Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | තිමෝති

‘ස්වාමීන් වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරන මගේම දරුවෙක්’

‘ස්වාමීන් වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරන මගේම දරුවෙක්’

තිමෝති ගෙදරින් පිටත් වෙන්නේ ලොකු අරමුණක් හිතේ තියාගෙන. ඔහු එක්ක තවත් කීපදෙනෙක් හුරු පුරුදු කෙත්වතු පහු කරමින් ලහි ලහියේ යනවා. ටිකෙන් ටික ඈතට යද්දී ලිස්ත්‍රාව නොපෙනී යනවා. පුතා යන දිහා අම්මායි ආච්චියි ආඩම්බරයෙන් බලාගෙන ඉන්නේ දෙනෙතට නැඟෙන කඳුළු සඟවමින්. අන්තිම වතාවටත් ඔවුන්ව දැකගන්න තිමෝති හැරිලා බලයිද?

යන අතරමඟ පාවුල් සැරෙන් සැරේ තිමෝති දිහා බලන්නේ ඔහුව දිරිගන්වන්නයි. තාමත් තිමෝති කුළෑටි යෞවනයෙක් වුණත් ඔහුට ලොකු උද්‍යෝගයක් තියෙනවා කියලා පාවුල් දකිනවා. මේ වෙද්දී තිමෝතිට වයස අවුරුදු 20ක් විතර ඇති. තිමෝතිගේ හිතේ පාවුල් ගැන ලොකු ආදරයක්, ගෞරවයක් තියෙනවා. ගෙදරින් පිට වුණ තිමෝති, දෙවියන්ට විශ්වාසවන්ත, දේවසේවයට උද්‍යෝගයක් තියෙන පාවුල් එක්ක ගව් ගාණක් දුර යනවා. ආපහු ගෙදර එන්න ලැබෙයිද කියලා නම් තිමෝති දන්නේ නැහැ.

ඒ යෞවනයා මේ වගේ ජීවිතයක් තෝරගත්තේ ඇයි? ඔහු කළ කැප කිරීම්වලට ලැබුණේ මොන වගේ ආශීර්වාදද? ඔහුගේ විශ්වාසය අපිට බලපාන්නේ කොහොමද?

“ළදරු කාලයේ පටන්”

ඊට අවුරුදු දෙක තුනකට කලින් පිටිසර පළාතක තිබුණු පුංචි ගම්මානයක් වන ලිස්ත්‍රාවේ සිද්ධ වුණ දෙයක් ගැන බලමු. ඒක තිමෝතිගේ උපන් ගම වෙන්න ඇති. එහේ මිනිසුන් ග්‍රීක භාෂාව දැනගෙන ඉන්නත් ඇති. ඒ වුණත් කතා කළේ ඔවුන්ගේ මව් භාෂාව වන ලිකෝනියේ භාෂාවයි. දවසක්, නිස්කලංක පරිසරයක් තිබුණු ඒ ගම්මානයේ කලබලයක් ඇති වුණා. නියෝජිත පාවුල් සහ බානබස් දේශනා කරන්න ඇවිත් හිටියේ විශාල නගරයක් වන ඉකෝනියේ ඉඳලයි. ඔවුන් දේශනා කරද්දී දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තිබුණ කොර මිනිසෙක්ව දැක්කා. පාවුල් ආශ්චර්යයක් කරලා ඔහුව ඇවිදින්න සැලැස්සුවා.—ක්‍රියා 14:5-10.

ලිස්ත්‍රාවේ හුඟක් අය දෙවිවරු ගැන ප්‍රබන්ධ කථා විශ්වාස කළා. ඔවුන් හිතුවේ අතීතයේදී දෙවිවරුන් මිනිසුන්ගේ වෙස් අරගෙන ඔවුන්ගේ පළාතට ඇවිත් තියෙනවා කියලයි. ඉතින් පාවුල් සහ බානබස් ලිස්ත්‍රාවට ආවාම පාවුල් හර්මීස් දෙවියා කියලත් බානබස් සියුස් දෙවියා කියලත් හිතලා පූජා ඔප්පු කරන්න උත්සාහ කළා. ඒක නතර කරන්න ඒ දෙන්නාට සෑහෙන වෙහෙසක් දරන්න සිද්ධ වුණා.—ක්‍රියා 14:11-18.

