Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න

දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න

ප්‍රශ්නය

මීට කාලෙකට කලින් දරුවාට ලිංගික කාරණා ගැන මුලින්ම කියලා දෙන්න අවස්ථාව තිබුණේ දෙමාපියන්ට. ඒ නිසා දරුවාගේ වයසේ හැටියට ඒ දේවල් ගැන ටිකෙන් ටික කියලා දෙන්න දෙමාපියන්ට පුළුවන් වුණා.

ඒත් දැන් තත්වය වෙනස්. එක පොතක මෙහෙම තිබුණා. “ළමා වැඩසටහන්වලත් එන්න එන්නම ලිංගික දේවල් ඉස්මතු කරනවා. ඒ නිසා පුංචි සන්ධියේ ඉඳලාම ළමයින්ගේ මනසට ලිංගිකත්වය ගැන තොරතුරු ඇතුල් වෙනවා.”—The Lolita Effect.

දැනගන්න ඕන දේ

අසභ්‍ය දේවල් හැම තැනම. ඩෙබ්රා රෝෆ්මන් කියන ලේඛිකාව මෙහෙම කියනවා. “යොවුන් දරුවන් සහ ළාබාල දරුවන් හිතනවා ඇති ලිංගිකත්වය තමයි මේ ලෝකේ තියෙන උසස්ම දේ කියලා. මොකද ටීවී වැඩසටහන්වල, ඇඩ්වල, චිත්‍රපටිවල, පොත්වල, සින්දුවල, වීඩියෝ ගේම්වල, ලොකු දැන්වීම්වල, ෆෝන්වල, කොම්පියුටර්වල වැඩිපුරම තියෙන්නේ ලිංගිකත්වය ඉස්මතු කරන දේවල්.”—Talk to Me First.

අළෙවිකරුවනුත් වගකියන්න ඕනේ. ලිංගිකත්වය ඉස්මතු වෙන ඇඟ පේන විදිහේ ඇඳුම් දැන් පුංචි දරුවන් වෙනුවෙනුත් නිර්මාණය වෙනවා. ඒ වගේ ඇඳුම් ගන්න කියලා අළෙවිකරුවන් දිරිගන්වනවා. ඒකෙන් වෙන්නේ පොඩි වයසේ ඉඳලාම දරුවන් තමන්ගේ පෙනුම ගැන ලොකුවට හිතන එකයි. එක පොතක මෙහෙම කියනවා. “ව්‍යාපාරිකයන් දන්නවා ඕනෙම දරුවෙක් අනිත් අයගේ අවධානය සහ පිළිගැනීම ලබාගන්න කැමතියි කියලා. ඔවුන් ඒක අතකොළුවක් කරගෙන අලුත් දේවල් ගන්න දරුවන්ගේ හිත්වල ආසාවක් ඇති කරනවා.”—So Sexy So Soon.

දැනුම විතරක් මදි. කාර් එකක් ක්‍රියා කරන විදිහ දැනගෙන හිටියා කියලා කෙනෙක් විනයගරුක රියදුරෙක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි, ලිංගික අධ්‍යාපනය විතරක් දරුවෙක්ට ලැබුණට මදි. ඒ දැනුම පාවිච්චි කරලා හරි තීරණ ගන්නත් එයාට පුළුවන් වෙන්න ඕනේ.

මේක මතක තියාගන්න: “වටහාගැනීමේ හැකියාව” පාවිච්චි කරලා “හරි වැරැද්ද නිවැරදිව හඳුනාගන්න” දෙමාපියන් දරුවන්ව පුහුණු කරන්න ඕනේ. වෙන කවරදාකටත් වඩා මේ කාලයේ ඒ දේ කරන එක අත්‍යවශ්‍යයි.—හෙබ්‍රෙව් 5:14.

කරන්න පුළුවන් දේ

පැහැරහරින්න එපා. දරුවාට ලිංගික අධ්‍යාපනය දෙන එක ගැන දෙමාපියන්ට ලැජ්ජාවක් දැනෙන්න පුළුවන්. ඒත් ඒක දෙමාපියන්ගේ වගකීමක්.—බයිබල් ප්‍රතිපත්තිය: හිතෝපදේශ 22:6.

