Skip to content

පටුනට යන්න

පහළොස්වෙනි පරිච්ඡේදය

දෙවිගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටි රැජිනක්

දෙවිගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටි රැජිනක්

1-3. (අ) තම ස්වාමිපුරුෂයාව හමු වීමට යෑමේදී එස්තර්ට එතරම් බියක් දැනුණේ ඇයි? (ආ) අපි සලකා බලන ප්‍රශ්න මොනවාද?

සන්සුන්ව සිටීමට වෙර දරන එස්තර් දැන් පියනඟන්නේ ෂූෂන් මාලිගාවේ මළුව දෙසටයි. එය පිහිටා තිබෙන්නේ සාග්‍රොස් කඳුවැටියට ආසන්නව තිබෙන විශාල උස් බිමක. කෝඇස්පීස් (කර්කේ) ගංඟාව ඒ අසලින් ගලා ගිය නිසා එහි පිහිටීම තවත් අලංකාරවත් වුණා. මාලිගාවේ ඔප දමන ලද බිත්තිවල නේක වර්ණවලින් පැහැගැන්වූ දුනුවායන්ගේ, තටු සහිත සිංහයන්ගේ සහ ගවයන්ගේ රූප කැටයම් කර තිබුණා. එහි තිබුණු විශාල කුලුනු හා ප්‍රතිමා නිසා එහි පෙනුම තවත් ඔප්නැංවී තිබුණා. මේ සෑම දෙයකින්ම කියාපෑවේ එහි පාලකයාගේ තේජවත් බවයි. ඇත්තටම එස්තර් හමු වෙන්න යන්නේ ඇගේ ස්වාමිපුරුෂයා වන අහෂ්වේරොෂ් නම් “තේජවත් පාලකයාවයි.”

2 සාමාන්‍යයෙන් යුදෙව් තරුණියක් විවාහ වීමට බලාපොරොත්තු වන පුරුෂයෙකුට වඩා ඔහු මොන තරම් වෙනස්ද! * එස්තර් නමස්කාර කළ යෙහෝවා දෙවි ගැනවත් දෙවි පනවා තිබුණු නීති ගැනවත් ඔහු දැන සිටියේ නැහැ. ඒ නිසා තම භාර්යාවට සවන් දෙන්න කියා යෙහෝවා දෙවි පැවසූ විට ඊට කීකරු වූ ආබ්‍රහම් වැනි පුරුෂයන්ගේ ආදර්ශ අනුගමනය කිරීමට ඔහු උත්සාහ කළේත් නැහැ. (උත්. 21:12) ඔහු දැනුවත් වී සිටියේ පර්සියාවේ නීතිරීති ගැන පමණයි. රජුගේ ආරාධනයක් නොමැතිව රජු ඉදිරියේ පෙනී සිටින ඕනෑම කෙනෙකුට මරණ දණ්ඩනය හිමි වන බව පර්සියානු නීතියේ සඳහන් වුණා. එස්තර් එය දැන දැනත් රජුගේ ආරාධනයක් නොමැතිව රජු ඉදිරියට යනවා. මාලිගාවේ ඇතුල් මළුවට යද්දී, සිංහාසනයේ සිටින රජු ඇයව දකිනවා. කෙමෙන් කෙමෙන් ඉදිරියට පියනඟද්දී මේ ගෙවෙන්නේ තම ජීවිතයේ අවසාන මොහොත කියා ඇයට සිතෙන්න ඇති.එස්තර් 4:11; 5:1 කියවන්න.

3 එස්තර් ජීවිතය පරදුවට තබා රජු ඉදිරියට යන්නේ ඇයි? දෙවි කෙරෙහි ඇයට තිබුණු විශ්වාසය ගැන දැනගැනීම අපට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? පිළිතුරු දැනගැනීමට කලින් එස්තර් පර්සියාවේ අගබිසව බවට පත් වුණේ කොහොමද කියා අපි බලමු.

එස්තර්ගේ වගතුග

4. එස්තර්ට මොර්දෙකයි යටතේ හැදී වැඩීමට සිදු වුණේ ඇයි?

4 එස්තර් කුඩා කාලයේදීම ඇගේ දෙමාපියන් මිය ගොස් තිබුණා. ඔවුන් “හදස්සා” යන හෙබ්‍රෙව් නම ඇයට දමා තිබුණා. හදස්සා කියන්නේ සුදු පාට මල් පිපෙන ලස්සන පඳුරකට. ඇගේ දෙමාපියන්ගේ ඇවෑමෙන් පසුව එස්තර් හැදී වැඩුණේ ඇගේ ඥාතියෙක් වන මොර්දෙකයි යටතෙයි. වයසින් මුහුකුරා ගිය ඔහු තමන්ගේම දියණියක් ලෙස ඇයව හදා වඩා ගත්තා.—එස්ත. 2:5-7, 15.

මොර්දෙකයිට එස්තර් ගැන ලොකු ආඩම්බරයක් දැනුණා

5, 6. (අ) මොර්දෙකයි එස්තර්ට ඉගැන්නුවේ මොනවාද? (ආ) ඔවුන්ගේ ජීවිත ගෙවුණේ කොහොමද?

