Skip to content

පටුනට යන්න

“තත්තෙනයි” කියන නම සඳහන් වෙන උල් හැඩැති අකුරුවලින් ලියූ මැටි පුවරුව

විශ්වාසය වැඩි කරන තවත් සාක්ෂියක්

විශ්වාසය වැඩි කරන තවත් සාක්ෂියක්

බයිබලයේ තොරතුරු නිවැරදියි කියලා ඔප්පු කරන්න පුරාවිද්‍යාවෙන් සාක්ෂි ලැබිලා තියෙනවාද? 2014 එක සඟරාවක සඳහන් වුණා බයිබලයේ හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් පුද්ගලයන් අතරින් අඩුම තරමින් 50දෙනෙක් ගැනවත් පුරාවිද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙනවා කියලා. (Biblical Archaeology Review) ඒ 50දෙනාගේ ලැයිස්තුවේ නැති කෙනෙක් තමයි තත්තෙනයි. ඔහු කවුද?

කාලයක් යෙරුසලම තිබුණේ පර්සියාව යටතේ. යුප්‍රටීස් ගඟට බටහිරෙන් පිහිටි යෙරුසලම ඇතුළු ප්‍රදේශය ඔවුන් හැඳින්නුවේ ‘මහ ගඟෙන් එගොඩ’ කියලයි. පර්සියානුවන් බැබිලෝනිය අල්ලගත්තාට පස්සේ වහලුන් විදිහට හිටපු යුදෙව්වන්ව නිදහස් කරලා දේවමාලිගාව නැවත ගොඩනඟන්න ඔවුන්ට අවසර දුන්නා. (එස්රා 1:1-4) ඒත් අවට ජාතීන් ඒකට කැමති වුණේ නැහැ. යුදෙව්වන් දේවමාලිගාව හදන මුවාවෙන් පර්සියාව යටත් කරගන්න හදනවා කියලා ඔවුන් චෝදනා කළා. (එස්රා 4:4-16) පර්සියාවේ 1වෙනි දාරියුස් රජ (ක්‍රි.පූ. 522-486) තත්තෙනයි කියන පර්සියානු ආණ්ඩුකාරයාව තමයි ඒ ගැන හොයලා බලන්න පත් කළේ. බයිබලයේ ඔහුව හඳුන්වන්නේ “මහ ගඟෙන් එගොඩ සිටි ආණ්ඩුකාරයා වූ තත්තෙනයි” කියලයි.—එස්රා 5:3-7.

මෑතකදී උල් හැඩැති අකුරුවලින් ලියූ පැරණි මැටි පුවරු කිහිපයක් සොයාගෙන තියෙනවා. එකක තියෙන්නේ 1වෙනි දාරියුස් රජුගේ 20වෙනි අවුරුද්දේ (ක්‍රි.පූ. 502දී) ලියූ පොරොන්දු පත්‍රයක්. ඒ ගනු දෙනුවේ සාක්ෂිකරුව හඳුන්වා තියෙන්නේ “මහ ගඟෙන් එගොඩ සිටි ආණ්ඩුකාරයා වූ තත්තෙනයිගේ” සේවකයෙක් විදිහට. ඒ කියන්නේ මේ තත්තෙනයි ගැනම තමයි එස්රා පොතෙත් සඳහන් වෙන්නේ.

“මහ ගඟෙන් එගොඩ සිටි ආණ්ඩුකාරයා” විදිහට තත්තෙනයිව හඳුන්වන්නේ ඇයි? ක්‍රි.පූ. 535දී සයිරස් රජ ඔහුගේ රාජ්‍යය පළාත් විදිහට වෙන් කරලා එක පළාතක් “බැබිලෝනිය සහ මහ ගඟෙන් එගොඩ” කියලා නම් කළා. පස්සේ කාලෙක මේ පළාත දෙකට වෙන් කරලා එක කොටසක් නම් කළේ “මහ ගඟෙන් එගොඩ” කියලයි. ක්‍රි.පූ. 520 සිට 502 දක්වා ඒ කොටසේ ආණ්ඩුකාරයා විදිහට කටයුතු කළේ තත්තෙනයි. ඒ කොටසට සීලි-සිරියාව, ෆිනීෂියාව, සමාරිය සහ යූදා අයත් වුණා.

තත්තෙනයි යෙරුසලමට ගියාම ඉදි කිරීමේ වැඩවලට අවසර දුන්නේ සයිරස් රජ කියලා යුදෙව්වන් ඔහුට කිව්වා. (එස්රා 5:6, 7, 11-13; 6:1-3) ඒක දැනගත් දාරියුස් රජ ඉදි කිරීමේ වැඩට බාධා කරන්න එපා කියලා නියෝග කළා. (එස්රා 6:6, 7, 13) ඒ සිද්ධිය රාජ්‍ය ලේඛනාගාරයේ වාර්තාවලත් සඳහන් වෙනවා.

තත්තෙනයි ගැන වැඩි තොරතුරක් ඉතිහාස වාර්තාවල සඳහන් වුණේ නැතත් තියෙන තොරතුරු ටික පවා බයිබලයට එකඟයි. බයිබලයේ තත්තෙනයිට දී ඇති “මහ ගඟෙන් එගොඩ සිටි ආණ්ඩුකාරයා” කියන පදවි නම ඒ විදිහටම පුරාණ මැටි පුවරුවලත් සඳහන් වෙනවා. තත්තෙනයි සිතින් මවාගත්ත චරිතයක් නෙමෙයි. පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් බයිබලය ගැන අපිට තියෙන විශ්වාසය තව තවත් වැඩි වෙනවා.