Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | සාරා

“ඔබ ඉතා ලස්සන කාන්තාවක්”

“ඔබ ඉතා ලස්සන කාන්තාවක්”

මැදපෙරදිග දේශයක කාන්තාවක්ව හිතෙන් මවාගන්න. එයාට තියෙන්නේ ලස්සන ඇස් දෙකක්. ඒ ඇස්වලින් දහසක් දේ කියන්න පුළුවන්. ඒත් ඒ ඇස්වල පුංචි දුකක් තියෙනවා වගේද? අන්තිම වතාවට එයාගේ නිවස දිහා බලන සාරාට දුකක් දැනෙන එක සාධාරණයි. මොකද මේ නිවසේ එයාගේ ආදරණීය සැමියා ආබ්‍රහම් එක්ක ගත කරපු ජීවිතේ සුන්දර මතකයන් හුඟක් තියෙනවා. *

ආබ්‍රහම් සහ සාරා ජීවත් වුණේ ඌර් කියන ධනවත් නගරයේ. ඒ වගේ නගරයක ජීවත් වුණ මේ දෙන්නාට කිසිම දේකින් අඩුවක් නැති සැප පහසු ජීවිතයක් තියෙන්න ඇති. ඒ නගරයේ තිබුණ නිවසේ තමයි ඒ දෙන්නා ජීවිතයේ දුක සැප බෙදාගෙන අවුරුදු ගාණක් එකට ජීවත් වුණේ. අනන්ත වාරයක් යෙහෝවා දෙවියන්ට එකට යාච්ඤා කෙරුවෙත් මේ ගෙදරදිමයි. ඒ ගෙදර දාලා යන එක ගැන සාරා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

ඒ වෙද්දී සාරාට අවුරුදු 60ක් විතර ඇති. ඒත් සාරා එයාගේ හදවතට ගොඩක් සමීප ඒ ගෙදර දාලා නොදන්න පළාතක, අනතුරුදායක කටුක ජීවිතයක් ගත කරන්න කැමති වුණා. ඒ වගේ බැරෑරුම් තීරණයක් ගන්න සාරාට පුළුවන් වුණේ කොහොමද? එයාගේ විශ්වාසවන්තකමින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

“ඔබේ දේශයෙන් පිට වී යන්න”

සාරා පොඩි කාලේ ඉඳන් ජීවත් වුණා කියලා හිතන්න පුළුවන් ඌර් නගරය අද නටඹුන් ගොඩක් විතරයි. ඒත් ඒ කාලේ ඌර්වලට යුප්‍රටීස් ගඟ හරහා හැම තිස්සෙම වෙළඳ නැව් ආවා. දුර ඈත රටවලින් ගෙනාපු වටිනා බඩු භාණ්ඩවලින් ඌර් නගරයේ කඩවීදි පිරිලා තිබුණා. නගරයේ පාරවල්වල කොයි වෙලෙත් මිනිස්සු ගැවසුණා. ඒ නගරයේ හිටිය හුඟක් අය එයාව දැනන් ඉන්න ඇති. එයාට එහේ නෑදෑ හිතමිතුරනුත් හිටියා.

ඌර් නගරයේ වැසියෝ නමස්කාර කළේ සඳ දෙවියන්ට. ඒත් බයිබලයේ සාරාව හඳුන්වන්නේ යෙහෝවා දෙවියන් කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් තිබුණ කාන්තාවක් විදිහටයි. එයාට ඒ වගේ විශ්වාසයක් ඇති වුණේ කොහොමද කියලා බයිබලයේ නැහැ. එයාගේ තාත්තා කලින් රූප නමස්කාරයේ යෙදුණ කෙනෙක් නිසා සාරා එයාගෙන් සැබෑ දෙවියන් ගැන ඉගෙනගත්තා කියලා හිතන්න බැහැ. සාරා විවාහ වුණේ ආබ්‍රහම් එක්ක. * (උත්පත්ති 17:17) ආබ්‍රහම්ව පස්සේ කාලෙක හැඳින්නුවේ “විශ්වාසය නිසා ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන සියලුදෙනාගේම පියා” විදිහටයි. (රෝම 4:11) ආබ්‍රහම් සහ සාරා ගත කළේ සතුටින් පිරි පවුල් ජීවිතයක්. ඒ දෙන්නා එකිනෙකාට ගෞරවයෙන් සැලකුවා. එයාලා අතර හොඳ අදහස් හුවමාරුවක් සහ ශක්තිමත් බැඳීමක් තිබුණා. එහෙම වුණේ එයාලා යෙහෝවා දෙවියන්ට ගොඩක් ආදරය කරපු නිසයි.

