Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | මරියා

ඇය හදවත පසාරු කරගෙන යන තරම් වේදනාවක් දරාගත්තා

ඇය හදවත පසාරු කරගෙන යන තරම් වේදනාවක් දරාගත්තා

මහ දවාලේ වුණත් මුළු ප්‍රදේශයම අන්ධකාරයෙන් වැසී ගිහින්. එකපාරටම පොළොව දෙදරුම් කන්න පටන්ගන්නවා. (මතෙව් 27:45, 51) මරියා ඇගේ ආදරණීය පුත්‍රයාව එල්ලා තිබෙන වධකණුව අසල දණින් වැටී දරාගත නොහැකි වේදනාවකින් බලා සිටිනවා. ඔහු අවසන් හුස්ම හෙළුව මොහොතේ නැඟූ හඬ ඇගේ දෙසවනේ තවමත් දෝංකාර දෙනවා. පරිසරයේ එවැනි විපර්යාසයක් සිදු වෙන්නේ යේසුස්ගේ මරණයේ වේදනාව කාටත් වඩා යෙහෝවා දෙවිට දැනෙන බව මේ ලෝකයේ ඉන්න අයට අඟවන්න කියා මරියාට ඒ වෙලාවේදී සිතෙන්න ඇති.

යේසුස්ව එල්ලා තිබෙන්නේ ගොල්ගොතා ලෙස හැඳින්වෙන හිස්කබල නම් ස්ථානයෙයි. (යොහන් 19:17, 25) එහි රැඳී සිටිමින් මරියා තම පුත්‍රයාගේ වියෝව ගැන දුක් වෙනවා. තම පුත්‍රයා දෙස බලා සිටින ඇගේ මතකයට බොහෝ දේවල් නැඟෙනවා විය හැකියි. වසර 33කට පමණ පෙර යෝසෙප් සමඟ තම චූටි පුතාව යෙරුසලමේ දේවමාලිගාවට ගෙන ගිය විට සිදු වූ සිදුවීමකට ඇගේ මතකය දිව යනවා විය හැකියි. ඒ අවස්ථාවේදී වයසින් මුහුකුරා ගිය සිමියොන් නම් අනාගතවක්තෘවරයා දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් දරුවා ගැන අනාවැකියක් කිව්වා. යේසුස් මහත් දේවල් සිදු කරන බවත් යේසුස් නිසා කවදා හරි දවසක දිග කඩුවක් මරියාගේ හදවත පසාරු කරගෙන යන බවත් සිමියොන් පැවසුවා. (ලූක් 2:25-35) සිමියොන්ගේ වදන්වල නියම අරුත මරියාට තේරෙන්නේ මේ දුක්ඛිත අවස්ථාවෙයි.

කඩුවක් පසාරු කරගෙන යනවා හා සමාන වේදනාවක් මරියා අද්දැක්කා

දරුවෙකුගේ මරණය තරම් වේදනාවක් ගෙන දෙන තවත් දෙයක් දෙමාපියෙකුට නැහැ. මරණය සැබෑම සතුරෙක්. මරණය නිසා ඇති වන වේදනාව අපි හැමෝම අද්දැකලා තියෙනවා. (රෝම 5:12; 1 කොරින්ති 15:26) ඒ වගේ වේදනාවක් දරාගන්න පුළුවන්ද? ඒ සඳහා යේසුස් සේවය ආරම්භ කළ දා සිට ඔහුගේ මරණය දක්වාත් ඉන්පසුවත් මරියා අද්දැක්ක දේවල් සලකා බැලීම වටිනවා. කඩුවක් පසාරු කරගෙන යනවා හා සමාන වේදනාවක් දරාගන්න ඇයට මොන තරම් විශ්වාසයක් තිබුණාද කියා එයින් අපිට දැනගන්න පුළුවන්.

