Skip to content

පටුනට යන්න

විසිදෙවෙනි පරිච්ඡේදය

අභියෝග මැද විශ්වාසවන්තව සිටියා

අභියෝග මැද විශ්වාසවන්තව සිටියා

1, 2. රැස් වී සිටි සෙනඟ දෙස බැලූ පේතෘස් සිතුවේ මොනවාද? අවසානයේදී සිදු වුණේ මොනවාද?

පේතෘස් දැන් උනන්දුවෙන් බලා සිටින්නේ යේසුස් උගන්වන දේවලට සවන් දෙන සෙනඟ දෙසයි. ඔවුන් රැස් වී සිටින්නේ කපර්ණවුමේ තිබෙන සිනගෝගයේ. කපර්ණවුම පිහිටා තිබෙන්නේ ගලීල මුහුදට උතුරු දෙසින්. පේතෘස් හැදී වැඩුණෙත් ධීවර රැකියාව කළෙත් මේ නගරයෙයි. දැන් යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන උගන්වද්දී තම නෑදෑ හිතමිතුරන් සියලුදෙනාම මහත් ආශාවකින් ඊට සවන් දෙයි කියා පේතෘස් බලාපොරොත්තු වෙන්න ඇති. නමුත් සිදු වෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්.

2 බොහෝදෙනෙක් යේසුස්ට සවන් දෙන එක නතර කරනවා. යේසුස් උගන්වන දේවලට එකඟ නොවන තවත් අය ඒ දේවල් ගැන කොඳුරනවා. කොහොමවුණත් පේතෘස් වැඩියෙන්ම පුදුම වෙන්නේ යේසුස්ගේ ගෝලයන් අතරේ සිටි සමහරදෙනෙක් හැසිරෙන ආකාරය ගැනයි. ඔවුන් යේසුස් උගන්වන අලුත් තොරතුරු ගැන සතුටු වෙන්නේ නැහැ. යේසුස් ඉගැන්වූ දේවලට එකඟ නොවන ඔවුන් යේසුස්ව අතහැර දමා යනවා.යොහන් 6:60, 66 කියවන්න.

3. යේසුස්ට පක්ෂපාතව ඉන්න පේතෘස්ට පුළුවන් වුණේ කොහොමද?

3 එදින යේසුස් ඉගැන්වූ දේවල අර්ථය පේතෘස්ටත් හරි හැටි වැටහුණේ නැහැ. කොහොමවුණත් යේසුස් ඉගැන්වූ දෙය වචනානුසාරයෙන්ම තේරුම්ගැනීමට උත්සාහ කළොත් ඉන් දරුණු අදහසක් ඇඟවෙන බව ඔහු තේරුම්ගෙන සිටියා. පේතෘස් මොනවා කරයිද? ඔහුට යේසුස් කෙරෙහි තිබුණු විශ්වාසය පරීක්ෂාවට ලක් වූ පළමු වතාව මෙය නෙවෙයි. මෙය අවසන් වතාව කියා පවසන්නත් බැහැ. පේතෘස්ට යේසුස් කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණු නිසා අභියෝගාත්මක තත්වයන් හමුවේ පවා යේසුස්ට පක්ෂපාතව සිටීමට ඔහුට පුළුවන් වුණා. ඒ කොහොමද කියා බලමු.

නොසැලී දිගටම පක්ෂපාතව සිටියා

4, 5. මිනිසුන් බලාපොරොත්තු නොවූ ලෙස යේසුස් ක්‍රියා කළා කියා පවසන්න පුළුවන් ඇයි?

