන්වත් කිසිදා අමතක නොකර නොසැලෙන ප්‍රේමයක් පෙන්වූ යෙහෝවා දෙවිගෙන් ඔහුට ආශීර්වාද ලැබේවා!” (රූත් 2:20) බෝවස් ඇයට කාරුණිකව සැලකුවේ යෙහෝවා දෙවි ඒ සඳහා ඔහුව පෙලඹවූ නිසා බව නායොමි වටහාගත්තා. එලෙස අන් අයට කාරුණිකව සලකන අයට දෙවි ආශීර්වාද කරන බවත් ඇය හොඳින්ම දැන සිටියා. *හිතෝපදේශ 19:17 කියවන්න.

8 “වෙන කෙතකට ගියොත් දුවට කරදරයක් වෙන්න පුළුවන්. ඒ නිසා බෝවස්ගේ සේවිකාවන් එක්කම ඉන්න.” නායොමි එහෙම කිව්වේ රූත් වෙන කෙතකට ගියොත් එහේ ඉන්න සේවකයන් ඇයට අරියාදු කරයි කියලා ඇගේ හිතේ භයක් තිබුණු නිසයි. රූත් ‘දිගටම ඇගේ නැන්දම්මාට කීකරු වෙමින් ඇය සමඟ ජීවත් වුණා.’ (රූත් 2:22, 23) රූත් තම නැන්දණියට සැබවින්ම ප්‍රේම කරන බව ඒ සිද්ධියෙනුත් පැහැදිලි වෙනවා. අපේ පවුලේ අය අතරත් ඒ වගේ කිට්ටු බැඳීමක් තියෙනවාද? යෙහෝවා දෙවි කැමති අපිත් අපේ පවුලේ අයට ආදරෙන් සලකනවාටයි.

පවුලක බැඳීම මොන තරම් වටිනවාද කියා රූත් හා නායොමිගෙන් ඉගෙනගමු

9. පවුලක තියෙන්න ඕන බැඳීම ගැන රූත් හා නායොමිගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 පවුලක් කියද්දී ගොඩක් අය හිතන්නේ අම්මා, තාත්තා, දුව, පුතා, ආච්චි, සීයා වගේ හැමෝම ඉන්න ඕනේ කියලයි. ඒත් නායොමිගේ පවුලේ හිටියේ රූත් හා නායොමි විතරයි. පවුලේ අනික් සාමාජිකයන් නැති අඩුව නොදැනෙන විදිහට ඒ දෙන්නා එකිනෙකාට ආදරෙන් සැලකුවා. ඒ නිසා පවුලක නැති සාමාජිකයන් ගැන හිතහිතා දුක් වෙනවා වෙනුවට ඉන්න අයට ආදරෙන් සලකමින් සතුටින් ඉන්න අපිටත් පුළුවන්. දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න පවුලක වුණත් ආදරය, රැකවරණය සහ කරුණාව තියෙනවා නම් තමන්ටත් පවුලක් තියෙනවා කියලා ඔවුන්ට හැඟෙනවා. ඇත්තටම පවුලක් නැති අයට ඒ අඩුව ක්‍රිස්තියානි සභාවේදී පිරිමැසෙන බව යේසුස් පවා එක අවස්ථාවකදී පැවසුවා.—මාක් 10:29, 30.

රූත් හා නායොමි එකිනෙකාව දිරිගන්වාගනිමින් එකිනෙකාට උපකාර කළා

ඔහු අපේ නෑදෑයෙක්

10. නායොමි සූදානම් වෙන්නේ රූත්ට මොන වගේ උපකාරයක් පිරිනමන්නද?

