Skip to content

පටුනට යන්න

තබීතායි මායි දේශනා සේවයේ යමින්

ජීවිත වෙනස් කළ පොතක්

දෙවි කෙනෙක් ඉන්නවා කියලා මං විශ්වාස කළේ නැහැ

දෙවි කෙනෙක් ඉන්නවා කියලා මං විශ්වාස කළේ නැහැ
  • ඉපදුණ අවුරුද්ද: 1974

  • රට: ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව

  • අතීතයේදී: දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැති කෙනෙක්

මගේ අතීතය

මං ඉපදුණේ නැඟෙනහිර ජර්මනියේ සැක්සන්වල. මං පොඩි කාලේ ඉඳලාම මගේ දෙමාපියන් සදාචාරසම්පන්න ජීවිතයක් ගත කරන්න මට කියලා දුන්නා. ඒ කාලේ නැඟෙනහිර ජර්මනිය හැඳින්නුවේ ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව කියලා. එහේ තිබුණේ කොමියුනිස්ට් පාලනයක් නිසා අපේ ගමේ හුඟක් අය ආගමක් අදහන්න එච්චර උනන්දු වුණේ නැහැ. මං නම් දෙවි කෙනෙක් ඉන්නවා කියලවත් විශ්වාස කළේ නැහැ. අවුරුදු 18ක් යන කල්ම මං ජීවත් වුණේ දෙවි කෙනෙක් නැහැ කියන මතයත් කොමියුනිස්ට්වාදයත් පෙරදැරිකරගෙන.

හැම කෙනෙක්ම එක හා සමානයි කියන කොමියුනිස්ට් අදහසට මං හුඟක් කැමති වුණා. අද ලෝකේ ටිකදෙනෙක් අසීමිත ධනයකට හිමිකම් කියද්දී තවත් පිරිසක් දුප්පත්කමින් පෙළෙනවා. ඉතින් හැම දේපළක්ම හැමෝම අතරේ සමානව බෙදෙන්න ඕනෙ කියලා කොමියුනිස්ට්වාදීන් කියන දේත් මගේ හිත්ගත්තා. මං කොමියුනිස්ට් තරුණ සංවිධානයක බැහැලා වැඩ කළා. මට අවුරුදු 14දී මං වැඩි කාලයක් යෙදෙව්වේ කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරන ව්‍යාපෘතියක. ආවූ කියන නගරයේ බලධාරීන් මගේ සේවය අගය කළා. තරුණ වයසේදීම ප්‍රසිද්ධ දේශපාලඥයන් කීපදෙනෙක්වත් අඳුනගන්න මට පුළුවන් වුණා. මං යන්නේ හරි පාරේ කියලත් මගේ අනාගතේ හොඳ එකක් වෙයි කියලත් මට හිතුණා.

ඒත් 1989දී ඒක වෙනස් වුණා. බර්ලින් තාප්පයත් නැඟෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් පාලනයත් බිඳ වැටුණේ ඒ අවුරුද්දේදීයි. ඒක මට අදහාගන්න බැරි වුණා. ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවෙත් අයුක්තිය, අසාධාරණය තිබිලා තියෙනවා. කොමියුනිස්ට්වාදයට සහාය දුන්නේ නැති අයව සලකලා තිබුණේ රටේ දෙවෙනි පෙළ පුරවැසියන් විදිහට. එහෙම වෙන්නේ කොහොමද? හැමෝම එක සමානයි කියලානේ කොමියුනිස්ට්වාදීන් කියන්නේ. ඒක මගේ හිතට ලොකු බරක් වුණා.

ඒ නිසා සංගීතයටයි, චිත්‍ර කලාවටයි හිත යොදවන්න ඕනෙ කියලා මට හිතුණා. ඉහළටම ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට යන අදහසින් මං සංගීතය උගන්වන පාසලකට ගියා. ඔය අතරේ මං සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන්න පටන්ගත්තා. මං එකපාර පෙම්වතියන් කීපදෙනෙක්වම ඇසුරු කළා. ඒත් ඒ කිසිම දේකින් මගේ හිතේ තිබුණු බර සැහැල්ලු කරන්න පුළුවන් වුණේ නැහැ. මේ ජීවිතයේ තේරුම මොකක්ද කියලා මං හිතන්න පටන්ගත්තා. අනාගතේ ගැන මගේ හිතේ තිබුණේ ලොකු බයක්. ඒ බය මං ඇදපු සමහර චිත්‍රවලත් දකින්න ලැබුණා.

දවසක් මං සංගීතය ඉගෙනගත්ත පාසලේ හිටිය කට්ටියක් එක්ක අනාගතේ ගැන කතා කර කර හිටියා. ඒ අතරේ හිටිය මැන්ඩි * යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. එයා මට කිව්වා “බයිබලේ ඉගෙනගත්තොත් ජීවිතේ ගැනත් අනාගතේ ගැනත් තියෙන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන්” කියලා.