“ඔහු මොනව හරි කරන්න කිව්වොත් ඒ දේ කරන්න”

යේසුස්ගේ මරණයට අවුරුදු තුනහමාරකට කලින් සිදු වූ සිදුවීමක් බලමු. පසුතැවිලි වෙන්න කියා යොහන් බව්තීස්ත දේශනා කරන පණිවිඩය කුඩා නගරයක් වන නාසරෙත්වලත් පැතිර යනවා. තම වැඩිමල් පුතාට සේවය ආරම්භ කරන්න කාලය පැමිණ තිබෙන බවට එය යම් ඉඟියක් කියා මරියා තේරුම්ගන්නවා. (මතෙව් 3:1, 13) නමුත් සේවය සඳහා යේසුස්ගේ පිටත්ව යෑම මරියාට සහ පවුලේ අයට කොහොම බලපාන්න ඇද්ද?

සමහරවිට ඒ වෙනකොට යෝසෙප් මිය ගිහින්. මරියාට එය ලොකු වේදනාවක් වුණ බව නිසැකයි. * යෝසෙප්ගේ වියෝවෙන් පසු වඩු කර්මාන්තයේ නියැලෙමින් පවුලේ බර දැරුවේ යේසුස් කියා සිතන්න පුළුවන්. ඔහුව “වඩුවෙක්ගේ පුතෙක්” කියා පමණක් නෙවෙයි “වඩුවෙක්” කියා හැඳින්නුවෙත් ඒ නිසයි. ඔහුට අඩුම තරමින් නංගිලා මල්ලිලා හයදෙනෙක්වත් හිටියා. (මතෙව් 13:55, 56; මාක් 6:3) පවුලේ දෙවෙනියා යාකොබ් වෙන්න ඇති. යේසුස්, යාකොබ්ට වඩු කර්මාන්තය උගන්වා තිබුණත් පවුලේ වැඩිමලා ගෙදරින් පිට වී යන විට ඒක මුළු පවුලටම වේදනාවක් වුණ බව නිසැකයි. මරියා ඒ වෙනකොටත් බොහෝ දුක් කන්දරාවලට මුහුණ දීලා තිබුණා. යේසුස්ගේ පිටත්ව යෑම ගැන ඇය දුක් වුණාද කියලා අපි හරියටම දන්නේ නැහැ. නමුත් වැදගත් වෙන්නේ තම පුත්‍රයා පොරොන්දු වූ ගැලවුම්කරු ලෙස සේවය භාරගත්තට පස්සේ ඇය කෙසේ ක්‍රියා කළාද කියා දැනගැනීමයි. මේ ගැන බයිබලයෙන් බලමු.—යොහන් 2:1-12.

යොහන් බව්තිස්ත යේසුස්ව බව්තීස්ම කළාට පස්සේ යේසුස් දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා හෙවත් ගැලවුම්කරු වුණා. (ලූක් 3:21, 22) ඉන්පසු ඔහු ගෝලයන්ව තෝරාගත්තා. ඔහු මොන තරම් කාර්යබහුලව සිටියත් පවුලේ අය සහ යාළුවන් සමඟ විනෝද වෙන්න කාලය සොයාගත්තා. ඔහු දවසක් ඔහුගේ මව, පවුලේ අනිත් අය සහ ගෝලයන් සමඟ කානා නුවර තිබෙන විවාහ මංගල්‍යයකට ගියා. කානා නුවර පිහිටා තිබුණේ නාසරෙත් සිට කිලෝමීටර් 13ක පමණ දුරින්. උත්සවයේදී වයින් ඉවර වුණා. මරියා ඒ බව දැනගත්තේ උත්සවය අතරතුරේදී ගෙදර අය හොඳටම කලබල වී සිටි නිසා විය හැකියි. අමුත්තන්ට සංග්‍රහ කිරීමේදී එවැනි අඩුපාඩුවක් සිදු වීම එදා සමාජයේ සැලකුවේ නින්දාවක් ලෙසයි.