ඒත් ආබ්‍රහම් සහ සාරාට දරුවෝ හිටියේ නැහැ. බයිබලයේ සාරා ගැන කියන්නේ එයා ‘කාලයක් තිස්සේ වඳව’ හිටියා කියලයි. (උත්පත්ති 11:30) ඒ කාලේ දරුවෙක් නැති එක ස්ත්‍රියකට නින්දාවක් විදිහටයි සැලකුවේ. ඒ වුණත් සාරා ඒ ගැන කලකිරිලා වැරදි දෙයක් කරන්නේ නැතුව සැබෑ දෙවියන්ටත් එයාගේ සැමියාටත් විශ්වාසවන්තව හිටියා. ඒ වගේම පියා මිය ගිහින් හිටිය ඥාති පුතෙක් වුණ ලොත්ව එයාලා තමන්ගේ දරුවෙක් විදිහට බලාගත්තා. එයාලාගේ ජීවිත වෙනස්ම මඟකට ගෙන ගිය සිද්ධිය වුණේ මේ කාලයේදීයි.

ආබ්‍රහම් හති දාගෙන සාරා ළඟට දුවගෙන එනවා. විශ්වාස කරන්න බැරි තරම් පුදුම හිතෙන දෙයක් තමයි ආබ්‍රහම් මොහොතකට කලින් අද්දැක්කේ. එයාලා නමස්කාර කරපු සැබෑ දෙවියන් දේවදූතයෙක් මාර්ගයෙන් ආබ්‍රහම්ට කතා කරලා. සාරා ඇස් දෙකත් ලොකු කරගෙන “මොකක්ද වුණේ” කියලා අහනවා. තිගැස්සිලා හිටපු ආබ්‍රහම් මොහොතකට වාඩි වෙලා වුණ දේ ගැන හිතන්න ඇති. ඊටපස්සේ ආබ්‍රහම් දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩේ සාරාට මෙහෙම කියනවා. “ඔබේ දේශයෙන් පිට වී යන්න. ඔබේ නෑදෑයන්ව අත්හැර මා ඔබට පෙන්වන දේශයට යන්න.” (ක්‍රියා 7:2, 3) ඒ පැවරුම ගැන එයාලා ගොඩක් කල්පනා කරන්න ඇති. මොකද ඒක භාරගත්තොත් සැප පහසු ජීවිතේ අතහැරලා තැනින් තැනට ගිහින් කූඩාරම්වල ජීවත් වෙන්න එයාලාට සිද්ධ වෙනවා. එයාලාගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරවන ඒ පැවරුම භාරගන්න සාරා කැමති වෙයිද?

සාරාට කරන්න වුණා වගේ තේරීමක් අපිටත් කරන්න වෙලා තියෙනවා නේද? අපි ජීවත් වෙන්නේ සැප පහසුවට මුල් තැන දෙන, අනාගතය සුරක්ෂිත කරගන්න කියලා දිරිගන්වන සමාජයක. ඒත් බයිබලයේ අපිට කියන්නේ අපේම සතුටට වඩා දෙවියන්ට කරන නමස්කාරයට මුල් තැන දෙන්න කියලයි. (මතෙව් 6:33) එහෙම බලද්දී නම් සාරාට වගේ අපිටත් බැරෑරුම් තේරීමක් කරන්න තියෙනවා. ඔයාගේ තේරීම මොකක්ද?

‘දේශයෙන් පිට වී ගියා’

සාරා ගමනට සූදානම් වෙද්දී ගෙනියන්නේ මොනවාද කියලා දහස් වාරයක් හිතන්න ඇති. බඩු මුට්ටු ගෙනියන්න වෙන්නේ ඔටුවන්ගේ නැත්තං බූරුවන්ගේ පිටේ හින්දා ලොකු දේවල් ගෙනියන්නත් බැහැ. කූඩාරම් ජීවිතයට ඕනෙ නැති දේවල් ගෙනියන්නත් බැහැ. ඒ නිසා සාරාට එයා ළඟ තිබුණු ගොඩක් දේවල් කාට හරි දෙන්න නැත්තං විකුණන්න සිද්ධ වෙන්න ඇති. හිතුණු වෙලේක කඩවීදියට ගිහින් ගෙදරට ඕන දේවල් ගන්න තියෙන පහසුකමත් සාරාට නැති වෙනවා.