මුලින් මට ඒ ගැන සැකයක් ඇති වුණත් පස්සේ ඇති වුණු කුතුහලය නිසා ඒ ගැන හොයන්න පටන්ගත්තා. මැන්ඩි මට කිව්වා දානියෙල් 2වෙනි පරිච්ඡේදය කියවන්න කියලා. ලෝක අධිරාජ්‍යයන් ගැන එතන තිබුණු විස්තරය දැකලා මං පුදුම වුණා. අනාගතේ ගැන බයිබලයේ තියෙන තවත් අනාවැකි කීපයක්ම මැන්ඩි මට පෙන්නුවා. කාටද මෙච්චර නිවැරදිව අනාවැකි කියන්න පුළුවන්? ඒ කියන්නේ ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවාද? ඒ ප්‍රශ්න ගැන මං හිතන්න පටන්ගත්තා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි

ටික දවසකින් මැන්ඩි මට සාක්ෂිකාර යුවළක්ව මුණගැස්සුවා. බයිබලයේ තියෙන දේවල් මට ඉගැන්නුවේ එයාලා. දෙවියන්ගේ නම පාවිච්චි කරන්නෙත් ඒ නම ගැන අනිත් අයට කියන්නෙත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි. (ගීතාවලිය 83:18; මතෙව් 6:9) යෙහෝවා දෙවියන් මිනිසුන්ට පාරාදීස පොළොවක සදාකාල ජීවිතයක් දෙන්න බලාගෙන ඉන්නවා කියලා මං ඉගෙනගත්තා. ගීතාවලිය 37:9 ඒ ගැන කියන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්නෝ පොළොව උරුම කරගන්නෝය.” බයිබලයේ තියෙන ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන හැමෝටම ඒ ලස්සන ජීවිතය ලබාගන්න පුළුවන් කියලා දැනගත්තාම මගේ හිත ඒකට ඇදිලා ගියා.

ඒත් මගේ ජීවිතය වෙනස් කරගන්න එක ලේසි වුණේ නැහැ. සංගීතය පැත්තෙනුත් චිත්‍ර කලාව පැත්තෙනුත් මං ඉහළට ගිහින් තිබුණු නිසා මං වැඩ කළේ ටිකක් උඩඟු විදිහට. මුලින්ම නිහතමානි වෙන්න මට ඉගෙනගන්න වුණා. මං ගත කරපු සෙල්ලක්කාර ජීවිතය වෙනස් කරගන්නත් ලේසි වුණේ නැහැ. බයිබලයේ කියලා තියෙන විදිහට ජීවිතය වෙනස් කරගන්න උත්සාහ කරන අය හරි පාරට එන කල් යෙහෝවා දෙවියන් කොච්චර ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවාද කියලා මං අද්දැක්කා. ඒ ගැන ඔහුට කොච්චර ස්තුති කළත් මදි.

මගේ ජීවිතයේ මුල් අවුරුදු 18 ගෙවුණේ කොමියුනිස්ට්වාදියෙක්, දෙවි කෙනෙක් ගැන විශ්වාස කළේ නැති කෙනෙක් විදිහට. ඒත් බයිබලය මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා. අනාගතය ගැන ලස්සන බලාපොරොත්තුවක් ලැබුණා. 1993දී මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා. මගේ බිරිඳ තබීතා එක්ක මං විවාහ වුණේ 2000දීයි. එදා ඉඳන් අපි දෙන්නා තව අයටත් බයිබලයේ තියෙන දේවල් ගැන කියලා දෙනවා. අපිට හුඟක් වෙලාවට හම්බ වුණේ කොමියුනිස්ට්වාදීන්ව. යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගන්න එයාලට උදව් කරන්න ලැබෙද්දී මට දැනෙන්නේ පුදුම සතුටක්.

මං දැන් අද්දකින ආශීර්වාද

මං සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරනවාට මුලින් මගේ දෙමාපියන් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒත් ඒ ආශ්‍රය නිසා මගේ ජීවිතය කොයි තරම් වෙනස් වුණාද කියලා එයාලා දැක්කා. දැන් එයාලත් බයිබලය කියවනවා. සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලටත් එනවා. ඒක මට ලොකු සතුටක්.

විවාහක යුවළයන්ට බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න නිසා මායි තබීතායි ඉන්නේ හරිම සතුටින්. උදාහරණෙකට යුවළක් එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න ඕනෙ කියලා තියෙන මඟ පෙන්වීම නිසා අපේ විවාහ බැඳීම දිගටම ශක්තිමත් වෙනවා.—හෙබ්‍රෙව් 13:4.

මට දැන් මගේ ජීවිතේ ගැනවත් අනාගතේ ගැනවත් බයක් නැහැ. ලෝකේ පුරාම ඉන්න ආදරයෙන් බැඳුණු එක්සත් පවුලක සාමාජිකයෙක් වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ පවුලේ හැමෝම එකිනෙකාට සලකන්නේ එක සමාන විදිහට. ඒ දේ දකින්න තමයි පුංචි කාලේ ඉඳන්ම මං ආසාවෙන් හිටියේ.

^ 12 ඡේ. නම වෙනස් කර ඇත.