Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

“මේ ලෝකෙ වෙනස් කරන්න ඕන කියලා හිතලා දැන් මං ළත වෙන්නෑ”

“මේ ලෝකෙ වෙනස් කරන්න ඕන කියලා හිතලා දැන් මං ළත වෙන්නෑ”
  • ඉපදුණ අවුරුද්ද: 1966

  • රට: ෆින්ලන්තය

  • අතීතයේදී: හිංසනයට එරෙහිව සටන් කළා

මගේ අතීතය:

පුංචි සන්ධියේ ඉඳලා සොබාදහමට මම හුඟක් ප්‍රිය කළා. අපි පදිංචි වෙලා හිටියේ මධ්‍යම ෆින්ලන්තයේ යුවැස්ක්‍යුලා කියන නගරයෙයි. අපේ නගරේ අවට තිබුණු අයස්කාන්ත වනපෙත් හා අලංකාර විල් බලන්න පවුලේ අපි හැමෝම නිතරම වගේ ගියා. මං සත්තුන්ටත් හුඟක් ආදරේ කළා. පූසෙක්ව, බල්ලෙක්ව දැක්කොත් උංව වඩාගෙන හුරතල් කරන්න පුංචි කාලේ මං හරි ආසයි. තේරුම්ගන්න පුළුවන් වයසකට එද්දී මිනිස්සු සත්තුන්ට හිරිහැර කරනවා දැකලා මම කලකිරුණා. ඒ නිසා සත්ව හිංසනයට විරුද්ධව වැඩ කරපු සංවිධානයකට මං බැඳුණා.

සතුන්ගේ අයිතීන් වෙනුවෙන් අපි පෙළපාළි ගියා. සත්ව හිංසනය ගැන මහජනයාව දැනුවත් කළා. සත්ව ලොම්වලින් හදපු දේවල් විකුණපු සාප්පුවලට, විවිධ පරීක්ෂණ සඳහා සතුන්ව පාවිච්චි කරපු රසායනාගාරවලට එරෙහිව විරෝධතා රැළි සංවිධානය කළා. සතුන්ගේ අයිතීන් රකින්න අපි සංවිධානයකුත් පිහිටෙව්වා. අපි නිතරම වගේ බලධාරීන් එක්ක පැටලුණා. කීප වතාවක්ම මාව අත්අඩංගුවට අරන් උසාවි දාලත් තියෙනවා.

සත්ව හිංසනය ගැන විතරක් නෙමෙයි ලෝකේ සිද්ධ වුණු වෙන ආසාධාරණකම් ගැනත් මං නිතරම වධ වුණා. ප්‍රසිද්ධ සංවිධානවලට බැඳිලා අසාධාරණකම්වලට විරුද්ධව සටන් කළේ ඒ නිසයි. තාඩන පීඩන විඳින, කුසට අහරක් නැති දුගී ජනතාව වෙනුවෙන් මං හඬ නැඟුවා. මගේ මුළු කාලයම, ශක්තියම යෙදෙව්වේ ඒ වගේ දේවලටයි.

ඒත් කාලයක් යද්දී මට තේරුණා මේ ලෝකෙ වෙනස් කරන්න මට බෑ කියලා. පොඩි පොඩි ප්‍රශ්නවලට විසඳුම් ගේන්න ඒ සංවිධානවලට පුළුවන් වුණත් ලොකු ලොකු ප්‍රශ්නවලට විසඳුම් පේන තෙක් මානෙකවත් තිබුන්නෑ. වුණේ ඒ ප්‍රශ්න තව තවත් වැඩි වෙන එක විතරයි. මට දැනුණේ මුළු ලෝකෙම දුෂ්ටකමින් වෙළිලා තිබුණත් මිනිසුන්ට ඒ ගැන කිසිම ගානක් නෑ කියලයි.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

ලෝකෙ වෙනස් කරන්න මට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා හිතහිත දුක් වෙද්දී දෙවියන් ගැනත් බයිබලය ගැනත් මං කල්පනා කරන්න පටන්ගත්තා. කලින් මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරලා තිබුණා. එයාලා හරිම කරුණාවන්ත, අනිත් අය ගැන සැලකිලිමත් කට්ටියක් කියලා මං දැනගෙන හිටියත් බයිබලේ තියෙන දේවල් අදාළ කරගන්න ඒ කාලෙ මං කැමති වුණේ නෑ.