සාරා තමන්ගේ සැප පහසු ජීවිතය අතහැරියේ දෙවියන් ගැන එයාට තිබුණ විශ්වාසය නිසයි

ජීවත් වුණ ගෙදර දාලා යන එකත් සාරාට ලේසි දෙයක් වුණා කියලා හිතන්න බැහැ. මොකද පුරාවිද්‍යාත්මක කැනීම්වලින් හොයාගෙන තියෙනවා කාමර 12ක් සහ ජල නළ පහසුකම් පවා තිබුණු නිවෙස් ඌර් නගරයේ තිබුණා කියලා. සාරා ජීවත් වුණෙත් ඒ වගේ සුඛෝපභෝගී නිවසකමයි කියලා හරියටම කියන්න බැහැ. ඒත් එහේ සාමාන්‍ය නිවසක පවා වහලක්, බිත්ති සහ අගුල් සවි කරපු දොරවල් තිබිලා තියෙනවා. ඉදිරියේදී එයාලා ජීවත් වෙන්න යන්නේ සොරසතුරන්ගෙනුත් වනසතුන්ගෙනුත් අඩුවක් නැති ප්‍රදේශවල කූඩාරම්වලයි. නිවසකින් ලැබෙන ආරක්ෂාව කූඩාරමකින් ලැබෙයිද?

ආබ්‍රහම් සහ සාරාට “දේශයෙන් පිට වී යන්න” කියපු වෙලාවේ එයාලාගේ ‘නෑදෑයන්ව අත්හැර යන්න’ කියලත් දෙවියන් එයාලාට කිව්වා. ඒ ගැන සාරාට කොහොම හැඟෙන්න ඇද්ද! සාරා හුඟක් කරුණාවන්ත, පවුලේ අය ගැන සැලකිලිමත් වුණ කාන්තාවක්. ඒ නිසා සාරාට කිට්ටුවෙන් ආශ්‍රය කරපු සහෝදර සහෝදරියන්, ඥාති දරුවන්, නෑදෑයන් ඉන්න ඇති. ඒ අයව අත්හැරලා යන එක සාරාට කොහෙත්ම ලේසි දෙයක් වුණා කියලා හිතන්න බැහැ. ඒත් සාරා, ගත්තු තීරණය වෙනස් කරන්නේ නැතුව ගමනට ලෑස්ති වුණා.

ආබ්‍රහම්ගේ පියා වුණු ටේරාත් මේ ගමනට එකතු වුණා. ඒ වෙද්දී අවුරුදු 200ක් විතර වයස ටේරාව බලාගන්න එකත් සාරාට ලොකු වගකීමක් වෙන්න ඇති. (උත්පත්ති 11:31) ලොත් පවා එයාලාත් එක්ක ගමනට එකතු වුණා. ඒ හැමෝම දෙවියන්ගේ ආඥාවට කීකරු වෙලා ‘කල්දිවරුන්ගේ දේශයෙන් පිටත් වී ගියා.’—ක්‍රියා 7:4.

එයාලා මුලින්ම ගියේ කිලෝමීටර් 960ක් විතර එහායින් පිහිටි හාරාන් දේශයට. එහේ එයාලා ටික කාලයක් නතර වෙලා හිටියා. ඒ කාලෙදි තමයි ටේරා අසනීප වෙලා මිය ගියේ. එතකොට එයාගේ වයස අවුරුදු 205යි. හාරාන්වල ඉද්දී යෙහෝවා දෙවියන් නැවත ආබ්‍රහම්ට කතා කරලා එහෙන් පිට වෙලා ඔහු පෙන්වන දේශයට යන්න කියලා කිව්වා. ඒ අවස්ථාවේදී ආබ්‍රහම්ට ප්‍රීතිමත් පොරොන්දුවකුත් දුන්නා. දෙවියන් කිව්වේ “ඔබගෙන් මහත් ජාතියක් බිහි කරන්නෙමි” කියලයි. (උත්පත්ති 12:2-4) ඒත් එයාලා හාරාන්වලින් පිටත් වෙද්දී අවුරුදු 75ක් වුණු ආබ්‍රහම්ට සහ අවුරුදු 65ක් වුණු සාරාට දරුවන් හිටියේ නැහැ. එහෙමනම් ආබ්‍රහම්ගෙන් මහත් ජාතියක් බිහි වෙන්නේ කොහොමද? ඒ කාලේ භාර්යාවන් කිහිපදෙනෙක්ව විවාහ කරගන්න එක සාමාන්‍ය දෙයක් නිසා ආබ්‍රහම් තවත් විවාහයක් කරගනියිද කියලා සාරා කල්පනා කරන්න ඇති.