10 සාමාන්‍යයෙන් බාර්ලි අස්වැන්න නෙළන්නේ අප්‍රියෙල් මාසයේ සිට ජූනි මාසය දක්වා කාලයේයි. ඒ කාලය පුරාම රූත් වෙහෙස නොබලා බෝවස්ගේ කෙතේ කරල් ඇහිඳින්න ගියා. මේ විදිහට කාලය ගෙවී යද්දී නායොමි හිටියේ රූත් ගැන හිතේ කරදරෙන්. තම ලේලිය වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා ඇය නිතරම කල්පනා කරනවා. මෝවබ් දේශයෙන් එද්දී කවදාවත් රූත්ට ස්වාමිපුරුෂයෙක්ව සොයා දීමට හැකි වෙයි කියා නායොමි සිතුවේ නැහැ. (රූත් 1:11-13) ඒත් දැන් කාරණා වෙනතකට පෙරළෙන අයුරු දුටු නායොමි “දුවට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් හොඳ නිවහනක් හොයලා දෙන එක මගේ යුතුකමක්” කියා රූත්ට පවසනවා. (රූත් 3:1) එදා පැවති සමාජයේ දරුවන්ට සහකාරයෙක් හෝ සහකාරියක්ව සොයා දීම දෙමාපියන් සතු වගකීමක් වුණා. දැන් නායොමි රූත්ට සහකාරයෙක් සොයා දීමට උත්සාහ කිරීමෙන් පැහැදිලි වෙන්නේ ඇය රූත්ව තමාගේම දියණියක් ලෙස සලකන බවයි.

11, 12. (අ) ‘බෝවස් මුදවාගන්නෙක්’ කියලා නායොමි කිව්වේ ඇයි? (ආ) නැන්දණිය දුන් උපදෙස් රූත් පිළිගත්තාද?

11 බෝවස් ගැන රූත් සඳහන් කළ මුල් අවස්ථාවේදී නායොමි පැවසුවේ “බෝවස් අපේ නෑදෑයෙක්. [එනම් මුදවාගන්නෙක්.] ඒ නිසා නෑදෑයෙකු අතින් ඉටු විය යුතු වගකීම් ඔහු ඉෂ්ට කරාවි” කියලයි. (රූත් 2:20, පාදසටහන) ඇය එසේ පැවසුවේ ඇයි? දෙවිගේ නීතියේ දිලිඳු, අසරණයන්ට සහනයක් ගෙන දෙන සැලැස්මක් තිබුණා. දරුවෙක් ලැබෙන්න කලින් කාන්තාවකට තම පුරුෂයාව අහිමි වුණොත් ඔහුගේ පෙළපත් නාමය ඉදිරියට ගෙන යෑමට නොහැකි වෙන නිසාත්, ඔහුගේ දේපළ ඇයට අහිමි වන නිසාත් එවැනි බිරිඳක් අසරණ තත්වයකට පත් වුණා. නමුත් ඇය මිය ගිය පුරුෂයාගේ සහෝදරයෙක් සමඟ විවාහ වී දරුවෙක් බිහි කළොත් ඇයට මිය ගිය පුරුෂයාගේ පෙළපත් නාමය ඉදිරියට රැගෙන යෑමටත් පවුලේ ඔහුට හිමි දේපළ භුක්ති විඳීමටත් දෙවිගේ නීතියේ අවසර දී තිබුණා. *ද්වි. 25:5-7.

12 ඒ ගැන අවබෝධයෙන් සිටි නායොමිගේ හිතේ එක්තරා සැලැස්මක් ඇඳෙමින් තිබුණා. ඒ අහිංසක සැලැස්ම ගැන ඇය පවසද්දී රූත් ඈ දෙස දෑස් අයාගෙන බලා සිටින්න ඇති. විදේශිකයෙක් වූ රූත්ට ඊශ්‍රායෙල්වරුන්ට දී තිබුණු නීතිරීති හා චාරිත්‍ර තවමත් ආගන්තුකයි. නායොමි පැවසූ දේවල් රූත්ට නුහුරු දේවල් වුණත් ලැජ්ජාවක් දැනුණත් “ඔබ කියන විදිහටම මම කරන්නම්” කියා ඇය නායොමිට පවසනවා.—රූත් 3:5.

13. වැඩිහිටියන්ගේ උපදෙස් පිළිපැදීම ගැන රූත්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (යෝබ් 12:12ද බලන්න.)

