Skip to content

පටුනට යන්න

හත්වෙනි පරිච්ඡේදය

‘ඔහු යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස හැදී වැඩුණේය’

‘ඔහු යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස හැදී වැඩුණේය’

1, 2. සාමුවෙල්ට ඊශ්‍රායෙල් සෙනඟව රැස් කරන්න සිදු වුණේ ඇයි? ඔවුන් පසුතැවෙන්න ඕනේ වුණේ ඇයි?

රන්වන් පැහැයෙන් දිදුලන තිරිඟු කරල් සුළඟට ඒ මේ අත වැනෙනවා. මේ කාලය අපේ දින දර්ශනයට අනුව නම් මැයි, ජූනි අතර කාලය විය හැකියි. ඊශ්‍රායෙල් සෙනඟ දැන් ගිල්ගාල් ප්‍රදේශයේ එක්රැස් වී ඉන්නේ විනිශ්චයකරුවෙකු හා අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කරන සාමුවෙල් ඔවුන්ට පණිවිඩයක් යැවූ නිසයි. සාමුවෙල් පවසන්න යන්නේ මොනවාද කියා දැනගන්න සෙනඟ දැන් නිහඬව බලා සිටිනවා. ඔවුන් කළ වරද පෙන්වා දෙන්න සාමුවෙල්ට පුළුවන් වෙයිද?

2 ඊශ්‍රායෙල් සෙනඟ තමන්ව පාලනය කරන්න රජෙක්ව පත් කරන්න කියා ඉල්ලීමෙන් ඔවුන් කර තිබෙන්නේ මොන තරම් බරපතළ වරදක්ද කියා ඔවුන් තේරුම්ගත්තේ නැහැ. එය යෙහෝවා දෙවිටත් ඔහු පත් කළ අනාගතවක්තෘටත් මොන තරම් අගෞරවයක්ද? රජෙක්ව ඉල්ලීමෙන් ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ යෙහෝවා දෙවිවයි. මේ වරද ඔවුන්ට පෙන්වා දෙන්න සාමුවෙල් කරන්නේ මොනවාද?

අවට ඉන්න අය වැරදි කළත් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න සාමුවෙල්ගේ ආදර්ශය උපකාරවත් වෙනවා

3, 4. (අ) සාමුවෙල් ඔහුගේ තරුණ කාලය ගැන කතා කරන්නේ ඇයි? (ආ) ඔහුගේ ආදර්ශය අපිට උපකාරවත් වෙන්නේ කොහොමද?

3 සාමුවෙල් රැස් වී සිටින සෙනඟට මෙහෙම කියනවා. “මම දැන් මහලුයි. මගේ හිසකෙසුත් පැහිලා. තරුණ වයසේ ඉඳන් මේ දක්වාම මම ඔබට සේවය කළා.” (1 සාමු. 11:14, 15; 12:2) දැන් මහලු වයසේ සිටියත් තරුණ කාලයේදී ගෙවූ ජීවිතය ඔහුගේ මතකයෙන් ගිලිහී නැහැ. යොවුන් වියේදී දෙවිට සේවය කරන්න ගත් තීරණය නිසා මහලු විය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔහුට හැකි වී තිබෙනවා.

4 ඔහුගේ තරුණ කාලයේදී ඔහු අවට සිටි බොහෝ අය කළේ දෙවි අකමැති දේවල් නිසා දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න සාමුවෙල්ට ලොකු වෑයමක් දරන්න සිදු වුණා. අද බොහෝ අයත් කරන්නේ දෙවි අකමැති දේවල්. (ලූක් 18:8 කියවන්න.) ඒ නිසා දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න සාමුවෙල්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියා බලමු.

“යෙහෝවා දෙවි ඉදිරියේ සේවය කළේය”

5, 6. සාමුවෙල්ට දෙමාපියන් එක්ක කාලය ගත කරන්න නොලැබුණේ ඇයි? ඔහුගේ දෙමාපියන් දැන සිටියේ කුමක්ද?