මරියා ඔවුන් ගැන අනුකම්පා කර “වයින් ඉවරයි” කියා යේසුස්ට පැවසුවා. ඇය ඉන් අදහස් කළේ “පුතා ඉක්මනට මොනවා හරි කරන්න” කියලයි. ඔහුට මහත් දේවල් කරන්න පුළුවන් නිසා දැන්මම ඔහු යමක් කරයි කියා ඇය සිතන්න ඇති. ඒත් “ඒ ගැන මට කියන්නේ ඇයි” කියා යේසුස් පිළිතුරු දුන් විට ඇය පුදුමයට පත් වෙන්න ඇති. අද බොහෝ අය සිතන්නේ ඒ වගේ පිළිතුරක් දීමෙන් යේසුස් මවට අගෞරවයක් කළා කියායි. ඒත් යේසුස් ඒ අවස්ථාවේදී කළේ ඇයව කාරුණිකව නිවැරදි කිරීමයි. ඔහු සේවය ආරම්භ කර තිබුණු නිසා ඔහු කළ යුතු දේවල් ගැන මඟ පෙන්වීම් දීමේ සම්පූර්ණ අයිතිය තිබෙන්නේ ඔහුගේ ස්වර්ගික පියණන් වන යෙහෝවා දෙවිට බව ඔහු ඇයට පෙන්වා දුන්නා.

යේසුස් මරියාව නිවැරදි කරන විට එය භාරගන්න ඇයට අමාරු නොවන්නේ ඇය යටහත්පහත් කෙනෙක් නිසයි. යේසුස්ට මඟ පෙන්වීම් දෙනවා වෙනුවට ඇය වගේම අනිත් අයත් ඔහුගෙන් මඟ පෙන්වීම් ලබාගත යුතු බව ඇය තේරුම්ගන්නවා. ඒ නිසා සංග්‍රහ කරමින් සිටින අයට ඇය මෙහෙම කියනවා. “ඔහු මොනව හරි කරන්න කිව්වොත් ඒ දේ කරන්න.” විවාහක යුවළ ගැන මවට ඇති වන අනුකම්පාවම පුතාටත් ඇති වෙනවා. ඒ නිසා ඔහු වතුර වයින් බවට පත් කරමින් ඔහුගේ පළවෙනි ආශ්චර්යය කරනවා. එය දකින ‘ඔහුගේ ගෝලයෝද ඔහු කෙරෙහි තව තවත් විශ්වාස කරන්න පටන්ගන්නවා.’ ඒ වගේම මරියාගේ විශ්වාසයද වැඩි වෙනවා. ඉන්පසු ඇය යේසුස්ව තම පුත්‍රයා ලෙස සලකනවා වෙනුවට තමා ඇතුළු සියලුදෙනාගේ ගැලවුම්කරු ලෙස පිළිගන්නවා.

මරියාට යේසුස් ගැන තිබුණු විශ්වාසයෙන් අද දින දෙමාපියන්ටත් බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්. කිසිම දෙමාපියෙක් යේසුස් වගේ පරිපූර්ණ දරුවෙක්ව හදා වඩා ගෙන නැති බව ඇත්තයි. ඒත් දරුවෙක් වැඩිහිටියෙක් දක්වා වැඩෙනකොට සිදු වන වෙනස්කම්වලට මුහුණ දීම දෙමාපියන්ට අභියෝගයක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී දරුවන් වැඩිහිටියන් වූ පසුවත් දෙමාපියන් ඔවුන්ව කුඩා දරුවන් වගේ සලකන්න ඉඩ තිබෙනවා. (1 කොරින්ති 13:11) වැඩුණු දරුවන්ට සලකන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? එක විදිහක් නම් තම දුව හෝ පුතා හෝ දෙවිගේ ප්‍රමිතිවලට එකඟව තීරණ ගෙන ඔහුගේ ආශීර්වාද අද්දකියි යන විශ්වාසය තැබීමයි. දෙමාපියන් දරුවන්ව විශ්වාස කරන බව දරුවන්ට පවසද්දී එය ඔවුන්ට ලොකු ශක්තියක් වෙනවා. තම මව වූ මරියාගෙන් ලැබුණු උපකාර යේසුස්ගේ ඉදිරි ගමනට ලොකු අත්වැලක් වුණා.