13 සමහර වෙලාවට වැඩිහිටි අය යම් උපදෙසක් දෙද්දී ඒකට කීකරු වෙන්න තරුණ අයට අමාරුයි. තරුණයන් බොහෝදෙනෙක් හිතන්නේ ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න ගැන වැඩිහිටි අයට එතරම් අවබෝධයක් නැහැ කියලයි. නමුත් වැඩිහිටියන් ආදරෙන් දෙන උපදෙස් පිළිපැදීම ප්‍රයෝජනවත් බව රූත්ගේ ආදර්ශයෙන් පැහැදිලි වෙනවා. (ගීතාවලිය 71:17, 18 කියවන්න.) නායොමි දුන් උපදෙස මොකක්ද? එය පිළිපැදීමෙන් රූත් ලැබූ ප්‍රයෝජන මොනවාද?

කමතේ කතාව

14. කමත මොන වගේ තැනක්ද? එහිදී සිදු වෙන්නේ මොනවාද?

14 සෑම ගොවියෙක්ම වගේ ඔවුන්ගේ අස්වැන්න කමතට ගෙනෙනවා. සාමාන්‍යයෙන් කමතක් පිහිටලා තියෙන්නේ උස් තැනිතලා ප්‍රදේශයක. ඒ සඳහා එවැනි උස් බිමක් තෝරාගන්නේ ඒ හරහා හොඳින් සුළං හමා යන නිසයි. ධාන්‍යවලින් බොල් ඉවත් කරගැනීමට එය උපකාරවත් වෙනවා. මුල්ලුවක් වැනි උපකරණයක් යොදාගෙන ධාන්‍ය ඉහළට ඔසවද්දී ඉන් බොල් ඉවත් වී යනවා. එලෙස වසර ගණනාවක් පුරා ඉවත් වූ බොල් එකතු වීම නිසා ඒ අවට බිම තද වී තිබුණා.

15, 16. (අ) බෝවස් තමන්ගේ කාර්යය අවසන් කළාට පස්සේ සිද්ධ වුණේ මොනවාද? (ආ) රූත් තමන්ගේ පාද අසලින් නිදා සිටින බව බෝවස් දැනගත්තේ කොහොමද?

15 දැන් හිරු අවරට යමින් තියෙද්දී රූත් තම නැන්දණිය කී ආකාරයට කමතට පිටත් වෙනවා. ඇය බලා සිටින්නේ කමතේ වැඩ අවසන් වන තුරුයි. තම අස්වැන්න සොර සතුරන්ගෙන් බේරාගැනීම සඳහා කමතේම නිදාගැනීම එදා පැවති සිරිතක් වුණා. එදා දවසේ වැඩ අවසන් වෙද්දී බෝවස් සතුව විශාල ධාන්‍ය තොගයක් තිබුණා. ඒ නිසා හොඳින් කා බී තෘප්තියට පත්ව සිටි බෝවස් තම ධාන්‍ය ගොඩ අයිනේ හොඳින් පොරවාගෙන නින්දට වැටෙනවා. ටිකෙන් ටික කාලය ගෙවී ගියා. නායොමි කී දේ කරන්න හොඳම වේලාව ඇවිත් කියා සිතූ රූත් හිමින් හිමින් බෝවස් ළඟට කිට්ටු වෙනවා.

16 අඩියෙන් අඩිය ඉදිරියට ඇදෙන විට ඇගේ හද ගැස්ම එන්න එන්නම වැඩි වෙන්න ඇති. හැමෝම තද නින්දේ. ඇය කාටත් හොරා බෝවස් වෙතට කිට්ටු වී හීන් සැරේ ඔහුගේ පාදවලින් පොරොවන වස්ත්‍රය ඉවත් කර ඒ අසල නිදාගන්නවා. කාලය ගෙවී යද්දී ඒ සෑම තත්පරයක්ම ඇයට කාලාන්තරයක් මෙන් දැනෙන්න ඇති. මැදියම් රැයේදී දැනුණු සීතල නිසා ඔහුගේ පොරොවන වස්ත්‍රයෙන් පාද වසාගැනීමට උත්සාහ කරද්දී “තම පාද ළඟ ස්ත්‍රියක නිදා සිටිනවා” ඔහු දකිනවා.—රූත් 3:8.