5 දෙවිගේ ගෘහය පිහිටා තිබුණේ සාමුවෙල් උපන් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 30කටත් වඩා වැඩි දුරකින්. සාමුවෙල් කිරි වරන කාලය අවසන් වූ පසුව එනම් ඔහුට අවුරුදු තුනක් හෝ ඊට ටිකක් වැඩි වයසේ සිට ඔහු දෙවිගේ ගෘහයේ සේවය කරන්න පටන්ගන්නවා. ඒ නිසා අනික් දරුවන්ට මෙන් දෙමාපියන්ගේ තුරුලේ හැදී වැඩෙන්න ඔහුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. හන්නාත් එල්කානාත් පුංචි පුතුණුවන්ව කැප කළේ හැමදාමත් නසරීතවරයෙක් ලෙස දෙවිගේ ගෘහයේ සේවය කරන්න. * ඉන් අදහස් කරන්නේ ඔවුන් සාමුවෙල්ව සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඔහුව නොසලකාහැරියා කියාද? කොහෙත්ම නැහැ.

6 සාමුවෙල් සේවය කරන්නේ උත්තම පූජක ඒලී යටතේ නිසා ඔහුගේ රැකවරණය තම පුතුණුවන්ට ලැබෙන බව ඔවුන් හොඳින්ම දැන සිටියා. ඒ විතරක් නෙවෙයි දෙවිගේ ගෘහයේ සේවය කරන වැඩිහිටි ස්ත්‍රීන් ඔහුව බලාගනියි යන නිසැකකමත් ඔවුන්ට තිබුණා.—නික්. 38:8; විනි. 11:34-40.

7, 8. (අ) සාමුවෙල්ගේ දෙමාපියන් ඔහුව දිරිගැන්නුවේ කොහොමද? (ආ) ඔවුන්ගෙන් දෙමාපියන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 සාමුවෙල්ව ලැබුණේ හන්නා කළ යාච්ඤාවක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ නිසා හන්නාත් එල්කානාත් ඔහුව අමතක කරයි කියා සිතන්න පුළුවන්ද? තමන්ට පුතෙක්ව ලබා දුන්නොත් ඔහුව යෙහෝවා දෙවිගේ සේවයට කැප කරන බව හන්නා පොරොන්දු වී තිබුණා. සාමුවෙල් ඉපදුණාට පස්සේ හන්නාත් එල්කානාත් ඒ පොරොන්දුව ඒ විදිහටම ඉටු කරනවා. සෑම අවුරුද්දකම පුංචි පුතුව බලන්න ෂීලෝ නුවරට යන ඔවුන් ඒ සෑම වතාවකදීම අත් නැති වස්ත්‍රයක් ඔහුට රැගෙන යන්න අමතක කරන්නේ නැහැ. දෙවිගේ ගෘහයේ සේවය කරන්න ලැබීම අගනා වරප්‍රසාදයක් බවත් ඔවුන් සාමුවෙල්ට කියා දෙන්න ඇති. ඒ සෑම දෙයකින්ම දිරිගැන්වීමක් ලැබූ සාමුවෙල් දෙමාපියන්ව දැකීමෙන් ලොකු ප්‍රීතියක් ලැබූ බවට සැකයක් නැහැ.

8 හන්නා සහ එල්කානාගේ ආදර්ශයෙන් දෙමාපියන්ට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්. අද බොහෝ දෙමාපියන් වැඩි වෙහෙසක් දරන්නේ දරුවන්ට අධ්‍යාපනය, කෑම බීම හා ඔවුන්ට අවශ්‍ය අනිකුත් දේවල් ලබා දෙන්නයි. ඒ නිසා යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න දරුවන්ට අවශ්‍ය උපකාරය ලබා දෙන්න ඔවුන්ට අමතක වෙනවා. නමුත් සාමුවෙල්ගේ දෙමාපියන් වැඩියෙන්ම සැලකිලිමත් වුණේ ඔහුට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට උදව් කරන්නයි. දිගටම දෙවිට කීකරුව ඉන්න සාමුවෙල්ට උපකාරවත් වුණේ තම දෙමාපියන්ගෙන් ලද ඒ පුහුණුවයි.—හිතෝපදේශ 22:6 කියවන්න.