4 බොහෝ අවස්ථාවලදී යේසුස් කළ කී දේවල් ගැන පේතෘස් පුදුම වුණා. සමහර අවස්ථාවලදී යේසුස් ක්‍රියා කළේ මිනිසුන් බලාපොරොත්තු වූ දේට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයටයි. ඔහු කපර්ණවුමට පැමිණීමට පෙර දිනයේදී ආශ්චර්යවත් ලෙස දහස් ගණනකට කෑම ලබා දුන්නා. ඒ නිසා ඔහුව රජ බවට පත් කරන්න මිනිසුන් උත්සාහ කළත් ඔවුන් බලාපොරොත්තු නොවූ ලෙස ඔහු එය ප්‍රතික්ෂේප කළා. පසුව එතැනින් ඉවත්ව ගිය ඔහු ගෝලයන්ට පැවසුවේ කපර්ණවුම වෙතට යන්න කියායි. එදින රාත්‍රියේදී ඔහුගේ ගෝලයන් ගලීල මුහුදේ සැඩ කුණාටුවකට හසු වූ අවස්ථාවේදීත් බලාපොරොත්තු නොවූ ලෙස ඔහු ඔවුන් වෙතට වතුර මතින් ඇවිදගෙන ගියා. ඒ අවස්ථාවේදී විශ්වාසවන්තකම ගැන ඔහු පේතෘස්ට වටිනා පාඩමක්ද ඉගැන්නුවා.

5 යේසුස් ආශ්චර්යවත් ලෙස ආහාර ලබා දුන් ආකාරය දුටු සෙනඟ පසුවදා උදෑසනින්ම යේසුස්ව සොයාගෙන ආවා. ඔවුන් පැමිණ තිබෙන්නේ යේසුස් ආශ්චර්යවත් ලෙස ලබා දෙන ආහාර ලබාගැනීමට මිසක් ඔහුගෙන් ඉගෙනගැනීමට නම් නෙවෙයි. ඒ නිසා යේසුස් ඔවුන්ට තදින් අවවාද කරනවා. (යොහ. 6:25-27) මිනිසුන් පුදුම වූ දෙයක් ගැන යේසුස් රැස්ව සිටි සෙනඟට ඉගැන්වූයේ ඒ අවස්ථාවේදීයි.

6. යේසුස් පැවසූ නිදර්ශනය කුමක්ද? එය ඇසූ සෙනඟ කළේ මොනවාද?

6 ආශ්චර්යවත් ලෙස කෑම ලබා දෙන්නෙකු ලෙස අන් අය තමාව දකිනවාට යේසුස් කැමති වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු කැමති වුණේ සදාකාල ජීවනය ලබාගැනීම සඳහා දෙවි එවූ තැනැත්තා ලෙස මිනිසුන් ඔහුව දකිනවාටයි. එය තේරුම් කර දීමට ඔහු මෝසෙස්ගේ කාලයේදී දෙවි ආශ්චර්යවත් ලෙස ලබා දුන් මන්නාවලට තමාව සමාන කරමින් නිදර්ශනයක් පැවසුවා. නමුත් සෙනඟ ඒ ගැන වාද කළ නිසා එය තවත් පහදා දීමේ අදහසින්, සදාකාල ජීවනය ලැබෙන්නේ ඔහුගේ ශරීරය කෑමට ගෙන රුධිරය බොන අයට පමණයි කියා ඔහු පැහැදිලි කළා. එය ඇසීමෙන් වියවුලට පත් වී සිටි සෙනඟගේ කේන්තිය ඉහවහ ගියා. “මෙය මහ පුදුම කතාවක්. මේ වගේ දේවල් අසාගෙන ඉන්න පුළුවන් කාටද” කියා සමහර අය පැවසුවා. අවසානයේදී යේසුස්ගේ ගෝලයන් වී සිටි බොහෝ අයත් ඔහුව අතහැර ගියා. *යොහ. 6:48-60, 66.

7, 8. (අ) පේතෘස් වටහා නොගත්තේ මොනවාද? (ආ) යේසුස් ඇසූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ කොහොමද?