17. රූත් නරක විදිහට හැසිරුණා කියා පවසන අය අමතක කරලා තියෙන්නේ මොන වැදගත් කාරණා දෙකද?

17 තිගැස්සුණු ඔහු, “ඔබ කවුද” කියා අසනවා. එවිට ඇය ගැහෙන හඬකින් “මම ඔබේ දාසිය වන රූත්. ඔබේ දාසියට ඔබේ රැකවරණය ලබා දෙන්න. ඔබ අපේ නෑදෑයෙක් නිසා නෑදෑයෙකු අතින් ඉටු විය යුතු වගකීම් ඉටු කරන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිනවා” කියා පවසනවා. (රූත් 3:9) සමහර අය මේ සිද්ධිය විස්තර කරද්දී රූත් බෝවස්ව වරදට පොලඹවාගන්න උත්සාහ කළා කියා පවසනවා. නමුත් ඉතා වැදගත් කාරණා දෙකක් ඔවුන් අමතක කර තිබෙනවා. පළමුවැන්න නම් ඔවුන් එදා පැවති සංස්කෘතිය අමතක කර තිබීමයි. මේ සිද්ධිය වුණේ මීට සියවස් ගණනාවකට කලින්. ඒ නිසා අද මිනිසුන් කාරණා දෙස වපර ඇසින් බලනවා වගේ ඒ සිද්ධිය දෙසත් එලෙස බැලීම සාධාරණ නැහැ. දෙවන හේතුව නම් බෝවස් ඇයට ඉතා ගෞරවයෙන් කතා කිරීමයි. ඇය නරක ස්ත්‍රියක් වූවා නම් බෝවස් කවදාවත් ඇයව අගය කරමින් කතා කරයිද?

රූත් බෝවස්ව හමු වීමට ගියේ නරක චේතනාවකින් නෙවෙයි

18. බෝවස්, රූත්ව සැනසුවේ කොහොමද? ඔහු රූත්ව සැනසුවේ ඇය කළ මොන යහපත් ක්‍රියාවන් දෙක නිසාද?

18 මෙතෙක් වෙලා හිතේ දෙගිඩියාවෙන් සිටි රූත්ගේ බිය සැක දුරු කරමින් බෝවස් මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිගෙන් ඔබට ආශීර්වාද ලැබේවා! ඔබ කලින් කළ සියලු ක්‍රියාවලට වඩා දැන් කළ මේ දෙයින් ඔබේ ප්‍රේමය ඔප්පු කර පෙන්නුවා. ඔබට ධනවත් හෝ දුප්පත් තරුණයෙක්ව තෝරාගන්න පුළුවන්කම තිබියදීත් ඔබ එහෙම කළේ නැහැ.” (රූත් 3:10) ඔහුගේ එම කාරුණික වදන්වලින් ඇයට ඉමහත් සහනයක් දැනෙන්න ඇති. “කලින් කළ සියලු ක්‍රියා” කීමෙන් ඔහු අදහස් කළේ නායොමි වෙනුවෙන් රූත් කළ සියලු කැප කිරීම් ගැනයි. “දැන් කළ මේ දෙයින්” කියා ඔහු පැවසුවේ කුමක් ගැනද? රූත් වැන්දඹුවක් වුණත් ඇය තවමත් රූමත් තරුණ කාන්තාවක්. ඇයට ලෙහෙසියෙන්ම බෝවස්ට වඩා තරුණ කඩවසම් පුරුෂයෙක්ව සොයාගැනීමට අවස්ථාව තිබුණා. නමුත් තමන්ගේ සතුට ගැන සිතනවා වෙනුවට රූත් සිතුවේ නායොමිගේ සතුට ගැන සහ මිය ගිය පුරුෂයාගේ පෙළපත් නාමය ඉදිරියට ගෙන යෑම ගැනයි. රූත් කළ එම පරිත්‍යාගයන් ගැන බෝවස් ඇයව අගය කළා.