ඒත් සාරා ඒ ගැන කරදර නොවී ආබ්‍රහම් එක්ක හාරාන්වලින් පිටත් වුණා. එයාලා පිටත් වෙලා ගියේ හාරාන්වලදී එකතු කරගත් වස්තුව සහ ‘මිනිසුන්’ එක්කයි කියලා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 12:5, ‘පැරණි අනුවාදය’) ඒ ‘මිනිසුන්’ කවුද? හුඟක් දුරට ඒ අය ආබ්‍රහම් සහ සාරාගේ දාසදාසීන් වෙන්න පුළුවන්. ඊට අමතරව පුරාණ යුදෙව් ලියකියවිලිවලින් හොයාගෙන තියෙනවා ඒ අය අතරට ආබ්‍රහම් සහ සාරා කියපු දේවල් අහලා යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පටන්ගත්ත අයත් ඇතුළත් වෙනවා කියලා. ඒකෙන් අපිට හිතන්න පුළුවන් ආබ්‍රහම් සහ සාරා සැබෑ දෙවියන් ගැන එයාලාට තියෙන විශ්වාසය හැමෝ එක්කම බෙදාගෙන තියෙනවා කියලා. දෙවියන් ගැනත් දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැනත් සාරා හරිම උද්‍යෝගයෙන් කතා කළා කියලා කිසිම සැකයක් නැහැ. අපිට මේක හොඳ ආදර්ශයක්. අද අපි ජීවත් වෙන්නේ දෙවියන් ගැන මිනිසුන් තුළ විශ්වාසයක් නැති කාලයක. ඒ නිසා අපි බයිබලයෙන් ඉගෙනගන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න එක හුඟක් වැදගත්.

“ඊජිප්තුවට ගොස්”

ක්‍රි.පූ. 1943 නීසාන් 14වෙනිදා විතර ආබ්‍රහම් සහ සාරා දෙවියන් පොරොන්දු වුණු දේශයට ළඟා වුණා. (නික්මයාම 12:40, 41) සාරා ඒ දේශයේ ලස්සන වටපිටාව, එහේ තියෙන නානාප්‍රකාර දේවල් දිහා ආසාවෙන් බලන විදිහ හිතෙන් මවාගන්න පුළුවන්ද? පස්සේ ෂීකෙම් කියන ස්ථානයේ මොරේගේ විශාල ගස් ළඟ ඉද්දී යෙහෝවා දෙවියන් ආයෙත් ආබ්‍රහම්ට කතා කරලා මෙහෙම කියනවා. “මම ඔබෙන් පැවතෙන්නන්ට මේ දේශය දෙන්නෙමි.” ඒ වෙලාවේ එයාට මතක් වෙන්න ඇති “පැවත එන තැනැත්තෙක්” සාතන්ව විනාශ කරනවා කියලා ඒදන් උයනේදී දෙවියන් දුන්න පොරොන්දුව. අනිත් එක ආබ්‍රහම්ගෙන් පැවත එන ජාතිය නිසා පොළොවේ ඉන්න හැමෝම ආශීර්වාද ලබනවා කියලත් දෙවියන් එයාට කියලා තිබුණා. ඒ නිසා දෙවියන් දැන් “ඔබෙන් පැවතෙන්නන්” කියන වචනය කියපු ගමන්ම ආබ්‍රහම්ගේ හිතට ලොකු සතුටක් දැනෙන්න ඇති.—උත්පත්ති 3:15; 12:2, 3, 6, 7.