ඒත් කීපදෙනෙක් ඔවුන්ව සැලකුවේ දෙවිවරුන් හැටියට නෙමෙයි වටිනා පණිවිඩයක් අරගෙන ආව අය හැටියටයි. උදාහරණයකට සැබෑ දෙවියන්ව ඇදහුවේ නැති ග්‍රීක ජාතික කෙනෙක් * එක්ක විවාහ වෙලා හිටිය යුදෙව් කාන්තාවක් වන යූනිස් සහ ඇගේ මව වන ලොයිස් පාවුල්ට සහ බානබස්ට ඉතා ඕනෑකමින් සවන් දෙන්න ඇති. මෙසියස් ආවා කියලත් ශුද්ධ ලියවිල්ලේ ඔහු ගැන සඳහන් හුඟක් අනාවැකි ඉෂ්ට වෙලා තියෙනවා කියලත් අහද්දී අවංක හදවතක් ඇති ඕනම යුදෙව් ජාතිකයෙක් සවන් දෙන්න ඇත්තේ ගොඩක් ආශාවෙන්.

පාවුල්ගේ පැමිණීම තිමෝතිට කොහොම බලපාන්න ඇද්ද? ළදරු කාලයේ ඉඳලා තිමෝතිව පුහුණු කරලා තිබුණේ ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවලට ඇලුම් කරන්නයි. (2 තිමෝති 3:15) පාවුල් සහ බානබස් කතා කළේ මෙසියස් ගැන සත්‍යය කියලා ඔහු තේරුම්ගත්තා. ඒ වගේම පාවුල් සුව කරපු කොර මිනිසාව තිමෝති පුංචි කාලේ ඉඳලම ලිස්ත්‍රාවේ වීදිවල ඉන්නවා දකින්න ඇති. ඊටපස්සේ ඒ මිනිසා ඇවිදිනවා තිමෝති දැක්කා. ඉතින් යූනිස් සහ ලොයිස් විතරක් නෙමෙයි තිමෝතිත් ක්‍රිස්තියානියෙක් වුණ එක පුදුමයක්ද? අද ඉන්න ආච්චිලා සීයලාටයි දෙමව්පියන්ටයි යූනිස් සහ ලොයිස්ගෙන් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. යෞවනයන්ගේ යහපත වෙනුවෙන් දෙයක් කරන්න ඔබටත් පුළුවන්ද?

“බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි”

යේසුස්ගේ අනුගාමිකයන්ට තියෙන බලාපොරොත්තුව ගැන දැනගත්තාම ලිස්ත්‍රාවේ ක්‍රිස්තියානීන් වුණ හුඟදෙනෙක්ට ලොකු සතුටක් දැනෙන්න ඇති. ඒත් ගෝලයෙක් වෙනවා නම් පීඩා විඳින්නත් වෙනවා කියලා ඔවුන් දැනගත්තා. යුදෙව් ආගමික අන්තවාදීන් ඉකෝනියේ සහ අන්තියෝකියේ ඉඳලා ඇවිත් කෝලහලයක් ඇති කරලා පාවුල්ට සහ බානබස්ට විරුද්ධ වෙන්න ලිස්ත්‍රාවේ ජනයාව උසිගැන්නුවා. වැඩි වෙලා යන්න කලින් ඔවුන් පාවුල්ට ගල් ගහන්න පටන්ගත්තා. අන්තිමේදී පාවුල් බිම ඇද වැටුණාම මැරුණා කියලා හිතලා ඔවුන් පාවුල්ව නගරයෙන් පිටතට ඇදලා දැම්මා.—ක්‍රියා 14:19.