5 යුදෙව් ජාතිකයන් වන මොර්දෙකයි සහ එස්තර් පර්සියානු අගනුවරේ ජීවත් වෙන්නේ විදේශිකයන් ලෙසයි. එහිදී ඔවුන්ගේ ආගම සහ යුදෙව් නීතිය පිළිපැදීමට උත්සාහ කරද්දී අන් අයගේ නින්දාවටත් ලක් වෙන්න ඇති. කොහොමවුණත් මොර්දෙකයි, එස්තර්ට යෙහෝවා දෙවි ගැන බොහෝ කාරණා උගන්වනවා. දයාවන්ත දෙවි කෙනෙක් වූ යෙහෝවා අතීතයේදී ඔහුගේ සෙනඟව ගලවාගත් ආකාරයත් ඉදිරියටත් ඔහුගේ සෙනඟව ගලවාගන්නා ආකාරයත් ඇයට කියා දෙනවා. (ලෙවී. 26:44, 45) මේ නිසා යෙහෝවා දෙවි සමඟ තිබුණු බැඳීමත් මොර්දෙකයි සහ එස්තර් අතර තිබුණු බැඳීමත් වැඩි වෙන්න ඇති.

6 මොර්දෙකයි නිතරම ෂූෂන් මාලිගාවේ දොරටුව අසල රජුගේ වෙනත් සේවකයන් සමඟ හිඳගෙන සිටියා කියා වාර්තා වෙනවා. ඒ අනුව ඔහු ඒ මාලිගාවේ යම් නිලයක් දරන්න ඇති කියා සිතන්න පුළුවන්. (එස්ත. 2:19, 21; 3:3) එස්තර් යෞවන කාලයේදී කළේ මොනවාද කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. සමහරවිට ඇය ගෙදරදොරේ වැඩ කටයුතුවල නියැලෙමින් මොර්දෙකයිට අවශ්‍ය උපකාරය ලබා දෙන්න ඇති. ඔවුන් ජීවත් වෙන්න ඇත්තේ ෂූෂන් මාලිගාවට එපිටින් පිහිටි දුගී දුප්පත් අය ජීවත් වූ ප්‍රදේශයකයි. රන්, රිදී හා වෙනත් භාණ්ඩවලින් පිරුණු බොහෝ කඩ සාප්පු ෂූෂන් නගරයේ තිබුණු නිසා ඇය ආසාවෙන් නගරයට ගියා කියා සිතන්න පුළුවන්. එහිදී ඇය දුටු මිල අධික ඒ රන් රිදී යම් දිනකදී තමන්ට හිමි කරගන්න ලැබෙයි කියා ඇය හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

“ඉතා රූමත් තරුණියක්”

7. වෂ්ටී බිසවට කිරුළ අහිමි වුණේ ඇයි? ඉන්පසු සිදු වුණේ කුමක්ද?

7 දවසක් රජමාලිගාවේ සිදු වූ කලබැගෑනියක් ගැන මුළු නගරයේම වැසියන්ගේ කතාබහට ලක් වෙනවා. මාලිගාවේ පැවැත්වෙන විශාල භෝජන සංග්‍රහයක් සඳහා අහෂ්වේරොෂ් රජු ඔහුගේ නිලධාරීන්ටත් අධිපතීන්ටත් ආරාධනා කර තිබෙනවා. තමන්ගේ බිසව වූ වෂ්ටී ඉතා සුරූපී නිසා ඇගේ රූමත්කම අධිපතීන්ට පෙන්වීමේ අරමුණෙන් එම භෝජන සංග්‍රහයට පැමිණෙන්න කියා රජු ඇයටත් පණිවිඩයක් යවනවා. නමුත් රජමාලිගාවේ ස්ත්‍රීන් සමඟ සංග්‍රහයක් භුක්ති විඳිමින් සිටි වෂ්ටී බිසව රජුගේ ආරාධනාව පිළිගන්නේ නැහැ. එය රජුට මොන තරම් නින්දාවක්ද! බිසවගේ ක්‍රියාකලාපය ගැන කෝපයට පත් වෙන රජු නිලධාරීන්ගේ උපදෙස් මත ඇයව අගබිසවකමින් පහකරනවා. ඒ නිසා රජුගේ සේවකයන් අගබිසව ලෙස පත් කිරීම සඳහා සුදුසු කෙනෙකුව සොයාගැනීමේ අරමුණින් මුළු රාජධානිය පුරාම සිටින රූමත් කන්‍යාවන්ව සෙවීමට පටන්ගන්නවා. අගබිසව ලෙස කිරුළු පැළඳීමේ භාග්‍යය හිමි වෙන්නේ රජුගේ ප්‍රසාදය දිනාගන්නා කන්‍යාවටයි.—එස්ත. 1:1–2:4.

8. (අ) එස්තර් වයසින් වැඩෙද්දී මොර්දෙකයි ඇය ගැන එතරම් සැලකිලිමත් වෙන්න ඇත්තේ ඇයි? (ආ) රූපශ්‍රීය ගැන බයිබලයේ සඳහන් සමබර අදහස කුමක්ද? (හිතෝපදේශ 31:30ද බලන්න.)

