Skip to content

පටුනට යන්න

සභාවේ යෞවන දරුවන් මාත් එක්ක හරි එකතුයි

ජීවිත වෙනස් කළ පොතක්

බේස්බෝල් තමයි මගේ ජීවිතේ අංක එක වෙලා තිබුණේ

බේස්බෝල් තමයි මගේ ජීවිතේ අංක එක වෙලා තිබුණේ
  • ඉපදුණ අවුරුද්ද: 1928

  • රට: කොස්ටාරිකා

  • අතීතයේදී: ක්‍රීඩාවයි සූදුවයි ජීවිතය කරගත් කෙනෙක්

මගේ අතීතය

මං ඉපදුණේ කොස්ටාරිකාවේ පුවෙර්තෝ ලිමොන්වල. මට සහෝදරයෝ දෙන්නෙකුයි, සහෝදරියන් පස්දෙනෙකුයි හිටියා. තාත්තා නැති වෙද්දී මට අවුරුදු අටයි. අපිව බලාගත්තේ අම්මා.

පොඩි කාලේ ඉඳන්ම මට බේස්බෝල් කිව්වොත් අයේ වෙන දෙයක් නැහැ. ඒක එල්ලේ වගේ ක්‍රීඩාවක්. යෞවන කාලේ මම ආධුනික බේස්බෝල් කණ්ඩායමක සෙල්ලම් කළා. පස්සේ නිකරගුවාවල ප්‍රධාන පෙළේ බේස්බෝල් කණ්ඩායමක සෙල්ලම් කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඒත් ඒ කාලේ අම්මා අසනීපෙන් හිටපු නිසා මං ගියේ නැහැ. ඒත් පස්සේ ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න ආරාධනයක් ලැබුණාම මං එකපයින් කැමති වුණා. මං 1949 ඉඳන් 1952 වෙන කල් ජාතික කණ්ඩායමට සෙල්ලම් කළා. ඒ කාලේ අපි කියුබාවේ, මෙක්සිකෝවේ, නිකරගුවාවේ බේස්බෝල් තරඟවලට සහභාගි වුණා. බේස්බෝල් ක්‍රීඩාවේ කට්ටි රකින කෙනෙක් විදිහටයි මම සෙල්ලම් කළේ. මට ලේසියෙන් බෝලේ මිස් වෙන්නේ නැහැ. එක පාරක් මම තරඟ 17ක් එක දිගට සෙල්ලම් කළා අවුට් එකක්වත් මිස් කරන්නේ නැතුව. තරඟය වෙලාවේ සෙනඟ මගේ නම කියලා කෑගහද්දී පුදුම සතුටක් දැනුණේ.

ඒ මොනා වුණත් මං ගත කළේ හරිම නරක ජීවිතයක්. මට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් හිටියත් තව ගැහැනු අය කිහිපදෙනෙක්වම මං කිට්ටුවෙන් ආශ්‍රය කළා. ඒ කාලේ මම සෑහෙන්න බිව්වා. සූදුවටත් ඇබ්බැහි වෙලා හිටියා.

ඔය කාලෙදිම වගේ මගේ අම්මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණා. අම්මා මට බයිබලේ තියෙන දේවල් කියලා දෙන්න හැදුවත් වැඩක් වුණේ නැහැ. මම හිටියේ මගේම බේස්බෝල් ලෝකේ. පුහුණු වීම් කරනකොට මට කන්නවත් මතක් වෙන්නේ නැහැ. බේස්බෝල් තමයි මගේ ජීවිතේ අංක එක වෙලා තිබුණේ.

ඒත් ඒ හැම දේම මොහොතකින් නැති වුණා. එතකොට මට අවුරුදු 29යි. තරඟයක් වෙලාවේ මම අනතුරකට මුහුණ දුන්නා. ඒකෙන් පස්සේ මං බේස්බෝල් සෙල්ලම් කරන එක නවත්තලා පුහුණු කරන්නෙක් වුණා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි

1957 සාක්ෂිකරුවන්ගේ සමුළුවකට මට ආරාධනාවක් ලැබුණා. ඒක තිබුණේ මං බේස්බොල් සෙල්ලම් කරපු ක්‍රීඩාංගණයක. තරඟයක් වෙලාවෙදි නම් මිනිස්සු කෑගගහා එතැන දෙවනත් කරනවා. ඒත් සාක්ෂිකරුවන් හරිම වෙනස්. එයාලාගේ හොඳ හැසිරීම මගේ හිතට වැදුණා. ඒකෙන් පස්සේ මං බයිබල් පාඩමක් කරන්න පටන්ගත්තා. රැස්වීම්වලටත් ගියා.

