Skip to content

පටුනට යන්න

පළමුවෙනි පරිච්ඡේදය

‘ඔහුගේ විශ්වාසය තවමත් කතා කරයි’

‘ඔහුගේ විශ්වාසය තවමත් කතා කරයි’

1. ආදම් සහ ඒවටත් ඔවුන්ගේ දරුවන්ටත් ඒදන් උයනට ඇතුල් වෙන්න බැරි ඇයි? ආබෙල්ගේ එකම ආශාව කුමක්ද?

ආබෙල් බලා සිටින්නේ තණ නිල්ලේ සිටින බැටළුවන් දෙසයි. ඔහුගේ නෙත් උන් සිටින මායිමට ඔබ්බෙන් තිබෙන දිදුලන යමක් වෙත දිව යනවා. ඒදන් උයනට ඇතුල් වීම වැළැක්වීම සඳහා දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුව ඔහුගේ නෙත ගැටෙනවා. කාලයකට කලින් එම ස්ථානය ඔහුගේ දෙමාපියන්ගේ නිවහන වී තිබුණත් දැන් ඔවුන්ටවත් ඔවුන්ගේ දරුවන්ටවත් ඊට ඇතුල් වීමට අවසර නැහැ. ඒ අතීතය සිහිපත් කරමින් මිනිසුන් හා දෙවි අතර තිබුණු බැඳීම යළි පිළිසකර කළ හැකි වෙයිද කියා ඔහු සිතනවා. ඔහුගේ එකම ආශාව වෙන්නේ බිඳී ගිය ඒ බැඳීම යළි ඇති කරගන්නයි.

2-4. ආබෙල්ගේ විශ්වාසය අදටත් කතා කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

2 ආබෙල්ගේ විශ්වාසය තවමත් කතා කරනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒත් එහෙම වෙන්නේ කොහොමද කියලා ඔබ කල්පනා කරයි. ආබෙල් මිය ගිහින් දැනට අවුරුදු 6,000ක් පමණ ගත වී තිබෙනවා. ඔහුගේ සම්පූර්ණ ශරීරයම දූවිල්ලට හැරිලා. බයිබලයේ සඳහන් වෙන්නේ ‘මිය ගිය අය කිසිවක් දන්නේ නැහැ’ කියායි. (දේශ. 9:5, 10) ඒ වගේම ආබෙල් පැවසූ එක දෙයක්වත් බයිබලයේ වාර්තා වෙලා නැහැ. එහෙනම් ආබෙල්ගේ විශ්වාසය තවමත් කතා කරනවා කියලා පවසන්නේ කොහොමද?

3 ‘ආබෙල් මිය ගියත් ඔහු තුළ තිබූ විශ්වාසය ඔහු වෙනුවෙන් තවමත් කතා කරයි’ කියා පාවුල් පැවසුවා. (හෙබ්‍රෙව් 11:4 කියවන්න.) ඔව්. ආබෙල් අදටත් කතා කරනවා කියා පවසන්නේ ඔහුට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය නිසයි. දෙවි කෙරෙහි විශ්වාසය තැබූ පළමු මිනිසා වුණේ ආබෙල්. ඔහුගේ ආදර්ශයෙන් අපිටත් බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්. ඒ අර්ථයෙන් බලද්දී ඔහුගේ විශ්වාසය තවමත් ජීවමානයි. ආබෙල්ව ආදර්ශයට ගනිමින් ඔහුට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය අනුකරණය කිරීමට උත්සාහ කරනවා නම් ආබෙල්ගේ විශ්වාසය තවමත් කතා කරනවා හා සමානයි.

4 ආබෙල් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ තොරතුරු ස්වල්පයක් වුණත් ඔහුගේ විශ්වාසය ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා බලමු.

