Skip to content

හර්–මගෙදොන් යුද්ධය කියන්නේ මොකක්ද?

හර්–මගෙදොන් යුද්ධය කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 හර්–මගෙදොන් යුද්ධය කියලා කියන්නේ ලෝකයේ තියෙන සියලුම ආණ්ඩු හා දෙවියන් අතර ඇති වෙන අන්තිම යුද්ධයටයි. ඒ ආණ්ඩු හා ඒවාවලට සහයෝගය දක්වන අය දෙවියන්ගේ පාලනයට යටත් වෙන්න කැමති නැහැ. (ගීතාවලිය 2:2) ඒ නිසා හර්–මගෙදොන් යුද්ධයේදී සියලුම ආණ්ඩුවලට නිමාවක් ගේනවා.—දානියෙල් 2:44.

 හර්–මගෙදොන් කියන වචනය බයිබලයේ තියෙන්නේ එළිදරව් 16:16 විතරයි. “හෙබ්‍රෙව් බසින් හඳුන්වනු ලබන හර්–මගෙදොන් නමැති ස්ථානයට,” ‘මුළු ලොව පුරාම සිටින රජුන්ව සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය සඳහා රැස් කරනවා’ කියලා එළිදරව් පොතේ කියලා තියෙනවා.—එළිදරව් 16:14.

 හර්–මගෙදොන් යුද්ධයේදී සටන් කරන්නේ කවුද? යේසුස් ස්වර්ගයේ ඉන්න සේනාවක් එක්ක එකතු වෙලා දෙවියන්ගේ සතුරන්ව විනාශ කරනවා. (එළිදරව් 19:11-16, 19-21) ඒ සතුරන්, දෙවියන්ගේ පාලනයට විරුද්ධ වෙන හා දෙවියන්ට අවමන් කරන අයයි.—එසකියෙල් 39:7.

 හර්–මගෙදොන් යුද්ධය සිද්ධ වෙන්නේ මැදපෙරදිගද? නැහැ. ඒක එක ප්‍රදේශයකට සීමා වුණ යුද්ධයක් නෙමෙයි. ඒක මුළු ලොවටම බලපාන යුද්ධයක්.—යෙරෙමියා 25:32-34; එසකියෙල් 39:17-20.

 හෙබ්‍රෙව් භාෂාවෙන් හර්–මගෙදොන් කියන වචනයෙන් අදහස් කරන්නේ “මෙගිද්දෝ කන්ද” කියන එකයි. මෙගිද්දෝ පුරාණ ඊශ්‍රායෙලයේ තිබුණු නගරයක්. එතන සිද්ධ වුණු හැම යුද්ධයකදීම එක පක්ෂයක් අනිවාර්යයෙන්ම ජය ගත්තා. එතනදී සිද්ධ වුණ සමහර යුද්ධ ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. (විනිශ්චයකරුවෝ 5:19, 20; 2 රාජාවලිය 9:27; 23:29) ඒත් එළිදරව් පොතේ කතා කරන හර්–මගෙදොන් කියන්නේ මෙගිද්දෝ නගරය ළඟ තිබුණ ප්‍රදේශයට නෙමෙයි. මෙගිද්දෝවල විශාල කන්දක් නැහැ. ඒ වගේම මෙගිද්දෝවලට යාබදව තියෙන මුළු යෙශ්‍රෙයෙල් මිටියාවතම යොදාගත්තත් දෙවියන්ට විරුද්ධව නැඟී සිටින අයව රැස් කරන්න ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ හර්–මගෙදොන් කියන්නේ ස්ථානයක් නෙමෙයි යුද්ධයක් විස්තර කරන්න පාවිච්චි කරපු වචනයක් කියලයි. ඒ යුද්ධයේදී මුළු ලෝකෙම පාලකයන් දෙවියන්ගේ පාලනයට විරුද්ධව නැඟී සිටිනවා.

 හර්–මගෙදොන් යුද්ධය කරන්නේ කොහොමද? දෙවියන් ඔහුගේ බලය පාවිච්චි කරන විදිහ අපි කවුරුත් දන්නේ නැහැ. අතීතයේදී ඔහු යම් විනාශයන් කරන්න හිම කැට වර්ෂා, භූමිකම්පා, ධාරානිපාත වැසි, ගිනි හා ගෙන්දගම්, වසංගත, අකුණු වගේ දේවල් යොදාගත්තා. දැනටත් ඒ දේවල් යොදාගන්න ඔහුට පුළුවන්. (යෝබ් 38:22, 23; එසකියෙල් 38:19, 22; හබක්කුක් 3:10, 11; සෙකරියා 14:12) ඒ වගේම දෙවියන්ගේ සමහර සතුරන් අතර ඇති වෙන වියවුල නිසා ඔවුන් එකිනෙකාව මරාගනියි. ඒත් සටන් කරන්නේ දෙවියන් එක්කයි කියලා අවසානයේදී ඔවුන් තේරුම්ගනියි.—එසකියෙල් 38:21, 23; සෙකරියා 14:13.

 හර්–මගෙදොන් යුද්ධයෙන් මුළු ලෝකයම විනාශ වෙයිද? නැහැ. අපේ පෘථිවිය විනාශ වෙන්නේ නැහැ. දෙවියන් මේ පෘථිවිය නිර්මාණය කළේ මිනිසුන්ට සදහටම ජීවත් වෙන්නයි. (ගීතාවලිය 37:29; 96:10; දේශනාකාරයා 1:4) හර්–මගෙදොන් යුද්ධයේදී හැමෝම විනාශ වෙන්නේ නැහැ. දෙවියන්ගේ සේවකයන් “මහත් සමූහයක්” බේරෙනවා.—එළිදරව් 7:9, 14; ගීතාවලිය 37:34.

 පෘථිවියට විතරක් නෙමෙයි දෙවියන්ට අකීකරු මිනිස් සමාජයටත් සමහර අවස්ථාවලදී බයිබලයේ “ලෝකය” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. (1 යොහන් 2:15-17) හර්–මගෙදොන් යුද්ධයේදී විනාශ වෙන්නේ පෘථිවිය නෙමෙයි දෙවියන්ට අකීකරු වෙන අයයි.—මතෙව් 24:3.

 හර්–මගෙදොන් යුද්ධය වෙන්නේ කවදාද? යේසුස් “මහත් පීඩාව” ගැන කියද්දී ඒකේ අවසානයේ ඇති වෙන හර්–මගෙදොන් යුද්ධය ගැන මෙහෙම කිව්වා. “ඒ දේ සිදු වන දවස හා වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ.” (මතෙව් 24:21, 36) ඒත් හර්–මගෙදොන් යුද්ධය ඇති වෙන්නේ යේසුස් පැමිණ සිටින කාලයේදී කියලා බයිබලයේ කියනවා. යේසුස්ගේ පැමිණ සිටීමේ කාලය පටන්ගත්තේ 1914දියි.