“ඔහුගේ සහෝදරයන්ට ඔහු කෙරෙහි විශ්වාසයක් තිබුණේ නැත”

යේසුස් සේවය කළ අවුරුදු තුනහමාර ඇතුළතදී මරියා ගැන සුවිශේෂ පොත්වල වැඩි විස්තරයක් නැහැ. ඒ වන විට ඇය වැන්දඹුවක්. ඒ වගේම ඇයට ගෙදර ඉන්න අනිත් දරුවන්ගේ වැඩකටයුතුද තිබුණා. ඒ නිසා ඇයට යේසුස් සමඟ සේවය කිරීමට යන්න හැකිකමක් තිබුණේ නැහැ. (1 තිමෝති 5:8) ඒත් ඇය ගැලවුම්කරු සම්බන්ධයෙන් ලියවිලිවල සඳහන් දේවල් ගැන ගැඹුරින් කල්පනා කළා. ඒ වගේම පවුලක් ලෙස සිනගෝගයට යන්න පුරුදු වී සිටි පරිදි ඇය සිනගෝගයට ගියා.—ලූක් 2:19, 51; 4:16.

යේසුස් නාසරෙත්වල තිබුණු සිනගෝගයේ උගන්වන විට මරියා ඊට සවන් දුන්නා කියා සිතිය හැකියි. සියවස් ගණනාවකට පෙර යේසුස් ගැන කියා තිබුණු අනාවැකියක් ඉටු වූ ආකාරය ගැන ඔහු පැවසුව අවස්ථාවේදී මරියාට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! ඒත් ඒ නුවරේ සිටි බොහෝදෙනෙක් ඔහුව පිළිගත්තේ නැහැ. ඇගේ පුතාව මැරීමට පවා තැත් කළා. මරියාට ඒ ගැන ලොකු දුකක් දැනෙන්න ඇති.—ලූක් 4:17-30.

ඇගේ අනිත් පුත්‍රයන් යේසුස්ව පිළි නොගැනීමත් ඇගේ දුකට හේතුවක් වෙන්න ඇති. යොහන් 7:5හි සඳහන් වෙන්නේ ‘ඔහුගේ සහෝදරයන්ට ඔහු කෙරෙහි විශ්වාසයක් තිබුණේ නැහැ’ කියායි. ඉන් පැහැදිලි වෙන්නේ ඔහුගේ සහෝදරයන් හතරදෙනාට මරියාට මෙන් යේසුස් කෙරෙහි විශ්වාසයක් තිබුණේ නැති බවයි. යේසුස්ට අඩුම තරමින් නංගිලා දෙදෙනෙක්වත් ඉන්න ඇති. බයිබලයේ ඒ අය ගැන වැඩි සඳහනක් නැහැ. * එකම නිවසක විවිධ විශ්වාසයන් තියෙන අය එක්ක ජීවත් වීම මොන තරම් අභියෝගයක්ද කියා මරියා අද්දැකීමෙන්ම දැන සිටියා. ඇය සත්‍ය ඉගැන්වීම්වලට විශ්වාසවන්තව සිටිය යුතු අතර පවුලේ අනිත් අයව දිනාගැනීම සඳහා කාරුණිකව කටයුතු කිරීමත් අවශ්‍ය වුණා.