ඒත් ලිස්ත්‍රාවේ ගෝලයන් ඇවිත් පාවුල්ව වට කරගත්තාම ඔහු නැඟිට්ටා. ඔහු මැරුණේ නැහැ කියලා දැනගත්තාම ඔවුන්ට සහනයක් දැනෙන්න ඇති. පාවුල් ආපහු නිර්භීතව ඒ නගරයටම ගියා. ඊළඟ දවසේ පාවුල් සහ බානබස් දේශනා කරන්න දර්බයට ගියා. එහේ අයට ගෝලයන් වෙන්න උදව් කළාට පස්සේ ආපහු කිසි බයක් නැතුව ලිස්ත්‍රාවට ආවා. එහෙදී ‘ඔවුන් ගෝලයන්ට තම විශ්වාසය දුර්වල කරගන්නේ නැතුව එය ශක්තිමත්ව තබාගැනීමට දිරිගැන්නුවා.’ පාවුල් සහ බානබස් කිව්වේ “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි” කියලයි. (ක්‍රියා 14:20-22) හැබැයි අනාගතය ගැන තියෙන ප්‍රීතිමත් බලාපොරොත්තුව එක්ක බලනකොට දැන් විඳින පීඩා සුළු ඒවා කියලා ඔවුන් ක්‍රිස්තියානීන්ට උගන්වද්දී යෞවන තිමෝති ඇස් දෙක ලොකු කරගෙන අවධානයෙන් අහගෙන ඉන්න ඇති.

නියෝජිත පාවුල්ගේ ඉගැන්වීම්වලට තිමෝති හොඳින් සවන් දුන්නා

ශුභාරංචිය කියන්න පාවුල් නිර්භීතව පීඩාවලට මුහුණ දෙද්දී ඔහු කිව්ව දේට අනුව ක්‍රියා කරන විදිහ තිමෝති දකින්න ඇති. ඔහුව අනුගමනය කළොත් ලිස්ත්‍රාවේ ජනයා තමන්ටත් විරුද්ධ වෙනවා කියලා තිමෝති දැනගත්තා. සමහරවිට ඔහුගේම තාත්තා ඔහුට විරුද්ධ වෙන්න ඉඩ තිබුණා. ඒත් තිමෝති නෙමෙයි ඒවාට සැලුණේ. දෙවියන්ට සේවය කරන්න ගත්ත තීරණය ඔහු වෙනස් කළේ නැහැ. අද හුඟක් යෞවනයන් ඉන්නවා තිමෝති වගේ. ඔවුන් ඥානවන්තව තමන්ගේ මිතුරන් තෝරගන්නේ තමන්ට දිරිගැන්වීමක් සහ ශක්තියක් වෙන්න පුළුවන් දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තියෙන යාළුවන්වයි. සැබෑ දෙවියන්ට සේවය කරන එක නවත්වන්න ඔවුන් විරුද්ධවාදිකම්වලට ඉඩ දෙන්නේ නැහැ.

“සහෝදරයන් අතර හොඳ නමක් දිනාගෙන සිටි කෙනෙකි”

ලිපියේ මුලින්ම කිව්ව විදිහට පාවුල් ලිස්ත්‍රාවට ආපහු එන්න ඇත්තේ අවුරුදු 2කට හෝ 3කට පස්සේ. පාවුල් ආවාම තිමෝතිගේ ගෙදර තිබුණ ප්‍රීතිමත් වාතාවරණය ගැන හිතින් මවාගන්න. මේ පාර ඔහු ආවේ සීලස් එක්ක. පාවුල්ටත් ඒක ප්‍රීතිමත් අවස්ථාවක් වෙන්න ඇති. ලිස්ත්‍රාවේ වැපිරුව සත්‍ය බීජ පැළ වෙලා තියෙන ආකාරය ඔහු දැක්කා. ලොයිස් සහ යූනිස් කියන කාන්තාවන් ක්‍රිස්තියානීන් වෙලා! ඔවුන් තුළ තිබුණ ‘කිසි කුහකකමක් නැති අවංක විශ්වාසය’ දැකපු පාවුල් ඔවුන්ව හුඟක් අගය කළා. (2 තිමෝති 1:5) එතකොට යෞවන තිමෝති ගැන කියන්න පුළුවන් මොකක්ද?

තිමෝති කලින් වතාවට වඩා දැනුම් තේරුම් ඇති කෙනෙක් වෙලා හිටියා. ඔහු ලිස්ත්‍රාවේ විතරක් නෙමෙයි කිලෝමීටර් 32ක් ඈතින් තිබුණ ඉකෝනියෙත් ‘සහෝදරයන් අතර හොඳ නමක් දිනාගෙන හිටියා.’ (ක්‍රියා 16:2) ඒ වගේ හොඳ නමක් ඔහුට ලැබුණේ කොහොමද?