9, 10. (අ) ශුද්ධ කූඩාරම විස්තර කරන්න. සාමුවෙල්ට දෙවිගේ ගෘහය ගැන හැඟුණේ කොහොමද? (පාදසටහනද බලන්න.) (ආ) සාමුවෙල්ට තිබුණු වගකීම් මොනවාද? යෞවනයන්ට ඔහුගේ ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 කාලයත් සමඟම සාමුවෙල් ටිකෙන් ටික උස් මහත් වෙද්දී අවට කඳු තරණය කරන්න ගිය බවට සැකයක් නැහැ. ඒ වගේ ගිය එක දවසක කඳු මුදුනේ සිට අවට බලද්දී ඔහුගේ නෙත ගැටුණ අලංකාරම දර්ශනය වුණේ දෙවිගේ ගෘහයයි. එය දැකීමෙන් ඔහුට සතුටක් මෙන්ම ලොකු ආඩම්බරයකුත් දැනෙන්න ඇති. දෙවිගේ ගෘහය ගොඩනඟා තිබුණේ මීට අවුරුදු 400කට කලින් මෝසෙස්ගේ අධීක්ෂණය යටතෙයි. ඒ කාලයේදී යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට තිබුණු එකම ස්ථානය වුණෙත් එයයි. *

10 සාමුවෙල්ට දෙවිගේ ගෘහය ගැන තිබුණු අගය දිනෙන් දින වැඩි වූ බව බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලියි. “ලිනන් රෙදිවලින් මැසූ ඒෆොද් හැට්ටයක් ඇඳ සිටි කුඩා සාමුවෙල්, යෙහෝවා දෙවි ඉදිරියේ සේවය කළේය.” (1 සාමු. 2:18) සාමුවෙල් ඒෆොද් හැට්ටයක් ඇඳ සිටීමෙන් පැහැදිලි වෙන්නේ ඔහු පූජකයන්ට උපකාර කරන කෙනෙක් බවයි. ලෙවී ගෝත්‍රයට අයත් සාමුවෙල් පූජක පෙළපතට අයිති නැති වුණත් දෙවිගේ ගෘහයේ සේවය කිරීමේ අවස්ථාව ඔහුට ලැබෙනවා. එහි දොරවල් ඇරීමත් උත්තම පූජක ඒලීට උපකාර කිරීමත් ඔහුගේ වගකීම්වලට ඇතුළත්. ඔහු මෙම කාර්යයන් ඉටු කරන්නේ හද පිරි සතුටින්. ඒත් කාලයක් යද්දී දෙවිගේ ගෘහයේ සිදු වන සෑම දුෂ්ට දෙයක්ම දකින සාමුවෙල්ගේ සිතට ලොකු වේදනාවක් දැනෙනවා.

ඔහු දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියා

11, 12. (අ) හොප්නී සහ පිනෙහාස් නොසලකාහැරියේ කුමක්ද? (ආ) ඔවුන් දෙවිගේ ගෘහයේ කළ දුෂ්ට දේවල් මොනවාද? (පාදසටහනද බලන්න.)

11 උත්තම පූජක ලෙස සේවය කරන ඒලීගේ පුතුන් දෙදෙනා වන හොප්නී සහ පිනෙහාස් දෙවිගේ ප්‍රමිති ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. ඔවුන් කළ සෑම දුෂ්ට ක්‍රියාවකටම මඟ පෑදුවේ එයයි. ඔවුන් “යෙහෝවා දෙවිට කොහෙත්ම ගෞරව නොකළ කිසි කමකට නැති මිනිස්සු” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—1 සාමු. 2:12.

