යොහන් 1:1-51

1  බොහෝ කලකට ඉහතදී එනම්, අන් සියල්ල සෑදීමට පෙර*+ ‘වචනය’* නමැති තැනැත්තා+ සිටියේය. ඔහු සිටියේ දෙවි සමඟය.+ ‘වචනය’ නමැති එම තැනැත්තා දෙවිට සමානකමක් ඇති බලවත් කෙනෙකි.*+  සියල්ල සාදන විට+ ඔහු සිටියේ දෙවි සමඟය.+  දෙවි සෑම දෙයක්ම සෑදුවේ ඔහු මාර්ගයෙන්ය.+ ඔහු නොමැතිව කිසිම දෙයක් සාදනු ලැබුවේ නැත. ඔහු මාර්ගයෙන් සෑදූ ඒ සෑම දෙයකටම,  ජීවනය ලබා දුන්නෙත් ඔහුමය.+ මිනිසුන්ගේ අඳුරු ජීවිතයට ආලෝකය ලැබුණෙත් ඔහුගේ ජීවිතය මගිනි.+  ඒ ආලෝකය අන්ධකාරයෙහි දිගටම බැබළෙයි.+ එහෙයින් එම ආලෝකය වෙළාගෙන එය නිවා දැමීමට අන්ධකාරයට හැකියාවක් නැත.  යොහන් නම් මිනිසෙක් සිටියේය.+ ඔහුව දෙවි විසින් එවනු ලැබුවේ දෙවි වෙනුවෙන් කතා කිරීමටය.+  ඔහු පැමිණ ආලෝකය ගැන+ සාක්ෂි දැරුවේය.+ ඔහු එසේ කළේ සියලු ආකාරයේ මිනිසුන් තුළ විශ්වාසයක් ඇති කිරීමටය.+  නමුත් ඒ ආලෝකය ඔහු නොවෙයි.+ ඔහුව එවා තිබුණේ ඒ ආලෝකය ගැන සාක්ෂි දැරීමට පමණි.+  සියලු ආකාරයේ මිනිසුන්ව+ ආලෝකවත් කරන+ ඒ සැබෑ ආලෝකය+ ලොවට පැමිණිය යුතු කාලය ළඟා විය. 10  එහෙයින් ඔහු* මේ ලෝකයට පැමිණියේය.+ ඔහු මාර්ගයෙන් මුළු ලෝකයම සාදා තිබුණත්+ එහි වෙසෙන ජනයා ඔහුව හඳුනාගත්තේ නැත. 11  ඔහු තමාගේම දේශයට ගියත් එහි ජනතාව ඔහුව පිළිගත්තේ නැත.+ 12  නමුත් ඇතැම් අය ඔහුව පිළිගෙන+ ඔහු කෙරෙහි තම විශ්වාසය තැබූ නිසා+ දෙවිගේ දරුවන් වීමේ අයිතිය ඔහු ඔවුන්ට ලබා දුන්නේය.+ 13  එහෙයින් ඒ අය දෙවිගේ දරුවන් ලෙස උපන්නෝය. එය සිදු වූයේ ඔවුන්ගේ පෙළපත නිසාවත් ඔවුන්ගේ දෙමාපියන් නිසාවත් ඔවුන්ගේ සිතේ පහළ වූ යම් අදහසක් නිසාවත් නොව දෙවි ඔවුන්ව තෝරාගත් නිසාය.+ 14  ‘වචනය’ නමැති එම තැනැත්තා මිනිසෙක් වී+ අප අතරේ ජීවත් විය. එසේ ජීවත් වෙද්දී ඔහුගේ තේජස දැකගැනීමට අපට හැකි විය. අප දුටු ඒ තේජස එකම පුතෙකු*+ තම පියාගෙන් ලබන තේජසට සමානය. ඒ නිසා ඔහු මහත් කරුණාවෙන් පිරී සිටි අතර නිතරම සත්‍යය කතා කළේය.+ 15  (ඔහු ගැන ඉතා ප්‍රබල සාක්ෂියක් දැරූ තැනැත්තා යොහන්ය. “මට පසුව එන තැනැත්තා මට කලින් සිටි නිසා ඔහු මට වඩා ශ්‍රේෂ්ඨයි” කියා ඇත්තටම පැවසුවේ යොහන්ය.)