Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | යුද්ධ ගැන දෙවියන්ගේ අදහස මොකක්ද?

යුද්ධ ගැන දෙවියන්ගේ අදහස අද දින

යුද්ධ ගැන දෙවියන්ගේ අදහස අද දින

මිනිසුන් පීඩා විඳිමින් ඉන්නවා. හුඟදෙනෙක් දෙවියන්ට කන්නලව් කරලා ඉල්ලන්නේ සහනයක් ලබා දෙන්න කියලයි. ඔවුන්ගේ කන්නලව්වලට දෙවියන් සවන් දෙනවාද? පීඩිත තත්වයෙන් ගොඩ එන්න යුද්ධයේ පිහිට පතන අය ගැන කියන්න පුළුවන් මොකක්ද? යුද්ධ කරන එක සාධාරණයි කියලා දෙවියන් ඔවුන්ට සහයෝගය දෙයිද?

සියලුම යුද්ධ හර්–මගෙදොන් යුද්ධයෙන් නැති කරනවා

සහනයක් ලැබෙන සත්‍යය මේකයි. අද දින ලෝකේ පුරා මිනිසුන් විඳින වේදනා දෙවියන් දකිනවා. ඒ ගැන යමක් කරන්නත් ඔහු අදහස් කරලා තියෙනවා. (ගීතාවලිය 72:13, 14) ඔහු දීලා තියෙන්නේ මේ වගේ පොරොන්දුවක්. ‘පීඩා විඳින ඔබට සහනය ලැබෙනු ඇත.’ ඒ සහනය ලැබෙන්නේ කවදාද? “ස්වාමීන් වන යේසුස් තම බලවත් දේවදූතයන් සමඟ එළිදරව් වන අවස්ථාවේදී . . . දෙවිගේ විනිශ්චය ඉටු කරනු ඇත. එසේ කරන්නේ දෙවිව දැන හඳුනා නොගෙන සිටින අයට හා අපගේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අයට එරෙහිවය.” (2 තෙසලෝනික 1:7, 8) යේසුස්ගේ මේ එළිදරව් වීම සිද්ධ වෙන්නේ අනාගතයේ ‘සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධයේදියි.’ ඒ යුද්ධය හර්–මගෙදොන් කියලත් හඳුන්වනවා.—එළිදරව් 16:14, 16.

ඒ යුද්ධයට දෙවියන් මිනිසුන්ව හවුල් කරගන්නේ නැහැ. දුෂ්ට අයව විනාශ කරන්න යොදාගන්නේ දෙවියන්ගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් සහ බලවත් දේවදූතයන්වයි. ඔවුන් පොළොවේ තියෙන හැම පීඩාවක්ම ඉවත් කරලා දානවා.—යෙසායා 11:4; එළිදරව් 19:11-16.

මේ වෙන කල් යුද්ධය ගැන දෙවියන්ට තිබුණ අදහස වෙනස් වෙලා නැහැ. දුෂ්ටකම් සහ දුක් පීඩාවලට නිමාවක් ගේන්න නම් යුද්ධයක් කරන්න අවශ්‍යයි කියන අදහසයි තවමත් ඔහු දරන්නේ. හැබැයි ඉතිහාසය පුරා සිද්ධ වුණා වගේම ඒ යුද්ධයට හවුල් වෙන්නේ කවුද, යුද්ධ කරන්නේ කවදාද කියලා තීරණය කරන්න අයිතිය තියෙන්නේ දෙවියන්ට විතරයි. ඔහු තීරණය කරලා තියෙනවා දුෂ්ටකම්වලට සහ දුක් පීඩාවලට අනාගතයේදී නිමාවක් ගේන්න. ඒ යුද්ධය කරන්නේ ඔහුගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්. ඒ නිසා තමන් යුද්ධ කරන්නේ හොඳ හේතු ඇතුවයි කියලා මිනිසුන් කිව්වත් අද දින සිද්ධ වෙන යුද්ධවලට දෙවියන්ගේ අනුමැතිය නැහැ.

මේ උදාහරණය බලන්න. තාත්තා නැති වෙලාවේ අයියායි මල්ලියි රණ්ඩුවක් පටන්ගන්නවා. රණ්ඩුව පොඩ්ඩකට නතර කරලා එක් කෙනෙක් තාත්තාට කෝල් කරලා කියනවා රණ්ඩුව පටන්ගත්තේ අනිත් කෙනා කියලා. අනිත් කෙනා කියනවා මම නෙමෙයි එයායි මේකට මුල කියලා. දෙන්නම හිතනවා තාත්තා තමන්ගේ පැත්ත ගනියි කියලා. ඒත් තාත්තා කියනවා එයා ඇවිල්ලා විසඳනකම් රණ්ඩු වෙන්නේ නැතුව ඉන්න කියලා. ටික වෙලාවකට රණ්ඩු නොවී හිටියත් ආපහු රණ්ඩුව පටන්ගන්නවා. තාත්තා ගෙදර ආපුවාම දෙන්නා ගැනම සතුටු වෙන්නේ නැහැ. අකීකරු වුණ හින්දා දෙන්නාටම දඬුවම් කරනවා.