මිනිසුන් අතළොස්සක් අතරේ හැදී වැඩෙමින්

5. “පොළොවේ දරුවන් බිහි වුණු දා පටන්” කියා යේසුස් පැවසූ අවස්ථාවේදී ඔහු ආබෙල්ට යොමු දක්වන්නේ ඇයි? (පාදසටහනද බලන්න.)

5 මිනිස් ඉතිහාසයේ මුල්ම කාලයේ ජීවත් වූ පුද්ගලයන් අතුරින් හතරවෙනියා වුණේ ආබෙල්. නමුත් පසු කාලයකදී “පොළොවේ දරුවන් බිහි වුණු දා පටන්” කියා යේසුස් පැවසූ අවස්ථාවේදී ඔහු යොමු දක්වන්නේ ආබෙල්ට. (ලූක් 11:50, 51 කියවන්න.) ඒ ඇයි? සමහරවිට පව්කාර ස්වභාවයෙන් ගලවාගැනීමට සුදුසුයි කියා දෙවි සැලකූ පළමු මිනිසා ඔහු වූ නිසා වෙන්න ඇති. *

6. ආබෙල්ගේ දෙමාපියන් ගැන විස්තර කරන්න.

6 මිනිස් ඉතිහාසයේ මුල්ම දෙමාපියන් වූ ආදම්, ඒව ප්‍රසන්න පෙනුමකින් හෙබි කඩිසර යුවළක් කියා සිතන්න පුළුවන්. පරිපූර්ණව සිටි ඔවුන්ට පොළොව මත සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව තිබුණා. නමුත් ඔවුන් යෙහෝවා දෙවිට අකීකරු වූ නිසා ඒදන් උයනෙන් දෙවි ඔවුන්ව පිටමං කළා. මතු පරම්පරාව ගැනවත් නොසිතා තමන්ගේම ආශාවන්ට මුල් තැන දුන් නිසා ඔවුන්ට මෙන්ම ඔවුන්ගෙන් පැවතෙන්නන්ටත් පරිපූර්ණ ජීවිතයත් සදහටම ජීවත් වීමේ අනගි ප්‍රස්තාවත් අහිමි වුණා.—උත්. 2:15–3:24.

7, 8. කායින් ඉපදුණු අවස්ථාවේදී ඒව පැවසුවේ මොනවාද? ඇය එසේ පවසන්න ඇත්තේ ඇයි?

7 ඒදන් උයනෙන් පිටතදී ඔවුන්ට ගෙවීමට සිදු වුණේ ඉතාමත් කටුක ජීවිතයක්. ඔවුන්ගේ පළමු දරුවා වූ කායින් ඉපදුණු අවස්ථාවේදී “යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව මම පිරිමි දරුවෙක්ව බිහි කළා” කියා ඒව පැවසුවා. සමහරවිට ඇය එසේ පවසන්න ඇත්තේ දෙවි ලබා දුන් පොරොන්දුව ඇගේ මතකයේ තිබුණු නිසා වෙන්න ඇති. ඔවුන්ව නොමඟ යැවූ දුෂ්ටයාව විනාශ කිරීමට ස්ත්‍රියගෙන් ‘පැවත එන විශේෂ තැනැත්තෙක්ව’ එවන බවට දෙවි පොරොන්දු වී තිබුණා. (උත්. 3:15; 4:1) එලෙස දෙවි පැවසූ ස්ත්‍රිය තමා බවත් පැවත එන විශේෂ තැනැත්තා තම පුත් කායින් බවත් ඒව සිතන්න ඇද්ද?

