Skip to content

පටුනට යන්න

දහනවවෙනි පරිච්ඡේදය

ආදර්ශවත් පියෙක්

ආදර්ශවත් පියෙක්

1, 2. (අ) මරියාටත් යෝසෙප්ටත් මුහුණ දීමට සිදු වෙන්නේ මොන වගේ අභියෝගයකටද? (ආ) යෝසෙප් මරියාට දැනුම් දුන් පණිවිඩය කුමක්ද?

ඊජිප්තුව බලා යෑමට සූදානම් වන යෝසෙප් මහ රෑම බූරුවෙකු පිටේ බඩු පටවනවා. ඒ ගමන සඳහා කොතරම් දුරක් ගෙවාගෙන යන්න තිබෙනවාද කියා ඔහු කල්පනා කරන්න ඇති. ඒ විතරක් නෙවෙයි නන්නාඳුනන මිනිසුන්, වෙනස් චාරිත්‍ර, අලුත්ම භාෂාවක් මේ සෑම දෙයකටම හුරු වෙන්න පවුලේ අයට පුළුවන් වෙයිද කියාත් ඔහු සිතන්න ඇති.

2 නොසිතූ ලෙස යෑමට සිදු වී තිබෙන මේ ගමන ගැන මරියාට පවසන්න යෝසෙප්ට ලෙහෙසි වුණේ නැහැ. නමුත් ඔහු, ධෛර්යය වඩවාගෙන සිදු වූ දේ මරියාට පැවසුවා. තම පුංචි පුතුණුවන්ව හෙරොද් රජු මරා දැමීමට තැත් කරන බවත් ඊජිප්තුවට යන්න කියා දේවදූතයෙක් තමන්ට සිහිනයකින් දැනුම් දුන් බවත් ඔහු පැවසුවා. (මතෙව් 2:13, 14 කියවන්න.) ඉන් මහත් සේ දුකට පත් වෙන මරියා කිසිම කෙනෙකුට හිරිහැරයක් නැති තමන්ගේ කිරිසප්පයාව මරා දමන්න හදන්නේ ඇයි කියා කල්පනා කරන්න ඇති. ඊට හේතුව කුමක්ද කියා මරියාටවත් යෝසෙප්ටවත් තේරුම්ගන්න බැරි වුණත් දෙවිට කීකරු වෙමින් ඔවුන් ඊජිප්තුව බලා යෑමට සූදානම් වෙනවා.

3. යෝසෙප්ගේ පවුලේ අය බෙත්ලෙහෙමෙන් පිට වී යන ගමන ගැන විස්තර කරන්න. (පින්තූරයද බලන්න.)

3 මුළු නගරයම තද නින්දේ පසු වෙද්දී යෝසෙප් සහ මරියා හොර රහසේම ඊජිප්තුව බලා පිටත් වෙනවා. බෙත්ලෙහෙමට දකුණු දෙසින් පිහිටි ඊජිප්තුව බලා යන ගමන අතරතුරේදී තමාට මොන වගේ දේවලට මුහුණ දෙන්න සිදු වෙයිද කියා යෝසෙප් කල්පනා කරන්න ඇති. බලවත් සතුරන් අතින් තම පවුල ආරක්ෂා කරගන්න මේ අසරණ වඩුවාට පුළුවන් වෙයිද? පවුලේ අයගේ අවශ්‍යතා සපුරාලන්න ඔහුට පුළුවන් වෙයිද? පුංචි පුතුණුවන්ව රැකබලා ගැනීමට යෙහෝවා දෙවිගෙන් ලැබී තිබෙන වගකීම නිසි ලෙස ඉටු කරන්න ඔහුට හැකි වෙයිද? බොහෝ අභියෝග හමුවේ පවා දෙවි කෙරෙහි විශ්වාසය තබමින් යෝසෙප් ඒ සෑම වගකීමක්ම ඉටු කළේ කෙසේද කියා අපි බලමු. අද සිටින පියවරුන් ඇතුළු අපි සෑමදෙනාටම ඔහුගේ ආදර්ශයෙන් බොහෝ පාඩම් ඉගෙනගන්න පුළුවන්.

රැකබලා ගත්තා

4, 5. (අ) යෝසෙප්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ කොහොමද? (ආ) දේවදූතයා යෝසෙප්ව දිරිගැන්නුවේ කොහොමද?

