Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

යේසුස් කියලා කෙනෙක් ඇත්තටම හිටියාද?

යේසුස් කියලා කෙනෙක් ඇත්තටම හිටියාද?

ඔහු වංශවත් පවුලක ඉපදුණු කෙනෙක් නෙවෙයි. තමන්ටම කියලා ගෙයක් දොරක්වත් ඔහුට තිබුණේ නැහැ. ඒත් ඔහුගේ ඉගැන්වීම් නිසා මිලියන ගණනකගේ ජීවිත වෙනස් වෙලා තියෙනවා. යේසුස් ඇත්තටම හිටියා කියන්න සාක්ෂි තියෙනවාද?

  • මයිකල් ග්‍රාන්ට්. ඉතිහාසඥයෙක් සහ පැරණි ශිෂ්ටාචාර ගැන අධ්‍යයනය කරන ප්‍රවීණයෙක් වන ඔහු මෙහෙම සඳහන් කරනවා. “වෙනත් ඓතිහාසික ලියවිලි සෝදිසි කරන ක්‍රමයටම නව ගිවිසුම සෝදිසියට ලක් කළොත් යේසුස් හිටියා කියන්න ඕන තරම් හේතු තියෙනවා. අතීතයේදී ජීවත් වුණා කියලා සඳහන් වෙන සමහර ප්‍රසිද්ධ චරිත ඇත්තටම හිටියා කියලා පිළිගන්නවා නම් යේසුස් හිටියා කියලා සැක කරන්න කිසිම හේතුවක් නැහැ.”

  • රූඩොල්ෆ් බුල්ට්මාන්. නව ගිවිසුම ගැන අධ්‍යයනය කරන මහාචාර්යවරයෙක් වන ඔහු මෙහෙම සඳහන් කළා. “යේසුස් ඇත්තටම හිටපු කෙනෙක්ද කියන එක කිසිම පදනමක් නැති ප්‍රශ්නයක්. ක්‍රිස්තියානි ධර්මයේ මූලාරම්භකයා යේසුස් කියලා දැනුම් තේරුම් තියෙන කවුරුත් සැක කරන්නේ නැහැ.”

  • විල් ඩුරන්ට්. ඉතිහාසඥයෙක් සහ දාර්ශනිකයෙක් වන ඔහු මෙහෙම වාර්තා කරනවා. යේසුස් “ඉතිහාසයේ දැවැන්ත වෙනසක් ඇති කරපු, හිත ඇදී යන පෞද්ගලිකත්වයක් තියෙන, සාරධර්ම ගැනත් සැබෑ සහෝදරත්වය ගැනත් කියා දීපූ මනුෂ්‍යයෙක්. ඒ වගේ චරිතයක් හැදුණේ සාමාන්‍ය මිනිසුන් කිහිපදෙනෙක් [සුවිශේෂ පොත්වල ලේඛකයන්] ගොතපු කතාවක ප්‍රතිඵලයක් විදිහට නම් ඒක සුවිශේෂ පොත්වල සඳහන් වෙන ආශ්චර්යයන්වලට වඩා ලොකු ආශ්චර්යයක්.”

  • ඇල්බර්ට් අයින්ස්ටයින්. භෞතික විද්‍යාඥයෙක් වන ඔහු මෙහෙම සඳහන් කළා. “මම යුදෙව්වෙක්. ඒත් යේසුස්ගේ චරිතයට මං හරි කැමතියි.” යේසුස් ඇත්තටම හිටියාද කියන ප්‍රශ්නය ඔහුගෙන් ඇහුවාම ඔහු කිව්වේ මෙහෙමයි. “ඒක අහන්නත් දෙයක්ද! සුවිශේෂ වාර්තා කියවද්දී යේසුස් ඇත්තටම හිටියා කියන එක පැහැදිලියි. යේසුස් කියපු හැම වචනයකින්ම ඔහුගේ චරිතය ඉස්මතු වෙනවා. යේසුස් කියන්නේ මිථ්‍යාවක් නම් ඔහු ගැන ඒ විදිහට දැනෙන්නේ නැහැ.”

    “සුවිශේෂ පොත් කියවද්දී යේසුස් කියලා කෙනෙක් ඇත්තටම හිටියා කියන එක හොඳටම පැහැදිලියි.”—ඇල්බර්ට් අයින්ස්ටයින්

යේසුස් ගැන ඓතිහාසික සාක්ෂි

යේසුස් ගැන සවිස්තරාත්මක තොරතුරු තියෙන්නේ බයිබලයේ මතෙව්, මාක්, ලූක් සහ යොහන් කියන සුවිශේෂ පොත්වල. බයිබලයට අමතරව ක්‍රිස්තියානි නොවන වෙනත් පැරණි මූලාශ්‍රවලත් යේසුස් ගැන සඳහන් වෙලා තියෙනවා.