7 යේසුස් පැවසූ දෙයින් හරියටම අදහස් වෙන්නේ කුමක්ද කියා පේතෘස්ටත් වැටහුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි දෙවිගේ කැමැත්ත ඉටු කිරීමට යේසුස්ට මිය යන්න සිදු වන බවත් ඔහු වටහාගෙන තිබුණේ නැහැ. මේ තත්වය හමුවේදී පේතෘස් අනිකුත් ගෝලයන් මෙන් යේසුස්ව අත්හැර දමා යයිද? නැහැ. යේසුස්ට පක්ෂපාතව ඉන්න ඔහුට පුළුවන් වුණේ කොහොමද කියා බලමු.

8 යේසුස් තම නියෝජිතයන් 12දෙනා වෙත හැරී “ඔබත් යන්න කැමතිද” කියා ඔවුන්ගෙන් අසනවා. (යොහ. 6:67) වෙනදා මෙන් මේ වතාවේදීත් මුලින්ම පිළිතුරු දෙන්නේ පේතෘස්. සමහරවිට ඔහු එසේ කරන්නේ නියෝජිතයන් අතරින් ඔහු වැඩිමලා නිසා වෙන්න ඇති. ඒ 12දෙනා අතරින් තමන්ගේ සිතේ තිබෙන දේ හෙළි කරන්න පේතෘස් මැළි නොවෙන කෙනෙක්. සිතේ තිබුණු දේ හෙළි කරමින් ඔහු පැවසූ මේ වදන් අදටත් බොහෝ අයගේ මතකයේ රැඳී තිබෙනවා. “ස්වාමීනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයට මඟ පාදන වදන් පවසන්නේ ඔබ පමණයි.”—යොහ. 6:68.

9. පේතෘස්ට යේසුස් කෙරෙහි විශ්වාසයක් තිබුණු බව ඔහු පෙන්නුවේ කොහොමද?

9 පේතෘස්ට යේසුස් ගැන මොන තරම් විශ්වාසයක් තිබුණාද කියා ඔහු පැවසූ දෙයින් පැහැදිලි වෙනවා. යෙහෝවා දෙවි එවා තිබෙන එකම ගැලවුම්කරු යේසුස් බවත් ගැලවීම ලබාගැනීමට නම් දෙවිගේ රාජ්‍යය ගැන ඔහු උගන්වන දේවලට සවන් දීම වැදගත් බවත් ඔහු හොඳින්ම වටහාගෙන තිබුණා. සමහර අවස්ථාවලදී යේසුස් උගන්වන දේවල අර්ථය සම්පූර්ණයෙන්ම වැටහුණේ නැතත් දෙවිගේ අනුමැතිය හා සදාකාල ජීවනය ලැබෙන්නේ යේසුස් තුළින් පමණක් බවත් ඔහු තේරුම්ගෙන සිටියා.

යේසුස්ගේ ඉගැන්වීම් නුහුරු දෙයක් හෝ බලාපොරොත්තු නොවූ දෙයක් වුණත් විශ්වාස කිරීමට මැළි නොවෙමු

10. අපිට පේතෘස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

10 අද බොහෝ අය යේසුස්ට විශ්වාසවන්තව ඉන්නවා කියා පැවසුවත් ඔවුන් යේසුස්ගේ ඉගැන්වීම් පිළිගන්නේ නැහැ. නමුත් ඇත්තටම යේසුස්ට විශ්වාසවන්තව සිටිනවා කියා පවසන්න පුළුවන් වෙන්නේ පේතෘස් කළා හා සමානව ඔහුගේ ඉගැන්වීම් පිළිගන්නවා නම් පමණයි. ඒ නිසා අපි යේසුස් උගන්වා තිබෙන දේවල් හොඳින් අධ්‍යයනය කර අර්ථය වටහාගෙන අපේ ජීවිතයට අදාළ කරගැනීමට උත්සාහ කරමු. සමහර අවස්ථාවලදී ඔහුගේ ඉගැන්වීම් අපට නුහුරු දෙයක් හෝ අපි බලාපොරොත්තු නොවූ දෙයක් වුණත් විශ්වාස කිරීමට මැළි නොවෙමු. අපිට සදාකාල ජීවිතය ලබාගැනීමට හැකි වෙන්නේ දිගටම විශ්වාසවන්තව සිටියොත් පමණයි.ගීතාවලිය 97:10 කියවන්න.