දුකෙන් හිටපු කාලේ මං බයිබලේ කියවන්න පටන්ගත්තා. සතුන්ට හොඳින් සලකන්න දිරිගන්නලා තිබුණ බයිබල් පද එතකොට මං දැක්කා. උදාහරණෙකට හිතෝපදේශ 12:10 කියනවා ‘ධර්මිෂ්ඨයා, තමා ඇති කරන සතා ගැන පවා සැලකිලිමත් වෙනවා’ කියලා. ලෝකෙ සිද්ධ වෙන නරක දේවලට වග කියන්න ඕන දෙවියන් නෙමෙයි කියලත් මං තේරුම්ගත්තා. ප්‍රශ්න මෙච්චර උග්‍ර වෙලා තියෙන්නේ මිනිස්සු දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරන නිසයි. බයිබලය කියවද්දී මගේ හිතට තදින්ම කාවැදුණේ යෙහෝවා දෙවි කොච්චර ප්‍රේමණීය, ඉවසිලිවන්ත දෙවි කෙනෙක්ද කියන කාරණයයි. (ගීතාවලිය 103:8-14) ඒ හැම දෙයක්ම නිසා මගේ හිතට දැනුණේ පුදුමාකාර සහනයක්!

ඒ කාලෙදිම වගේ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු කියන පොත ඉල්ලුම් කරන්න කූපනයක් මට ලැබුණා. මං ඒක යවලා ටික දවසකට පස්සේ අපේ ගෙදරට යුවළක් ආවා. බයිබලේ තියෙන දේවල් සාකච්ඡා කරන්න කැමතිද කියලා එයාලා ඇහුවා. මං ඒකට කැමති වුණා. සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලටත් ගියා. බයිබලෙන් ඉගෙනගත්ත දේවල් ටිකෙන් ටික මගේ හදවතට කාවදින්න පටන්ගත්තේ ඔන්න ඔහොමයි.

මගේ ජීවිතේ වෙනස් කරගන්න බයිබලෙන් ඉගෙනගත්ත දේවල් මට උදව් වුණා. සිගරට් බොන එක, බීමත්කම, නරක වචන කියන එක මං අත්හැරියා. පිළිවෙළට අඳින්නත් පටන්ගත්තා. බලධාරීන් ගැන තිබුණු ආකල්පයත් වෙනස් කරගත්තා. (රෝම 13:1) කිසිම ඉවක් බවක් නැතුව අනාචාරයේ යෙදෙන එකත් මං සම්පූර්ණයෙන්ම අත්හැරියා.

මානව හා සත්ව අයිතීන් වෙනුවෙන් සටන් වදින සංවිධාන ගැන මට තිබුණු හැඟීම වෙනස් කරගන්න එක තමයි අමාරුම වුණේ. මං මුලින් හිතුවේ ඒ වගේ සංවිධානවලින් ඉවත් වුණොත් ඒක ඒ සංවිධානෙට කරන ද්‍රෝහිකමක් කියලයි. ඒත් මං තේරුම්ගත්තා මේ ලෝකෙ තියෙන ප්‍රශ්නවලට නියම විසඳුම් ගේන්න පුළුවන් දෙවිගේ රජ්‍යයට විතරයි කියලා. ඒ නිසා දෙවිගේ රාජ්‍යය ගැන අනිත් අයට කියලා දෙන්න මගේ මුළු ශත්තියත් කාලයත් යොදවන්න මං තීරණය කළා.—මතෙව් 6:33.

මං දැන් අද්දකින ආශීර්වාද:

ඉස්සර මං මිනිස්සු ගැන ඉක්මන් නිගමනවලට ආවා. එක්කෝ එයාලා හොඳයි නැත්නම් නරකයි. නරකයි කියලා හිතපු අයට විරුද්ධව නැඟී ඉන්න මං නිතරම හිටියේ සූදානමින්. ඒත් බයිබලේ තියෙන දේවල් අදාළ කරගද්දී මං හැමෝටම එක වගේ ප්‍රේම කරන්න ලොකු උත්සාහයක් ගන්නවා. (මතෙව් 5:44) ඒක කරන්න පුළුවන් විදිහක් තමයි දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය හැම කෙනෙක් එක්කම බෙදාගන්න එක.

මේ ලෝකෙ තියෙන ප්‍රශ්න කරට ගන්නේ නැතුව ඒවා යෙහෝවා දෙවිට භාර දෙන්න ඉගෙනගත්ත නිසා මට දැනෙන්නේ ලොකු සහනයක්. හැම දෙයක්ම නිර්මාණය කරපු යෙහෝවා දෙවියන්, සතුන්ටත් මිනිසුන්ටත් හැමදාටම දුක් විඳින්න ඉඩ දෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි. මේ පොළොව සම්පූර්ණෙන්ම විනාශ කරලා දාන්න දෙවියන් ඉඩ දෙන්නේ නැහැ. සිදු වෙලා තියෙන හානිය ඉතාමත් ළඟදී දෙවියන් තම ආණ්ඩුව මාර්ගයෙන් පිළිසකර කරනවා. (යෙසායා 11:1-9) මේ දේවල් දැනගත්තම මං අද්දැක්ක සතුට මේ දේවල් අනිත් අයට කියද්දී දෙගුණ තෙගුණ වෙනවා. මේ ලෝකෙ වෙනස් කරන්න ඕන කියලා හිතලා දැන් මං ළත වෙන්නෑ.