දවසක් යේසුස්ගේ නෑදෑයන් ‘ඔහු සිහිවිකල් වී සිටිනවා’ කියා පවසමින් ඔහුව “රැගෙන යෑමට” පැමිණෙනවා. මරියා සහ යේසුස්ගේ අනිත් සහෝදරයන්ද ඒ අතරේ සිටිනවා. (මාක් 3:21, 31) නමුත් මරියා යේසුස් ගැන එහෙම හිතන්නේ නැහැ. ඇය දරුවන් සමඟ එතනට පැමිණෙන්නේ ඔවුන් යේසුස්ගෙන් යම් දෙයක් ඉගෙනගෙන ඔහු ගැන විශ්වාසයක් ඇති කරගනියි යන බලාපොරොත්තුවෙන් විය හැකියි. ඔවුන් වෙනස් වුණාද? යේසුස් මොන තරම් ආශ්චර්යවත් දේවල් කර තිබුණත් වටිනා සත්‍යයන් උගන්වා තිබුණත් ඔවුන් යේසුස්ව විශ්වාස කළේ නැහැ. එතරම් සාක්ෂි තිබුණත් යේසුස්ව පිළිගැනීමට අනිත් දරුවන්ට බැරි ඇයි කියා මරියා සිතන්න ඇති.

ඔබත් ජීවත් වෙන්නේ ආගමික විශ්වාසයන් නිසා බෙදුණු පවුලකද? එසේනම් මරියාගේ ආදර්ශය ඔබට බොහෝ සේ වටී. ඇය නෑදෑයන් ගැන බලාපොරොත්තුව අත්හැරියේ නැහැ. ඇගේ විශ්වාසය නිසා ඇය මොන තරම් ප්‍රීතියකින් හා සන්සුන් මනසකින් සිටිනවාද කියා අනිත් අයට තේරම්ගන්න සැලැස්සුවා. එමෙන්ම ඇය තම ආදරණීය පුත්‍රයාට දිගටම සහයෝගයත් දුන්නා. ඇයට යේසුස් නැති අඩුව දැනුණාද? ඔහු දිගටම පවුලේ අය සමඟ සිටියා නම් හොඳයි කියා ඇයට සිතුණාද? එවැනි හැඟීම් ඇති වුණා නම් ඇය ඒවා දරාගන්න ඇති. යේසුස්ට සහයෝගය දැක්වීම ඇය සැලකුවේ වරප්‍රසාදයක් ලෙසයි. ඔබටත් පුළුවන්ද ජීවිතයේ මුල් තැන දෙවියන්ට දෙන්න ඔබේ දරුවන්ට උපකාර කරන්න?

“දිග කඩුවක් ඔබේ හදවත පසාරු කරගෙන යයි”

යේසුස්ව විශ්වාස කළ නිසා මරියාට ආශීර්වාද ලැබුණාද? විශ්වාසයක් තිබෙන අයට දෙවියන් අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. ඒ නිසා මරියාත් ආශීර්වාද අද්දැක්කා. (හෙබ්‍රෙව් 11:6) යේසුස් සත්‍යයන් පහදා දෙන විට අසාගෙන සිටීමට ලැබීමෙන්ද ඒවා ඇසූ අය කිව්ව දේවලින්ද ඇය ලොකු සතුටක් ලබන්න ඇති.

යේසුස් පැවසුව බොහෝ උපමා ඔහු මරියා සහ යෝසෙප්ගෙන් පුහුණුවක් ලැබුව බවට කදිම සාක්ෂියක්

යේසුස් සමහර උපමා පවසන විට මරියාට ඔහුගේ ළමා කාලය මතක් වෙන්න ඇද්ද? නැති වූ කාසියක් සෙවීමට ස්ත්‍රියක් ගේ අතුගෑම, ඇඹරුම් ගලක පිටි ඇඹරීම, පහනක් දල්වා පහන් රුකක් මත තැබීම වැනි දේවල් ගැන යේසුස් කියන විට ඇගේ මතකය අතීතයට දිව යන්න ඇති. ගෙදර දොරේ එවැනි වැඩවල යෙදෙන විට පුංචි යේසුස් ඇය පසු පසින් පැමිණි ආකාරය මතක් වෙන්න ඇති. (ලූක් 11:33; 15:8, 9; 17:35) මාගේ වියගහ පහසුයි බරද සැහැල්ලුයි කියා කිව්ව විටත් අතීත සිදුවීමක් ඇගේ මතකයට නැඟෙන්න ඇති. බර අදින සතෙකුට අපහසුවක් නොදැනෙන්න වියගහක් හදන ආකාරය ගැන සැන්දෑ වරුවක ඔහුගේ පියා ඔහුට කියා දුන් ආකාරය ඇගේ සිතේ මැවෙන්න ඇති. (මතෙව් 11:30) සියලු මිනිසුන්ගේ ගැලවුම්කරු වීමට සිටි යේසුස්ව හදා වඩා ගැනීමේ භාග්‍යය යෙහෝවා දෙවියන් මරියාට දීම නිසා ඇය ලැබුව වරප්‍රසාදය ගැන ඇය බොහෝ සේ සතුටු වෙන්න ඇති. මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු උදාහරණ ලෙස යොදාගෙන වටිනා පාඩම් ඉගැන්වූ මේ ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨතම ගුරුවරයා වුණ යේසුස්ට සවන් දීමේ භාග්‍යය ඇයට ලැබුණා.