8 ඇය එසේ සිතුවා නම් එය මොන තරම් ලොකු වැරදීමක්ද! ආදම් සහ ඒව කායින්ගේ මනසටත් එවැනි අදහස් ඇතුල් කළා නම් කායින් තමා ගැනම මහ ඉහළින් සිතන්න පටන්ගන්න ඇති. නමුත් දෙවෙනි දරුවා බිහි වූ අවස්ථාවේදී නම් ඔහු ගැන එවැනි දෙයක් පැවසුවේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ඔහුට ආබෙල් යන නම තැබුවා. (උත්. 4:2) සමහරවිට “නිෂ්ඵලයි” හෝ “සුසුමක් හෙළුවා” යන්න ආබෙල් යන නමින් අර්ථවත් වෙන්න ඇති. ඔවුන් එවැනි නමක් ඔහුට දැමුවේ කායින් ගැන තිබුණා හා සමාන බලාපොරොත්තුවක් මේ දරුවා ගැන තිබුණේ නැති නිසාද කියා අපි දන්නේ නැහැ.

9. ආදම් සහ ඒව ක්‍රියා කළ ආකාරයෙන් දෙමාපියන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 දෙමාපියන්ට ආදම් සහ ඒව ක්‍රියා කළ ආකාරයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? දෙමාපියෙනි, ඔබ කරන කියන සමහර දේවල් නිසා දරුවන් තමන් ගැන මහ ඉහළින් හිතන්න හෝ තමන් ගැන විතරක් හිතන්න පෙලඹෙන්න පුළුවන්. ඇත්තටම දෙමාපියන් කළ යුත්තේ තම දරුවන්ට දෙවි ගැන කියා දී ඔහු ගැන ආදරයක් ඇති කරගන්න උපකාර කිරීමයි. නමුත් ආදම් සහ ඒව ඒ දේ කිරීමට අසමත් වුණා. එසේනම් ආබෙල්ට දෙවි ගැන ආදරයක් හා විශ්වාසයක් ඇති වුණේ කොහොමද?

නොසැලෙන විශ්වාසයක් ඇති වූ අයුරු

10, 11. කායින් හා ආබෙල් කළේ මොනවාද? ආබෙල් කැපීපෙනුණේ ඇයි?

10 කායින් හා ආබෙල් ලොකු මහත් වෙද්දී පවුලේ අවශ්‍යතා සපුරාලීමට ආදම් ඔවුන්ව පුහුණු කරන්න ඇති. කල් යත්ම කායින් වගා කරන්නත් ආබෙල් බැටළුවන් ඇති කරන්නත් පටන්ගත්තා.

11 කොහොමවුණත් සුවිශේෂී ආකාරයකින් ආබෙල් කැපීපෙනුණා. ඒ දෙවි ගැන ඔහුට තිබුණු විශ්වාසය නිසයි. කාලයත් සමඟම ඔහුට තිබුණු එම විශ්වාසය ඔහු වර්ධනය කරගත්තා. නමුත් ආබෙල්ට ආදර්ශයට ගන්න පුළුවන් කිසි මිනිසෙක් එවකට සිටියේ නැහැ. එසේනම් ආබෙල්ට දෙවි කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් ඇති කරගැනීමට හැකි වුණේ කොහොමද? ඔහුට උදව් වූ දේවල් තුනක් අපි බලමු.

12, 13. දෙවි කෙරෙහි විශ්වාසය ශක්තිමත් කරගැනීමට දෙවිගේ නිර්මාණ ගැන කල්පනා කිරීම ආබෙල්ට උපකාරවත් වෙන්න ඇත්තේ කොහොමද?

12 යෙහෝවා දෙවිගේ නිර්මාණ. දෙවි භූමියට ශාප කර තිබුණු නිසා භූමිය පුරා කටු පඳුරු හා වල් පැළෑටි වැවී තිබුණත් ආබෙල්ගේ පවුලේ අයට ඇති තරම් ආහාර භූමියෙන් ලැබුණා. යෙහෝවා දෙවි සතුන්ටවත් ඇළදොළ, ගංගා, මුහුදු, ඉර, හඳ හා තාරකාවලටවත් ශාප කළේ නැහැ. ඒ නිසා සෑම තැනකම දෙවිගේ පුදුමාකාර නිර්මාණ දකින්න ලැබුණා. දෙවි කොතරම් ප්‍රේමණීය, ප්‍රඥාවන්ත සහ යහපත් කෙනෙක්ද කියා එම නිර්මාණ දෙස බැලීමෙන් ආබෙල් තේරුම්ගන්න ඇති. (රෝම 1:20 කියවන්න.) දෙවිගේ එම අනගි නිර්මාණ ගැන අගයකින් යුතුව කල්පනා කිරීම ඔහුට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය තවත් ශක්තිමත් කරගැනීමට උපකාරවත් වූ බවට සැකයක් නැහැ.