නිවැරදි කිරීම් පිළිගත්තා

11. යේසුස් තම අනුගාමිකයන් සමඟ ගියේ කොහේටද? (පාදසටහනද බලන්න.)

11 මුල් ඡේදවල සඳහන් කළ කපර්ණවුමේ සිදු වූ සිද්ධියෙන් පසු යේසුස් ඔහුගේ නියෝජිතයන් සහ සමහර ගෝලයන් සමඟ උතුරු ප්‍රදේශයට යනවා. හිමෙන් වැසුණු අලංකාරවත් හෙර්මොන් කන්ද පිහිටා තිබෙන්නේ පොරොන්දු දේශයේ උතුරු මායිමට වෙන්නයි. පැහැදිලි අහසක් තිබුණු දවස්වලදී මේ කන්දේ ඡායාව ගලීල මුහුදේ නිසල දිය මත දැකගන්න පුළුවන්. හෙර්මොන් කන්ද අසල පිහිටි සිසේරිය ෆිලිප්පිය අවට ගම්මානවලට යේසුස් සහ ඔහු සමඟ සිටි පිරිස දැන් ඇතුල් වෙනවා. * මෙවන් රමණීය කඳුකර ප්‍රදේශයක සිටින යේසුස් ඔහු සමඟ සිටි අයගෙන් වැදගත් ප්‍රශ්නයක් අසනවා.

12, 13. (අ) සෙසු ජනයා තමන් ගැන සිතන්නේ මොනවාද කියා යේසුස් ඇසුවේ ඇයි? (ආ) පේතෘස්ට සැබෑ විශ්වාසයක් තිබෙන බව ඔහු දුන් පිළිතුරෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

12 “සමූහයා මම කවුරුන් කියලද කියන්නේ” කියා යේසුස් ගෝලයන්ගෙන් අසනවා. ඊට හේතුව තමන් කළ කී දේවල් දැකීමෙන් පසුව සෙසු ජනයා තමන් ගැන සිතන ආකාරය ගැන දැනගැනීමට ඔහුට අවශ්‍ය වන නිසයි. තමන්ගේ ස්වාමියා මොන තරම් ප්‍රඥාවන්ත හා බලවත් කෙනෙක් වුණත් ඔහු මොන තරම් කාරුණික කෙනෙක්ද කියා ඒ අවස්ථාවේදීත් පේතෘස්ට සිතෙන්න ඇති. බොහෝ අය යේසුස් ගැන කතා වෙන දේවල් ඔවුන් යේසුස්ට පවසනවා. ඊට සවන් දෙන යේසුස් මිනිසුන් තමන් ගැන වැරදි මත දැරුවත් තම ගෝලයන් තමා ගැන සිතන්නේ මොනවාද කියා දැනගැනීමට “ඔබ හිතන්නේ මම කවුරු කියාද” කියා ඔවුන්ගෙන් අසනවා.—ලූක් 9:18-20.

13 ඔවුන්ගෙන් බොහෝදෙනෙකුගේ සිත් තුළ එම ප්‍රශ්නයට පිළිතුර තිබුණත් මේ අවස්ථාවේදීත් පේතෘස් විගස පිළිතුරු දෙමින් “ඔබ ක්‍රිස්තුස්. ජීවමාන දෙවිගේ පුත්‍රයා ඔබයි” කියා පවසනවා. ඔහු එය පවසද්දී යේසුස් මද සිනහවක් පාමින් ඔහුව අගය කරන්න ඇති. ඒ වැදගත් සත්‍යය හරි හැටි වටහාගැනීමට යෙහෝවා දෙවි උපකාර කරන්නේ සැබෑ විශ්වාසයක් තිබෙන අයටයි කියා යේසුස් ඔහුට මතක් කර දෙනවා. යේසුස් පොරොන්දු වූ ගැලවුම්කරු බවට වූ අනගි සත්‍යය ඒ වන විටත් පේතෘස් තේරුම්ගෙන සිටියා.මතෙව් 16:16, 17 කියවන්න.