12 පූජකයන් වගකීම් ඉටු කරන විටත් පූජා ඔප්පු කරන විටත් පිළිපැදිය යුතු නිශ්චිත නීති දෙවි දී තිබුණා. ඊට හේතුව පාපවලට සමාව ලබාගැනීමට හැකි වුණේ පූජා ඔප්පු කිරීමෙන් පමණක් වීමයි. ඇත්තෙන්ම එය දෙවි සපයා දී තිබුණු ප්‍රේමණීය සැලැස්මක්. දෙවිගේ අනුමැතිය ලබාගැනීමටත්, මඟ පෙන්වීම් හා ආශීර්වාද ලබාගැනීමටත් ඉන් මඟ විවර වුණා. නමුත් පූජා ඔප්පු කිරීමේදී තමන්ට කැමති විදිහට දේවල් කිරීමට හොප්නී හා පිනෙහාස් පූජකයන්ව පෙලඹුවා. *

13, 14. (අ) දෙවිගේ ගෘහයේ සිදු වෙන දුෂ්ටකම් එහි පැමිණි අයට බලපෑවේ කොහොමද? (ආ) උත්තම පූජකයා ලෙසත් පියා ලෙසත් ඒලී තම වගකීම් පැහැර හැරියේ කොහොමද?

13 මිනිසුන් දහස් ගණනක් මේ ස්ථානයට එන්නේ දෙවි සමඟ තිබෙන බැඳීම ශක්තිමත් කරගෙන සිතට සහනයක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. නමුත් බලාපොරොත්තු සුන් වන නිසා ඔවුන් ආපසු හැරී යන්නේ දැඩි සිත් වේදනාවකින්. ඒ විතරක් නෙවෙයි දෙවිගේ ගෘහයේ තවත් දූෂිත දේවල් සිදු වෙනවා. සම්මුඛ වීමේ කූඩාරම අසල සේවය කරන ස්ත්‍රීන් සමඟ හොප්නී සහ පිනෙහාස් අනාචාරයේ යෙදෙනවා. (1 සාමු. 2:22) දෙවිගේ ගෘහයේ සිදු වන මේ දේවල් සාමුවෙල්ට අදහාගන්න බැහැ. නමුත් මේ සෑම අකටයුත්තක් ගැනම උත්තම පූජක ඒලී යම් ක්‍රියා මාර්ගයක් ගනියි කියා සාමුවෙල් සිතන්න ඇති. ඒ ඇයි?

ඒලීගේ පුතුන් දෙදෙනා කළ වැරදි දකිද්දී සාමුවෙල්ට වේදනාවක් දැනුණා

14 ඒලී උත්තම පූජකයා වූ නිසා දෙවිගේ ගෘහයේ සිදු වෙන දේවල් නිවැරදි කිරීමේ සම්පූර්ණ වගකීම තිබුණේ ඔහුට. ඒ විතරක් නෙවෙයි ඔහු හොප්නී සහ පිනෙහාස්ගේ පියා නිසාත් ඔවුන්ව නිවැරදි කිරීමේ පූර්ණ වගකීම තිබුණෙත් ඔහුටයි. ඔවුන්ගේ නරක හැසිරීම නිසා ඔවුන්ට විතරක් නෙවෙයි අනික් අයටත් දුක් විඳින්න සිදු වෙනවා. ඇත්තෙන්ම ඔවුන් කරන්නේ මරණීය දණ්ඩනය ලැබිය යුතු වරදක්. නමුත් ඒලී තම පුතුන්ට ලබා දෙන්නේ සුළු උපදෙසක් පමණයි.1 සාමුවෙල් 2:23-25 කියවන්න.

15. යෙහෝවා දෙවි ඒලීට කළ අනතුරු ඇඟවීම කුමක්ද? ඔවුන් පසුතැවුණාද?

15 තත්වය දවසින් දවස නරක අතට හැරෙනවා. ඒ නිසා යෙහෝවා දෙවි ඒ ගැන අනතුරු ඇඟවීමට ‘අනාගතවක්තෘවරයෙක්ව’ ඒලී වෙතට යවනවා. “ඔබ මට වඩා ඔබේ පුත්‍රයන්ට ගෞරව කරන්නේ ඇයි” කියා ඒලීගෙන් අසන යෙහෝවා දෙවි ඔහුගේ පුතුන් දෙදෙනා එකම දවසේ මිය යන බවත් පවුලේ අයට බොහෝ දුක් විඳින්න සිදු වන බවත් දැනුම් දෙනවා. ඔහුගෙන් පැවතෙන කිසිම කෙනෙකුට උත්තම පූජකයෙක් ලෙස සේවය කිරීමේ වරප්‍රසාදය ලැබෙන්නේ නැහැ කියාත් ඔහු පවසනවා. දෙවිගෙන් ලැබුණු එම අනතුරු ඇඟවීම නිසා ඔවුන් තම වැරදි හදාගනියිද? නැහැ. ඔවුන් තම වැරදි ගැන පසුතැවෙන්නේ නැහැ.—1 සාමු. 2:27–3:1.