8 මේ වන විට එස්තර් “ඉතා රූමත් තරුණියක්.” (එස්ත. 2:7) ඒ ගැන මොර්දෙකයිට ලොකු ආඩම්බරයක් වගේම ඇය ගැන ලොකු වගකීමේ හැඟීමක්ද දැනෙන්න ඇති. කොහොමවුණත් බයිබලයේ රූමත්කම සම්බන්ධයෙන් දී තිබෙන්නේ සමබර අදහසක්. රූමත්කම අගනා දෙයක් වෙන්නේ එවැනි කෙනෙකු ප්‍රඥාවන්තව හා යටහත්පහත්ව ක්‍රියා කරනවා නම් පමණයි. (හිතෝපදේශ 11:22 කියවන්න.) එවැනි යහපත් ගුණාංග වර්ධනය කරගත්තේ නැත්නම් රූමත් කෙනෙකු තුළ අහංකාරය, උඩඟුකම ඇතුළු නරක ගුණාංග ඇති වෙන්න පුළුවන්. එවැනි නරක ගුණාංග තිබෙන කෙනෙකුට මොන තරම් රූපශ්‍රීයක් තිබුණත් ඉන් පලක් තියෙයිද! එස්තර් සතු රූපශ්‍රීය ඇයට දායාදයක් වුණාද කියා අපි බලමු.

9. (අ) එස්තර්ව දකින සේවකයන් කළේ කුමක්ද? මොර්දෙකයිගෙන් වෙන් වීම එස්තර්ට වේදනාකාරී වෙන්න ඇත්තේ ඇයි? (ආ) යෙහෝවා දෙවිට නමස්කාර නොකරන කෙනෙකු සමඟ විවාහ වීමට මොර්දෙකයි එස්තර්ට ඉඩහැරියේ ඇයි? (කොටුවද බලන්න.)

9 රූමත් කන්‍යාවන්ව සොයාගෙන යන රජුගේ සේවකයන් එස්තර්ව දකිනවා. ඒ නිසා ඔවුන් ඇයවත් ගඟෙන් එගොඩ පිහිටි මාලිගාවට රැගෙන යනවා. (එස්ත. 2:8) පියෙකු හා දියණියක් මෙන් ස්නේහවන්ත බැඳීමක් තිබුණු මොර්දෙකයි හා එස්තර්ට මේ වෙන් වීම නම් දරාගන්න බැරි වෙන්න ඇති. තමාගේ දියණියක් හා සමාන එස්තර් යෙහෝවා දෙවිට නමස්කාර නොකරන කෙනෙකු සමඟ විවාහ වෙනවාට මොර්දෙකයි කොහෙත්ම කැමති නොවූ බවට සැකයක් නැහැ. ධන සම්භාරයක් හිමි රජෙකු වුණත් යෙහෝවා දෙවිට නමස්කාර නොකරන කෙනෙකුගෙන් ඇති පලක් නැහැ කියා මොර්දෙකයිට සිතෙන්න ඇති. නමුත් ඔහුට කළ හැකි කිසිවක් නැහැ. * මොර්දෙකයිගෙන් සමුගන්නා මොහොතේ ඔහු පවසන සෑම වචනයක්ම එස්තර් හොඳින් හිතට ගන්න ඇති. ෂූෂන් මාලිගාවට යන අතරතුරේදී ඇගේ මනසේ දහසකුත් ප්‍රශ්න මතු වෙන්නත් ඇති.

‘ඇය සියලුදෙනාගේ කරුණාව දිනාගත්තාය’

10, 11. (අ) එස්තර්ගේ අලුත් ජීවන රටාව ඇයට මොන වගේ බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබුණද? (ආ) මොර්දෙකයි එස්තර් ගැන සැලකිලිමත් වුණේ කොහොමද?

10 රජමාලිගාවට ඇතුළු වූ එස්තර් තමන් පැමිණ තිබෙන්නේ වෙනමම ලෝකයකටද කියා සිතන්න ඇති. පර්සියානු රාජධානියේ විවිධ ප්‍රදේශවලින් පැමිණි බොහෝ ‘තරුණියන්ගෙන්’ මාලිගාව පිරී තිබුණා. ඔවුන්ගේ සිරිත් විරිත් හා භාෂා වගේම ආකල්පද වෙනස් වෙන්න ඇති. මේ හැමදෙනාම සිටියේ හෙගයි නම් නිලධාරියා යටතෙයි. මේ තරුණියන්ට අවුරුද්දක කාලයක් පුරා සුවඳැති තෙල් සම්බාහනය ඇතුළු රූපලාවණ්‍ය සත්කාර ලබා දෙන්න සූදානම් කර තිබුණා. (එස්ත. 2:8, 12) එලෙස රජමාලිගාවේ සුඛෝපභෝගී ජීවිතයක් ගෙවීමටත් තමන්ගේ රුව වැඩි කරගැනීමටත් ලැබුණු මේ කදිම අවස්ථාව නිසා එකිනෙකා අතර කැපීපෙනෙන්න මේ තරුණියන් උත්සාහ කරන්න ඇති.