බයිබලයෙන් මං ගොඩක් දේවල් ඉගෙනගත්තා. අන්තිම කාලේ යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් ශුභාරංචිය ලෝකේ පුරාම දේශනා කරනවා කියලා යේසුස් කියපු අනාවැකිය මම දැනගත්තා. (මතෙව් 24:14) සැබෑ ක්‍රිස්තියානීන් සේවය කරන්න ඕනෙ කිසිම මුදලක් බලාපොරොත්තුවෙන් නෙමෙයි කියලත් මම දැනගත්තා. මොකද යේසුස් කියලා තියෙන්නේ ‘ඔබට ලැබුණේ නොමිලේ නිසා නොමිලේම දෙන්න’ කියලයි.—මතෙව් 10:8.

සාක්ෂිකරුවන් ඒ හැම දෙයක්ම පිළිපදිනවා. එයාලා ශුභාරංචිය ලෝකේ පුරාම දේශනා කරන්න ලොකු වෑයමක් ගන්නවා. තමන්ටම කිසිම දෙයක් ලබාගන්න උත්සාහ කරන්නේ නැතුව ත්‍යාගශීලීව වැඩ කරනවා. ඒ දේවල් නිසා “මගේ අනුගාමිකයෙක් වෙන්න” කියලා මාක් 10:21 සඳහන් යේසුස්ගේ ආරාධනාව පිළි අරන් මමත් සාක්ෂිකරුවෙක් වෙන්න තීරණය කළා.

ඒත් මට ගොඩක් දේවල් වෙනස් කරගන්න වුණා. ඒ කාලේ මම පුරුදු වෙලා හිටියා ලොතරැයි ගන්න. මෙහේ අපිට ඕන අංක දාලා ලොතරැයි ගන්න පුළුවන්. ඒ නිසා වාසනාව ගේනවා කියලා හිතපු එකම අංකය දාලා මං අවුරුදු ගාණක් තිස්සේ ලොතරැයි ගත්තා. පස්සේ මම බයිබලයෙන් ඉගෙනගත්තා “වාසනාවේ දෙවියන්ගේ” පිහිට පතන අයටත් මුදල්වලට කෑදර අයටත් දෙවියන් කැමති නැහැ කියලා. (යෙසායා 65:11; කොලොස්සි 3:5) ඒ නිසා එක දවසක් මම තීරණය කළා ලොතරැයි ගන්න එක නවත්තන්න. ඊළඟ දවසේ මං එච්චර කල් ලොතරැයි ගත්ත අංකය තමයි දින්නේ. මගේ යාළුවෝ මට ගොඩක් විහිළු කළා. ආපහු ලොතරැයි ගන්න කියලා එයාලා මට බල කළා. ඒත් මං වෙනස් වුණේ නැහැ.

මම මගේ නරක ජීවිතය අතහැරලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා. ඒත් එදාම මගේ “අලුත් පෞද්ගලිකත්වයට” තර්ජනයක් එල්ල වුණා. (එෆීස 4:24) එදා හවස මං නැවතිලා හිටපු හෝටලයට ගිය වෙලාවේ මගේ කලින් ගර්ල් ෆ්රෙන්ඩ් දොර ළඟ හිටන් ඉන්නවා මං දැක්කා. මං එතනට ගියාම “අපි ටිකක් විනෝද වෙමු” කියලා එයා කිව්වා. ඒත් මං තදින්ම එයාට “බැහැ” කියලා කිව්වා. මං දැන් වෙනස් කියලත් බයිබලයේ තියෙන දේවලට එකඟව ජීවත් වෙන කෙනෙක් කියලත් කිව්වා. (1 කොරින්ති 6:18) බයිබලයේ කියලා තියෙන දේවල් එච්චර හිතට ගන්න ඕනෙ නැහැ කියන එකයි එයාගේ අදහස වුණේ. එයා හැදුවේ මාත් එක්ක ආයෙත් සම්බන්ධය පටන්ගන්න. ඒත් මං මගේ කාමරේ ඇතුළට ගිහින් දොර වහගත්තා. ඒක වුණේ 1958. එදා ඉඳන් මං මගේ පරණ ජීවිතයට යනවා තියා ඒ ගැන හිතුවෙවත් නැහැ. මම ඇත්තටම වෙනස් වුණා.

මං දැන් අද්දකින ආශීර්වාද

බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසා මට දැන් දෙවියන්ට ආදරේ කරන හොඳ යාළුවෝ ඉන්නවා. කලින් කොච්චර දේවල් තිබුණත් ලැබුණේ නැති සතුට දැන් මට තියෙනවා.

ප්‍රසිද්ධිය, සල්ලි කොච්චර ලැබුණත් ඒවා තාවකාලිකයි. ඒත් දෙවි අපිට පෙන්වන ආදරය සහ සහෝදරයන් අතර තියෙන බැඳීම කවදාවත් නැති වෙන්නේ නැහැ. බයිබලයේ මෙහෙම කියනවා. “මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යන්නේය. නමුත් සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය.” (1 යොහන් 2:17) තාමත් මං බේස්බෝල්වලට කැමතියි. ඒත් ඒක මගේ ජීවිතේ අංක එක නෙමෙයි. යෙහෝවා දෙවිටයි, සහෝදරයන්ටයි කිට්ටු වෙලා ඉන්න එක තරම් තවත් දෙයක් දැන් මට නැහැ.