  • ටැසිටස්

    (ක්‍රිස්තු වර්ෂ 56-120 පමණ) ටැසිටස් රෝමයේ හිටපු විශිෂ්ට ඉතිහාසඥයෙක්. ඔහුගේ ලේඛනවල ක්‍රි.ව. 14ත් 68ත් අතර කාලයේ ජීවත් වුණු රෝම අධිරාජ්‍යවරුන් ගැන සඳහන් වෙනවා. (යේසුස් මිය ගියේ ක්‍රි.ව. 33දී) ක්‍රි.ව. 64දී රෝමයේ ඇති වුණු ලොකු ගින්නට වග කිව යුත්තා නීරෝ අධිරාජ්‍යයායි කියලා රාවයක් පැතිරුණා. ඒකෙන් බේරෙන්න නීරෝ ඒ වරද ක්‍රිස්තියානීන් පිට පැටෙව්වා කියලා ටැසිටස් සඳහන් කරනවා. ඔහු මෙහෙමත් ලියලා තියෙනවා. “ක්‍රිස්තියානි කියන නාමය හැදෙන්න මුල් වුණු ක්‍රිස්තුස්ට ටයිබීරියස්ගේ පාලන සමයේදී ආණ්ඩුකාර පොන්තියුස් පිලාත් මරණ දණ්ඩනය නියම කළා.”—Annals, XV, 44.

  • සිව්ටෝනියස්

    (ක්‍රි.ව. 69-122 පමණ) රෝම ඉතිහාසඥයෙක් වන සිව්ටෝනියස් රෝම අධිරාජ්‍යවරුන් 11දෙනෙකුගේ පාලන සමයේ වුණු දේවල් වාර්තා කරලා තියෙනවා. ඒ වාර්තාවල ක්ලෝදියස් සීසර්ගේ කාලයේ රෝමයේ හිටපු යුදෙව්වන් අතරේ ඇති වුණු ආරවුල් ගැන සඳහන් වෙනවා. මේවා බොහෝදුරට යේසුස් ගැන ඇති වුණු ආරවුල් වෙන්න ඇති. (ක්‍රියා 18:2) “යුදෙව්වන් නිතර නිතර ක්‍රිස්තුස් ගැන ආරවුල් ඇති කරගත්ත නිසා ඒ අයව ඔහු [ක්ලෝදියස්] රෝමයෙන් පිටුවහල් කළා” කියලා සිව්ටෝනියස් සඳහන් කරනවා.—The Deified Claudius, XXV, 4.

  • කනිෂ්ඨ ප්ලිනි

    (ක්‍රි.ව. 61-113 පමණ) බිතිනියේ ආණ්ඩුකාරයා වෙලා හිටපු ප්ලිනි, ක්‍රිස්තියානීන්ව මර්දනය කරන විදිහ ගැන උපදෙස් ඉල්ලලා රෝම අධිරාජ්‍යයෙක් වුණු ට්‍රේජන්ට ලිපියක් යැව්වා. ක්‍රිස්තියානි ධර්මය අත්හරින්න කියලා ඔහු මිනිසුන්ට බල කළා කියලත් එහෙම කළේ නැති අයව මැරුවා කියලත් ප්ලිනි සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි “දෙවිවරුන්ට කියන යැදුම වචනයෙන් වචනය මාත් එක්ක කියපු, ඔබේ ප්‍රතිමාවට වයින් සහ සුවඳ දුම් ඔප්පු කරලා ගරුබුහුමන් කරපු, අන්තිමේදී යේසුස්ට ශාප කරපු අයව නිදහස් කරන්න මම තීරණය කළා” කියලත් ඔහුගේ ලිපියේ සඳහන් වුණා.—Pliny—Letters, X, XCVI.

  • ෆ්ලේවියස් ජොසීෆස්

    (ක්‍රි.ව. 37-100 පමණ) ජොසීෆස් යුදෙව් පූජකයෙක් සහ ඉතිහාසඥයෙක්. ඔහුගේ වාර්තාවක, උත්තම පූජකයා වුණු අන්නස් “යුදෙව් මන්ත්‍රණ සභාව රැස් කරවා ක්‍රිස්තුස් විදිහට හඳුන්වන යේසුස්ගේ සහෝදරයා වුණු යාකොබ්ව සභාව ඉදිරියට ගෙනාවා” කියලා සඳහන් වෙනවා.—Jewish Antiquities, XX, 200.

