Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

කිහිප සැරයක්ම වැටිලයි මං නැඟිට්ටේ

කිහිප සැරයක්ම වැටිලයි මං නැඟිට්ටේ
  • ඉපදුණ අවුරුද්ද: 1953

  • රට: ඕස්ට්‍රේලියාව

  • අතීතයේදී: අසභ්‍ය දර්ශන බලන්න ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්

මගේ අතීතය:

1949දී මගේ තාත්තා රස්සාවක් හොයාගෙන ජර්මනියේ ඉඳන් ඕස්ට්‍රේලියාවට ආවා. එයා පදිංචි වෙලා තියෙන්නේ වික්ටෝරියාවල. ඒක ගම්බද පළාතක්. එහෙදී තමයි තාත්තා මගේ අම්මාව විවාහ කරගත්තේ. මං ඉපදුණේ 1953දී.

අවුරුදු කීපයකට පස්සේ අම්මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න පටන්ගත්තා. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම බයිබලේ තියෙන දේවල් මට මතක තිබුණා. හැබැයි තාත්තා නම් කිසිම ආගමකට කැමති නැහැ. එයා එන්න එන්නම දරුණු වුණා. අම්මා හිටියේ ලොකු බයකින්. ඒත් තාත්තාට හොරෙන් අම්මා දිගටම බයිබලේ තියෙන දේවල් ඉගෙනගත්ත නිසා ඒ දේවල් ගැන අම්මාගේ හිතේ තිබුණු අගය තවත් වැඩි වුණා. තාත්තා නැති වෙලාවට අම්මා ඒ දේවල් ගැන මටයි නංගිටයි කියලා දුන්නා. අනාගතයේදී ලැබෙන පාරාදීසය ගැනත් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වුණොත් මොන තරම් සතුටක් අද්දකින්න පුළුවන්ද කියලත් අම්මා අපිට කිව්වා.—ගීතාවලිය 37:10, 29; යෙසායා 48:17.

තාත්තා දිගටම දරුණු විදිහට හැසිරුණු නිසා අවුරුදු 18දී මං ගෙදරින් ගියා. අම්මා බයිබලෙන් උගන්වපු දේවල් මං විශ්වාස කළත් මට ලොකු අගයක් තිබුණේ නැති නිසා මං ඒවා අදාළ කරගත්තේ නෑ. මං ගල් අඟුරු පතලක විදුලි කාර්මිකයෙක් විදිහට වැඩට ගියා. අවුරුදු 20දී මං විවාහ වුණා. අපේ දුව ඉපදුණේ අවුරුදු 3කට පස්සේ. මට වැඩියෙන්ම වටින්නේ මොනවද කියලා මං ආයෙත් කල්පනා කළා. මං දැනගෙන හිටියා පවුලේ අයත් එක්ක හොඳින් ඉන්න බයිබලේ තියෙන දේවල් උදව් වෙයි කියලා. ඒ නිසා මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් එක්ක බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න පටන්ගත්තා. ඒත් බිරිඳ නම් ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. දවසක් මං සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගියාම එයා කිව්වා පවුල හරි බයිබල් පාඩම හරි දෙකෙන් එකක් තෝරගන්න කියලා. ඒ වෙලේ කරන්න දෙයක් තිබුණේ නැති නිසා මං බයිබල් පාඩම නතර කළා. හරි දේ දැනගෙනත් ඒක කරපු නැති එක ගැන පස්සේ මං හුඟක් දුක් වුණා.

දවසක් මාත් එක්ක වැඩ කරපු අය මට අසභ්‍ය පින්තූර පෙන්නුවා. ඒකට ආසාවක් ඇති වුණත් ලොකු පිළිකුලකුත් දැනුණා. මං ලොකු වරදක් කළා කියලා මට හිතුණා. ඒ වෙලේ බයිබලේ තියෙන දේවල් මතක් වුණ නිසා මට හිතුණා දෙවියන් අනිවාර්යයෙන්ම මට දඬුවම් කරයි කියලා. ඒත් නිතරම අසභ්‍ය දර්ශන දැකපු නිසා මං හිතපු විදිහ වෙනස් වුණා. දන්නෙම නැතුව ඒවාට ඇබ්බැහි වුණා.

බයිබලෙන් අම්මා මට උගන්නපු කිසිම දෙයක් ඊළඟට ගෙවුණු අවුරුදු 20 පුරාම මං කළේ නෑ. මගේ හිතේ තියෙන්නේ මොනවද කියලා මං කරපු දේවලින් පෙනුණා. මං හුඟක් කුණුහරුප කිව්වා. මං ආස කළේ අසභ්‍ය විහිළුවලට. ලිංගිකත්වය ගැන මට තිබුණේ විකෘති අදහස්. ඒ නිසා වෙන ගෑණු එක්කත් ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. දවසක් කණ්ණාඩියෙන් මූණ බලද්දී මට මං ගැන පිළිකුලක් දැනුණා. මං කිසි වටිනාකමක් නැති කෙනෙක් කියලයි මට හිතුණේ.