+ 16  අප සියලුදෙනාටම ඔහුගෙන් නොඅඩුව+ මහත් කරුණාව ලැබිණ. මන්ද ඔහු මහත් කරුණාවෙන් පිරී සිටින්නේය.+ 17  නීතිය දෙනු ලැබුවේ මෝසෙස් මාර්ගයෙනි.+ නමුත් මහත් කරුණාව+ සහ සත්‍යය+ ලැබුණේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙනි. 18  කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+ 19  යුදෙව්වරුන්ගේ නායකයන් යෙරුසලමේ සිටි පූජකයන්ව සහ ලෙවීවරුන්ව යොහන් වෙතට යවා, “ඔබ කවුද” කියා ඔහුගෙන් ඇසූ විට+ ඔහු දුන් සාක්ෂිය මෙයයි. 20  “මම ක්‍රිස්තුස් නොවෙයි” කියා ඔහු නොසඟවාම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.+ 21  එවිට ඔවුහු, “එහෙමනම් ඔබ කවුද? ඔබ එලියාද”+ කියා ඔහුගෙන් ඇසූහ. එවිට ඔහු, “මම එලියා නොවෙයි” කියා පිළිතුරු දුන්නේය. “එන්න සිටින අනාගතවක්තෘවරයා ඔබද”+ කියාත් ඔවුහු ඇසුවෝය. එයටත් ඔහු, “නැහැ” කියා පිළිතුරු දුන්නේය. 22  එහෙයින් ඔවුහු, “එහෙමනම් ඔබ කවුද? අපව එවූ අයට අප පිළිතුරක් දිය යුතුයි. ඔබ ගැන ඔබට කියන්න තිබෙන්නේ මොනවාද”+ කියා ඔහුගෙන් ඇසූහ. 23  ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “අනාගතවක්තෘ යෙසායා පැවසූ දේ ඔබට මතකද? ඔහු කිව්වේ, ‘යෙහෝවා දෙවිගේ මඟ සමතලා කරන්න’ කියා යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය කියායි. ඒ තැනැත්තා මමයි.”+ 24  යොහන් වෙතට එවූ ඒ අය පරිසිවරුන්ය.* 25  ඔවුහුද, “ඔබ ක්‍රිස්තුස්වත් එලියාවත් එන්න සිටින අනාගතවක්තෘවරයාවත් නොවෙයි නම් ඇයි ඔබ මිනිසුන්ව බව්තීස්ම කරන්නේ”+ කියා ඔහුගෙන් ඇසූහ. 26  යොහන් මෙසේ පැවසුවේය. “මම බව්තීස්ම කරන්නේ වතුරෙන්. නමුත් ඔබ තවමත් හඳුනාගෙන නැති+ කෙනෙක් ඔබ අතරෙහිම+ සිටිනවා. 27  මට පසුව එන තැනැත්තා ඔහුයි. මම ඔහුගේ පාවහන්වල පටි ගලවන්න තරම්වත් සුදුසු කෙනෙක් නොවෙයි.”+ 28  ඒ දේවල් සිදු වූයේ යොහන් මිනිසුන්ව බව්තීස්ම කරමින් සිටි යොර්දාන් ගඟෙන්+ එගොඩ පිහිටි බෙතානිය නම් නුවරෙහිය. 29  ඊළඟ දින තමා ළඟට යේසුස් එනවා දුටු යොහන් මෙසේ කීවේය. “බලන්න, මේ සිටින්නේ ලෝකයෙන්+ පාපය නැති කර දමන+ දෙවිගේ බැටළු පැටවායි!