දෙවිගේ නිර්මාණ ගැන කල්පනා කිරීම ආබෙල්ට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය ශක්තිමත් කරගැනීමට උපකාරවත් වුණා

13 ඒ වගේම ඔහු යෙහෝවා දෙවි ගැන කල්පනා කිරීමටත් කාලය ගන්න ඇති. එඬේරෙක් ලෙස ඔහු ගෙවූ ජීවිතය ගැන මොහොතකට හිතන්න. තම රැකවරණයේ සිටි බැටළුවන්ව සරුසාර තණබිම්වලට හා සිසිල් දිය ගලා බසින නිසංසල තැන්වලට ගෙන යන්න ආබෙල්ට සිදු වුණා. බැටළුවන් සමඟ එලෙස කාලය ගත කරද්දී දෙවි නිර්මාණය කළ සතුන් අතරින් බැටළුවන් මොන තරම් අහිංසකද කියාත් උන්ට මිනිසුන්ගේ රැකවරණය, උපකාරය නොමැතිව කිසිවක් කරකියාගත නොහැකියි කියාත් ඔහු තේරුම්ගන්න ඇති. ඒ හා සමානව තමාටත් මිනිසුන්ට වඩා බලවත්, ප්‍රඥාවන්ත කෙනෙකුගේ මඟ පෙන්වීම් හා රැකවරණය මොන තරම් අවශ්‍යද කියා ඔහුට වැටහෙන්න ඇති. එසේ වුණා නම් ඔහු ඒ ගැන යාච්ඤාවෙන් දෙවිට පැවසීමෙන් ඔහුගේ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න ඇති.

14, 15. දෙවි දී තිබුණු පොරොන්දු ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට ආබෙල්ට ඇති තරම් දේවල් තිබුණා කියා පවසන්න පුළුවන් ඇයි?

14 දෙවිගේ පොරොන්දුවල ඉටු වීම. ඒදන් උයනෙන් දෙවි තමන්ව පිටමං කිරීමට හේතු වූ සිදුවීම් ගැන ආදම් හා ඒව තම පුතුන්ට කියන්න ඇති. ඒ නිසා දෙවි දී තිබුණු පොරොන්දු ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට ආබෙල්ට ඇති තරම් දේවල් තියෙන්න ඇති.

15 ආදම්, ඒව යෙහෝවා දෙවිට අකීකරු වූ අවස්ථාවේදී දෙවි ඒවට පැවසුවේ ඇය දරුවන් බිහි කරන විට මහත් වේදනාවක් විඳින බවයි. තමන්ගේ මව වේදනා විඳිමින් තම සොයුරු සොයුරියන්ව බිහි කරද්දී දෙවි පැවසූ ඒ වදන්වල සත්‍යතාව ආබෙල් දැක්කා. ඒවට තම ස්වාමිපුරුෂයා කෙරෙහි අධික ඇල්මක් ඇති වන බවත් ඔහු ඇයව පාලනය කරන බවත් දෙවි පවසා තිබුණා. එහි සත්‍යතාව ආබෙල්ට තම ඇස් පනාපිටම දැකගන්න ලැබුණා. ආදම් හා ඒවගේ අකීකරුකම නිසා භූමිය ශාප ලත් තත්වයකට පත් වෙනවා කියාත් දෙවි පවසා තිබුණා. එහි ඉටු වීමත් ආබෙල් සියැසින්ම දුටුවා. ඒ සෑම දෙයකින්ම ආබෙල් තේරුම්ගත්තේ දෙවි යමක් පැවසුවොත් එය අනිවාර්යයෙන්ම ඉටු වන බවයි. ඒ නිසා දෙවි පොරොන්දු වූ ලෙස මිනිස් වර්ගයාට අහිමි වූ සෑම දෙයක්ම “පැවත එන තැනැත්තා” මාර්ගයෙන් ලබා දීමට පියවර ගනියි කියා විශ්වාස කිරීමට ඔහුට ඇති තරම් හේතු තිබුණා.—උත්. 3:15-19.

