Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

මං හිතුවේ ජීවිතය උපරිමයෙන් භුක්ති විඳිනවා කියලයි

මං හිතුවේ ජීවිතය උපරිමයෙන් භුක්ති විඳිනවා කියලයි
  • ඉපදුණ අවුරුද්ද: 1982

  • රට: පෝලන්තය

  • අතීතයේදී: සැහැසියාවටත් මත්ද්‍රව්‍යවලටත් යොමු වුණ, උසස් රැකියාවක් හඹා ගිය කෙනෙක්

මගේ අතීතය:

ජර්මනියට කිට්ටුවෙන් තියෙන පෝලන්තයේ පුංචි නගරයක ඉපදුණ මම හැදී වැඩුණේ වටපිටාවේ ගොවිපොළවල්, කැලෑවල් තිබුණ හරිම නිස්කලංක පරිසරයක. යහපත් ජීවිතයක් ගත කරන්න, හොඳින් ඉගෙනගන්න, උසස් රැකියාවක් කරන්න කියලා මගේ ආදරණීය දෙමව්පියන් මට උනන්දු කෙරුවා.

රෝක්ලාව්වල විශ්වවිද්‍යාලයේ නීතිය හදාරන්න ගියාට පස්සෙයි ඔක්කොම ප්‍රශ්න පටන්ගත්තේ. දෙමව්පියන්ගෙන් ඈත් වුණ මම නරක ආශ්‍රයට වැටුණා. මම හුඟක් ආසයි පාපන්දු ක්‍රීඩාවට. යාළුවෝ හින්දා ඒකේ අන්තයටම ගියා. වැඩියෙන්ම කැමති වුණේ වෝර්සෝවල කණ්ඩායමකට නිසා ඒගොල්ලන්ගේ හැම තරඟයක්ම බලන්න සති අන්තවල මම ගියා. ඒ යද්දී බොන්නත්, මත්ද්‍රව්‍ය ගන්නත් පුරුදු වුණා. ප්‍රතිවාදී පිලට සහයෝගය දෙන අය එක්ක ආරවුල්වලටත් පැටලුණා. එදිනෙදා පීඩනයෙන් මිදෙන්න ඒක හොඳ අවස්ථාවක් කියලා හිතුවත් පොලිස්සියට අහු වුණොත් නම් නීතිඥයෙක් වෙන්න තියෙන අවස්ථාව නැති වෙයි කියලා දැනගෙන හිටියා.

යාළුවොයි මායි නිතරම ක්ලබ්වලට ගිහින් නටලා විනෝද වුණා. වීදිවලදී ගහගත්තා. පොලිස්සියෙන් කීප වතාවක් ඇල්ලුවත් ලොකු වැරදිවලදිත් පගාවක් දීලා බේරුණා. ජීවිතය උපරිමයෙන් භුක්ති විඳිනවා කියලා හිතුවත් මගේ හිත කිව්වා කරන්නේ වැරැද්දක් කියලා. හිත වධ දුන්න හින්දා නොවරදවාම ඉරිදාට පල්ලි ගියා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

2004දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් ආපු වෙලාවේ බයිබල් පාඩමක් කරන්න මං කැමති වුණා. සැබෑ ක්‍රිස්තියානියෙක් කොයි වගේ වෙන්න ඕනද කියලා ඉගෙනගද්දී මගේ හෘදය සාක්ෂිය වද දෙන්න පටන්ගත්තා. මත්පැන්වලටයි, මත්ද්‍රව්‍යවලටයි ඇබ්බැහි වුණ එකෙනුයි නරක ආශ්‍රයෙනුයි මිදෙන්න ඕන කියලත් ගහමරාගන්න ජීවිතේ වෙනස් කරගන්න ඕන කියලත් මට තේරුණා. ඒත් ඒක කරන්න බැරි වුණා.

එක රැයකදී සිද්ධ වුණ දෙයක් නිසා මගේ ජීවිතේ මුළුමනින්ම වෙනස් වුණා. එදා මම 8දෙනෙක් එක්ක ගහගත්තා. ටික වෙලාවකින් මාව බිම පෙරළගෙන මගේ ඔළුවට අතින් පයින් ගැහුවා මට මතකයි. මැරෙයි කියලා හිතුව මම යාච්ඤා කරලා යෙහෝවා දෙවියන්ට පොරොන්දු වුණා “ඔයා කිව්ව දේ ඇහුවේ නැති එක ගැන මට සමාවෙන්න. මං බේරුණොත් සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරලා ජීවිතේ හදාගන්නවා” කියලා. පුදුමෙකට වගේ බේරුණා. ඒ නිසා මං මගේ පොරොන්දුව ඉටු කෙරුවා.