14. යේසුස් පේතෘස්ට ලබා දුන් වරප්‍රසාද මොනවාද?

14 ඉදි කරන්නන් විසින් ඉවත දමන ගලක් ගැන අනාවැකියක සඳහන් වුණා. එම ගලෙන් නියෝජනය කළේ යේසුස්වයි. (ගීතා. 118:22; ලූක් 20:17) ඉවත දැමූ ඒ ගල මත යෙහෝවා දෙවි සභාව ගොඩනඟන බව යේසුස් පවසද්දී ඒ අනාවැකිය ගැන යේසුස්ගේ මනසේ තිබුණා. මේ අවස්ථාවේදී පේතෘස්ට විශේෂ වරප්‍රසාද ලබා දෙමින් යේසුස් “ස්වර්ග රාජ්‍යයේ යතුරු” ඔහුට භාර දුන්නා. (මතෙ. 16:19) බොහෝ අය සිතන විදිහට යේසුස් පේතෘස්ට එම වරප්‍රසාද ලබා දුන්නේ ඔහු අනිත් නියෝජිතයන්ට වඩා උසස් නිසා නෙවෙයි. ඔහුට ලබා දුන්නේ උසස් තනතුරක් නෙවෙයි, ඒ වෙනුවට ඔහුට භාර දුන්නේ වගකීම් රැසක්. පේතෘස්ට ඒ යතුරු භාවිත කරමින් මුලින් යුදෙව්වන්ටත් දෙවනුව සමරිතානුවන්ටත් පසුව වෙනත් ජාතීන්ටත් දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ විශේෂ වරප්‍රසාද උදා කර දීමේ අවස්ථාව ලැබෙනවා.

15. පේතෘස් යේසුස්ට තදින් කතා කළේ ඇයි? ඔහු යේසුස්ට පැවසුවේ මොනවාද?

15 කෙනෙකුට බොහෝ දේවල් භාර දෙන විට ඔහුගෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා කියා යේසුස් පසු කාලයකදී පැවසූ දෙය පේතෘස්ටත් අදාළ වුණා. (ලූක් 12:48) ගැලවුම්කරු ලෙස අනාගතයේදී තමන්ට බොහෝ දුක් විඳීමටත් මිය යෑමටත් සිදු වන බව යේසුස් තම ගෝලයන්ට පැහැදිලි කරනවා. නමුත් එය පිළිගැනීමට පේතෘස් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා පේතෘස් යේසුස්ව පැත්තකට ගෙන ගොස් ඔහුට තදින් කතා කරමින් “ස්වාමීනි, ඔබ ගැනත් ටිකක් හිතන්න. ඒ වගේ දෙයක් ඔබට කවදාවත් සිදු විය යුතු නැහැ” කියා පවසනවා.—මතෙ. 16:21, 22.

16. පේතෘස්ව නිවැරදි කරමින් යේසුස් පැවසුවේ මොනවාද? එය අපිට අදාළ වෙන්නේ කොහොමද?

16 පේතෘස් යේසුස්ට එසේ පැවසුවේ යහපත් චේතනාවෙන් වුණත් යේසුස් පැවසූ දෙයින් ඔහු පුදුමයට පත් වෙනවා. ගෝලයන් දෙසට හැරී පේතෘස් වෙතට අත දිගු කළ යේසුස් මෙසේ පවසනවා. “සාතන්! මගෙන් අහකට යන්න! මට බාධා කරන්න එපා. ඔබ සිතන්නේ මිනිසුන් සිතන විදිහටයි. දෙවි සිතන විදිහට නොවෙයි.” (මතෙ. 16:23; මාක් 8:32, 33) යේසුස් පැවසූ ඒ වදන් අපිටත් අදාළ වෙනවා කියා ඔබට සිතෙන්නේ නැද්ද? දෙවි සිතන විදිහට දේවල් දිහා බලනවා වෙනුවට මිනිසුන් සිතන විදිහට කාරණා දෙස බලන්න අපිත් පෙලඹෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී අපි හොඳ චේතනාවෙන් පවසන දෙයක් වුණත් නොදැනුවත්වම එය දෙවිගේ අරමුණට විරුද්ධ දෙයක් වෙන්න පුළුවන්.