11 එස්තර්ගේ සැප දුක් සොයා බලන්න මොර්දෙකයි තරම් උනන්දු වූ කෙනෙක් තවත් නැහැ. ඔහු එස්තර් ගැන තොරතුරු දැනගන්න ස්ත්‍රීන්ගේ නිවසේ මළුව ඉදිරිපිටින් දිනපතාම ගමන් කරනවා. (එස්ත. 2:11) ඔහුට ඇය ගැන දැනගන්න ලැබෙන්න ඇත්තේ ඔහු දන්නා හඳුනන සේවකයන් මාර්ගයෙන් වෙන්න ඇති. ඇය හොඳින් දේවල් කරගෙන යන බව දැනගනිද්දී ඔහුට ඒ ගැන කොතරම් ආඩම්බරයක් දැනෙන්න ඇද්ද!

12, 13. (අ) එස්තර් මොන වගේ නමක් දිනාගෙන තිබුණාද? (ආ) එස්තර් යුදෙව් පෙළපතකින් පැමිණෙන කෙනෙකු බව හෙළි නොකිරීම ගැන මොර්දෙකයි සතුටු වෙන්න ඇත්තේ ඇයි?

12 එස්තර් ගැන හෙගයිට පැහැදීමක් ඇති වුණු නිසා ඔහු ඇයට කරුණාවන්තව සලකනවා. ඔහු ඇගේ සහයට තරුණියන් හත්දෙනෙකුව ලබා දෙන්නෙත් හොඳම ස්ථානයක නවාතැන් දෙන්නෙත් ඒ නිසයි. “ඒ කාලය අතරතුර එස්තර් සියලුදෙනාගේ කරුණාව දිනාගත්තා.” (එස්ත. 2:9, 15) ඇයට එවැනි කරුණාවක් ලැබුණේ ඇගේ රූපය නිසාම නෙවෙයි.

රූපශ්‍රීයට වඩා ප්‍රඥාවන්තකම හා යටහත්පහත්කම වටින බව එස්තර් තේරුම්ගෙන සිටියා

13 ඇය ක්‍රියා කළ ආකාරය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘ඇගේ සෙනඟ ගැනවත් ඇගේ ඥාතීන් ගැනවත් කිසිවෙකුට කියන්න එපා කියා මොර්දෙකයි එස්තර්ට අණ කර තිබුණා. ඒ නිසා ඇය කිසිවෙකුටවත් ඒ ගැන කිව්වේ නැහැ.’ (එස්ත. 2:10) මොර්දෙකයි ඇයට එසේ පැවසුවේ පර්සියානුවන්ට යුදෙව්වන් ගැන පහත් ආකල්පයක් තිබුණු බව ඔහු දැන සිටි නිසයි. එස්තර් තමන් ළඟ නැතත් ඇය තවමත් ප්‍රඥාවන්තව හා කීකරුව ක්‍රියා කරන බව දැනගැනීමෙන් මොර්දෙකයි මොන තරම් සතුටු වෙන්න ඇතිද!

14. එස්තර්ගේ ආදර්ශය අනුකරණය කරන්න යෞවනයන්ට පුළුවන් කොහොමද?

14 අද සිටින යෞවනයන්ටත් එස්තර්ගෙන් වටිනා පාඩම් රැසක් ඉගෙනගන්න පුළුවන්. අවට ඉන්න අය වැරදි දේවල් කළත් දිගටම දෙවි දී තිබෙන ප්‍රතිපත්තිවලට කීකරු වෙන්න ඔබටත් පුළුවන්. දෙමාපියන් ළඟ නැති අවස්ථාවලදීත් දිගටම හරි දේ කරන්න උත්සාහ කරන්න. එසේ කිරීමෙන් එස්තර් මෙන් ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවිව සතුටු කරන්න ඔබටත් පුළුවන්.හිතෝපදේශ 27:11 කියවන්න.

15, 16. (අ) එස්තර්, රජුගේ හිත දිනාගත්තේ කොහොමද? (ආ) එස්තර්ගේ ජීවිතේ සිදු වූ මෙම වෙනස ඇයට අභියෝගයක් වෙන්න ඇත්තේ ඇයි?

15 රජු ඉදිරියේ පෙනී සිටීමේ වාරය දැන් පැමිණ තිබෙන්නේ එස්තර්ට. තමන්ගේ රුව වඩවාගැනීමට අවශ්‍ය දෙයක් හෝ තමන් කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න ඇයට අවසර තිබුණත් හෙගයි ලබා දුන් දේවලට අමතරව එස්තර් කිසිවක් ඉල්ලන්නේ නැහැ. (එස්ත. 2:15) රජුගේ සිත දිනාගැනීමට රූප සොභාව පමණක් නොව යටහත්පහත්කම සහ මෘදුකම වැනි ගුණාංගත් අවශ්‍ය බව ඇය තේරුම්ගන්න ඇති. කොහොමවුණත් රජමාලිගාවේ සිටි බොහෝ අය අතරේ එවැනි ගුණාංග දක්නට ලැබුණේ නැහැ.