16, 17. ආබෙල් කෙරුබ්වරුන්ගෙන් ඉගෙනගන්න ඇත්තේ මොනවාද?

16 දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්. ආබෙල් ජීවත් වූ කාලයේ කිසිම මිනිසෙක් දෙවිට විශ්වාසවන්තව සිටියේ නැහැ. නමුත් දෙවිට විශ්වාසවන්තව සිටි දේවදූතයන් පොළොවේ සිටියා. ආදම් හා ඒවව ඒදන් උයනෙන් පිටමං කළ අවස්ථාවේදී දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුවක්ද ඒ අසල උසස් දේවදූත කණ්ඩායමකට අයත් කෙරුබ්වරුන්වද දෙවි තැබුවා. ඒ නිසා ආදම් සහ ඒවටවත් ඔවුන්ගෙන් පැවතෙන්නන්ටවත් උයනට ඇතුල් වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.උත්පත්ති 3:24 කියවන්න.

17 කොලුගැටයෙකුව සිටි කාලයේදී ඉතා බලසම්පන්න කෙරුබ්වරුන්ව දකිද්දී ආබෙල්ට කොහොම හැඟෙන්න ඇද්ද! ඔවුන්ව සහ ඔවුන් අසල තිබුණු දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුව දකින සෑම වාරයක් පාසාම ආබෙල්ට දෙවි ගැන මහත් ගරුබියක් ඇති වූ බවට සැකයක් නැහැ. ආබෙල් වයසින් වැඩෙද්දී මේ දේවදූතයන් තම පැවරුමෙන් වෙහෙසට පත් වී පැවරුම අත්හැර ගිය බවක් ආබෙල් දුටුවාද? නැහැ. ඒ වෙනුවට ඔවුන් ඒ ස්ථානයේම සිටිමින් දශක ගණනාවක් පුරා දිවා රෑ දෙකේම දෙවිට කීකරුව හා විශ්වාසවන්තව සේවය කළ අයුරු ආබෙල් දැක්කා. එමගින් ඔහුට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය තව තවත් ශක්තිමත් වූ බවට සැකයක් නැහැ.

කෙරුබ්වරුන් දෙවිට කීකරුව හා විශ්වාසවන්තව සේවය කළ අයුරු ආබෙල් දැක්කා

18. දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය තව තවත් ශක්තිමත් කරගැනීමට අද අපිට තිබෙන සැපයුම් මොනවාද?

18 දෙවිගේ නිර්මාණ, දෙවිගේ පොරොන්දුවල ඉටු වීම හා විශ්වාසවන්ත දේවදූතයන්ගේ ආදර්ශය ගැන කල්පනා කර බැලීමෙන් ආබෙල්ට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය ශක්තිමත් කරගැනීමට හැකි වුණා. ඔහු අපට මොන තරම් කදිම ආදර්ශයක්ද! යෞවනයෙනි, ඔබේ දෙමාපියන් හා පවුලේ අය දෙවිට විශ්වාසවන්තව නොසිටියත් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටින්න ඔබට පුළුවන්. දෙවිගේ නිර්මාණ, බයිබලය හා විශ්වාසවන්ත අයගේ ආදර්ශ දෙවි කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය තව තවත් ශක්තිමත් කරගැනීමට උපකාරවත් වෙයි.