16. (අ) සාමුවෙල් සම්බන්ධ වාර්තාවලින් අපට දැනගන්න පුළුවන් මොනවාද? (ආ) ඒ වාර්තා ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

16 ඔවුන් දිගටම දෙවිට අකීකරු වුණත් “කුඩා සාමුවෙල්, යෙහෝවා දෙවි ඉදිරියේ සේවය කළේය” කියා 1 සාමුවෙල් 2:18හි සඳහන් වෙනවා. කුඩා කාලයේ සිටම ඔහුගේ ආශාව වුණේ දෙවිට සේවය කිරීමයි. එම පරිච්ඡේදයේම 21වෙනි පදයේ සඳහන් වෙන්නේ “සාමුවෙල් යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස හැදී වැඩුණේය” කියායි. ඔහු දිනෙන් දින වැඩෙද්දී යෙහෝවා දෙවි සමඟ තිබුණු බැඳීමත් ශක්තිමත් වුණා. ඔහු අවට සිටි අය දෙවි අකමැති දේවල් කළත් දිගටම දෙවිට කීකරු වෙන්න ඔහුට හැකි වුණේ ඒ නිසයි.

17, 18. (අ) අවට ඉන්න අය වැරදි කළත් දිගටම හරි දේ කරන්න සාමුවෙල්ගේ ආදර්ශය යෞවනයන්ට උපකාරවත් වෙන්නේ කොහොමද? (ආ) සාමුවෙල් හරි දේ කරන්න තෝරගත්තා කියා පැවසිය හැක්කේ ඇයි?

17 උත්තම පූජකයා සහ ඔහුගේ පුතුන් දෙදෙනා වැරදි කළත් ඒවා නිදහසට කරුණක් කරගෙන සාමුවෙල් වැරදි කළේ නැහැ. අනිත් අය, විශේෂයෙන්ම වගකීම් දරන අය අතින් වැරදි සිදු වෙද්දී ඒවා නිදහසට කරුණක් කරගෙන වැරදි කිරීම කොහෙත්ම සුදුසු නැහැ. සාක්ෂිකරුවන් අතර ඉන්න බොහෝ යෞවනයන්ද සාමුවෙල්ගේ ආදර්ශය අනුගමනය කරනවා. අවට සිටින අය වැරදි කළත් ඔවුන් දිගටම යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස ජීවත් වෙනවා.

18 දිගටම දෙවිට කීකරු වීම සාමුවෙල්ට ප්‍රයෝජනවත් වුණාද? ඔව්. “සාමුවෙල් යෙහෝවා දෙවි හා මනුෂ්‍යයන් ඉදිරියේ ප්‍රසාදය ලබමින් වැඩුණේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමු. 2:26) ඔහුගේ යහපත් හැසිරීම දුටු මිනිසුන් ඔහුව අගය කළ බවත් යෙහෝවා දෙවි ඔහු ගැන සතුටු වූ බවත් ඉන් පැහැදිලියි. දෙවිගේ ගෘහයේ සිදු වන දූෂිත දේවලට යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම නිමාවක් ගෙනෙන බව සාමුවෙල් හොඳින්ම තේරුම්ගෙන සිටියා. නමුත් ඒ දේ සිදු වෙන්නේ කවදාද කියා ඔහු කල්පනා කරන්න ඇති. දිනක් ඔහුට එම ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙනවා.

‘ඔබේ සේවකයා අහගෙනයි ඉන්නේ’

19, 20. (අ) දිනක් රාත්‍රියේදී සාමුවෙල් අද්දකින දේ පැහැදිලි කරන්න. (ආ) සාමුවෙල්ට කතා කළේ යෙහෝවා දෙවි බව ඔහු දැනගත්තේ කොහොමද? ඔහු ඒලීට සැලකුවේ කොහොමද?