+ 30  මට පසුව එන තැනැත්තෙක් ගැන මම කිව්වා ඔබට මතක ඇති. ඔහු මට කලින් සිටි නිසා+ ඔහු මට වඩා ශ්‍රේෂ්ඨයි කියාත් මම පැවසුවා. මා පැවසුවේ මේ තැනැත්තා ගැනයි. 31  මේ වන තුරු මමත් ඔහුව හඳුනාගෙන සිටියේ නැහැ. නමුත් මම මිනිසුන්ව වතුරෙන් බව්තීස්ම කළේ ඔහු ගැන ඊශ්‍රායෙලය පුරාම ප්‍රසිද්ධ කිරීමටයි.”+ 32  එවිට යොහන් ඒ සම්බන්ධයෙන් තමන්ට ලැබුණු සාක්ෂි ගැන මෙසේ කීවේය. “දෙවිගේ බලය පරෙවියෙක් වගේ ස්වර්ගයෙන් බැස ඇවිත් ඔහුට ලැබුණු ආකාරය මම දැක්කා.+ 33  මමත් ඔහුව හඳුනාගෙන සිටියේ නැහැ. නමුත් මිනිසුන්ව වතුරෙන් බව්තීස්ම කිරීමට මාව එවූ තැනැත්තා+ මට මෙහෙම කිව්වා. ‘යම් කෙනෙකුට මගේ බලය ලැබෙනවා ඔබ දැක්කොත් මගේ බලයෙන් අන් අයව බව්තීස්ම කරන්නේ එම තැනැත්තා බව මතක තබාගන්න.’+ 34  ඒ දේ සිදු වෙනවා මම දැක්කා. ඒ නිසා මේ තැනැත්තා දෙවිගේ පුත්‍රයා බවට මම සාක්ෂි දෙනවා.”+ 35  ඊළඟ දින යොහන් තම ගෝලයන් දෙදෙනෙකු සමඟ සිටියදී, 36  යේසුස් ඔවුන් අසලින් යනවා දැක, “මේ සිටින්නේ දෙවිගේ බැටළු පැටවායි”+ කියා කීවේය. 37  එම ගෝලයන් දෙදෙනා ඔහු කී දේ අසා යේසුස් පසුපස ගියහ. 38  යේසුස් හැරී ඔවුන් තමන් පසුපස එනවා දැක, “ඔබට මොනවද ඕනේ” කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහුද, “රබ්බි, ඔබ නැවතී සිටින්නේ කොහේද” කියා ඔහුගෙන් ඇසූහ. (රබ්බි යන වචනයේ අර්ථය ගුරුතුමාය.) 39  එවිට ඔහු, “ඇවිත් බලන්න”+ කියා ඔවුන්ට කීවේය. එහෙයින් ඔවුහු ගොස් ඔහු නැවතී සිටින තැනට පැමිණියෝය. ඔවුන් එතැනට පැමිණියේ දහවෙනි පැයේදී* පමණය. ඔවුන් එදින ගත කළේ ඔහු සමඟය. 40  යොහන් කී දේ අසා යේසුස් පසුපසින් ගිය දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් වූයේ සීමොන් පේතෘස්ගේ සහෝදරයා වූ අන්දෘය.+ 41  ඔහු මුලින්ම තම සහෝදරයා වූ සීමොන් ළඟට ගොස්, “අපට මෙසියස්ව හමු වුණා”+ කියා පැවසුවේය. (මෙසියස් යන වචනයේ අර්ථය ක්‍රිස්තුස්ය.)+ 42  අන්දෘ සීමොන්ව යේසුස් ළඟට ගෙන ගියේය. යේසුස් ඔහු දෙස බලා+ මෙසේ පැවසුවේය. “ඔබ යොහන්ගේ පුත්+ සීමොන්+ නේද? මෙතැන් පටන් ඔබව හඳුන්වන්නේ සීෆස් කියායි.” (ග්‍රීක බසින් සීෆස් යනු පේතෘස්ය.)