තිමෝතිගේ අම්මායි ආච්චියි ඔහුට ‘ළදරු කාලයේ පටන් ශුද්ධ ලියවිල්ල’ උගන්වද්දී ප්‍රායෝගික මඟ පෙන්වීම් ලබා දුන්නා. (2 තිමෝති 3:15) උදාහරණයකට යෞවනයෙක්ට සුදුසු මේ මඟ පෙන්වීම ඔවුන් දෙන්න ඇති. “යෞවනයෙනි, ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න.” (දේශනාකාරයා 12:1) තිමෝති ක්‍රිස්තියානියෙක් වුණාට පස්සේ දැනගත්තා ඒ වචන ඔහුගේ ජීවිතයට අදාළ කරගන්න ඕන කියලා. ශ්‍රේෂ්ඨ සැදුම්කරුව සිහි කරන්න හොඳම විදිහ ඔහුගේ පුත්‍රයා වන යේසුස් ගැන ශුභාරංචිය අනිත් අයට කියන එක කියලා තේරුම්ගත්ත තිමෝති ලැජ්ජාශීලීකමින් ගොඩ ඇවිත් ශුභාරංචිය ගැන නිර්භීතව කියන්න පටන්ගත්තා.

සභාවල වැඩිමහල්ලන් තිමෝති දියුණු වෙන විදිහ දැක්කා. මේ යෞවනයා අනිත් හැමෝටම කොච්චර දිරිගැන්වීමක් වෙනවාද කියලා දකින්න ඇති. ඊටත් වඩා යෙහෝවා දෙවියන් තිමෝතිගේ දියුණුව දැක්කා. කලින් ඔහු ගැන අනාවැකි කීපයක්ම දෙවියන්ගේ බලයෙන් කියලා තිබුණා. ඔහු කවදා හරි දවසක සභාවලට හොඳ සේවයක් කරන කෙනෙක් වෙනවා කියලා ඒ අනාවැකිවල කියවෙන්න ඇති. පාවුල් දැක්කා සංචාරක සේවයේ ගෙනියන්න තිමෝතිට සුදුසුකම් තියෙනවා කියලා. ලිස්ත්‍රාවේ හිටිය සහෝදරයන් ඒකට එකඟ වෙලා යෙහෝවා දෙවියන්ට කරන්න යන විශේෂ සේවයට යෞවන තිමෝතිව පත් කරන්න ඔහු පිට අත් තැබුවා.—1 තිමෝති 1:18; 4:14.

මේ ලොකු වගකීම විශ්වාසයෙන් භාර දුන්න එක ගැන පුදුම වුණ තිමෝති යටහත්පහත්ව ඒක භාරගන්න ඇති. ඔහු සංචාරක සේවයේ යන්න සූදානම් වුණා. * සැබෑ දෙවියන්ව විශ්වාස නොකළ ඔහුගේ පියා මේ අලුත් පැවරුම ගැන කොයි වගේ ප්‍රතිචාරයක් දක්වන්න ඇද්ද? තිමෝතිගේ අම්මායි ආච්චියි කොයි වගේ හිතන්න ඇද්ද? පුංචි ආඩම්බරයක් ඇති වුණත් යෞවනයාගේ ආරක්ෂාව ගැන හිතලා හිතින් වද වෙන්න ඇති. එහෙම වුණා නම් ඒක සාමාන්‍ය දෙයක්.

තිමෝති ගමන ආරම්භ කෙරුවා. මේ ලිපියේ මුලින්ම කිව්වා වගේ නියෝජිත පාවුල් එක්ක සංචාරක සේවයේ හවුල් වෙන්න ඔහු තීරණය කළා. ඔවුන් අඩියෙන් අඩිය පියවර තියන්නේ නන්නාඳුනන මිනිසුන් ඉන්න පළාත්වලට යන්නයි. දවස පුරාම ඇවිද්ද මේ තුන්දෙනා ඉකෝනියට ආවා. යෙරුසලමේ පාලක මණ්ඩලය දුන්න අලුත්ම මඟ පෙන්වීම් ගැන ඉකෝනියේ ඉන්න අයට පාවුල් සහ සීලස් කියන විදිහත් ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කරන විදිහත් තිමෝති දැක්කා. (ක්‍රියා 16:4, 5) ඒත් ඒක පටන්ගැන්ම විතරයි.