16 ‘රජ අන් සියලු තරුණියන්ට වඩා ඇයට ආදරේ කරනවා. ඒ නිසා අන් සියලුම තරුණියන්ට වඩා රජුගේ ප්‍රේමයත් විශේෂ සැලකිල්ලත් ඇයට හිමි වෙනවා. රජ, රාජකීය හිස් පළඳනාව ඇයට පළඳවා වෂ්ටී බිසව වෙනුවට ඇයව තම බිසව කරගන්නවා.’ (එස්ත. 2:17) එවකට ලෝකයේ සිටි බලවත්ම පාලකයාගේ බිසව වීමේ වරප්‍රසාදය ලැබෙන්නේ මේ දුප්පත් තරුණියටයි. තමන්ට ලැබුණු මෙම බාරදූර පැවරුම සඳහා අලුතින්ම සූදානම් වීමට එස්තර්ට සිදු වෙන්න ඇති.

17. (අ) එස්තර් මොර්දෙකයිට දිගටම කීකරු වුණේ කොහොමද? (ආ) එස්තර්ගේ ආදර්ශය අපට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

17 එස්තර්ට හිමි වුණු අලුත් වරප්‍රසාදය ගැන ඇය හිස උදුම්මාගන්නේ නැහැ. ඇය දිගටම මොර්දෙකයිට කීකරු වෙනවා. තම ඥාතීන් ගැනවත් සෙනඟ ගැනවත් කිසිවෙකුට කියන්න එපා කියා මොර්දෙකයි පවසා තිබුණු නිසා ඇය තවමත් එය රහසක් ලෙස රැකගන්නවා. ඒ වගේම අහෂ්වේරොෂ් රජුව ඝාතනය කරන්න යම් අය කුමන්ත්‍රණය කරන බව දැනගත් මොර්දෙකයි ඒ බව එස්තර්ට දැන්වූ විට ඇය ඒ ගැන රජුට දන්වනවා. රජු එම කුමන්ත්‍රණකරුවන්ව මරණයට පත් කරන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. (එස්ත. 2:20-23) නිහතමානීකම හා කීකරුකම වැනි ගුණාංග විදහාපෙන්වමින් එස්තර් තවමත් දෙවිට විශ්වාසවන්තව සිටිනවා. අකීකරුකම හා කැරලිකාරකම දසත පැතිරී තිබෙන සමාජයක එස්තර්ගේ ආදර්ශය අනුගමනය කිරීම මොන තරම් වටිනවාද! ඇත්තෙන්ම දෙවි කෙරෙහි සැබෑ විශ්වාසයක් තිබෙන අය කීකරුකම සලකන්නේ උතුම් ගුණාංගයක් ලෙසයි.

එස්තර්ගේ විශ්වාසය පරීක්ෂණයට ලක් වේ

18. (අ) මොර්දෙකයි, හාමාන්ට වැඳ වැටී ආචාර නොකරන්නේ ඇයි? (පාදසටහනද බලන්න.) (ආ) අද දිනත් දෙවිට විශ්වාසවන්ත සේවකයන් මොර්දෙකයිගේ ආදර්ශය අනුකරණය කරන්නේ කොහොමද?

18 පර්සියාවේ සිටි හාමාන් නම් තැනැත්තෙකුට අහෂ්වේරොෂ් රජු අන් සියලු අධිපතීන්ට වඩා උසස් තනතුරක් ලබා දෙනවා. අගමැති ලෙසත් රජුගේ ප්‍රධාන උපදේශක ලෙසත් අධිරාජ්‍යයේ දෙවෙනියා ලෙසත් රජු ඔහුව පත් කරනවා. හාමාන් සෙනඟ අසලින් යද්දී වැඳ වැටී ආචාර කළ යුතු බවට රජු නියෝගයක්ද පනවනවා. (එස්ත. 3:1-4) ඒ නීතියට කීකරු වීම මොර්දෙකයිට විශාල අභියෝගයක්. ඔහු රජුගේ නීතිවලට කීකරු වීමට කැමති වුණත් එසේ කිරීමේදී දෙවිට ඉන් අගෞරවයක් වෙනවා නම් ඔහු එය කොහෙත්ම කරන්නේ නැහැ. හාමාන්, සාමුවෙල්ගේ අතින් මරණයට පත් වූ අමලෙක්වරුන්ගේ රජු වන ආගග්ගෙන් පැවතෙන කෙනෙක්. (1 සාමු. 15:33) අමලෙක්වරු මොන තරම් දුෂ්ට ජාතියක්ද කියනවා නම් ඔවුන් යෙහෝවා දෙවිගෙත් ඊශ්‍රායෙල් ජාතියෙත් සතුරන් බවට පත් වුණා. යෙහෝවා දෙවි අමලෙක්වරුන්ව ජාතියක් හැටියට සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට තීරණය කර තිබුණා. * (ද්වි. 25:19) එහෙමනම් දෙවිට විශ්වාසවන්ත යුදෙව්වෙක් වන මොර්දෙකයි, අමලෙක්වරයෙකුට වැඳ වැටී ආචාර කරන්නේ කොහොමද! අද දිනත් දෙවිට විශ්වාසවන්ත සේවකයන් ජීවිත පරදුවට තබමින් ‘කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිට’ යන ප්‍රතිපත්තියට ඇලී සිටිනවා.—ක්‍රියා 5:29.