17. “අහකට යන්න!” කියා යේසුස් පේතෘස්ට පැවසූ දෙයින් අදහස් කළේ මොනවාද?

17 යේසුස් එසේ පැවසුවේ තමාව සාතන්ට සමාන කිරීමේ අරමුණින් නොවන බව පේතෘස් තේරුම්ගන්න ඇති. එක අවස්ථාවකදී යේසුස් සාතන්ට “අහකට යන්න!” කියා පැවසුවා. (මතෙ. 4:10) නමුත් යේසුස් “අහකට යන්න!” කියා පේතෘස්ට පැවසූ දෙය මුල් ලියවිලිවල සඳහන් වෙන්නේ පිටිපස්සට යන්න කියායි. යේසුස් ඒ අවස්ථාවේදී පේතෘස්ට එසේ පැවසුවේ ඔහුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමේ අරමුණින් නෙවෙයි. ඔහු තුළ මොන තරම් යහපත් ගතිගුණ තිබෙනවාද කියා යේසුස් හොඳින්ම දැනගෙන සිටියා. ඒ නිසා යේසුස් ඔහුට එසේ පැවසුවේ ඔහු සිතන ආකාරය නිවැරදි කිරීමේ අරමුණින් පමණයි. යේසුස් පේතෘස්ගෙන් බලාපොරොත්තු වුණේ ඔහුට බාධා කරන්නෙක් වෙනවා වෙනුවට ඔහුට සහය දක්වන ගෝලයෙක් වීමයි.

නිවැරදි කිරීම් අපි කැමැත්තෙන් පිළිගෙන වැරදි හදාගන්නවා නම් යෙහෝවා දෙවිට සහ යේසුස්ට තව තවත් ළං වෙන්න පුළුවන්

18. පේතෘස් යේසුස්ට විශ්වාසවන්තව සිටි බව ඔප්පු කළේ කොහොමද? අපිට ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

18 යේසුස් පැවසූ දෙයට පේතෘස් එකට එක කිව්වේවත් කේන්ති ගත්තේවත් නැහැ. ඒ වෙනුවට නිහතමානීව තමන්ගේ වරද පිළිගත්තා. මේ අවස්ථාවේදීත් ඔහු යේසුස්ට විශ්වාසවන්ත කෙනෙක් බව ඔප්පු කළා. අපි හැමෝටමත් යම් අවස්ථාවලදී නිවැරදි කිරීම් අවශ්‍ය වෙනවා. එවැනි අවස්ථාවලදී අපි ඒවා කැමැත්තෙන්ම පිළිගෙන වැරදි හදාගන්නවා නම් යෙහෝවා දෙවිට සහ යේසුස්ට තව තවත් ළං වෙන්න පුළුවන් වෙනවා.හිතෝපදේශ 4:13 කියවන්න.

පේතෘස්ට නිවැරදි කිරීම් ලැබෙද්දීත් යේසුස්ට විශ්වාසවන්තව සිටියා

ලැබුණු ආශීර්වාද

19. යේසුස් පැවසුවේ මොනවාද? පේතෘස් මොනවා ගැන කල්පනා කරන්න ඇද්ද?