අද ජාතීන් යුද්ධ කරද්දී හුඟක් වෙලාවට දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා. ඒත් දෙවියන් පැති ගන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ පැහැදිලිව කියන්නේ මෙහෙමයි. ‘කාටවත් නපුරට නපුර නොකරන්න. පළිගැනීමෙන් වළකින්න.’ (රෝම 12:17, 19) දෙවියන් මිනිසුන්ට කියන්නේ ඔහු ක්‍රියාමාර්ගයක් ගන්න තුරු “ඉවසිලිවන්තව බලා සිටින්න” කියලයි. (ගීතාවලිය 37:7) මිනිසුන්, දෙවියන් ක්‍රියාමාර්ගයක් ගන්න කල් ඉන්නේ නැතුව කරන යුද්ධවලට දෙවියන් සතුටු වෙන්නේ නැහැ. ඔහු ඒවා සලකන්නේ වෛරයෙන් කරන ක්‍රියා හැටියටයි. ඔහුගේ මහත් දවසේ යුද්ධයේදී ‘පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වා දමනවා.’ (ගීතාවලිය 46:9; යෙසායා 34:2) ඒ කියන්නේ සියලුම යුද්ධ හර්–මගෙදොන් යුද්ධයෙන් නැති කරනවා.

යුද්ධ නැති වෙන එක දේවරාජ්‍යයෙන් ගෙනෙන ආශීර්වාදවලින් එකක්. “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!” කියලා ප්‍රසිද්ධ යාච්ඤාවකදී යේසුස් කිව්වේ ඒ ආණ්ඩුව ගැනයි. (මතෙව් 6:10) සියලුම යුද්ධ විතරක් නෙමෙයි දුෂ්ටකමට මුල් වෙන හැම දේම දේවරාජ්‍යය මගින් නැති කරලා දානවා. * (ගීතාවලිය 37:9, 10, 14, 15) එහෙමනම් යේසුස්ගේ අනුගාමිකයන් දේවරාජ්‍යයෙන් ලබා දෙන ආශීර්වාද ගැන උනන්දුවෙන් බලාගෙන ඉන්න එක පුදුමයක්ද!—2 පේතෘස් 3:13.

සියලු දුක් වේදනා සහ දුෂ්ටකම් දේවරාජ්‍යය මගින් නැති කරන කල් තව කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙයිද? බයිබලයේ තියෙන අනාවැකිවල ඉටු වීමෙන් පැහැදිලි වෙන්නේ පවතින සමාජයේ “අවසාන කාලයේ” අපි ඉන්නවා කියලයි. (2 තිමෝති 3:1-5) * මේ අවසාන දවස් කෙළවර වෙන්නේ දේවරාජ්‍යය මගින් හර්–මගෙදොන් යුද්ධය ගෙනාවට පස්සෙයි.

කලින් සඳහන් කෙරුවා වගේ මේ අවසාන යුද්ධයේදී විනාශ වෙන්නේ “යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන” අයයි. (2 තෙසලෝනික 1:8) ඒත් දුෂ්ට අය ඇතුළු කිසි කෙනෙක් මැරෙනවාට දෙවියන් කැමති නැහැ. (එසකියෙල් 33:11) ඒ යුද්ධයේදී “කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන” නිසා අවසානය එන්න කලින් අපේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචිය ‘සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබන’ බවට ඔහු වගබලා ගන්නවා. (2 පේතෘස් 3:8, 9; මතෙව් 24:14; 1 තිමෝති 2:3, 4) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෝකේ පුරා කරන ඒ දේශනා සේවය මගින් දෙවියන් ගැන දැනගන්නත් යේසුස් ගැන ශුභාරංචියට කීකරු වෙන්නත් ඉදිරියේදී යුද්ධ නැති කාලයක් එනවා දකින්නත් මිනිසුන්ට අවස්ථාව ලැබෙනවා.

^ 9 ඡේ. මිනිසුන්ගේ සතුරා වන මරණයත් දේවරාජ්‍යය මගින් නැති කරනවා. මේ සඟරාවේ “පැනයට පිළිතුර බයිබලයෙන්” කියන ලිපියේ පෙන්වනවා යුද්ධ නිසා ජීවිතය අහිමි වුණ අය ඇතුළු හුඟදෙනෙක්ව දෙවියන් නැවත නැඟිටුවනවා කියලා.

^ 10 ඡේ. අවසාන කාලය ගැන වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 9වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.