ගලාතියේ සභාවලට ගියාට පස්සේ ඔවුන් රෝමයේ මහාමාර්ග පසු කරමින් කඳුකර ප්‍රදේශයට ගිහින් එතනින් කිලෝමීටර් සිය ගණන් දුර ඇවිදලා ෆ්‍රිජිය කියන පළාතට ගියා. ඊටපස්සේ දෙවියන්ගේ මඟ පෙන්වීම අනුව ත්‍රෝවසයට ගිහින් එතනින් නැව් නැඟලා මැසිඩෝනියාවට ගියා. (ක්‍රියා 16:6-12) ඒ වෙනකොට තිමෝතිගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා කියලා පාවුල් දැනගත්තා. ඒ නිසා සීලස් එක්ක තිමෝතිව බෙරීය නගරයේ තියලා යන්නත් පාවුල්ට පුළුවන් වුණා. (ක්‍රියා 17:14) මේ යෞවනයාව තනියම තෙසලෝනිකයටත් යැව්වා. එහෙදී පාවුල් වගේ තිමෝතිත් විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ව ශක්තිමත් කළා.—1 තෙසලෝනික 3:1-3.

පාවුල් පස්සේ කාලෙක තිමෝති ගැන මෙහෙම ලිව්වා. “ඔහුට සමාන ගතිලක්ෂණ ඇති, ඔහු තරම් ඔබ ගැන සැලකිලිමත් වන පුද්ගලයෙකු තවත් මට නැති තරම්ය. ඔහු ඔබ වෙතට පැමිණ ඔබ ගැන අවංක සැලකිල්ලක් දක්වයි කියා මට විශ්වාසයි.” (ෆිලිප්පි 2:20) ඒ වගේ හොඳ නමක් ඉබේ ඇති වෙන්නේ නැහැ. ඒක තිමෝති වෙහෙස නොබලා නිහතමානීව කරපු සේවයෙනුත් විශ්වාසවන්තව අභියෝගවලට මුහුණ දීමෙනුත් උපයාගත්ත දෙයක්. අද ඉන්න යෞවනයන්ට ඔහු මොන තරම් කදිම ආදර්ශයක්ද! හොඳ නමක් ගොඩනඟාගන්න ඔයාට පුළුවන් කියන එක අමතක කරන්න එපා. ඔයා යෞවනයෙක් නම් යෙහෝවා දෙවියන්ව ඔයාගේ ජීවිතයේ මුල් තැනට දාන එකෙන්, අනිත් අයට කරුණාවන්තව, ගෞරවනීයව සලකන එකෙන් ඔයාට හොඳ නමක් ඇති කරගන්න පුළුවන්.

“හැකි ඉක්මනින් මා සිටින තැනට එන්න උත්සාහ දරන්න”

යෞවන කාලෙදිම තිමෝති දේවසේවයට කැප වුණා

අවුරුදු 14ක් වගේ කාලයක් පුරා තිමෝති නියෝජිත පාවුල් එක්ක කිට්ටුවෙන් සේවය කළා. සේවය කරද්දී පාවුල් වින්ද පීඩාවලට ඔහුත් මුහුණ දුන්නා. ඒ වගේම ඔවුන් ප්‍රීති වුණ අවස්ථාත් තිබුණා. (2 කොරින්ති 11:24-27) දෙවියන් කෙරෙහි තිබුණ විශ්වාසය නිසා තිමෝතිට සිරගත වෙන්නත් සිද්ධ වුණා. (හෙබ්‍රෙව් 13:23) පාවුල් වගේම ඔහුත් ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට හද පත්ලෙන්ම ආදරයත් සැලකිල්ලත් දැක්වුවා. ඒ නිසයි ‘ඔබේ කඳුළු මට සිහි වෙනවා’ කියලා පාවුල් තිමෝතිට කිව්වේ. (2 තිමෝති 1:4) පාවුල් වගේම තිමෝතිත් ‘අඬන අය එක්ක අඬලා’ අනිත් අයගේ හැඟීම් තේරුම්ගන්න උත්සාහ කළා. එහෙම කරද්දී ඔහුට පුළුවන් වුණා ඒ අයව දිරිගන්වන්නත් සනසවන්නත්. (රෝම 12:15) අපි හැමෝමත් ඒ දේ කරන්න ඉගෙනගමු.