19. හාමාන්ට අවශ්‍ය වෙන්නේ කුමක් කිරීමටද? ඒ සඳහා ඔහු රජුව කැමති කරවාගන්නේ කොහොමද?

19 මොර්දෙකයි තමන්ට ආචාර නොකරන බව දකින හාමාන්ගේ කේන්තිය ඉහවහා යනවා. හාමාන්ට අවශ්‍ය වෙන්නේ මොර්දෙකයිව විතරක් නෙවෙයි ඔහුගේ මුළු සෙනඟවත් තුරන් කර දැමීමටයි. ඒ නිසා ඔහු යුදෙව්වන් ගැන වැරදි චිත්‍රයක් රජුගේ මනසේ ඇති කරනවා. කෙළින්ම යුදෙව් ජාතිය කියා සඳහන් නොකර එක්තරා ජන කොටසක් “අන් සෙනඟ හා සම්බන්ධ නොවී වෙනම සෙනඟක්” ලෙස ජීවත් වෙනවා කියාත් රජුගේ නීතිය පිළිනොපදින ඔවුන් භයානක කැරලිකරුවන් කියාත් ඔහු පවසනවා. පර්සියානු අධිරාජ්‍යයේ සිටින සියලුම යුදෙව්වන්ව සමූල ඝාතනය කිරීමට වැය වන මුදල රජුගේ භාණ්ඩාගාරයට ලබා දෙන්නත් ඔහු පොරොන්දු වෙනවා. * ඔහුට සවන් දෙන අහෂ්වේරොෂ් රජු මුද්‍රා තබන මුද්ද හාමාන්ට ලබා දී ඔහුට කැමති නියෝගයක් නිකුත් කරන්න අවසර දෙනවා.—එස්ත. 3:5-10.

20, 21. (අ) මොර්දෙකයිට සහ පර්සියාවේ සිටි යුදෙව්වන්ට හාමාන් යැවූ පණිවිඩය බලපෑවේ කොහොමද? (ආ) මොර්දෙකයි එස්තර්ට පැවසුවේ කුමක් කරන්න කියාද?

20 වැඩි කල් නොගොස් මුළු පර්සියානු අධිරාජ්‍යය පුරාම ගිය අසරුවන් යුදෙව්වන්ට අත් වීමට යන විනාශය ගැන අස්සක් මුල්ලක් නෑරම දැනුම් දෙනවා. මේ පණිවිඩය යෙරුසලමේ සිටි යුදෙව්වන්ට කොහොම බලපාන්න ඇතිද! බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වී පැමිණි යුදෙව්වන් තවමත් තමන්ගේ නගරය වටා ආරක්ෂක පවුරු ගොඩනැඟීමට වෙරදරමිනුයි සිටින්නේ. මොර්දෙකයිට ඔවුන් ගැනත් ෂූෂන් නගරයේ සිටින ඔහුගේ නෑදෑ හිතමිතුරන් ගැනත් මතක් වෙන්න ඇති. හද පැලෙන තරම් වේදනාවක් දැනෙන ඔහු වස්ත්‍ර ඉරාගෙන, ගෝණි රෙදි ඇඳගෙන, අළු තවරාගෙන නගරය මැදට ගිහින් හඬා වැලපෙනවා. නමුත් යුදෙව්වන්ට අත් වීමට යන විනාශය ගැන කිසිම තැකීමක් නොකරන හාමාන්, රජු සමඟ වයින් බොමින් විනෝද වෙනවා.එස්තර් 3:12–4:1 කියවන්න.

21 තමන්ගේ සෙනඟ වෙනුවෙන් මොර්දෙකයිට කරන්න පුළුවන් මොනවාද? මේ අතරතුරේදී ඔහු ගෝණි රෙදි ඇඳගෙන හඬා වැලපෙන බව එස්තර්ට දැනගන්න ලැබෙනවා. ඇය තම සේවකයන් අතේ ඔහුට ඇඳුම් යැව්වත් ඔහු ඒවා භාරගන්නේ නැහැ. යෙහෝවා දෙවිට නමස්කාර නොකරන කෙනෙකු සමඟ විවාහ වීමට තමාගේ ප්‍රේමණීය දියණියට දෙවි ඉඩහැරියේ ඇයි කියා ඔහු බොහෝ කාලයක් තිස්සේ කල්පනා කරන්න ඇති. නමුත් ඔහුට දැන් ඊට හේතුව වැටහෙනවා ඇති. “ඇගේ සෙනඟ වෙනුවෙන්” රජු ඉදිරියේ පෙනී සිට ඔහුගේ කරුණාව දිනාගන්න කියා මොර්දෙකයි එස්තර්ට පණිවිඩයක් යවනවා.—එස්ත. 4:4-8.

22. රජු ඉදිරියට යෑමට එස්තර් බිය වුණේ ඇයි? (පාදසටහනද බලන්න.)