ඒ සියලු වරප්‍රසාද භුක්ති වින්දත් මරියා ආඩම්බර වුණේ නැහැ. ඒ වගේම ඇගේ පුත්‍රයාත් ඇයට අනවශ්‍ය ගෞරවයක් හෝ භක්තියක් පිරිනැමුවේ නැහැ. දවසක් යේසුස් සේවය කරමින් සිටියදී සමූහයා අතර සිටි ස්ත්‍රියක් මේ වගේ දරුවෙක් බිහි කිරීමට ලැබීම ගැන ඔහුගේ මව මොන තරම් සතුටු වෙනවා ඇද්ද කියා පැවසුවා. එවිට යේසුස් පැවසුවේ “ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අය” කියායි. (ලූක් 11:27, 28) තවත් අවස්ථාවකදී රැස්ව සිටි අයගෙන් සමහරදෙනෙක් ඔහුගේ මව සහ සහෝදරයන් පැමිණ සිටිනවා කියා යේසුස්ට පැවසුවා. නමුත් මගේ මව සහ සහෝදරයෝ නම් දෙවිගේ කැමැත්ත කරන අය කියා යේසුස් පිළිතුරු දුන්නා. මරියා ඒ ගැන දුක් වුණාද? නැහැ. පවුලේ අය අතරේ තියෙන බැඳීමට වඩා දෙවියන්ට නමස්කාර කරන අය අතර තියෙන බැඳීම බලවත් බව ඇය තේරුම්ගත්තා.—මාක් 3:32-35.

තම පුත්‍රයා වධකණුවේ වේදනාකාරී මරණයක් අද්දකින විට මරියාට දැනුණු වේදනාව විස්තර කරන්න වචන නැහැ. ඔහු අවසන් හුස්ම හෙළන තුරුම ඇය ඔහු ළඟින් අඩියක්වත් සෙලවුණේ නැහැ. එය ඇසින් දුටු කෙනෙක් වූ යොහන් පසු කාලයකදී වාර්තා කළේ ඒ වේදනාකාරී අවස්ථාවේ මරියා “යේසුස්ගේ වධකණුව අසල” සිටගෙන සිටියා කියායි. යේසුස්ට ඒ අවස්ථාවේදී එක වචනයක් හෝ කටින් පිට කිරීම ඉතා අසීරු, වේදනාකාරී දෙයක් වුණත් ආදරණීය මවව දුටු විට ඔහු කතා කළා. ඔහුගේ ළඟින්ම සිටි විශ්වාසවන්ත අනුගාමිකයෙකු වන යොහන්ට ඇයව බලාගන්න කියා භාර දුන්නා. එසේ කළේ ඒ වන විටත් යේසුස්ගේ සහෝදරයන් ඔහු කෙරෙහි විශ්වාසය තබා තිබුණේ නැති නිසයි. දෙවියන්ට විශ්වාසවන්තව සිටින කෙනෙක් පවුලේ අයව රැකබලා ගැනීම, විශේෂයෙන්ම නමස්කාරය හා සම්බන්ධ කාරණාවලදී එසේ කිරීම මොන තරම් වැදගත්ද කියා යේසුස් පෙන්නුවා.—යොහන් 19:25-27.