කල් යද්දී තිමෝති ක්‍රිස්තියානි සභාව රැකබලා ගන්න කෙනෙක් වුණා. සභාවලට ගිහින් සාමාජිකයන්ව ශක්තිමත් කරන්න, දිරිගන්වන්න විතරක් නෙමෙයි සුදුසුකම් තියෙන අයව සභාවේ වැඩිමහල්ලන් සහ සහායක සේවකයන් හැටියට පත් කිරීමේ වගකීමත් පාවුල් තිමෝතිට දුන්නා.—1 තිමෝති 5:22.

පාවුල් තිමෝතිට කොච්චර ආදරේ කළාද කියනවා නම් තාත්තා කෙනෙක් වගේ අවවාද හා මඟ පෙන්වීම් ලබා දුන්නා. ලැබිලා තියෙන පැවරුම් හොඳින් ඉටු කරලා තව තවත් දියුණු වෙන්න කියලත් කිව්වා. (1 තිමෝති 4:15, 16) හරි දේ කරන්න අවශ්‍ය වෙලාවට තමන්ගේ යෞවනකම, තමන්ට දැනෙන ලැජ්ජාව ගැන හිතලා පසුබසින්නේ නැතුව නිර්භීතව ක්‍රියා කරන්න කියලා තිමෝතිට පාවුල් උනන්දු කළා. (1 තිමෝති 1:3; 4:6, 7, 11, 12) තිමෝතිට නිතර නිතර හැදුණ උදරාබාධයට පිළියමක් හැටියට කරන්න පුළුවන් දෙයක් ගැනත් මඟ පෙන්වීමක් දුන්නා.—1 තිමෝති 5:23.

කාලයක් ගත වුණාට පස්සේ පාවුල් දැනගත්තා තව ජීවත් වෙන්න ලැබෙන්නේ ටික කාලෙකට විතරයි කියලා. ඒ වෙද්දී ඔහුව මරණයට පත් කරන්න නියම කරලා තියෙන්න ඇති. දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමෙන් ඔහු තිමෝතිට අවසාන ලිපිය ලිව්වා. ඒකේ හද දනවන අදහසක් තියෙනවා. “හැකි ඉක්මනින් මා සිටින තැනට එන්න උත්සාහ දරන්න.” (2 තිමෝති 4:9) “ස්වාමීන් වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරන ඔහු, මගේම දරුවෙක් හා සමානය” කියලා පාවුල් කිව්වේ තිමෝතිට හුඟක් ආදරය කළ නිසයි. (1 කොරින්ති 4:17) ඔහුගේ ජීවිත කාලේ අවසානයේදී තමන්ගේ මිත්‍රයා තමන් ළඟම ඉන්නවා දකින්න පාවුල් කැමති වුණා. අපි එක් එක් කෙනා මෙහෙම හිතලා බලමු. ‘අනිත් අය කරදරේකට මුහුණ දෙද්දී සැනසීමක් ලබන්න මා ළඟට එයිද?’

පාවුල් මැරෙන්න කලින් ඔහු ළඟට යන්න තිමෝතිට පුළුවන් වුණාද? ඒක අපි දන්නේ නැහැ. හැබැයි ඔහු පාවුල්ටත් තවත් හුඟදෙනෙක්ටත් සැනසීමක් වුණා කියලා නම් අපි දන්නවා. ඔහු ජීවත් වුණේ ඔහුගේ නමේ අර්ථයට එකඟවයි. තිමෝති කියන නමේ අර්ථය “දෙවියන්ට ගරු කරන තැනැත්තා” කියන එකයි. බාල මහලු අපි හැමෝටම තිමෝති තිබ්බේ හොඳ ආදර්ශයක්!

^ 9 ඡේ. මේ කලාපයේ “ඔබ දැන සිටියාද?” කියන ලිපිය බලන්න.

^ 20 ඡේ. චර්මච්ඡේදනය වෙන්න කියලා පාවුල් තිමෝතිට කිව්වාම ඔහු ඒකට කැමති වුණා. එහෙම කළේ ක්‍රිස්තියානීන්ට තිබුණ නීතියක් හින්දා නෙමෙයි. ඒත් තිමෝතිගේ තාත්තා වෙනත් ජාතිකයෙක් නිසා තිමෝති දේශනා කරන්න යුදෙව්වන් ඉදිරියට ගියාම ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප නොකරන්නයි.—ක්‍රියා 16:3.