  • තල්මුඩය

    යේසුස් ඇත්තටම හිටියා කියලා යේසුස්ගේ සතුරන් වුණත් පිළිගත්තා. ක්‍රි.ව. 3ත් 6ත් අතර සියවස්වලට අයිති යුදෙව් ආගමික ගුරුවරුන්ගේ ලේඛන එකතුවක් වන තල්මුඩයේ සඳහන් තොරතුරු ඒකට සාක්ෂියක්. “පාස්කු දවසේදී නාසරීය යේසුස්ව එල්ලා මැරුවා” කියලා ඒකේ සඳහන් වෙනවා. ඒ තොරතුර ඓතිහාසිකවත් නිවැරදියි. (බැබිලෝනියානු තල්මුඩය, සැන්හෙඩ්‍රින් 43a, මියුනිච් කෝඩෙක්ස්; යොහන් 19:14-16 බලන්න.) තවත් තැනක සඳහන් වෙන්නේ “ඒ නාසරීයයා වගේ ප්‍රසිද්ධියේ අවමානයට ලක් වෙන දරුවෙක් හෝ ශිෂ්‍යයෙක් අපිට නොඉඳීවා” කියලයි. එතන නාසරීයයා කියලා හඳුන්වන්නේ නාසරෙත් නුවරින් ආපු යේසුස්ව.—බැබිලෝනියානු තල්මුඩය, බෙරාකොත් 17b, පාදසටහන, මියුනිච් කෝඩෙක්ස්; ලූක් 18:37 බලන්න.

බයිබලයෙන් සාක්ෂි

සුවිශේෂ පොත් හතරේ යේසුස්ට අමතරව වෙනත් පුද්ගලයන්, ස්ථාන සහ කාලවල් ගැනත් නිවැරදිව වාර්තා වෙනවා. ලූක් 3:1, 2 පදවල සඳහන් දේ ඒකට හොඳ උදාහරණයක්. ඒ තොරතුරුවලින් යේසුස්ට මඟ එළි පෙහෙළි කරපු යොහන් බව්තීස්ත සේවය පටන්ගත්ත කාලය දැනගන්න පුළුවන්.

“මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.”—2 තිමෝති 3:16

ඒ බයිබල් පදවල සඳහන් වෙන්නේ මෙහෙමයි. “එය ටයිබීරියස් සීසර්ගේ පාලන සමයෙහි පහළොස්වෙනි අවුරුද්දයි. ඒ වන විට යුදයෙහි ආණ්ඩුකාරයා වූයේ පොන්තියුස් පිලාත්ය. ගලීලයේ දේශාධිපති ලෙස කටයුතු කළේ හෙරොද්ය. ඔහුගේ සහෝදරයා වූ ෆිලිප් ඉතුරය ප්‍රදේශයෙහි සහ ට්‍රකොනීටස්හි දේශාධිපති වශයෙන් කටයුතු කළේය. අබිලේනියෙහි දේශාධිපති වූයේ ලිසානියස්ය. ප්‍රකට පූජකයන් ලෙස සිටියේ කායෆස් සහ නායක පූජක වූ අන්නස්ය. ඒ කාලයේදී පාළුකරයේ සිටි සෙකරියාගේ පුත් යොහන්ට දෙවිගෙන් පණිවිඩයක් ලැබිණ.” ඒ පැහැදිලි තොරතුරුවලට අනුව යොහන්ට දෙවිගෙන් පණිවිඩයක් ලැබුණේ ක්‍රි.ව. 29වෙනි අවුරුද්දේදියි.

ලූක් සඳහන් කරලා තියෙන ඒ පුද්ගලයන් හත්දෙනා ඉතිහාසඥයන්ට හුරු පුරුදු චරිත වුණාට කාලයක් යන කල් පොන්තියුස් පිලාත් සහ ලිසානියස් කියන දෙන්නා ඇත්තටම හිටියා කියලා සමහරු පිළිගත්තේ නැහැ. හැබැයි ඒ දෙන්නාගේ නම් සඳහන් වුණු ශිලා ලේඛන හොයාගත්තාට පස්සේ ලූක්ගේ වාර්තාවේ සත්‍යතාව තහවුරු වුණා. *

යේසුස් ඇත්තටම හිටියාද නැද්ද කියලා අපි හොයලා බලන්න ඕනෙද?