19, 20. (අ) බෝවස් එක සැණින්ම රූත්ව විවාහ කරගන්න ඉදිරිපත් නොවුණේ ඇයි? (ආ) ඔහු රූත් ගැන අවංක සැලකිල්ලක් දැක්වූවේ කොහොමද?

19 රූත් කළ යෝජනාව එදා පැවති චාරිත්‍රයක් නිසා බෝවස් ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. ඔහු ඇයට මෙහෙම කියනවා. “ඉතින් දුවේ, දැන් භය වෙන්න එපා. ඔබ කියන හැම දෙයක්ම මම කරන්නම්. ඔබ ඉතා අගනා කාන්තාවක් කියලා මගේ නුවරේ වැසියන් සියලුදෙනාම දන්නවා.” (රූත් 3:11) බෝවස් ධර්මිෂ්ඨ කෙනෙක්. ඔහු තමන්ගේ සතුට ගැන පමණක් සිතුවේ නැහැ. ඔහුටත් වඩා නායොමිගේ ස්වාමිපුරුෂයාට කිට්ටුවෙන් නෑකම් කියන තවත් කෙනෙක් සිටින බව ඔහු දැන සිටියා. ඒ නිසා මුලින්ම රූත්ව විවාහ කරගැනීමේ අවස්ථාව ඔහුට දෙන්න බෝවස් තීරණය කළා.

අන් අයට කරුණාවෙන් හා ගෞරවයෙන් සැලකූ නිසා රූත් හොඳ නමක් දිනාගත්තා

20 තවමත් මැදියම් රැය පහන් වී තිබුණේ නැති නිසා ඒ ස්ථානයේම රැය පහන් කර පසුවදා නිවසට යන්න කියා ඔහු ඇයට පවසනවා. ඔහු එසේ පැවසුවේ ඉන් රූත්ගේ නමටත් තමන්ගේ නමටත් ඇති විය හැකි කටකතා ගැන හිතලයි. මෙතෙක් හිසේ දරා සිටි ලොකු බරක් බිමින් තිබ්බා වගේ සැහැල්ලුවක් රූත්ට දැනෙන්න ඇති. හිමිදිරි පාන්දරම එළිය වැටෙන්නත් කලින් අවදි වූ රූත් තම නිවස බලා යෑමට සූදානම් වෙද්දී බෝවස් ඇයට තෑග්ගක් දෙනවා. තෑග්ගක් හැටියට ලැබුණු බාර්ලි තොගයත් රැගෙන රූත් ලහි ලහියේ තම නිවස බලා ගමන් කරනවා.—රූත් 3:13-15 කියවන්න.

21. රූත් “අගනා කාන්තාවක්” කියා අන් අය පැවසුවේ ඇයි? ඇගේ ආදර්ශය අපිටත් අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

21 තමන් “අගනා කාන්තාවක්” කියා නගරේ හැමෝම කතා වෙන බව දැනගන්න ලැබීම නිසා රූත්ට තමන් ගැන පුංචි ආඩම්බරයකුත් දැනෙන්න ඇති. රූත්ට එවැනි හොඳ නමක් ලැබුණේ ඇය දෙවිට නමස්කාර කරන්න ගත් තීරණය නිසයි. ඇයට එම සංස්කෘතිය ආගන්තුක වුණත් ඒ චාරිත්‍ර පිළිපදින්න ඉදිරිපත් වීමෙන් ඇය පෙන්නුවේ නායොමි ගැනත් ඒ සෙනඟ ගැනත් ඇය සැලකිලිමත් වූ බවයි. අපිත් රූත් වගේ දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්නවා නම් වෙනත් සංස්කෘතීන්වලට ගරු කරන්නත් අන් අයට කාරුණිකව සලකන්නත් අපි පෙලඹෙනවා. එහෙම කළොත් අපිටත් රූත් වගේ හොඳ නමක් දිනාගන්න හැකි වෙන බව සහතිකයි.

සතුටින් පිරි නිවහනක්

22, 23. (අ) බෝවස් රූත්ට බාර්ලි මිනුම් හයක් දෙන්න ඇත්තේ ඇයි? (පාදසටහනද බලන්න.) (ආ) නායොමි රූත්ට කිව්වේ මොනවාද?