4 මරියා සමඟ විවාහ ගිවිසගෙන සිටි යෝසෙප්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන්ගත්තේ මීට වසරකට පමණ පෙරයි. මරියා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබූ අහිංසක තරුණියක් බව ඔහු හොඳින්ම දැනගෙන සිටියත් ඇය ගැබ්ගෙන තිබෙන බව දැනගත් විට රහසින්ම ඇයව දික්කසාද කරන්න ඔහු තීරණය කළා. * නමුත් මරියා ගැබ්ගෙන තිබෙන්නේ දෙවිගේ බලයෙන් කියා දේවදූතයෙක් ඔහුට හෙළි කරනවා. ඉපදෙන්න සිටින දරුවා “ජනයාව ඔවුන්ගේ පාපවලින් ගලවාගනියි” කියාත් “ඔබේ බිරිඳ වන මරියාව නිවසට කැන්දාගෙන යන්න” කියාත් දේවදූතයා ඔහුට පවසනවා.—මතෙ. 1:18-21.

5 ධර්මිෂ්ඨ ජීවිතයක් ගෙවූ යෝසෙප් දේවදූතයා කී ලෙසම කළා. දෙවිගේ බලයෙන් ගැබ්ගෙන සිටින දරුවාව හදා වඩා ගැනීමේ බාරදූර වගකීම ඔහු භාරගත්තේ කැමැත්තෙන්මයි. පසුව රාජ නියෝගයකට කීකරු වෙමින් ලියාපදිංචි වීම සඳහා ගැබ්ගෙන සිටි බිරිඳත් සමඟ ඔහු බෙත්ලෙහෙමට ගියා. මරියා දරුවාව බිහි කළේ ඒ නගරයේදීයි.

6-8. (අ) යෝසෙප්ගේ පවුලේ අයට බලාපොරොත්තු නොවූ දේකට මුහුණ දෙන්න මඟ පෑදුවේ මොනවාද? (ආ) තාරකාවක් යොදාගෙන මඟ පෙන්වා තිබෙන්නේ සාතන් කියා පවසන්න පුළුවන් ඇයි? (පාදසටහනද බලන්න.)

6 යෝසෙප් තම පවුලේ අය සමඟ නැවත නාසරෙත් නගරයට යනවා වෙනුවට යෙරුසලමේ සිට කිලෝමීටර් දහයක පමණ දුරින් පිහිටි බෙත්ලෙහෙමේ පදිංචි වෙනවා. එහි පුංචි නිවහනක් සොයාගන්න ඔවුන්ට වැඩි කාලයක් ගත වුණේ නැහැ. යෝසෙප් ධන සම්පත් හිමි කෙනෙක් නොවුණත් මරියාවත් පුතුණුවන්වත් ආරක්ෂා කරගැනීමට ඔහු තමාට හැකි උපරිමය කරනවා. කාලය ගෙවී යද්දී නැවතත් ඔවුන් බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වෙනවා. සමහරවිට මේ වෙද්දී යේසුස්ට වයස අවුරුද්දක් ඉක්මවා තිබෙන්න ඇති.

7 නැඟෙනහිර දෙසින් පැමිණි ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් කිහිපදෙනෙක් යේසුස්ව බැලීමට පැමිණෙනවා. පෙනෙන විදිහට ඔවුන් පැමිණ තිබෙන්නේ බොහෝ දුර ඈත පිහිටි බැබිලෝනියේ සිටයි. ඉදිරියේදී යුදෙව්වරුන්ව පාලනය කරන රජෙක් ඉපදිලා ඉන්න බව ඔවුන්ට දැනගන්න ලැබුණා කියාත් මේ නිවස සොයාගන්න පුළුවන් වුණේ තාරකාවක් නිසා කියාත් ඔවුන් යෝසෙප්ට සහ මරියාට පවසනවා.

8 ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කර තිබෙන්නේ පුංචි යේසුස්ගේ ජීවිතය අනතුරේ හෙළන දෙයක්. ඔවුන් දුටු තාරකාව කෙළින්ම බෙත්ලෙහෙමට මඟ පෙන්වනවා වෙනුවට ඔවුන්ට මඟ පෙන්වා තිබුණේ යෙරුසලමටයි. * ඒ නිසා ඉදිරියේදී යුදෙව්වන්ව පාලනය කරන රජු කොහේද කියා ඔවුන් දුෂ්ට හෙරොද් රජුගෙන් ඇසුවා. ඔවුන් පැවසූ දේ නිසා හෙරොද් රජු මහත් සේ කෝපයට පත් වුණා.