ඒ කාලෙදි කානාන් දේශයේ සාගතයක් ඇති වුණා. ඒ නිසා ආබ්‍රහම් තීරණය කළා පවුලේ අයත් එක්ක ඊජිප්තුවට යන්න. ඒත් ඒ පළාතෙදි තමන්ගේ ජීවිතයට අනතුරක් වෙයි කියලා ආබ්‍රහම්ට බයක් ඇති වුණා. ආබ්‍රහම් සාරාට මෙහෙම කිව්වා. “ඔබ ඉතා ලස්සන කාන්තාවක්. ඔබ ලස්සන නිසා ඊජිප්තුවරුන් ඔබට හොඳින් සලකයි. නමුත් මම ඔබේ ස්වාමිපුරුෂයා කියා දැනගත්තොත් ඔවුන් මාව මරා දමයි. ඒ නිසා මා වෙනුවෙන් මේ දේ කරන්න. ඔබ මගේ සහෝදරිය කියා ඔවුන්ට කියන්න. ඔබ එහෙම කිව්වොත් මගේ ජීවිතය බේරගන්න පුළුවන්.” (උත්පත්ති 12:10-13) ආබ්‍රහම් සාරාගෙන් ඒ වගේ ඉල්ලීමක් කළේ ඇයි?

සමහර විවේචකයන් කියන්නේ ආබ්‍රහම් බොරුකාරයෙක් නැත්තං බියගුල්ලෙක් කියලා. ඒත් ඇත්තටම සාරා ආබ්‍රහම්ගේ අර්ධ සහෝදරිය නිසා එයා කිව්වේ බොරුවක් නෙමෙයි. අනිත් එක ආබ්‍රහම්ට බයක් ඇති වුණ එක සාධාරණයි. මොකද දෙවියන් දීපු පොරොන්දුවට අනුව පැවත එන තැනැත්තා සහ ජාතිය බිහි කරන්නේ ආබ්‍රහම් මාර්ගයෙන් නිසා එයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න එක වැදගත් වුණා. පුරාවිද්‍යාවෙනුත් හොයාගෙන තියෙනවා සැමියාව මරලා බිරිඳව පැහැරගැනීම ඊජිප්තු පාලකයන් කරපු දෙයක් කියලා. එහෙම බලද්දී ආබ්‍රහම් කටයුතු කරලා තියෙන්නේ නැණවත් විදිහටයි. සාරා එයාගේ සැමියාට සම්පූර්ණ සහයෝගය දුන්නා.

වැඩි දවසක් යන්න කලින් ආබ්‍රහම් හිතපු දේ වුණා. පාරාවෝගේ කුමාරවරු සාරාගේ රූමත්කම දැකලා ඒ ගැන පාරාවෝට දැන්නුවා. පාරාවෝ අණ කෙරුවා සාරාව අරන් එන්න කියලා. ඒක දැනගත්ත ආබ්‍රහම්ට මොනවා හිතෙන්න ඇද්ද! සාරා කොයි තරම් බය වෙන්න ඇද්ද! ඒත් එහෙදි ඊජිප්තුවරු ගෞරවනීය විදිහට සාරාට සැලකුවා. තමන්ගේ ධන සම්පත් දැකලා සාරා එයාට කැමති වෙයි කියලා පාරාවෝ හිතන්න ඇති. ඊටපස්සේ සාරාගේ සහෝදරයා කියලා හිතපු ආබ්‍රහම්ගෙන් ඇයව විවාහ කරගන්න අහන්නත් පාරාවෝ සැලසුම් කරන්න ඇති.—උත්පත්ති 12:14-16.

පාරාවෝගේ මාලිගාවේ සඳලුතලයේ ඉඳන් ඊජිප්තු දේශයේ සුන්දර වටපිටාව බලන සාරාව හිතෙන් මවාගන්න. කූඩාරම වෙනුවට මාලිගයක්. රසවත් කෑම බීම. ඌර්වල ගත කරපු ජීවිතයටත් වඩා සැපවත් ජීවිතයක්. මේ හැම දෙයක්ම ලබාගන්න දැන් එයාට අවස්ථාව උදා වෙලා. මේ දේවල්වලට සාරාගේ හිතේ ආසාවක් ඇති වෙලා එයා ආබ්‍රහම්ව අත්හැරලා පාරාවෝගේ බිරිඳ වෙන්න හිතුවා නම් සාතන් කොයි තරම් සතුටු වෙයිද? ඒත් සාරා එයාගේ සැමියාටත් එයාගේ විවාහ බැඳීමටත් එයා නමස්කාර කරපු දෙවියන්ටත් විශ්වාසවන්තව හිටියා. සදාචාරමය අතින් පිරිහුණු සමාජයක ජීවත් වෙන විවාහක අයට සාරා කොයි තරම් හොඳ ආදර්ශයක්ද! සාරා වගේ ඔයා ආදරය කරන අයටත් මිතුරන්ටත් විශ්වාසවන්තව ඉන්න ඔයාට පුළුවන්ද?