22 අඳුරේම රූත් ගෙට ඇතුල් වුණාම “මේ මගේ දුව රූත් නේද” කියා නායොමි අසනවා. වෙච්ච සිද්ධිය ගැන දැනගැනීමට නායොමි සිටියේ නොඉවසිල්ලෙන්. සතුටින් සිටි රූත් සිදු වූ දේ ගිරවියක් මෙන් අකුරක් නෑර නායොමිට කියනවා. බෝවස් දුන් බාර්ලි මල්ලත් නායොමිට දෙන්න ඇය අමතක කරන්නේ නැහැ. *රූත් 3:16, 17.

23 රූත් පැවසූ සියල්ල හොඳින් අසා සිටි නායොමි, අද කෙතට යන්න එපා. බෝවස් කොහොමහරි අදම මේ කාරණය විසඳන බව මට විශ්වාසයි කියා රූත්ට පවසනවා.—රූත් 3:18.

24, 25. (අ) බෝවස් කාරුණික, ධර්මිෂ්ඨ කෙනෙක් කියලා කියන්න පුළුවන් ඇයි? (ආ) රූත්ට ලැබුණු ආශීර්වාද මොනවාද?

24 නායොමි කිව්ව දේ හරි. බෝවස් එදාම නුවර දොරටු ළඟට ගියා. සාමාන්‍යයෙන් වැඩිමහල්ලන් රැස් වුණේ එතැන. දැන් බෝවස් නොඉවසිල්ලෙන් බලා ඉන්නේ නායොමිගේ නෑදෑයා එන තුරුයි. ඔහු බලා සිටි මොහොත උදා වීමට වැඩි වේලාවක් ගත වුණේ නැහැ. ඔහු පැමිණි විට බෝවස් මතු වී ඇති තත්වය පැහැදිලි කර, ‘රූත්ව විවාහ කරගැනීමට කැමතිද’ කියා සාක්ෂිකරුවන් ඉදිරිපිටදී ඔහුගෙන් අහනවා. නමුත් එසේ කළොත් තමන්ගේ උරුමයට අලාභයක් වෙයි කියා පැවසූ ඔහු ඒ යෝජනාවට එකඟ වෙන්නේ නැහැ. ඉන්පසු බෝවස් තමන්ගේ සැලැස්ම ගැන වැඩිමහල්ලන්ට දන්වමින් මෙසේ පවසනවා. ‘නායොමිගේ පුරුෂයාට අයිති සියල්ල මම නායොමිගෙන් මිල දී ගන්න බවට ඔබ සියලුදෙනාම අද සාක්ෂිකරුවන්. මාලන්ගේ බිරිඳ වූ මෝවබ් ජාතික රූත්ව මගේ බිරිඳ හැටියට මම මිල දී ගන්නවා. එතකොට මිය ගිය මිනිසාගේ නමින්ම ඔහුගේ උරුමය පවතියි.’ (රූත් 4:1-10) බෝවස් ඉතා කාරුණික, ධර්මිෂ්ඨ කෙනෙක් බව ඔහු ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලි වෙනවා.

25 ඉන්පසු සිද්ධීන් පෙළගැසුණේ රූත්ගෙත් නායොමිගෙත් ජීවිතවලට මහත් සතුටක් ගෙන දෙමින්. බෝවස් රූත්ව විවාහ කරගත්තා. ‘යෙහෝවා දෙවි රූත්ට ආශීර්වාද කළ අතර ඇය පුතෙකු බිහි කළා.’ බෙත්ලෙහෙම් නුවර තැන තැන රොක් වූ ස්ත්‍රීන්ගේ මාතෘකාව වුණේ නායොමි. නායොමිට පුතුන් හත්දෙනෙකුටත් වඩා රූත්ව වටිනා බව පවසමින් ඔවුන් රූත්ව වර්ණනා කරනවා. යෙහෝවා දෙවිත් ඇයට ආශීර්වාද කළ නිසා රූත්ගේ පුතාට දාවිත්ගේ සීයා වීමට හැකි වුණා. (රූත් 4:11-22) ඒ නිසා යේසුස්ගේ මිත්තණියක් වීමටත් රූත්ට අවස්ථාව ලැබුණා.—මතෙ. 1:1. *