19 යේසුස් තම ගෝලයන්ව පුදුම කරවමින් මෙසේ පවසනවා. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ මනුෂ්‍ය පුත්‍රයා රජු හැටියට පැමිණෙනවා දකින තුරු මෙතැන සිටින්නන්ගෙන් සමහරෙකු කිසිවිටකත් මරණය අද්දකින්නේ නැති බවයි.” (මතෙ. 16:28) ඔහු පැවසූ ඒ දේ ගැන පේතෘස්ට ලොකු කුතුහලයක් දැනුණු බවට සැකයක් නැහැ. නමුත් යේසුස් ඊට ටික වේලාවකට කලින් තමන්ට තදින් අවවාද කර තිබුණු නිසා දැන් යේසුස් පැවසූ දේ ඉටු වන අයුරු දකින්න තමන්ට අවස්ථාවක් නොලැබෙයි කියා පේතෘස් සිතන්න ඇති.

20, 21. (අ) පේතෘස් කන්දේදී දුටුවේ මොනවාද? (ආ) දර්ශනය අතරතුරේදී සිදු වූ කතාබහෙන් පේතෘස් තේරුම්ගත්තේ මොනවාද?

20 සතියකට පමණ පසුව යේසුස් යාකොබ්, යොහන් සහ පේතෘස් සමඟ “උස් කන්දකට” යනවා. පෙනෙන විදිහට ඔවුන් යන්න ඇත්තේ ආසන්නව පිහිටි හෙර්මොන් කන්දට වෙන්න ඇති. එහිදී යේසුස් යාච්ඤා කිරීමට පිටත්ව ගිය පසුව ගෝලයන් තිදෙනා නින්දට වැටුණු බව වාර්තාවේ සඳහන් වෙනවා. ඒ අනුව එය රාත්‍රී කාලය විය හැකියි. නමුත් බලාපොරොත්තු නොවූ ලෙස සිදු වූ දෙයක් නිසා ඔවුන් තිගැස්සී අවදි වෙනවා.—මතෙ. 17:1; ලූක් 9:28, 29, 32.

21 යේසුස්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සූර්යයා මෙන් ඔහුගේ මුහුණ දීප්තියෙන් බැබළෙන්න පටන්ගන්නවා. ඔහුගේ වස්ත්‍රය දිදුලන සුදකින් බැබළෙනවා. ඔහු අසලින් මෝසෙස්ව සහ එලියාව නියෝජනය කරන දෙදෙනෙක් සිටගෙන සිටිනවා. ඔවුන් කතා කරමින් සිටින්නේ “අනාවැකිවල සඳහන් ආකාරයට යෙරුසලමේදී ඔහු මෙලොවින් සමුගන්නා ආකාරය” ගැනයි. එනම් යේසුස්ගේ මරණය හා නැවත නැඟිටීම ගැනයි. යේසුස් දුක් විඳ මිය යෑමට අවශ්‍ය නැහැ කියා පේතෘස්ට කලින් සිතුණත් එය මොන තරම් වැරදි සිතුවිල්ලක්ද කියා ඔහු ඒ අවස්ථාවේදී තේරුම්ගන්න ඇති.—ලූක් 9:30, 31.

22, 23. (අ) පේතෘස් උද්‍යෝගයෙන් ක්‍රියා කළේ කොහොමද? (ආ) පේතෘස්, යාකොබ් සහ යොහන් ලැබූ ආශීර්වාදය කුමක්ද?

22 මෝසෙස් සහ එලියා යේසුස්ගෙන් වෙන් වී යද්දී ඔවුන්ව තවදුරටත් රඳවාගන්න ඇත්නම් කියා පේතෘස්ට සිතෙන්න ඇති. ඒ අවස්ථාවේදී පේතෘස් ඉතා කලබලයෙන් යේසුස්ට මෙසේ පවසනවා. “ගුරුතුමනි, මේ අවස්ථාවේදී මෙතැන සිටින්න ලැබීම අපට ලොකු සතුටක්. අපි මෙහි කූඩාරම් තුනක්, එකක් ඔබටත් එකක් මෝසෙස්ටත් එකක් එලියාටත් සාදන්නම්.” ඒ වන විටත් මෝසෙස් සහ එලියා මිය ගොස් සිටි නිසා ඔවුන්ට කූඩාරම් අවශ්‍ය වෙන්නේ නැහැ. පේතෘස් ඒ අවස්ථාවේදී පැවසුවේ ඔහු පවසන්නේ කුමක්ද කියාවත් හරි හැටි තේරුම් නොගෙනයි. කොහොමවුණත් ඉතා උද්‍යෝගිමත් චරිතයක් වන පේතෘස් කෙරෙහි ඔබට අගයක් ඇති වෙන්නේ නැද්ද!—ලූක් 9:33.