+ 43  ඊළඟ දින යේසුස් ගලීලය බලා ගමන් කිරීමට අදහස් කළේය. මේ අතර ඔහුට ෆිලිප්ව+ මුණගැසුණු විට “මගේ අනුගාමිකයෙක් වන්න”+ කියා ඔහුට කීවේය. 44  ෆිලිප් යනු අන්දෘ සහ පේතෘස් වාසය කළ බෙත්සයිදා නුවරේ+ වැසියෙකි. 45  ෆිලිප් නතානියෙල්ව+ හමු වී, “අපිට නාසරෙත් නුවරින් පැමිණි යේසුස් නම් කෙනෙක්ව හමු වුණා. ඔහුගේ පියා යෝසෙප්.+ මෝසෙස්ට දෙන ලද නීතියෙත්+ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත්+ සඳහන් තැනැත්තා ඔහුයි” කියා කීවේය. 46  නමුත් නතානියෙල්, “නාසරෙත් නුවරින් කොහොමද යහපත් කෙනෙක් එන්නේ”+ කියා පැවසුවේය. එවිට ෆිලිප්, “ඔබම ඇවිත් බලන්න” කියා ඔහුට කීවේය. 47  නතානියෙල් තමා ළඟට එනවා දුටු යේසුස්, “මෙන්න, සැබෑ ඊශ්‍රායෙල් ජාතිකයෙක්. ඔහු තුළ කිසි වංචාවක් නැහැ” කියා පැවසුවේය.+ 48  එවිට නතානියෙල්, “ඔබ කොහොමද මා ගැන දන්නේ” කියා ඔහුගෙන් ඇසුවේය. යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “ෆිලිප් ඔබට අඬගසන්නත් කලින් මම ඔබව දැක්කා. ඔබ සිටියේ අත්තික්කා ගසක් ළඟයි.” 49  එවිට නතානියෙල්, “ගුරුතුමනි, දෙවිගේ පුත්‍රයා ඔබයි.+ ඊශ්‍රායෙල්හි රජ+ ඔබයි.” කියා පැවසුවේය. 50  යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ මාව විශ්වාස කරන්නේ ඔබ අත්තික්කා ගසක් ළඟ සිටිනවා මා දුටු බව පැවසූ නිසාද? නමුත් ඊටත් වඩා ශ්‍රේෂ්ඨ දේවල් දකින්න ඔබට හැකි වෙයි.” 51  ඔහු මෙසේද කීවේය. “ඇත්තෙන්ම මම ඔබ සියලුදෙනාටම කියන්නේ, ස්වර්ගය විවෘත වී, එයින් දෙවිගේ දූතයන් ඇවිත්+ මනුෂ්‍ය පුත්‍රයා ළඟට බැස එන ආකාරයත් නැවතත් ඔවුන් ස්වර්ගයට නැඟ යන ආකාරයත් දැකගන්න ඔබට හැකි වන බවයි.”+

පාදසටහන්

මූ.අ., “පටන්ගැන්මේදී.”
මෙහිදී, ‘වචනය’ යන්න යේසුස්ට පදවි නාමයක් ලෙස භාවිත කෙරේ. ඔහුව එලෙස හඳුන්වන්නේ දෙවිගේ වචනය හෙවත් පණිවිඩය ප්‍රකාශ කරන ප්‍රධානතම තැනැත්තා ඔහු වන නිසාය.—යොහ 1:14එළි 19:13ද බලන්න.
උපග්‍ර. 5 බලන්න.
එනම්, “වචනය” නමැති තැනැත්තා.
එනම්, දෙවි විසින් සෑදූ එකම පුත්‍රයා.
යේසුස්ගේ කාලයේ සිටි ප්‍රසිද්ධ ආගමික නායකයන් පිරිසකි.
එනම්, ප.ව. 4ට පමණ.