යේසුස්ගේ මිත්තණියක් වීමේ වරප්‍රසාදය රූත්ට ලැබුණා

26. රූත් සහ නායොමිගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

26 රූත් මෙන්ම නායොමිත් අලුත උපන් කිරිකැටියාගෙන් ලැබුවේ නිම් හිම් නැති සතුටක්. නායොමි ඒ දරුවාට සැලකුවේ තම කුසේම උපන් දරුවෙකුට මෙන් ඉමහත් සෙනෙහසකින්. මේ දිරිය ළඳුන් දෙදෙනා ගැන දේවවචනයෙන් කියවන වාරයක් වාරයක් පාසා අපේ මතකයට නැඟෙන්නේ දෙවිට විශ්වාසවන්තව සිටින අය සමඟ හවුල් වී දෙවිට සේවය කරන අයටත් වෙහෙස නොබලා තම පවුලේ අයව රැකගන්නා අයටත් දෙවි කොයි තරම් ආශීර්වාද කරනවාද යන කාරණයයි. බෝවස්, නායොමි සහ රූත් වැනි දෙවිට විශ්වාසවන්ත අයව යෙහෝවා දෙවි බොහෝ සේ අගය කරනවා.

^ 7 ඡේ. ජීවතුන්ව මෙන්ම දෙවිට විශ්වාසවන්තව සිටිමින් මිය ගිය අයවත් යෙහෝවා දෙවිට මතකයි. නායොමිගේ පුරුෂයාත් පුතුන් දෙදෙනාත් මිය ගිහින්. රූත්ට තම පුරුෂයා අහිමි වෙලා. ඒ පුරුෂයන් තිදෙනාගේ වියෝව නිසා රූත් හා නායොමි ඉන්නේ අසරණවයි. ඔවුන් තිදෙනා ජීවත්ව සිටියා නම් මේ ස්ත්‍රීන්ව ආදරෙන් රැකබලා ගන්නා බවට සැකයක් නැහැ. දෙවි ඔවුන්ට කාරුණිකව සැලකීමෙන් පැහැදිලි වුණේ මිය ගිය තිදෙනාවත් දෙවිට අමතක වී නැති බවයි.

^ 11 ඡේ. දෙවි දී තිබුණු සැලැස්මට අනුව මිය ගිය පුරුෂයාගේ සහෝදරයෙක්ව හෝ ඔහුගේ කිට්ටුම ඥාති සහෝදරයෙක්ව විවාහ කරගැනීමට වැන්දඹුවකට අවසර තිබුණා.—ගණන්. 27:5-11.

^ 22 ඡේ. බෝවස් රූත්ට බාර්ලි මිනුම් හයක්ම දුන්නේ ඇයි? එසේ දුන්නේ දවස් හයක් වැඩ කර හත්වන දවසේදී විවේක ගන්නවා වගේ වැන්දඹුවක් ලෙස ඇය ගත කළ කටුක ජීවිතය නිමා කර ස්වාමිපුරුෂයෙක් සමඟ තමන්ගේම කියා නිවසක සැනසීමෙන් ඉන්න ලැබෙන බව ඇඟවීමට විය හැකියි. නැත්නම් මිනුම් හයකට වඩා වැඩි බරක් රූත්ට ගෙනයන්න බැරි නිසා විය හැකියි.

^ 25 ඡේ. බයිබලයේ සඳහන් වෙන්නේ යේසුස්ගේ මිත්තණියන් පස්දෙනෙක් ගැන පමණයි. රූත් සහ බෝවස්ගේ මව වූ රාහබ් ඒ අය අතරට අයත් වෙනවා. (මතෙ. 1:3, 5, 6, 16) ඒ දෙදෙනාම ඊශ්‍රායෙල් ජාතිකයන් නෙවෙයි.