මුළු ලෝකයම පාලනය කරන්න යන දේවරාජ්‍යයක් ගැන යේසුස් ඉගැන්නුවා

ඔව්. මොකද යේසුස් උගන්වපු දේවල් කෙළින්ම අපේ ජීවිතවලට බලපානවා. සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදිහ ගැන යේසුස් ඉගැන්නුවා. * ඒ වගේම ‘දෙවිගේ රාජ්‍යය’ මේ පොළොව පාලනය කරන කාලයේදී සියලුම මිනිසුන් එක්සත්ව, සමාදානයෙන් ජීවත් වෙනවා කියලත් යේසුස් කිව්වා.—ලූක් 4:43.

මොකක්ද ‘දෙවිගේ රාජ්‍යය’ කියන්නේ? ඒක ස්වර්ගයේ තියෙන ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව මාර්ගයෙන් තමයි දෙවියන් මේ මුළු පොළොවම අනාගතයේදී පාලනය කරන්නේ. (එළිදරව් 11:15) ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත පොළොවෙහිද සිදු වේවා’ කියලා යාච්ඤා කරන්න යේසුස් ඉගැන්නුවේ ඒ හේතුව නිසයි. (මතෙව් 6:9, 10) දෙවියන්ගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී අපිට ලැබෙන ආශීර්වාද මොනවාද?

  • යුද්ධ සහ ගැටුම් සම්පූර්ණයෙන්ම තුරන් වෙනවා.ගීතාවලිය 46:8-11.

  • නරක දේවල් කරන මිනිසුන් විනාශ වෙන නිසා දුෂ්ටකම, වංචාව, දූෂණය තවදුරටත් වෙන්නේ නැහැ.ගීතාවලිය 37:10, 11.

  • දේවරාජ්‍යයේ යටත්වැසියන් වෙන අය තමන් කරන වැඩවලින් ලොකු සතුටක් ලබනවා.යෙසායා 65:21, 22.

  • දූෂණය වෙලා තියෙන මේ පොළොව ආපහු සරු අස්වනු දෙන ලස්සන තැනක් වෙනවා.ගීතාවලිය 72:16; යෙසායා 11:9.

ඒ වගේ කාලයක් ඇත්තටම එන එකක් නැහැ, ඒක හීනයක් විතරයි කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. මිනිසුන්ගේ උත්සාහයෙන් ඒ වගේ කාලයක් උදා කරන එක නම් හීනයක් තමයි. මොකද විද්‍යාව, තාක්ෂණය සහ අධ්‍යාපනය අතින් අද ලෝකය ලොකු දියුණුවක් ලබලා තිබුණත් මිනිස්සු ජීවත් වෙන්නේ හෙට දවස ගැන බයෙන්. හැම දවසකම දේශපාලනික, ආර්ථික සහ ආගමික ප්‍රශ්න ගැන තමයි අහන්න ලැබෙන්නේ. හතර අතේ රජ කරන්නේ වංචාව සහ දූෂණය. ඇත්තටම මිනිස් පාලන කොච්චර අසාර්ථකද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.—දේශනාකාරයා 8:9.

“දෙවි දී ඇති සෑම පොරොන්දුවක්ම” ඉටු වෙන්නේ “යේසුස් මාර්ගයෙන්” කියලා බයිබලයේ කියනවා. (2 කොරින්ති 1:19, 20) එහෙමනම් යේසුස් කියලා කෙනෙක් ඇත්තටම හිටියාද කියලා හොයලා බලන එක අත්‍යවශ්‍ය දෙයක් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? *

^ 23 ඡේ. ලිසානියස් කියන “දේශාධිපති” ගැන සඳහන් වෙන ශිලා ලේඛනයක් සොයාගෙන තියෙනවා. (ලූක් 3:1) ඔහු අබිලේනිය පාලනය කරලා තියෙන්නේ ලූක් සඳහන් කරපු කාලයේදීමයි.

^ 25 ඡේ. යේසුස්ගේ වටිනා ඉගැන්වීම් බොහොමයක් බයිබලයේ මතෙව් 5 සිට 7 පරිච්ඡේදවල සඳහන් වෙනවා.

^ 32 ඡේ. යේසුස් ගැනත් ඔහුගේ ඉගැන්වීම් ගැනත් තවත් තොරතුරු දැනගන්න, www.pr418.com/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > බයිබලයෙන් උත්තර යටතේ බලන්න.