දෙවි ආබෙල්ගේ යාගය ගැන සතුටු වුණා

19. කාලයත් සමඟම ආබෙල් තේරුම්ගත්තේ මොනවාද?

19 යෙහෝවා දෙවි ගැන ආබෙල්ට තිබුණු විශ්වාසය ටිකෙන් ටික ශක්තිමත් වෙද්දී එය ක්‍රියාවෙන් පෙන්වීමට ඔහු තුළ ආශාවක් ඇති වුණා. නමුත් මුළු විශ්වයම නිර්මාණය කළ දෙවි වෙනුවෙන් මිනිසෙකුට දිය හැකි දෙයක් තිබෙනවාද? දෙවිට මිනිසුන්ගේ තෑගිබෝගවත්, උදව් උපකාරවත් අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොමවුණත් කාලයත් සමඟම ආබෙල් යමක් තේරුම්ගත්තා. එනම් මුළු සිතින්ම යමක් දෙනවා නම් ස්වර්ගික පියාණන් ඒ ගැන සතුටු වෙන බවයි.

ආබෙල් පූජාව ඔප්පු කළේ දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය නිසයි. කායින්ට එවැනි විශ්වාසයක් තිබුණේ නැහැ

20, 21. කායින් හා ආබෙල් දෙවිට ඔප්පු කළේ මොනවාද? යෙහෝවා දෙවිට ඒ ගැන හැඟුණේ කොහොමද?

20 ආබෙල් තම රැළෙන් හොඳම බැටළුවන් කිහිපදෙනෙකුව දෙවිට යාගයක් ලෙස ඔප්පු කිරීමට සූදානම් වුණා. ඔහු රැළේ සිටි හොඳම, කුලුඳුල් සතුන් කිහිපදෙනෙකුව තෝරාගෙන උන්ගේ හොඳම කොටස් කියා ඔහු සිතූ කොටස් වෙන් කරගත්තා. මේ අතරතුරේදී ඔහුගේ සහෝදරයා වූ කායින්ද දෙවිගේ ආශීර්වාද හා අනුමැතිය ලබාගැනීමේ අටියෙන් තම අස්වැන්නෙන් කොටසක් දෙවිට යාගයක් ලෙස ඔප්පු කිරීමට සූදානම් වුණා. නමුත් ඔහු යාගය ඔප්පු කරන්නේ හොඳ ආකල්පයකින් නොවන බව පසුව සිදු වෙන දේවලින් පැහැදිලි වෙනවා.

21 ඔවුන් දෙදෙනාම පූජාසන සාදා ඒ මත තැබූ යාග ගින්නෙන් දවා ඔප්පු කරන්න ඇති. ඔවුන් එම යාග ඔප්පු කරන්න ඇත්තේ කෙරුබ්වරුන්ව පෙනෙන තෙක් මානයේදී කියා සිතන්න පුළුවන්. ඊට හේතුව ඒ වෙද්දී යෙහෝවා දෙවිව නියෝජනය කිරීමට පොළොවේ සිටියේ කෙරුබ්වරුන් පමණක් වීමයි. ඔවුන් ඔප්පු කළ යාග ගැන යෙහෝවා දෙවිට හැඟුණේ කොහොමද? බයිබලයේ සඳහන් වෙන්නේ ‘යෙහෝවා දෙවි ආබෙල් හා ඔහුගේ යාගය දෙස සතුටින් බැලුවා’ කියායි. (උත්. 4:4) නමුත් දෙවි ආබෙල්ගේ යාගය ගැන සතුට ප්‍රකාශ කළේ කෙසේද කියා එහි වාර්තා වී නැහැ.

22, 23. යෙහෝවා දෙවි ආබෙල්ගේ පූජාව ගැන සතුටු වුණේ ඇයි?