9-11. (අ) හෙරොද්ට හා සාතන්ට වඩා වැඩි බලයක් ක්‍රියාත්මක වුණේ කොහොමද? (ආ) ප්‍රබන්ධ කතාවල සඳහන් තොරතුරු ගැන පවසන්න පුළුවන් මොනවාද?

9 කොහොමවුණත් හෙරොද්ට හා සාතන්ට වඩා වැඩි බලයක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. යේසුස්ව දුටු ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් ‘රන්, කට්ටකුමංජල් සහ සුවඳ ලාටු’ දරුවාට තෑගි කරනවා. එතරම් වටිනා දේවල් ලැබීම ගැන යෝසෙප් සහ මරියා පුදුම වෙන්න ඇති. ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් සිතාගෙන සිටියේ යේසුස් සිටින ස්ථානය ගැන හෙරොද් රජුට දැනුම් දීමටයි. නමුත් එහි නොයන්න කියා දෙවි අනතුරු ඇඟවූ නිසා ඔවුන් වෙනත් මඟකින් තම රට බලා පිටත් වෙනවා.මතෙව් 2:1-12 කියවන්න.

10 ඔවුන් නිවසින් පිට වූ පසුව දේවදූතයෙක් සිහිනයක් මාර්ගයෙන් යෝසෙප්ට මෙසේ දැනුම් දෙනවා. “නැඟිටින්න, කුඩා දරුවාද ඔහුගේ මවද රැගෙන ඊජිප්තුවට පලා යන්න. මා ඔබට කියන තුරු එහි නැවතී සිටින්න. මන්ද හෙරොද් කුඩා දරුවාව මරා දැමීමට සොයමින් සිටියි.” (මතෙ. 2:13) වෙන කිසිම දෙයකට වඩා තම දරුවාගේ ජීවිතය ආරක්ෂා කිරීම වැදගත් බව තේරුම්ගෙන සිටි යෝසෙප් පමා නොවී පවුලේ අය සමඟ ඊජිප්තුව බලා පිටත් වෙනවා. ඒ ගමන සඳහා යන වියදම පියවාගැනීමටත් ඊජිප්තුවේදී වියහියදම් පියවාගැනීමටත් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් ඔවුන්ට දුන් වටිනා තෑගි ප්‍රමාණවත් වෙන්න ඇති.

යෝසෙප් තම දරුවාව ආරක්ෂා කරගැනීමට කල්පනාකාරීව හා ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කළා

11 ඔවුන් ඊජිප්තුවට ගිය ගමන ගැන ලියැවුණු කතාවල සඳහන් වෙන්නේ සැබෑ සිදුවීම් නෙවෙයි. යේසුස් ආශ්චර්යවත් ලෙස එම ගමන් මාර්ගය කෙටි කළා කියාත් සොර සතුරන්ගෙන් ආරක්ෂා කළා කියාත් මඟ දෙපස තිබුණු රටඉඳි ගස් පල නෙළාගත හැකි ආකාරයෙන් බිමට පහත් වුණා කියාත් සඳහන් වෙනවා. * නමුත් සත්‍යය නම් ඒ ගමන ඉතා දුෂ්කර ගමනක් වීමයි.

පවුලේ අය වෙනුවෙන් යෝසෙප් තම සැප පහසුව සහ රැකියාව කැප කළා

12. දෙමාපියන්ට යෝසෙප්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

12 අද සිටින දෙමාපියන්ට යෝසෙප්ගෙන් බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්. පවුලේ අයගේ ආරක්ෂාව ගැන සිතූ ඔහු තම සැප පහසුව හා රැකියාව කැප කළා. පවුලේ අයව ආරක්ෂා කිරීම ඔහු සැලකුවේ දෙවිගෙන් ලැබුණු වගකීමක් ලෙසයි. අද සිටින දෙමාපියන්ට දරුවන්ව හදා වඩා ගැනීමට සිදු වී තිබෙන්නේ දුෂ්ට දේවල් කිරීමට දරුවන්ව පොලඹවන සමාජයකයි. ඒ නිසා යෝසෙප්ගේ ආදර්ශය අනුගමනය කරමින් දරුවන්ව ආරක්ෂා කරගැනීමට තම උපරිමය කරන දෙමාපියන් ඇත්තෙන්ම වටිනවා.

අවශ්‍යතා සැපයුවා

13, 14. යෝසෙප් සහ මරියා නාසරෙත්වල පදිංචියට ගියේ ඇයි?