22 එය දැනගැනීමෙන් එස්තර් මහත් සේ කැලඹෙන්න ඇති. යෙහෝවා දෙවි කෙරෙහි ඇයට තිබෙන විශ්වාසය ඔප්පු කිරීමට මෙය කදිම අවස්ථාවක් වුණත් රජු ඉදිරියට යෑමට ඇති බිය ගැන ඇය මොර්දෙකයිට දන්වා යවනවා. රජුගෙන් ආරාධනාවක් නැතුව ඔහුව හමු වීමට යන කෙනෙකුට මරණ දඬුවම හිමි වන බවත් එසේ නොවන්නේ රජු ඔහුගේ රන් යෂ්ටිය දිගු කළොත් පමණක් බවත් ඇය සඳහන් කරනවා. වෂ්ටී බිසවට සිදු වූ දේ ඇයටත් සිදු නොවෙයි කියා සිතන්න එස්තර්ට හේතුවක් තිබෙනවාද? ඒ විතරක් නෙවෙයි ඇයට දවස් තිහකින් රජුගෙන් ආරාධනාවක් ලැබී නැති බවත් ඇය සඳහන් කරනවා. එතරම් කාලයක් රජුගෙන් ඇයට ආරාධනාවක් නොලැබුණේ රජුගේ ප්‍රසාදය ඇයට අහිමි වී තිබෙන නිසාද කියා ඇය කල්පනා කරන්න ඇති. *එස්ත. 4:9-11.

23. (අ) එස්තර්ව දිරිගැන්වීමට මොර්දෙකයි පැවසුවේ කුමක්ද? (ආ) මොර්දෙකයි හොඳ ආදර්ශයක් කියා ඔබ සිතන්නේ ඇයි?

23 එස්තර්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමේ අරමුණෙන් මොර්දෙකයි ඇයට පවසන්නේ මේ අවස්ථාවේදී ඔබ උපකාර කළේ නැතත් යුදෙව්වන්ට මොනයම් හෝ ආකාරයකින් ගැලවීමක් ලැබෙයි කියායි. යෙහෝවා දෙවි තම සෙනඟව සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට ඉඩහරින්නේ නැති බවත් දෙවිගේ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වන බවත් මොර්දෙකයි තුළ පූර්ණ නිසැකකමක් තිබුණා. (යොෂු. 23:14) “මෙවැනි අවස්ථාවකදී සෙනඟට පිහිට වීම සඳහාම ඔබ රජුගේ බිසව වුණාද කියා කවුද දන්නේ” කියා මොර්දෙකයි එස්තර්ට පවසනවා. (එස්ත. 4:12-14) මොර්දෙකයිට මෙන් ඔබටත් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙනවාද?—හිතෝ. 3:5, 6.

මරණ බිය අභිභවා යන විශ්වාසය

24. එස්තර් විශ්වාසය හා නිර්භීතකම පෙන්වන්නේ කොහොමද?

24 මොර්දෙකයිගේ වදන්වලින් දිරිමත් වූ එස්තර් තමන් දවස් තුනක් නිරාහාරව සිටින බවත් ෂූෂන් නගරයේ සිටින සියලු යුදෙව්වන්ටත් එලෙස නිරාහාරව සිටින්න කියාත් ඔහුට දන්වා යවනවා. ඇය ඒ පණිවිඩය අවසන් කරන්නේ ඇය තුළ තිබෙන ස්ථිර විශ්වාසය හා නිර්භීතකම පෙන්වන මේ වදන් පෙළෙනුයි. “මගේ ජීවිතය නැති වුණත් මම එසේ කරනවා.” (එස්ත. 4:15-17) ඇය ඒ දවස් තුනේම මින් පෙර කිසිදාක යාච්ඤා නොකළ ආකාරයෙන් යාච්ඤා කරන්න ඇති. අවසානයේදී ඇය රජු ඉදිරියට යන දවස උදා වෙනවා. තමන් සතු හොඳම රාජකීය වස්ත්‍රයෙන් සැරසෙන ඇය රජුගේ සිත දිනාගැනීමට කළ හැකි සියල්ලම කරනවා.

දෙවිගේ සෙනඟ වෙනුවෙන් ඇය තම ජීවිතය පරදුවට තබන්න කැමති වුණා

25. එස්තර්, රජු ඉදිරියට යන අතරතුරේදී සිදු වූ දේ විස්තර කරන්න.

25 මේ පරිච්ඡේදයේ මුල්ම ඡේදයේ සඳහන් වුණු ආකාරයට එස්තර් දැන් සිටින්නේ මාලිගාවේ මළුවෙයි. ඒ මොහොතේ ඇගේ සිතේ දහසකුත් සිතුවිලි ඇති වෙන්න ඇති. ඇය එක දිගටම යාච්ඤා කරන්නත් ඇති. ඇය ඇතුල් මළුවට පිවිසෙන විට ඇයට සිංහාසනයේ අසුන්ගෙන සිටින අහෂ්වේරොෂ් රජුව දැකගන්න ලැබෙනවා. ඔහු මොන වගේ මානසිකත්වයකින් සිටිනවාද කියා දැනගැනීමට ඇය මහත් වුවමනාවෙන් ඔහුගේ මුහුණ දෙස බලන්න ඇති. ඇයට මොහොතක් හෝ දෙකක් එහි රැදී සිටින්න සිදු වුණා නම් එය අනන්ත කාලයක් මෙන් දැනෙන්න ඇති. එස්තර්ව රජුගේ නෙත ගැටෙන විට ඔහු අනිවාර්යයෙන්ම පුදුමයට පත් වෙන්නත් ඇති. නමුත් ඔහු තම රන් යෂ්ටිය ඇය වෙත දිගු කර ඇයව පිළිගන්නවා.—එස්ත. 5:1, 2.