22 දෙවි ආබෙල්ගේ යාගය ගැන සතුටු වුණේ ඔහු ඔප්පු කළ දේ නිසාද? සතෙකුව පූජාවක් ලෙස ඔප්පු කිරීමේදී ඒ සතාගේ ජීවිතය නියෝජනය කරන රුධිරයත් ඊට අයත් වුණා. එවැනි පූජාවක් වටිනා දෙයක් ලෙස දෙවි සලකයි කියා ආබෙල් දැන සිටින්න ඇද්ද? යෙහෝවා දෙවි තමන්ගේ පුත්‍රයාව නිකැළැල් ‘බැටළු පැටවෙකුට’ සමාන කරමින් ඔහු වගුරුවන රුධිරය මගින් මිනිසාට ගැලවීම ලබා දීමට මඟ විවර කළේ ඊට සියවස් ගණනාවකට පසුවයි. (යොහ. 1:29; නික්. 12:5-7) ඒ නිසා ඒ සෑම තොරතුරක්ම ආබෙල් දැන සිටියා කියා සිතන්න බැහැ.

23 කොහොමවුණත් ආබෙල් ඔප්පු කළේ තමාට තිබුණු හොඳම දෙයයි. යෙහෝවා දෙවි ඔහුගේ පූජාව ගැන විතරක් නෙවෙයි ඔහු ගැනත් සතුටු වුණා. එම පූජාව ඔප්පු කරන්න ආබෙල් පෙලඹුණේ යෙහෝවා දෙවි කෙරෙහි ඔහුට තිබුණු ප්‍රේමය හා විශ්වාසය නිසයි.

24. (අ) කායින් පූජා කළ දෙයෙහි වරදක් තිබුණේ නැහැ කියා පවසන්න පුළුවන් ඇයි? (ආ) කායින් සිතුවෙත් අද සිටින බොහෝදෙනා මෙන් කියා පවසන්න පුළුවන් ඇයි?

24 කායින්ගේ පූජාව ගැන දෙවිට හැඟුණේ කොහොමද? දෙවි ‘කායින් හා ඔහුගේ යාගය දෙස සතුටින් බැලුවේ නැහැ.’ (උත්. 4:5) ඒ ඔහු පූජා කළ දෙයෙහි වරදක් තිබුණු නිසා නම් නෙවෙයි. අස්වැන්නෙන් ලබාගන්න දේවල් පූජා කිරීමට පසු කාලයේදී දෙවිගේ නීතියේ අවසර දී තිබුණා. (ලෙවී. 6:14, 15) නමුත් දෙවි කායින්ගේ පූජාව පිළිනොගත්තේ ‘ඔහුගේ ක්‍රියා දුෂ්ටව තිබුණු’ නිසයි. (1 යොහන් 3:12 කියවන්න.) අද සිටින බොහෝදෙනා මෙන් අන් අයට පෙනෙන්න කරන දේවලින් දෙවිව සතුටු කරන්න පුළුවන් කියා කායින් සිතන්න ඇති. නමුත් ඔහුට දෙවි කෙරෙහි සැබෑ ප්‍රේමයක්වත් විශ්වාසයක්වත් තිබුණේ නැති බව වැඩි කාලයක් යෑමට පෙර ඔහුගේ ක්‍රියාවලින් හෙළි වුණා.

25, 26. යෙහෝවා දෙවි කායින්ට අනතුරු ඇඟවූයේ කුමක් ගැනද? කායින් ඊට සවන් දුන්නාද?

25 තම පූජාව ගැන දෙවි සතුටු වුණේ නැහැ කියා දැනගත් කායින්, ආබෙල්ගේ ආදර්ශයෙන් පාඩමක් ඉගෙනගත්තේ නැහැ. ඒ වෙනුවට ඔහු ආබෙල් කෙරෙහි වෛරයක් ඇති කරගත්තා. එලෙස ඔහු කේන්තියෙන් පුපුරමින් සිටින බව දුටු යෙහෝවා දෙවි බොහෝ ඉවසිලිවන්තව ඔහුට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දුන්නා. දිගින් දිගටම කෝපයෙන් සිටියොත් ඔහු අතින් බරපතළ වරදක් සිදු විය හැකියි කියා අනතුරු ඇඟෙව්වා. ඒ විතරක් නෙවෙයි දෙවි ලබා දුන් මඟ පෙන්වීම් පිළිගෙන වෙනස් වුණොත් ඔහුව ‘පිළිගන්නවා’ කියාත් දෙවි පැවසුවා.—උත්. 4:6, 7.