යේසුස් අවසන් හුස්ම හෙළුව අවස්ථාවේදී ඇයට ඇත්තටම කඩුවක් හදවත පසාරු කරගෙන යන තරම් වේදනාවක් දැනුණා. ඇයට දැනුණු ඒ වේදනාව කෙනෙකුට තේරුම්ගන්න බැරි නම් දවස් තුනකට පසු සිදු වුණ දෙයින් මරියාට මොන තරම් ප්‍රීතියක් දැනුණාද කියා තේරුම්ගන්නත් හැකි වෙන්නේ නැහැ. යේසුස් නැවත නැඟිටුණු බව මරියාට දැනගන්න ලැබුණා. ඇය දැන සිටි ආශ්චර්යයන්වලින් ලොකුම ආශ්චර්යය එයයි. ඇයට දැනුණු ප්‍රීතිය විස්තර කිරීමට වචන නැහැ. පසු කාලයකදී යේසුස් ඔහුගේ අර්ධ සහෝදරයෙක් වන යාකොබ් ඉදිරියේ පෙනී සිටියා. (1 කොරින්ති 15:7) යාකොබ් ඉදිරියේ පෙනී සිටීම ඔහුට පමණක් නෙවෙයි යේසුස්ගේ අනිත් මල්ලිලාටද ලොකු බලපෑමක් වුණා. ඔවුන් මරියා සමඟ ක්‍රිස්තියානි රැස්වීම්වලදී “යාච්ඤා කරමින්” සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 1:14) ඉන් පැහැදිලි වෙන්නේ ඔවුන් කල් යත්ම යේසුස් කෙරෙහි විශ්වාසය තැබුව බවයි. පසු කාලයේදී යාකොබ් සහ යූද්ට බයිබලයේ පොත් දෙකක් ලිවීමේ වරප්‍රසාදයද හිමි වුණා.

අනිත් පුත්‍රයන්ද විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් වීම ගැන මරියාට දැනුණේ ලොකු සතුටක්

මරියා ගැන බයිබලයේ අවසන් වරට සඳහන් වෙන්නේ ඇය තම පුත්‍රයන් සමඟ යාච්ඤා කරමින් සිටියා කියායි. එය මොන තරම් කදිම අවසානයක්ද! ඇය අපිට කදිම ආදර්ශයක්! කඩුවක් හදවත පසාරු කරගෙන යන තරම් වේදනාවක් ඇති වුණත් තමාගේ විශ්වාසය නිසා එය දරාගැනීමට මරියාට හැකි වුණු අතර ඇය දෙවිගේ මහත් වරප්‍රසාදත් ලැබුවා. අපිටත් මරියාට හා සමාන විශ්වාසයක් තිබෙනවා නම් මේ ලෝකයෙන් එල්ල වෙන ඕනෑම වේදනාවක් දරාගන්න ශක්තිය ලැබෙනවා. ඒ වගේම අපිට හිතාගන්න බැරි තරම් ආශීර්වාද භුක්ති විඳින්නත් හැකි වෙනවා.

^ 8 ඡේ. යේසුස්ගේ මව සහ ඇගේ අනිත් දරුවන් ගැන සඳහන් වුණත් යෝසෙප් ගැන සුවිශේෂ පොත්වල වාර්තා වෙන්නේ යේසුස්ට අවුරුදු 12 වන තුරු පමණයි. යේසුස්ව එක අවස්ථාවකදී හැඳින්වූයේ “මරියාගේ පුතා” කියායි.—මාක් 6:3.

^ 16 ඡේ. යේසුස් යෝසෙප්ගේම පුත්‍රයා නෙවෙයි. ඒ නිසා යෝසෙප්ට දාව ඉපදුණු දරුවන් යේසුස්ගේ අර්ධ සහෝදරයන් හා සහෝදරියනුයි.—මතෙව් 1:20.