19 දිනක් අලුයම එළිය වැටෙන්නත් කලින් කවුරුන් හෝ ඔහුගේ නම කියනවා ඔහුට ඇසෙනවා. මේ වන විට මහලු වියේ පසු වන ඒලීගේ පෙනීමත් දුර්වලයි. තමන්ට කතා කරන්නේ ඒලී කියා සිතන සාමුවෙල් එක සැණින්ම නැඟිට ඒලී වෙත යනවා. ඒලී මොන තරම් වැරදි කළත් සාමුවෙල් තවමත් ඔහුට සලකන්නේ ගෞරවයෙන් හා කරුණාවෙන්. ඒලී තවමත් යෙහෝවා දෙවි පත් කර තිබෙන උත්තම පූජකයා බව ඔහු අමතක කරන්නේ නැහැ.—1 සාමු. 3:2-5.

20 ඒලී වෙත යන සාමුවෙල් “මගේ ස්වාමීනි, ඔබ මට කතා කළාද” කියා අසනවා. මම ඔබට කතා කළේ නැහැ, ගිහින් නිදාගන්න කියා ඒලී පවසනවා. සාමුවෙල් නැවතත් ගොස් නිදාගන්නවා. මුලින් ඇසුණු කටහඬ ඔහුට දෙවතාවක්ම ඇසෙනවා. මේ කාලයේදී යෙහෝවා දෙවි අනාගතවක්තෘවරයෙක් මාර්ගයෙන් හෝ දර්ශනයක් මාර්ගයෙන් කතා කරයි කියා සිතන්න බැහැ. ඒත් දැන් තත්වය වෙනස් නිසා සාමුවෙල්ට කතා කරන්නේ යෙහෝවා දෙවි බව ඒලී තේරුම්ගන්නවා. ඒ නිසා නැවතත් ඒ කටහඬ ඇසුණොත් ‘යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයාට දැන් කතා කරන්න. මම අහගෙනයි ඉන්නේ’ කියා පවසන ලෙස ඒලී සාමුවෙල්ට කියනවා. නැවත වතාවක් “සාමුවෙල්, සාමුවෙල්” කියා හඬගසනවා ඇසෙද්දී ඔහු ඒලී කී ලෙසම “ඔබේ සේවකයාට කතා කරන්න, මම අහගෙනයි ඉන්නේ” කියා පවසනවා.—1 සාමු. 3:1, 5-10.

21. දෙවිට සවන් දෙන්න අපිට පුළුවන් කොහොමද? එසේ කිරීම වැදගත් වෙන්නේ ඇයි?

21 ෂීලෝ නගරයේ සිටි අය දිගින් දිගටම දෙවිට අකීකරු වුණත් සාමුවෙල් දිගටම දෙවිට කීකරු වෙනවා. මේ අවස්ථාවේදී යෙහෝවා දෙවි ඔහුට කතා කරන්නේ ඒ නිසයි. සාමුවෙල් මෙන් ඔබත් සෑම කාරණයකදීම යෙහෝවා දෙවිට කීකරු වෙනවාද? යෙහෝවා දෙවි දැන් අපිට කෙළින්ම කතා කරන්නේ නැති බව ඇත්තයි. නමුත් ශුද්ධ බයිබලය තුළින් ඔහු අදටත් අපිට කතා කරනවා. ඒ නිසා සෑම දිනකම එය කියවීමෙන් ඔහුට සවන් දෙන්න අපිට පුළුවන්. සාමුවෙල් මෙන් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට එය අපිට උපකාරවත් වෙයි.

සාමුවෙල් ධෛර්යය උපදවාගෙන දෙවිගේ විනිශ්චය පණිවිඩය ඒලීට දැනුම් දුන්නා

22, 23. (අ) සාමුවෙල්, ඒලීට පැවසූ අනාවැකිය ඉටු වුණේ කොහොමද? (ආ) ඔහුට හොඳ නමක් දිනාගන්න පුළුවන් වුණේ කොහොමද?