26 නමුත් කායින් දෙවිගෙන් ලද අනතුරු ඇඟවීම සිතට ගත්තේ නැහැ. ඒ වෙනුවට තමන් සමඟ කෙතට එන්න කියා ආබෙල්ට පැවසූ ඔහු එහිදී තම සොයුරාට පහර දී ඔහුව මරා දැමුවා. (උත්. 4:8) දෙවි කෙරෙහි තිබුණු භක්තිය නිසා නිරපරාදේ ඝාතනයට ලක් වූ පළමු මිනිසා වූයේ ආබෙල් කියා පවසන්න පුළුවන්. ඔහු මිය ගියත් යෙහෝවා දෙවිගේ මතකයේ ඔහු අදටත් ජීවමානයි.

27. (අ) දෙවි ආබෙල්ව නැවත නැඟිටුවයි කියා අපිට නිසැක වෙන්න පුළුවන් ඇයි? (ආ) පාරාදීස පොළොවේදී ඔහුව හමු වීමට නම් ඔබ කළ යුත්තේ මොනවාද?

27 ආබෙල්ගේ ලේ භූමියේ සිට දෙවිට හඬගැසුවා කියා බයිබලයේ සඳහන් වෙනවා. ඉන් අදහස් කළේ ආබෙල්ගේ මරණය වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බවයි. කායින්ට දඬුවම් කිරීම මගින් යෙහෝවා දෙවි ආබෙල් වෙනුවෙන් යුක්තිය ඉටු කළා. (උත්. 4:9-12) ඒ කාලයේ ජීවත් වූ අය සමඟ සසඳද්දී ආබෙල් ජීවත් වුණේ කෙටි කාලයක් වුණත් ඒ කාලය තුළදී ඔහු දෙවි සතුටු වන ආකාරයෙන් ජීවත් වුණා. සමහරවිට ඔහු අවුරුදු සියයක් වගේ කාලයක් ජීවත් වෙන්න ඇති. යෙහෝවා දෙවි තමා ගැන සතුටු වන බවත් තමාට ප්‍රේම කරන බවත් ආබෙල් දැන සිටියා. (හෙබ්‍රෙ. 11:4) දෙවිගේ මතකයේ ඔහු තවමත් ජීවමානව සිටින බවත් ළඟදීම මේ පොළොව පාරාදීසයක් වූ දාට දෙවි ඔහුව නැවත නැඟිටුවන බවත් අපිට නිසැක වෙන්න පුළුවන්. (යොහ. 5:28, 29) එහිදී ඔහුව හමු වීමට ඔබ කැමතිද? එසේනම් ආබෙල්ට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය ඔබත් අනුකරණය කරන්න.

^ 5 ඡේ. “පොළොවේ දරුවන් බිහි වුණු දා පටන්” කියා යේසුස් පැවසූ විට පළමු දරුවා වූ කායින්ට යොමු දක්වන්නේ නැතුව ආබෙල්ට යොමු දැක්වූයේ ඇයි? තම දෙමාපියන් මෙන් කායින්ද දෙවිට අකීකරු වූ බව ඔහු කළ කී දේවලින් පැහැදිලියි. ඒ නිසා පව්කාර ස්වභාවයෙන් ගැලවීම ලැබීමටවත් නැවත ජීවනය ලැබීමටවත් සුදුසු කෙනෙක් ලෙස දෙවි ඔහුව සැලකුවා කියා සිතන්න බැහැ.