13 යෝසෙප්ගේ පවුලේ අයට වැඩි කාලයක් ඊජිප්තුවේ රැඳී සිටීමට අවශ්‍ය වෙන්නේ නැහැ. හෙරොද්ගේ මරණය ගැන දේවදූතයෙක් යෝසෙප්ට දැනුම් දෙනවා. ඒ නිසා ඔහු පවුලේ අයත් සමඟ නැවතත් තම රටට යන්න තීරණය කරනවා. එලෙස මාගේ පුත්‍රයාව ‘ඊජිප්තුවෙන් කැඳවාගතිමි’ කියා යෙහෝවා දෙවි පැවසූ අනාවැකිය ඉටු වීමට යෝසෙප් දායක වුණා.—මතෙ. 2:15.

14 හෙරොද් රජ මිය ගොස් තිබුණත් ඔහු හා සමාන දරුණු මිනී මරුවෙක් වූ ඔහුගේ පුත් ආකෙලාවුස් දැන් රජකම් කරන බව යෝසෙප්ට දැනගන්න ලැබෙනවා. ඒ නිසා ඔහු පවුලේ අයව යෙරුසලමට රැගෙන යන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ඔවුන්ව ගලීලයේ නාසරෙත් වෙත රැගෙන යනවා. එතැන් පටන් යෝසෙප් සහ මරියා ජීවත් වුණේ එම නගරයේයි.මතෙව් 2:19-23 කියවන්න.

15, 16. වඩු කාර්මිකයෙක් ලෙස යෝසෙප්ට මොන වගේ කාර්යයන් කරන්න සිදු වෙන්න ඇද්ද? ඔහු භාවිත කරන්න ඇත්තේ මොන වගේ උපකරණද?

15 එහිදී ඔවුන් ඉතා සරල ජීවිතයක් ගත කළත් බොහෝ දුෂ්කරතා අද්දකින්නත් සිදු වෙනවා. වඩු කාර්මිකයෙක් වූ යෝසෙප්ට ගෙවල් ඉදි කිරීමට, බෝට්ටු, පුංචි පාලම්, රෝද, කරත්ත, වියගස් සහ ගොවි උපකරණ සෑදීම සඳහා ගස් කපන්නත් ලී කොටන් ඇදගෙන යන්නත් ලී පදම් කරන්නත් සිදු වෙනවා. (මතෙ. 13:55) ඒ සඳහා ඔහු මොන තරම් වෙහෙසක් දරන්න ඇද්ද! පුරාණයේදී වඩු කාර්මිකයන් බොහෝවිට වඩු මඩුව සාදාගත්තේ තම නිවසට යාබදවයි.

16 වඩු වැඩ සඳහා යෝසෙප් විවිධ ආම්පන්න රැසක් භාවිත කර තිබෙනවා. ඉන් සමහරක් ඒවා ඔහුට තම පියාගෙන් ලැබෙන්න ඇති. යෝසෙප් භාවිත කළ උපකරණ අතරේ මුළු මට්ටමක්, ලඹයක්, අත්පොරවක්, කියතක්, වෑයක්, මිටියක්, අතකොළුවක්, නියනක්, බුරුමයක්, ඇණ කිහිපයක් සහ විවිධ මැලියම් වර්ග තියෙන්න ඇති.

17, 18. (අ) යෝසෙප්ගෙන් යේසුස් ඉගෙනගත්තේ මොනවාද? (ආ) යෝසෙප්ට තව තවත් වෙහෙස වී වැඩ කරන්න සිදු වුණේ ඇයි?

17 වෙහෙස නොබලා වැඩ කරන තම ආදරණීය පියා දෙස පුංචි යේසුස් ඉතා ඕනෑකමින් බලා සිටින්න ඇති. පියාගේ සෑම ඉරියව්වක් ගැනම බලා සිටින අතරතුරේදී ඔහුට මොන තරම් ජවයක් තිබෙනවාද කියාත් ඔහු මොන තරම් දක්ෂ වඩු කාර්මිකයෙක්ද කියාත් යේසුස් තේරුම්ගන්න ඇති. එවැනි අවස්ථාවලදී වියළන ලද මාළුන්ගේ හම යොදාගෙන ලී සුමට කරන ආකාරය ගැන යෝසෙප් තම පුතුට කියා දෙන්න ඇති. ඒ වගේම අත්තික්කා, ඕක් සහ ඔලීව වැනි ලී වර්ග වෙන් කර හඳුනාගන්නා ආකාරය ගැනත් ඔහු කියා දෙන්න ඇති.