ක්‍රමානුකූලව කියලා දෙන්න. ඒ දේවල් ගැන දීර්ඝ සාකච්ඡාවක් පවත්වනවා වෙනුවට නිදහස් වෙලාවලදී ටිකෙන් ටික දරුවාට කියලා දෙන්න. දරුවාගේ හිතේ තියෙන දේ දැනගන්න එයාගෙන් ප්‍රශ්න අහන්න. හැබැයි “ඔව්” හරි “නැහැ” හරි කියලා කෙටි උත්තර දෙන ප්‍රශ්න අහනවා වෙනුවට මේ වගේ අහන්න පුළුවන්. “ඔයා හිතන විදිහට වෙළෙන්දෝ එයාලගේ බඩු විකුණගන්න නරක වෙළඳ දැන්වීම් දාන්නේ ඇයි?” “ඒ ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?”—බයිබල් ප්‍රතිපත්තිය: ද්විතීය කතාව 6:6, 7.

වයසට ඔබින විදිහට උගන්වන්න. පෙර පාසැල් යන වයසේ ඉඳන්ම ලිංගික අවයව හඳුන්වන නම් දරුවාට කියලා දෙන්න. කාමාතුරයන්ගෙන් ආරක්ෂා වෙන විදිහත් කියලා දෙන්න. වයසින් වැඩෙද්දී ප්‍රජනනය ගැන උගන්වන්න. යොවුන් වියට පා තබද්දී ලිංගික එක් වීමක් කියන්නේ මොකක්ද කියලත් ඒ සම්බන්ධයෙන් හරි දේ සහ වැරදි දේ මොකක්ද කියලත් දරුවා දැනගෙන ඉන්න ඕනේ.

සාරධර්ම කාවද්දන්න. පුංචි වයසේ ඉඳලාම දරුවාට අවංකකම, විශ්වාසවන්තකම සහ අනිත් අයට ගරු කරන එක වගේ සාරධර්ම ගැන කියලා දෙන්න. ඒ දේවල් ගැන කියලා දීලා ඊටපස්සේ දරුවාට ක්‍රමානුකූලව ලිංගික අධ්‍යාපනය ලබා දෙද්දී හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා එයා ඉක්මනින්ම තේරුම්ගන්නවා. ඒ වගේම ඔයාගේ ප්‍රතිපත්ති මොනවාද කියලත් දරුවාට පැහැදිලිව කියන්න. උදාහරණයකට විවාහ වෙන්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන එක වැරදියි කියලා ඔයා පිළිගන්නවා නම් ඒක දරුවාට කෙළින් කියන්න. ඒ වගේ දේවල් කරන එක වැරදි ඇයි කියලත් ඒකේ තියෙන අනතුර ගැනත් කියන්න. “පොඩි වයසේදී ලිංගික සම්බන්ධකම් පවත්වනවාට දෙමාපියන් කැමති නැහැ කියලා දන්න දරුවන්, අඩු වයසින් ඒ වගේ දේවල් කරන්න පෙලඹෙනවා අඩුයි” කියලා එක පොතක තියෙනවා.—Beyond the Big Talk.

හොඳ ආදර්ශයක් තියන්න. ඔයා දරුවාට උගන්වන ප්‍රතිපත්ති මුලින් ඔයා පිළිපදින්න ඕනේ. එහෙම නැතුව ඔයා අසභ්‍ය විහිළුවලට කැමති නම්, අවිනීතව අඳිනවා නම්, නුසුදුසු ආලවන්ත හැඟීම් පානවා නම් ඔයා දරුවාට දෙන්නේ වැරදි පණිවිඩයක්.—බයිබල් ප්‍රතිපත්තිය: රෝම 2:21.

හොඳ පැත්ත පෙන්වන්න. විවාහ වුණු යුවළක් ලිංගික සම්බන්ධකම් පවත්වලා සතුටක් ලබන එක හොඳ දෙයක්. ඒක ඇත්තටම දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑග්ගක්. (හිතෝපදේශ 5:18, 19) විවාහ වුණු දවසක ඔයාගේ දරුවාටත් ඒ තෑග්ගෙන් සතුටක් ලබන්න පුළුවන් කියලා කියන්න.—1 තිමෝති 1:18, 19.