26. එස්තර්ට මෙන් සැබෑ ක්‍රිස්තියානීන්ට නිර්භීතකම අවශ්‍ය ඇයි? එස්තර්, රජුව හමු වීම ආරම්භයක් පමණක් වෙන්නේ ඇයි?

26 එය එස්තර් ලද විශිෂ්ට ජයග්‍රහණයක් නෙවෙයිද! ඇයට සවන් දීමට රජු කැමැත්ත පළ කරනවා. ඇය නමස්කාර කළ යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටිමින් ඇගේ සෙනඟ වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ක්‍රියා කර තිබෙන එස්තර්, දෙවිගේ සේවකයන්ට කදිම ආදර්ශයක්. සැබෑ ක්‍රිස්තියානීන් එවැනි ආදර්ශ බොහෝ සේ අගය කරනවා. යේසුස් පැවසුවේ ඔහුගේ සැබෑ අනුගාමිකයන් ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමයක් පෙන්වන බවයි. (යොහන් 13:34, 35 කියවන්න.) එවැනි ප්‍රේමයක් පෙන්වීමට එස්තර්ට මෙන් අපිටත් නිර්භීතකම අවශ්‍යයි. එදා ඇය තම සෙනඟ වෙනුවෙන් රජු ඉදිරියේ පෙනී සිටියත් ඉන් සෑම ප්‍රශ්නයක්ම විසඳුණේ නැහැ. එය ආරම්භයක් විතරයි. රජුගේ ප්‍රියතම උපදේශකයා වන හාමාන් කුමන්ත්‍රණකරුවෙක් කියා ඇය රජුට ඒත්තුගන්වන්නේ කොහොමද? ඇගේ සෙනඟව ගලවාගැනීමට ඇයට කරන්න පුළුවන් මොනවද? අපි ඊළඟ පරිච්ඡේදයෙන් මේ ප්‍රශ්නවලට පිළිතුරු සලකා බලමු.

^ 2 ඡේ. අහෂ්වේරොෂ් යන නමින් හඳුන්වනු ලබන්නේ ක්‍රිස්තු පූර්ව පස්වෙනි සියවසේ මුල්භාගයේදී පර්සියානු අධිරාජ්‍යය පාලනය කළ පළමුවන ෂස්තා රජුව විය හැකියි.

^ 9 ඡේ. 16වෙනි පරිච්ඡේදයේ “එස්තර් පොත ගැන මතු වන ප්‍රශ්න කිහිපයක්” නමැති කොටුව බලන්න.

^ 18 ඡේ. අමලෙක්වරුන්ගෙන් ඉතිරි වී සිටි අවසාන තැනැත්තා හාමාන් විය හැකියි. එසේ පවසන්නේ හෙසකියා රජුගේ කාලයේදී ඔවුන්ගෙන් ‘ඉතුරු වූ අයව’ විනාශ කර තිබුණු නිසයි.—1 ලේක. 4:43.

^ 19 ඡේ. හාමාන් ලබා දුන් රිදී තලෙන්ත 10,000 වර්තමාන වටිනාකම ඩොලර් මිලියන සිය ගණනක් වෙනවා. අහෂ්වේරොෂ් කියා හඳුන්වන්නේ පළමුවන ෂස්තා රජුව නම් හාමාන් දුන් මුදල ඔහුට බොහෝ සේ වටිනවා. ඊට හේතුව ෂස්තා රජු සැලසුම් කර තිබුණු ආකාරයට ග්‍රීසිය සමඟ යුද්ධ කිරීමට ඔහුට මුදල් සම්භාරයක් අවශ්‍ය වීමයි.

^ 22 ඡේ. පළමුවන ෂස්තා ඉතා ඉක්මනින් කුපිත වන කෙනෙක්. ග්‍රීක ඉතිහාසඥයෙක් වන හෙරෝඩටස්, ෂස්තා ග්‍රීසියට විරුද්ධව කළ සටනේදී කුපිත වී ක්‍රියා කළ ආකාර කිහිපයක් සඳහන් කරනවා. හෙලස්පොන්ටය ඇළ හරහා ඔරු එකින් එක තබා ඒ මත පාලමක් ගොඩනඟන්න කියා රජු සේවකයන්ට අණ කළා. කුණාටුවකින් එම පාලම කැඩී ගිය නිසා ඔහු එය ඉදි කළ ඉන්ජිනේරුවන්ගේ හිස ගසා දැමුවා. ඒ වගේම ඇළට අපහාසාත්මක ලෙස බැණවදිමින් වතුරට පහර දෙන්න කියාත් ඔහු අණ කළා. ඒ විතරක් නෙවෙයි ධනවත් මනුෂ්‍යයෙක් ඔහුගේ පුතාව යුද්ධයට බඳවා නොගන්න කියා ආයාචනා කළ විට ඔහුව දෙකට කපා මරා දැමුවා. එම මරණය අන් අයට අනතුරු ඇඟවීමක් වුණා.