යෝසෙප් තම පුතුට වඩු වැඩ කියා දුන්නා

18 තමන්ගේ පියා බර වැඩ කරන හැඩිදැඩි පුද්ගලයෙක් වුණත් පවුලේ අය වෙනුවෙන් ඔහුගේ හිතේ මොන තරම් ආදරයක් සෙනෙහසක් තිබුණාද කියා යේසුස් තේරුම්ගත්තා. බයිබලයේ සඳහන් ආකාරයට යෝසෙප්ට සහ මරියාට අඩුම තරමින් යේසුස්ට අමතරව තවත් දරුවන් හයදෙනෙකුවත් සිටින්න ඇති. (මතෙ. 13:55, 56) ඒ සියලුදෙනාගේම අවශ්‍යතා සපුරාලන්න යෝසෙප්ට තව තවත් වෙහෙස වී වැඩ කරන්න සිදු වෙනවා.

පවුලේ අය වෙනුවෙන් කළ හැකි හොඳම දෙය නම් ඔවුන්ට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට උපකාර කිරීම බව ඔහු වටහාගෙන සිටියා

19. දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට යෝසෙප් පවුලේ අයට උපකාර කළේ කොහොමද?

19 පවුලේ අය වෙනුවෙන් කළ හැකි හොඳම දෙය නම් ඔවුන්ට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට උපකාර කිරීම බව යෝසෙප් වටහාගෙන සිටියා. ඒ නිසා නිවසේදී ඔහු යෙහෝවා දෙවි ගැනත් දෙවි දී තිබුණු නීති ගැනත් දරුවන්ට පහදා දෙන්න අමතක කළේ නැහැ. ඒ වගේම දෙවිගේ නීතිය කියවා පහදා දෙන සිනගෝගයට දරුවන්ව නිතිපතා ගෙන යෑමටත් යෝසෙප් සහ මරියා වගබලා ගත්තා. ඒ ඉගැන්වීම් ගැන යේසුස් ඇසූ සෑම ප්‍රශ්නයකටම යෝසෙප් තමාට හැකි උපරිමයෙන් පිළිතුරු දෙන්න ඇති. යෙරුසලමේ වාර්ෂිකව පවත්වන උත්සවවලට පවුලේ සියලුදෙනාවම රැගෙන යන්නත් ඔහු අමතක කළේ නැහැ. උදාහරණයකට කිලෝමීටර් 120ක දුරකින් පිහිටි යෙරුසලමට ගොස් පාස්කු උත්සවය සමරා නැවත නිවස බලා ඒමට සමහරවිට සති දෙකක්වත් ගත වෙන්න ඇති.

යෙරුසලමේ වාර්ෂිකව පවත්වන පාස්කු උත්සවයට යෝසෙප් පවුලේ අයව රැගෙන ගියා

20. පවුලේ මූලිකයන්ට යෝසෙප්ගේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන් කොහොමද?

20 අද දිනත් පවුලේ මූලිකයන්ද පවුලේ අයගේ අවශ්‍යතා සපුරාලන්න වෙහෙස නොබලා වැඩ කරනවා. කොහොමවුණත් යෝසෙප් මෙන් ඔවුන්ද මුල් තැන දෙන්නේ පවුලේ අයට යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට උපකාර කිරීමටයි. පවුලේ නමස්කාරය පවත්වන්නත් රැස්වීම් සහ සමුළු සඳහා දරුවන්ව ගෙන යෑමටත් ඔවුන් අපමණ වෙහෙසක් දරනවා. මේ සෑම දෙයක්ම ඔවුන් කරන්නේ දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට තම දරුවන්ට උපකාර කිරීමටයි. දරුවන් වෙනුවෙන් කළ හැකි හොඳම දෙය වෙන්නේ එය බව ඔවුන් වටහාගෙන සිටිනවා.

“ලොකු භයකින්”

21. පාස්කු උත්සවය සමරන කාලය යෝසෙප්ගේ පවුලේ අයට මොන වගේ අද්දැකීමක් වෙන්න ඇද්ද? යේසුස් ඔවුන් සමඟ පැමිණ නැති බව යෝසෙප් සහ මරියා දැනගත්තේ මොන අවස්ථාවේදීද?

