Skip to content

මහත් පීඩාව කියන්නේ මොකක්ද?

මහත් පීඩාව කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 මහත් පීඩාව නිසා මේ සමාජයේ ඉන්න මිනිසුන්ට කවදාවත් අද්දැකලා නැති විදිහේ දරුණු පීඩා සහිත කාලයකට ඉදිරියේදී මුහුණ දෙන්න වෙනවා. බයිබලේ සඳහන් තොරතුරුවලට අනුව ඒක සිදු වෙන්නේ “අවසාන කාලයේදීයි.” (2 තිමෝති 3:1; දානියෙල් 12:4) ඒක “පොළොව සෑදූ කාලයේ පටන් මේ වන තුරු සිදු නොවූ නැවතත් කිසිදා සිදු නොවන පීඩාවක්” කියලත් බයිබලයේ සඳහන් වෙනවා.—මාක් 13:19; දානියෙල් 12:1; මතෙව් 24:21, 22.

මහත් පීඩාව අතරතුර සිදු වෙන සිද්ධීන්

  •   අසත්‍යය උගන්වන ආගම්වල විනාශය. දෙවියන් අසත්‍යය උගන්වන ආගම් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න යනවා. (එළිදරව් 17:1, 5; 18:9, 10, 21) දෙවියන් ඒ දේ කරන්න ලෝකයේ තියෙන ආණ්ඩු නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය පොලඹවනවා.—එළිදරව් 17:3, 15-18. a

  •   දෙවියන්ගේ සෙනඟට විරුද්ධව එල්ල කරන ප්‍රහාරය. අනාගතවක්තෘ එසකියෙල් දැක්ක දර්ශනයක සඳහන් “මාගොග් දේශයේ ගොග්” දෙවියන්ගේ සෙනඟව නැති කරලා දාන අරමුණින් ඔවුන්ට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කරන්න යනවා. මාගොග් දේශයේ ගොග් කියන්නේ විවිධ ජාතීන්ගේ එකතුවක්. ඒ අවස්ථාවේදී දෙවියන් ඔහුගේ සෙනඟට කිසිම අනතුරක් වෙන්න දෙන්නේ නැතුව ඔවුන්ව ආරක්ෂා කරනවා.—එසකියෙල් 38:1, 2, 9-12, 18-23.

  •   පොළොවේ වාසය කරන අයව විනිශ්චය කිරීම. යේසුස් මේ පොළොවේ මිනිසුන්ව විනිශ්චය කරලා “එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නා සේ” ඔවුන්ව වෙන් කරන්න යනවා. (මතෙව් 25:31-33) යේසුස් ඔවුන්ව විනිශ්චය කරන්නේ දැනට පොළොවේ ඉන්න, අනාගතයේදී යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න යන ඔහුගේ “සහෝදරයන්ට” සහයෝගය දුන්නාද නැද්ද කියන කාරණය මතයි.—මතෙව් 25:34-46.

  •   යේසුස්ගේ හවුල් පාලකයන්ව ස්වර්ගයට රැස් කිරීම. යේසුස් එක්ක රජකම් කරන්න තෝරාගෙන තියෙන පොළොවේ ඉතුරු වෙලා ඉන්න විශ්වාසවන්ත අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කරන්න යනවා.—මතෙව් 24:31; 1 කොරින්ති 15:50-53; 1 තෙසලෝනික 4:15-17.

  •   මේ දුෂ්ට මිනිස් සමාජයට දෙවියන් ගෙනෙන විනාශය. මේ විනාශය බයිබලයේ “හර්මගෙදොන්,” “දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය” සහ ‘යෙහෝවා දෙවිගේ දවස’ කියලත් හඳුන්වලා තියෙනවා. (එළිදරව් 16:14, 16; යෙසායා 13:9; 2 පේතෘස් 3:12) යේසුස් මේ ලෝකයේ මිනිසුන්ව විනිශ්චය කරලා, දුෂ්ටයන් විදිහට නම් කරන අයට සදාකාලික විනාශයක් ලබා දෙනවා. (ශෙපනියා 1:18; 2 තෙසලෝනික 1:6-10) ඒ වගේම බයිබලයේ හිස් හතක් ඇති මෘගයාගෙන් නියෝජනය වෙන ලෝක ව්‍යාප්ත දේශපාලන ක්‍රමයත් විනාශ කරන්න යනවා.—එළිදරව් 19:19-21.

මහත් පීඩාවෙන් පස්සේ සිදු වෙන සිද්ධීන්

  •   සාතන්ව සහ භූතයන්ව ‘අගාධයට හෙළීම.’ දේවරාජ්‍යයේ රජු වන යේසුස් ක්‍රිස්තුස්, සාතන්වත් ඔහුගේ භූතයන්වත් “අගාධයේ” සිර කරන්න යනවා. අගාධයේ ඉද්දී ඔවුන් ඉන්නේ මිය ගියා හා සමාන තත්වයකයි. (එළිදරව් 20:1-3) මේ නිසා කිසිම කෙනෙක්ට බලපෑමක් කරන්න සාතන්ට පුළුවන් වෙන්නේ නැහැ.—එළිදරව් 20:7.

  •   දහස් අවුරුදු පාලනයේ ආරම්භය. දේවරාජ්‍යයේ දහස් අවුරුදු පාලන කාලය තුළදී ධර්මිෂ්ඨ මිනිසුන්ට ආශීර්වාදවලින් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ලැබෙන්න යනවා. (එළිදරව් 5:9, 10; 20:4, 6) කාටවත් ගණන් කරන්න බැරි “මහත් සමූහයක්” “මහත් පීඩාවෙන්” බේරිලා ඒ දහස් අවුරුදු පාලනයේ ආරම්භය අද්දකින්න යනවා.—එළිදරව් 7:9, 14; ගීතාවලිය 37:9-11.

a එළිදරව් පොතේ අසත්‍යය උගන්වන ආගම් හඳුන්වලා තියෙන්නේ මහ බැබිලෝනිය නැත්නම් “මහා ගණිකාව” කියලයි. (එළිදරව් 17:1, 5) මහ බැබිලෝනිය විනාශ කරන්න යන තද රතු පාට මෘගයාගෙන් සංකේතවත් කරන්නේ ලෝක ව්‍යාප්තව බලය විහිදුවන සංවිධානයක්. ඒකේ අරමුණ සියලුම රටවල් එක්සත් කරන එක සහ ලෝකෙ පුරා ඉන්න සියලු ජාතීන්ව නියෝජනය කරන එකයි. මුලින්ම ඒ සංවිධානය හැඳින්නුවේ ජාතීන්ගේ සංගමය කියලයි. දැන් එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විදිහට නව මුහුණුවරක් අරන් තියෙනවා.