22 යෙහෝවා දෙවි සාමුවෙල්ට කතා කළ ඒ අවස්ථාව ඔහුගේ මතකයේ හැමදාමත් තියෙන්න ඇති. එදා සිට දෙවිගේ අනාගතවක්තෘ කෙනෙකු ලෙස සේවය කිරීමේ විශේෂ වරප්‍රසාදය ඔහුට ලැබෙනවා. යෙහෝවා දෙවි ඔහුට දැනුම් දුන්නේ ඒලීගේ පවුලේ අයට මුහුණ දීමට සිදු වෙන විනිශ්චයක් ගැනයි. ඒ පණිවිඩය ඒලීට පවසන්න ඔහුට භයක් දැනුණත් ඔහු ධෛර්යය උපදවාගෙන එය පැවසූ විට ඒලී එය පිළිගන්නවා. යෙහෝවා දෙවි පැවසූ දේවල් ඉටු වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඊශ්‍රායෙල්වරුන් හා පිලිස්තිවරුන් අතර ඇති වූ යුද්ධයකදී හොප්නී හා පිනෙහාස් එකම දවසේ මිය යනවා. පිලිස්තිවරු දෙවිගේ ගිවිසුම් පෙට්ටිය පැහැරගෙන ගිය බව දැනගන්නා ඒලීත් ඒ අවස්ථාවේදීම මිය යනවා.—1 සාමු. 3:10-18; 4:1-18.

23 සාමුවෙල් දිගටම දෙවිට විශ්වාසවන්ත අනාගතවක්තෘ කෙනෙක් ලෙස හොඳ නමක් දිනාගන්නවා. ‘යෙහෝවා දෙවි ඔහු සමඟ සිටින’ නිසා සාමුවෙල් පැවසූ සෑම අනාවැකියක්ම ඉටු වෙනවා.—1 සාමුවෙල් 3:19 කියවන්න.

‘සාමුවෙල් යෙහෝවා දෙවිට කන්නලව් කළා’

24. ඊශ්‍රායෙල් සෙනඟ ඉල්ලන්නේ මොනවාද? එය බරපතළ වරදක් වෙන්නේ ඇයි?

24 සාමුවෙල්ගේ යහපත් ආදර්ශය අනුගමනය කරමින් ඊශ්‍රායෙල් සෙනඟ දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කර ගනියිද? නැහැ. ඔවුන් තමන්ව විනිශ්චය කිරීමට අනාගතවක්තෘ කෙනෙක්ට වඩා හොඳ කෙනෙක්ව පත් කරන්න කියා ඉල්ලා සිටිනවා. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ අනිකුත් ජාතීන්ට මෙන් තමන්ටත් රජෙක්ව පත් කරගැනීමටයි. ඔවුන් කළ ඉල්ලීමට සාමුවෙල් දෙවිගෙන් අවසර ඉල්ලා දෙනවා. එවැනි දෙයක් ඉල්ලා සිටීමෙන් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ යෙහෝවා දෙවිව. එය මොන තරම් බරපතළ වරදක්ද කියා සෙනඟට පහදා දීමට සාමුවෙල්ට සිදු වෙනවා. මේ ලිපියේ මුලින් සඳහන් වූ ආකාරයට සාමුවෙල් ඊශ්‍රායෙල් සෙනඟව ගිල්ගාල් ප්‍රදේශයට රැස් කරන්නේ ඒ නිසයි.

සාමුවෙල්ගේ යාච්ඤාවට පිළිතුරු ලැබුණා

25, 26. ඊශ්‍රායෙල් සෙනඟ කළ වරදේ බරපතළකම පෙන්වා දෙන්න සාමුවෙල් කළේ මොනවාද?

25 එහි රැස් වී සිටින සෙනඟ සාමුවෙල් දෙස බලා සිටින ආකාරය ඔබට සිතින් මවාගන්න පුළුවන්ද? තමන් කුඩා කාලයේ සිටම දෙවිට විශ්වාසවන්තව සිටි බව සෙනඟට මතක් කර දෙන සාමුවෙල් ‘යෙහෝවා දෙවිට කන්නලව් කරනවා.’ ඔහු දෙවිගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි වස්සන්න කියායි.—1 සාමු. 12:17, 18.