21 යේසුස්ට වයස අවුරුදු 12දීත් සුපුරුදු පරිදි පාස්කු උත්සවය සැමරීමට යෝසෙප් පවුලේ අයව යෙරුසලමට රැගෙන යනවා. ගම් නියම් ගම් පසු කරගෙන පැමිණෙන සෙනඟ යෙරුසලමේ කන්ද නඟිද්දී දෙවිට ප්‍රශංසා ගී ගයනවා. (ගීතා. 120–134) ඔවුන් යෙරුසලමට පැමිණෙද්දී පාස්කු උත්සවය සැමරීමට පැමිණ තිබුණු සියදහස් ගණන් සෙනඟගෙන් මුළු නගරයම පිරී තිබෙන අයුරු ඔවුන් දකින්න ඇති. ඉතාමත් සතුටින් පාස්කු උත්සවය සැමරූ සෙනඟ දැන් සූදානම් වෙන්නේ නැවතත් තම නිවෙස් බලා යෑමටයි. මේ සෙනඟ අතරේ ගමන් කරද්දී යේසුස්ද අනිත් අය සමඟ ඇති කියා යෝසෙප් සහ මරියා සිතුවත් ඔහු ඔවුන් සමඟ සිටියේ නැහැ. යෝසෙප් සහ මරියා ඒ බව දැනගන්නේ දවසක දුරක් ගමන් කිරීමෙන් පසුවයි. ඒ ගැන ඔවුන් මොන තරම් කලබලයට පත් වෙන්න ඇතිද!—ලූක් 2:41-44.

22, 23. යේසුස් සෙනඟ අතරේ සිටියේ නැති බව දැනගත් විට යෝසෙප් සහ මරියා කළේ මොනවාද? යේසුස්ව මුණගැසුණු අවස්ථාවේදී මරියා ඔහුට පැවසුවේ මොනවාද?

22 එය දැනගත් විගස ඔවුන් යේසුස්ව සෙවීමට නැවතත් යෙරුසලමට යනවා. ඇඟිල්ලක් ගැසීමට තරම්වත් ඉඩක් නොතිබුණු යෙරුසලම් නගරය දැන් පාළු භූමියක් වෙලා. නැති වූ පුතාව සෙවීමට තැත් කරන යෝසෙප් සහ මරියා යේසුස්ගේ නම කියමින් ඔහුව සෑම තැනකම සොයනවා. තුන්වන දිනයේදීත් යේසුස්ව සොයාගැනීමට නොහැකි වූ නිසා තමන්ට දෙවිගෙන් ලැබුණු පැවරුම නිසි ලෙස ඉටු කරන්න අසමත් වුණාද කියා යෝසෙප් සිතන්න ඇති. හැකි සෑම තැනකම යේසුස්ව සොයන ඔවුන් අවසානයේදී දේවමාලිගාවට පැමිණෙනවා. එහි අස්සක් මුල්ලක් නෑරම ඔහුව සොයන ඔවුන්ට විශාල කාමරයක් තුළ ගුරුවරුන් සමඟ සිටින යේසුස්ව දැකගන්න ලැබෙනවා. ඒ අවස්ථාවේදී ඔවුන් සැනසුම් සුසුමක් හෙළන්න ඇති.—ලූක් 2:45, 46.

23 යේසුස් එහි සිටි ගුරුවරුන්ට සවන් දෙමින් ඔවුන්ගෙන් විවිධ ප්‍රශ්න අසමින් සිටියා. ඒ විතරක් නෙවෙයි ඔහු දක්ෂ ලෙස ප්‍රශ්නවලට පිළිතුරුත් දුන්නා. ඔහුට මොන තරම් අවබෝධයක් තිබෙනවාද කියා දැනගත් ගුරුවරුන් ඒ ගැන පුදුමයට පත් වෙනවා. තමන්ටත් නොකියා යේසුස් දේවමාලිගාවේ නතර වීම ගැන ඔහුගේ දෙමාපියන්ද පුදුම වෙනවා. ඒ අවස්ථාවේදී යෝසෙප් කිසිවක් නොපවසා නිහඬව සිටියත් මරියා මෙසේ අසනවා. “පුතේ, ඇයි ඔයා අපිට මේ වගේ දෙයක් කළේ? තාත්තයි මමයි ඔයාව හොයන්න කොයි තරම් මහන්සි වුණාද! අපි හිටියේ ලොකු භයකින්.”—ලූක් 2:47, 48.

24. දෙමාපියන් සතු වගකීමේ බැරෑරුම්කම ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?