පේතෘස් මෙන්ම යාකොබ් සහ යොහන්ද දර්ශනය දකිනවා

23 එදින රාත්‍රියේදී පේතෘස්, යාකොබ් සහ යොහන් තවත් ආශීර්වාදයක් ලබනවා. එකවිටම වලාකුළක් ඇවිත් ඔවුන්ව වසාගන්නවා. ඒ වලාකුළ අතරින් යෙහෝවා දෙවිගේ හඬ ඇසෙනවා. “මේ මගේ පුත්‍රයාය. මා තෝරාගෙන තිබෙන්නේ මොහුවයි. මොහුට සවන් දෙන්න” කියා දෙවි පවසනවා.—ලූක් 9:34-36.

24. (අ) පේතෘස් දුටු දර්ශනය ඔහුට උපකාරවත් වුණේ කොහොමද? (ආ) එම දර්ශනය අපිට උපකාරවත් වෙන්නේ කොහොමද?

24 අනාගතයේදී යේසුස් රජු ලෙස පත්වීමේ ‘මහත් තේජස ඇස්වලින්ම’ දැකගන්න තමන්ට ලැබුණු එම අනගි වරප්‍රසාදය ගැන පසු කාලයකදී පේතෘස් වාර්තා කර තිබෙනවා. ඉදිරියේදී ඔහුට මුහුණ දීමට සිදු වෙන සෑම පීඩාවකටම හොඳින් මුහුණ දීමටත් දෙවි පවසා තිබෙන බොහෝ අනාවැකිවල සත්‍යතාව තේරුම්ගැනීමටත් එම දර්ශනය ඔහුට උපකාරවත් වුණා. (2 පේතෘස් 1:16-19 කියවන්න.) පේතෘස් දුටු දර්ශනය ඔහු මෙන්ම අපත් ලද ආශීර්වාදයක් කියා පවසන්න පුළුවන්. යේසුස් සහ දෙවිගේ රාජ්‍යය සම්බන්ධ අනාවැකි ගැන නිසැකකමක් ඇති කරගැනීමට එම දර්ශනය අපිටත් උපකාරවත් වෙනවා. අපිත් පේතෘස් මෙන් යේසුස්ට විශ්වාසවන්තව සිටිනවා නම්, ඔහු උගන්වා තිබෙන දේවල් අධ්‍යයනය කරනවා නම්, නිවැරදි කිරීම් ලැබෙද්දී ඒවා කැමැත්තෙන්ම පිළිගන්නවා නම් හා දිගටම ඔහුව අනුගමනය කරනවා නම් අපිටත් දෙවිගේ රාජ්‍යයේ ආශීර්වාද ලබන්න පුළුවන්.

^ 6 ඡේ. කලින් දවසේදී යේසුස්ව දෙවිගේ අනාගතවක්තෘවරයෙක් ලෙස පිළිගත් සෙනඟගේ ආකල්පය දැන් මොන තරම් වෙනස් වෙලාද කියා පැහැදිලියි.—යොහ. 6:14.

^ 11 ඡේ. ගලීල මුහුද පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 210ක් පහළින්. හෙර්මොන් කන්ද පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 350ක් ඉහළින්. ගලීල මුහුදේ සිට එම ගමන යෑමට කිලෝමීටර් 50ක දුරක් යෑමට තිබුණා.