මොන පරීක්ෂා ආවාත් සාරා එයාගේ සැමියාට විශ්වාසවන්තව හිටියා

මේ අවස්ථාවේදී යෙහෝවා දෙවියන් පාරාවෝටත් එයාගේ ගෙයි වැසියන්ටත් දරුණු පීඩාවලින් පහර දීලා සාරාව බේරගන්න පියවර ගත්තා. අන්තිමේදී සාරා ආබ්‍රහම්ගේ බිරිඳ කියලා දැනගත්ත පාරාවෝ සාරාව එයාගේ සැමියාට භාර දීලා මුළු පවුලම අරන් ඊජිප්තුවෙන් පිට වෙලා යන්න කියලා ආබ්‍රහම්ට කිව්වා. (උත්පත්ති 12:17-20) බිරිඳව නැවත ලැබුණු එක ගැන ආබ්‍රහම් කොයි තරම් සතුටු වෙන්න ඇද්ද! “ඔබ ඉතා ලස්සන කාන්තාවක්” කියලා සාරාව වර්ණනා කරපු ආබ්‍රහම් අගය කළේ එයාගේ පිටාතර ලස්සන විතරක් නෙමෙයි. ආබ්‍රහම් එයා තුළ තිබුණු යහපත් ගතිගුණ ගොඩක් අගය කළා. යෙහෝවා දෙවියන් අගය කරන්නෙත් කෙනෙක් තුළ තියෙන යහපත් ගතිගුණයි. ඒ නිසා හොඳ ගතිගුණ ඇති කරගන්න එක කොයි තරම් වැදගත්ද! (1 පේතෘස් 3:1-5) අපිවම සතුටු කරගන්නවාට වඩා දෙවිව සතුටු කරන්න වෑයම් කරමු. දෙවියන් ගැන අනිත් අයට කියලා දෙන්න අපේ උපරිමය කරමු. මොන පරීක්ෂා ආවාත් දෙවිගේ සදාචාර ප්‍රතිපත්ති රැකගන්න මහන්සි වෙමු. එහෙම කරනවා නම් අපිටත් සාරාගේ විශ්වාසවන්තකම ආදර්ශයට ගන්න පුළුවන්.

^ 3 ඡේ. මුලදී ඒ දෙන්නාව හැඳින්නුවේ ආබ්‍රම් සහ සාරයි කියලයි. පස්සේ යෙහෝවා දෙවියන් ආබ්‍රහම් සහ සාරා කියලා එයාලාගේ නම් වෙනස් කළා.—උත්පත්ති 17:5, 15.

^ 8 ඡේ. සාරා කියන්නේ ආබ්‍රහම්ගේ සහෝදරියක්. ඒ දෙන්නාගෙම තාත්තා තමයි ටේරා. ඒත් එයාලා අම්මලා දෙන්නෙක්ගේ දරුවෝ. (උත්පත්ති 20:12) අද කිට්ටු ලේ නෑයන් විවාහ වෙන එක සුදුසු දෙයක් හැටියට සලකන්නේ නැති වුණත් එදා තත්වය අදට වඩා වෙනස්. ලේ නෑයන් අතර විවාහයක් වුණත් එයාලාට ලැබෙන දරුවන්ගේ සෞඛ්‍යයට ඒක බලපෑවේ නැහැ. මොකද ඒ වෙද්දී ආදම් සහ ඒව පරිපූර්ණත්වය අහිමි කරගෙන වැඩි කාලයක් ගිහින් තිබුණේ නැති නිසා ඒ කාලේ හිටපු අය අදට වඩා නිරෝගියි. එයාලාගේ ආයු කාලයත් වැඩියි. ඒත් කාලයක් යද්දී මිනිසුන්ගේ ආයු කාලය ටිකෙන් ටික අඩු වුණා. ආබ්‍රහම්ගේ කාලෙන් අවුරුදු 400කට විතර පස්සේ මෝසෙස්ට දුන්න නීතියේ ඒ වගේ විවාහයන් තහනම් කළා.—ලෙවී කතාව 18:6.