24 දරුවන්ව රැකබලා ගැනීම දෙමාපියන් සතු මොන තරම් බාරදූර වගකීමක්ද කියා මරියා පැවසූ ඒ දෙයින් පැහැදිලි වෙනවා. දරුවා පරිපූර්ණ වුණත් දෙමාපියන් සතු වගකීමේ වෙනසක් වෙන්නේ නැහැ. අද දරුවන් හැදී වැඩෙන්නේ දුෂ්ට සමාජයක නිසා දෙමාපියන් සිටින්නේ “ලොකු භයකින්” හා මානසික පීඩනයකින්. නමුත් එවැනි හැඟීම් ඇති වීම සාමාන්‍ය දෙයක් බව බයිබලයේද සඳහන් වී තිබෙනවා. එය දැන සිටීම දෙමාපියන්ට සහනයක් නෙවෙයිද!

25, 26. යේසුස් තම දෙමාපියන්ට පැවසුවේ මොනවාද? ඒ ගැන යෝසෙප්ට කොහොම හැඟෙන්න ඇද්ද?

25 යේසුස් සිටියේ ඔහුට සිටිය හැකි හොඳම ස්ථානයෙයි. ඒ ඇයි? දේවමාලිගාවේ සිටිද්දී ඔහුට තම ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවිට වඩාත් සමීප බවක් දැනුණා. ඒ වගේම දෙවි පිළිබඳ දැනුම ලබාගැනීමට හැකි සුදුසුම ස්ථානය එය බවත් ඔහු දැනගෙන සිටියා. ඔහු මරියාට පැවසූ මේ දෙයින් එය හොඳින්ම පැහැදිලි වෙනවා. “මාව හොයන්න මේ තරම් මහන්සි වුණේ ඇයි? මගේ පියාණන්ගේ ගෘහයේ මා සිටිය යුතුයි කියා ඔබ දැනගෙන සිටියේ නැද්ද?”—ලූක් 2:49.

26 යේසුස් පැවසූ දේ ගැන යෝසෙප්ට යම් ආඩම්බරයක් දැනෙන්න ඇති. විටින් විට ඔහු ඒ දේවල් ගැන කල්පනා කරන්නත් ඇති. යේසුස්ට යෙහෝවා දෙවි සමඟ එවැනි බැඳීමක් ඇති කරගැනීමට උපකාර කරන්න තමන් දැරූ උත්සාහයට සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා කියා ඔහුට හැඟෙන්න ඇති. “පියෙක්” කියන්නේ මොන තරම් ප්‍රේමණීය කෙනෙකුටද කියා යෝසෙප් ක්‍රියා කළ ආකාරයෙන් යේසුස් වටහාගෙන තිබුණා.

27. පියවරුන්ට ලැබී තිබෙන වරප්‍රසාදය කුමක්ද? යෝසෙප්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

27 ඔබ ඔබේ දරුවන්ට ආදරයෙන් සලකමින් ඔවුන්ව රැකබලා ගන්නවා නම් ස්වර්ගික පියාණන් ඊටත් වඩා මොන තරම් ප්‍රේමණීය කෙනෙක්ද කියා තේරුම්ගන්න දරුවන්ට එය උපකාරවත් වෙයි. එය පියවරුන්ට ලැබී තිබෙන මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද! ඔබ හදා වඩා ගන්නේ ඔබේම දරුවන්ව නොවුණත් යෝසෙප් කළා හා සමානව ඔවුන්ට ස්වර්ගික පියා වන යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට උපකාර කරන්න ඔබට පුළුවන්.එෆීස 6:4 කියවන්න.

අවසානය දක්වාම වගකීම් ඉටු කළා

28, 29. (අ) ලූක් 2:51, 52හි සඳහන් දෙයින් යෝසෙප් ගැන හෙළි වෙන්නේ මොනවාද? (ආ) ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න යෝසෙප් තම පුත්‍රයාට උපකාර කළේ කොහොමද?

28 මේ සිද්ධියෙන් පසුව යෝසෙප් ගැන තොරතුරු බයිබලයේ සඳහන් වී නැහැ. නමුත් යේසුස් තම දෙමාපියන්ට ‘දිගටම කීකරු වී සිටි’ බවත් ඔහු “ප්‍රඥාවෙන් සහ උස මහතින්ද දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි හොඳ නමක් දිනාගනිමින්ද” වැඩුණා කියාත් එහි සඳහන් වෙනවා. (ලූක් 2:51, 52 කියවන්න.) ඉන් යෝසෙප් ගැන හෙළි වෙන්නේ මොනවාද? පරිපූර්ණ දරුවෙක් වූ යේසුස් තම පියාට දිගටම කීකරු වීමෙන් පැහැදිලි වෙන්නේ යෝසෙප් පවුලේ මූලිකයා ලෙස තමන් සතු වගකීම හොඳින් ඉටු කර තිබෙන බවයි.