අපේ කසාදෙත් කැඩුණා. මගේ ජීවිතේ නැත්තටම නැති වෙලයි තිබුණේ. ඒ නිසා මගේ හිතේ තියෙන හැම දේම මං යෙහෝවා දෙවිට කිව්වා. අවුරුදු 20කට පස්සේ මං ආයෙත් බයිබල් පාඩම පටන්ගත්තා. ඒ වෙද්දී මගේ තාත්තා ජීවතුන් අතර හිටියේ නැහැ. අම්මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් විදිහට බව්තීස්ම වෙලා හිටියා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

බයිබලේ තියෙන දේවල් නෙමෙයි මං කළේ. ඒත් බයිබලේ කතා කරන මනසේ සාමය ඇති කරගන්න මං අදිටන් කරගත්තා. කුණුහරුප කියන එක, කේන්ති ගන්න එක නවත්තන්න ඕනෙ කියලා මං හිතුවා. ඒ වගේම අනාචාරයේ යෙදෙන එක, සූදු ගහන එක, වෙරි වෙනකල් බොන එක, වැඩ කරපු තැනින් හොරකම් කරන එක වගේ නරක පුරුදුත් අත්හැරලා දාන්න මං තීරණය කළා.

මං ඒ වගේ ලොකු වෙනස්කම් කරන්න හදන්නේ ඇයි කියලා වැඩපොළේ යාළුවන්ට හිතාගන්න බැරි වුණා. මාව හිටපු තත්වෙටම ඇදලා දාන්න එයාලා අවුරුදු 3ක් තිස්සේ උත්සාහ කළා. මගෙන් පොඩි වරදක් වුණොත්, මට කේන්ති ගියොත්, නැත්නම් කුණුහරුපයක් කියවුණොත්, “ආ! පරණ ජෝ ආයෙත් ඇවිල්ලා” කියලා එයාලා කෑගැහුවා. ඒ වගේ වෙලාවට මට දැනුණේ ලොකු දුකක්, කලකිරීමක්.

වැඩපොළේ හැමෝම වගේ අසභ්‍ය දර්ශනවලට ඇබ්බැහි වෙලයි හිටියේ. එයාලා පරිගණකවලින් ඒවා හුවමාරු කරගත්තා. මට ඕන වුණේ ඒ නරක පුරුද්ද නැති කරගන්න. ඒත් එයාලා ඒකට ඉඩ දුන්නේ නෑ. මට බයිබල් පාඩම කරපු කෙනාට මං ඒ ගැන කියද්දී එයා හොඳට අහගෙන ඉඳලා මට උදව් වෙන බයිබල් පද පෙන්නුවා. දිගටම යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලන්න කියලත් එයා මට කිව්වා.—ගීතාවලිය 119:37.

දවසක් මං මාත් එක්ක වැඩ කරන අයට එන්න කියලා ඒ අය අතරේ හිටිය බේබදුකමින් මිදෙන්න හදන දෙන්නෙක්ට බියර් එකක් දෙන්න කියලා එයාලට කිව්වා. එතකොට එයාලා කෑගහලා කිව්වා “එහෙම කරන්න එපා, එයාලා ඒකෙන් මිදෙන්නයි හදන්නේ” කියලා. ඒ වෙලාවේ මං එයාලට කිව්වා “මාත් උත්සාහ කරන්නේ ඒ දේම කරන්න තමයි” කියලා. එදා එයාලා තේරුම්ගත්තා අසභ්‍ය දර්ශන බලන පුරුද්දෙන් මිදෙන්න මං කොච්චර උත්සාහ කරනවද කියලා. ආයෙ කවදාවත් එයාලා මට ඒවා බලන්න කියලා බල කළේ නැහැ.

කාලයක් යද්දී යෙහෝවා දෙවිගේ උදව්වෙන් මං ඒ නරක පුරුද්දෙන් මිදුණා. 1999දී මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා. සතුටින් ජීවත් වෙන්න මට අවස්ථාවක් දුන්න එක ගැන මං යෙහෝවා දෙවිට ගොඩක් ස්තුති කරනවා.

කාලයක් තිස්සේ මං කරපු දේවලට යෙහෝවා දෙවියන් කැමති නැත්තේ ඇයි කියලා දැන් මට තේරෙනවා. දෙවිට ඕනෙ අසභ්‍ය දර්ශන බලන එකේ තියෙන නරක ප්‍රතිඵලවලින් මාව බේරගන්න. හිතෝපදේශ 3:5, 6 කියන මේ දේ මොන තරම් ඇත්තක්ද! “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.” බයිබල් ප්‍රතිපත්ති නිසා මගේ ජීවිතේ ආරක්ෂා වුණා විතරක් නෙමෙයි ජීවිතේ සාර්ථකත් වුණා.—ගීතාවලිය 1:1-3.

මං දැන් අද්දකින ආශීර්වාද:

දැන් මට ආත්ම ගෞරවයක් තියෙනවා. මනසේ සාමයත් අද්දකිනවා. මං දැන් ගත කරන්නේ පවිත්‍ර ජීවිතයක්. යෙහෝවා දෙවියන් මට සමාව දීලා තියෙනවා කියලත් මට උදව් කරනවා කියලත් මට දැනෙනවා. මං වගේම යෙහෝවා දෙවිට හුඟක් ආදරේ කරන කැරෝලන් එක්ක මං 2000දී විවාහ වුණා. අපි දැන් ගෙවන්නේ හරිම සන්සුන් ජීවිතයක්. ලෝකෙ පුරාම ඉන්න, ආදරයෙන් පිරුණු, පවිත්‍ර ජීවිතයක් ගත කරන සහෝදරයන් එක්ක එකතු වෙන්න ලැබුණු එක ලොකු වරප්‍රසාදයක් කියලයි අපිට හිතෙන්නේ.