2006දී මම එංගලන්තයේ පදිංචියට ගියේ සල්ලි හම්බ කරලා ආපහු පෝලන්තයට ගිහින් නීති උපාධිය ගන්නයි. ඒත් බයිබලය ඉගෙනගනිද්දී එක බයිබල් පදයක් මගේ හිතට තදින් වැදුණා. යේසුස්ගේ නියෝජිතයෙක් වුණ පාවුල් කිව්වේ මෙහෙමයි. ‘මගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ මා ලබාගත් දැනුම කොතරම් අනර්ඝද කිවහොත් මට තිබුණු සියල්ල මා සලකන්නේ කිසි වටිනාකමක් නැති දේවල් හැටියටයි. ඔහු වෙනුවෙන් මට සෑම දෙයක්ම අහිමි වුවත් ඒ ගැන මට කිසි දුකක් නොදැනෙන අතර එසේ අහිමි වූ දේවල් මා සලකන්නේ කුණු ගොඩක් ලෙසයි. මා ඒ සියල්ල කළේ ක්‍රිස්තුස් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගන්නයි.’ (ෆිලිප්පි 3:8) පාවුල් මං වගේම නීතිය හදාරලා තියෙනවා. දරුණු දේවලුත් කරලා තියෙනවා. (ක්‍රියා 8:3) ඒත් ඊට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න අවශ්‍යයි කියන එක ඔහු තේරුම්ගත්තා. පාවුල්ගේ ආදර්ශය ගැන හිතලා බැලුවාම උසස් රැකියාවකින්වත් දරුණු හැසිරීමෙන්වත් සතුටක් ලැබෙන්නේ නැහැ කියන එක මට වැටහුණා. පාවුල්ට වෙනස් වෙන්න පුළුවන් වුණා නම් මටත් ඒක කරන්න පුළුවන් කියලා මං හිතාගත්තා. ඒ නිසා නීති උපාධිය ගන්න අදහස අතහැරලා එංගලන්තයේම ඉන්න තීරණය කෙරුවා.

යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගද්දී මම තව තවත් ඔහුට ළං වුණා. අවංකවම වෙනස්කම් කරන අයට සමාව දෙනවා කියන පොරොන්දුව මගේ හිතට සහනයක් වුණා. (ක්‍රියා 2:38) 1 යොහන් 4:16 කියන්නේ “දෙවි ප්‍රේමයයි” කියලා. ඒ ගැන හිතද්දී දෙවියන් සැහැසියාවට ද්වේෂ කරනවා කියලා මං තේරුම්ගත්තා.

මට ඕන වුණේ සහෝදරත්වයෙන් බැඳුණ සාක්ෂිකරුවන් අතර ඉන්නයි

සාක්ෂිකරුවන්ගේ හොඳ හැසිරීම දැකලා මං පුදුම වුණා. ඒ අය බයිබලයේ උසස් ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න වෑයම් කරනවා කියලා දැක්කා. මට ඕන වුණේ සහෝදරත්වයෙන් බැඳුණ සාක්ෂිකරුවන් අතර ඉන්නයි. ඒත් සෑහෙන වෙහෙසක් දැරුවට පස්සෙයි ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වුණේ. ඊටපස්සේ 2008දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට මම බව්තීස්ම වුණා.

එස්තයි මායි පෝලන්ත භාෂාව කතා කරන අයට බයිබලය ගැන උගන්වලා සතුටක් ලබනවා

මං දැන් අද්දකින ආශීර්වාද:

කලින් මම උසස් රැකියාවක් හඹා ගිය, සැහැසියාව, මත්ද්‍රව්‍ය, මත්පැන්වලට යොමු වෙලා හිටිය, පාපන්දු ක්‍රීඩාවට ලොල් වෙලා හිටිය කෙනෙක් වුණත් මාව වෙනස් කෙරුවේ බයිබලයයි. දැන් මං අනිත් අයට බයිබලය ගැන ආසාවෙන් උගන්වනවා. තාමත් පාපන්දු ක්‍රීඩාව බලන්න කැමතියි. ඒත් ඒ වගේ විනෝදාස්වාදයන් නිසි තැනේ තියන්න මම අදිටන් කරගෙන ඉන්නවා.

දැන් මට යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන යහපත් භාර්යාවක් ඉන්නවා. එයාගේ නම එස්තර්. අපි දෙන්නා එංගලන්තයේ වයඹදිග පළාතේ ඉන්න පෝලන්ත භාෂාව කතා කරන අයට බයිබලයේ තියෙන දේවල් උගන්වලා සතුටක් ලබනවා. මට දැන් පිරිසිදු හෘදයසාක්ෂියක්, අර්ථවත් ජීවිතයක් තියෙනවා. ඒ නිසා ජීවිතේ මුල් වතාවට සැබෑ සතුට ලැබිලා තියෙනවා කියලා කියන්න පුළුවන්.