29 යේසුස් ප්‍රඥාවෙන් වැඩුණා කියා සඳහන් දෙයින් පැහැදිලි වෙන්නේ ප්‍රඥාවන්තව ක්‍රියා කිරීමට යෝසෙප් ඔහුට උපකාර කර තිබෙන බවයි. ප්‍රඥාවන්තව ක්‍රියා කිරීමට හැකි වෙන්නේ දැනඋගත් සහ අධිකාරියක් තියෙන අයට පමණයි කියා යුදෙව්වන් අතරේ කියමනක් තිබුණා. ඒ අනුව වඩු කාර්මිකයන්, ගොවියන් සහ කම්මල්කරුවන් වැනි අයට කිසිවිටක ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න බැහැ කියාත් ඔවුන් සිතුවා. නමුත් වඩු කාර්මිකයෙකුගේ පුතෙක් වූ යේසුස් දිගටම ප්‍රඥාවන්තව ක්‍රියා කරමින් එය අසත්‍යයක් බව ඔප්පු කළා. එසේ කිරීමට යේසුස්ට හැකි වුණේ ඔහුගේ පියා වූ යෝසෙප් යෙහෝවා දෙවි ඉදිරියේ හරි දේ හා වැරදි දේ කුමක්ද කියා වටහාගැනීමට කුඩා කාලයේ සිටම ඔහුට කියා දී තිබුණු නිසයි.

30. යෝසෙප් පවුලේ මූලිකයන්ට තැබූ කදිම ආදර්ශය කුමක්ද?

30 යේසුස් උස මහතින්ද වැඩුණා කියා සඳහන් වීමෙන් පැහැදිලි වෙන්නේ යෝසෙප් ඔහුට අවශ්‍ය පෝෂණය ලබා දී තිබෙන බවයි. ඒ විතරක් නෙවෙයි වඩු කර්මාන්තය ගැනත් ඔහුට හොඳ පුහුණුවක් දී තිබෙනවා. යේසුස්ව වඩුවාගේ පුතා ලෙස හඳුන්වනවාට අමතරව ඔහුව “වඩුවෙක්” කියා හැඳින්වීමෙන් එය පැහැදිලියි. (මාක් 6:3) යෝසෙප් ඔහුට ලබා දුන් පුහුණුව සාර්ථක වී තිබෙන බවත් ඉන් පැහැදිලි වෙනවා. යෝසෙප්ගේ ආදර්ශය අනුගමනය කරන දෙමාපියන් තම දරුවන්ට රැකියාවක් කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා.

31. (අ) යෝසෙප් මිය යන්න ඇත්තේ මොන කාලයේදීද? (කොටුවද බලන්න.) (ආ) යෝසෙප්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

31 වයස අවුරුදු 30දී පමණ යේසුස්ගේ බව්තීස්මය ගැන සඳහන් බයිබල් වාර්තාවේ යෝසෙප් ගැන සඳහන් වෙන්නේ නැහැ. තිබෙන තොරතුරුවලට අනුව ඔහු ඒ වෙද්දී ජීවතුන් අතර සිටියේ නැහැ කියා සිතන්න පුළුවන්. (“ යෝසෙප් මිය ගියේ කවදාද?” නමැති කොටුව බලන්න.) කොහොමවුණත් පියෙකු ලෙස පවුලේ අයව හොඳින් රැකබලා ගැනීම, ඔවුන්ගේ අවශ්‍යතා සැපයීම සහ අවසානය දක්වා තමන්ගේ වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් ඔහු පියවරුන්ට කදිම ආදර්ශයක් සැපයුවා. පියවරුන්ට පමණක් නෙවෙයි, ඔහුට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය අපි සෑමදෙනාටම කදිම ආදර්ශයක් කියා ඔබට සිතෙන්නේ නැද්ද!

^ 4 ඡේ. ඒ කාලයේදී විවාහ ගිවිසගැනීම සැලකුවේ විවාහ වුණා හා සමානවයි.

^ 8 ඡේ. ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් දුටුවේ අහසේ තිබෙන සැබෑ තරුවක් නෙවෙයි. එය යේසුස්ව මරා දැමීමේ අරමුණින් සාතන් විසින් මවා පෙන්වූ දෙයක්.

^ 11 ඡේ. යේසුස් කළ “ආශ්චර්යයන්වල පළමුවැන්න” සිදු වී තිබෙන්නේ ඔහුගේ බව්තීස්මයෙන් පසුව බව බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා.—යොහ. 2:1-11.