26 වැසි නොවසින කාලයක ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැකිද? ඊශ්‍රායෙල් සෙනඟට ඒ ගැන යම් හෝ සැකයක් තිබුණා නම් වැඩි වේලාවක් නොගොස් එම සැකය නැති වෙනවා. මුළු අහසම කළු වළාවන්ගෙන් වැසී ගිගුරුම් හඬ දෙමින් මහ වැස්සක් ඇද හැළෙනවා. එය දකින ‘සෙනඟට යෙහෝවා දෙවි කෙරෙහිත් සාමුවෙල් කෙරෙහිත් ඇති වෙන්නේ මහත් බියක්.’ (1 සාමු. 12:18, 19) අවසානයේදී ඔවුන් කර තිබෙන්නේ මොන තරම් බරපතළ වරදක්ද කියා ඔවුන් තේරුම්ගන්නවා.

27. දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න අය ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද?

27 ඊශ්‍රායෙල් සෙනඟට ඔවුන්ගේ වරද තේරුම්ගැනීමට උපකාර කළේ සාමුවෙල් නොව යෙහෝවා දෙවියි. කුඩා කාලයේ සිට මහලු විය දක්වාම සාමුවෙල්ට යෙහෝවා දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය අඩු වුණේ නැහැ. ඒ නිසා යෙහෝවා දෙවි ඔහුට ආශීර්වාද කළා. සාමුවෙල් මෙන් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන අයට ඔහු අදත් ආශීර්වාද කරනවා.

^ 5 ඡේ. නසරීතවරුන්ට මත්පැන් බීමටත් හිසකෙස් කැපීමටත් අවසර තිබුණේ නැහැ. බොහෝ අය නසරීතවරුන් ලෙස සේවය කළේ යම් නිශ්චිත කාලයකට පමණයි. නමුත් ජීවිත කාලය පුරාම එලෙස සේවය කළේ සැම්සන්, සාමුවෙල්, යොහන් බව්තීස්ත වැනි කිහිපදෙනෙක් පමණයි.

^ 9 ඡේ. ඍජුකෝණාස්‍රාකාර හැඩයෙන් යුත් ශුද්ධ කූඩාරමේ රාමුව හදලා තිබුණේ දැවවලින්. කූඩාරම සෑදීමේදී මුහුදු සිංහයන්ගේ හම්, විසිතුරු මෝස්තරවලින් නිම කළ රෙදි මෙන්ම රන් හා රිදී ආලේප කළ වටිනා ලී යොදා තිබුණා. මෙම කූඩාරම තිබුණේ ඍජුකෝණාස්‍රාකාර බිම් තීරුවක. එහි කූඩාරමට අමතරව සත්ව පූජා ඔප්පු කිරීම සඳහා පූජාසනයක්ද සාදා තිබුණා. පසු කාලයේදී පූජකයන්ගේ ප්‍රයෝජනය සඳහා කූඩාරම දෙපසින් විශාල කාමරද සාදා තිබෙන බව පෙනී යනවා. සාමුවෙල් නිදාගන්න ඇත්තේ එවැනි කාමරයක විය හැකියි.

^ 12 ඡේ. එදා සිටි සමහර පූජකයන් පූජා ඔප්පු කිරීමේදී දෙවිගේ නීතිවලට අගෞරව කළ ආකාර දෙකක් බලමු. පූජකයන්ට ලැබිය යුත්තේ පූජා කරන සතාගේ මොන කොටස්ද කියා නීතියේ පැහැදිලිවම සඳහන් වී තිබුණා. (ද්වි. 18:3) නමුත් දුෂ්ට පූජකයන් පිළිපැද්දේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රමයක්. ඔවුන් තමන්ගේ සේවකයන් ලවා හැළියේ තැම්බෙමින් තිබුණු මස්, කොක්කක් දමා හොඳම කෑලි ටික ගත්තා. ඒ විතරක් නෙවෙයි දවන පූජා ඔප්පු කරන විටත් මස්වල තෙල් කොටස් දැවෙන්නත් කලින් පූජකයන්ගේ සේවකයන් බලෙන්ම අමු මස් ලබාගත්තා.—ලෙවී. 3:3-5; 1 සාමු. 2:13-17.