Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | සාරා

දෙවියන් ඇයව හැඳින්නුවේ “කුමාරිකාව” කියලයි

දෙවියන් ඇයව හැඳින්නුවේ “කුමාරිකාව” කියලයි

සාරා තමන් කරමින් හිටිය වැඩේ නවත්වලා දුර ඈත බලනවා. ඇය යටතේ ඉන්න සේවකයන් වැඩ කරන්නේ හද පිරි සතුටින්. කඩිසරව වැඩ කරමින් හිටිය සාරා දෑතේ වේදනාව සමනය කරගන්න දෑත් පිරිමදිනවා. සමහරවිට එයාලගේ කූඩාරමේ ඉරිලා තිබුණු තැනක් එයා මහන්න ඇති. අව්වටත් වැස්සටත් නිරාවරණය වුණු ඒ කූඩාරමේ පාට අවපැහැගැන්වෙලා තියෙන විදිහ දකිද්දී කූඩාරම්වල කොයි තරම් නම් කාලයක් ගෙවලා තියෙනවාද කියලා ඇයට සිහි වෙන්න ඇති. මේ වෙද්දී හිරු බැහැගෙන යන්න පටන් අරන් නිසා මුළු අහසෙම පේන්නේ රන්වන් පැහැයක්. ආබ්‍රහම් * උදේ කූඩාරමෙන් පිට වෙලා යද්දී එයාව නොපෙනෙනකල්ම බලාගෙන හිටියා වගේ දැන් සාරා ආයෙත් ඒ දිහාම බලාගෙන ඉන්නේ ආබ්‍රහම් එන වෙලාව ළං වෙලා තියෙන නිසයි. දුර ඈත තියාම ආබ්‍රහම්ව දකින සාරා සිනාමුසු මුහුණෙන් ඒ දිහාම බලාගෙන ඉන්නවා.

ආබ්‍රහම් පවුලේ අයත් එක්ක යුප්‍රටීස් ගඟ තරණය කරලා කානාන් දේශයට ඇවිත් දැන් වසර දහයක්ම ගෙවිලා. කාත් කවුරුත් හඳුනන්නේ නැති පලාතක පදිංචියට එන්න සාරා ඉදිරිපත් වුණේ කැමැත්තෙන්මයි. යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ගෙන් විශේෂ ජාතියක් බිහි කරනවා කියලා දීපු පොරොන්දුව සාරා දැනගෙන හිටියා. හැබැයි ඒ පොරොන්දුව ඉටු කරන්න දායක වෙන්න සාරාට පුළුවන් වෙයිද? දැන් සාරාට වයස 75යි. තාමත් එයාට දරුවෙක් නැහැ. ඒ නිසා ‘මං ආබ්‍රහම්ගේ බිරිඳ වෙලා ඉද්දී දෙවියන්ගේ පොරොන්දුව ඉටු වෙන්නේ කොහොමද’ කියලා එයා කල්පනා කරන්න ඇති.

දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙන කල් අපිටත් ඉවසීමක් නැහැ නේද? විශේෂයෙන්ම අපි හුඟක්ම ආසාවෙන් ඉන්න දෙයක් ඉටු වෙන කල් ඉවසීමෙන් ඉන්න එක නම් කොහොමටත් ලේසි නැහැ. ඒ ගැන සාරාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා බලමු.

‘යෙහෝවා දෙවි මට ඒ ආශීර්වාදය දීලා නැහැ’

ආබ්‍රහම්ගේ පවුලේ අය ඊජිප්තුවෙන් පිටත් වෙලා දැන් ඇවිත් තියෙන්නේ ලූෂ් විදිහටත් හඳුන්වපු බෙතෙල් කියන ස්ථානයට නැඟෙනහිරෙන් තියෙන කඳුකරයට. (උත්පත්ති 13:1-4) මෙහේ ඉඳන් බලද්දී පොරොන්දු දේශය ලස්සනට පේනවා. කානානිවරුන්ගේ ගම්මානත් ඈත ප්‍රදේශවලට යන්න හදලා තිබුණු පාරවලුත් එහේ තිබුණා. හැබැයි සාරාට නම් තමන් හැදුණු වැඩුණු ඌර් නගරය තරම් ඒ කිසිම දෙයක් වටින්නේ නැහැ. ඒ නගරය තිබුණේ කි.මී. 1,900ක දුරකින්. එහේ සාරාගේ නෑදෑයන් විතරක් නෙවෙයි, කඩවීදිත් වෙළඳසැලුත් නොඅඩුව තිබුණා. සැපපහසු ගෙයක හිටිය සාරාගේ පවුලේ අයට වතුරෙන්වත් අඩුවක් තිබුණා කියලා නම් හිතන්න බැහැ. හැබැයි සාරා ඒ දේවල් ගැන ළත වෙවී හිටියා නම් අපිට එයා ගැන දැනගන්නවත් ලැබෙන්නේ නැහැ.

අවුරුදු 2,000කට විතර පස්සේ නියෝජිත පාවුල් සාරාටත් ආබ්‍රහම්ටත් තිබුණු විශ්වාසය ගැන මෙහෙම කිව්වා. “ඔවුන් පිටත්ව ආ දේශය ගැන සිතමින් ළත වූවා නම් ආපසු එහි යෑමට ඔවුන්ට ප්‍රස්තාව තිබිණ.” (හෙබ්‍රෙව් 11:8, 11, 15) ඔව්, ආබ්‍රහමුයි සාරායි අතීතය ගැන හිත හිත ළත වුණා නම් ආයෙත් එහේට යන්න එයාලට ඕන තරම් අවස්ථාව තිබුණා. හැබැයි එහෙම වුණා නම් එයාලට යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන්න තිබුණු වටිනා වරප්‍රසාදයක් අහිමි වෙනවා. ඒ වගේම අද ඉන්න මිලියන ගාණකට දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක සම්බන්ධයෙන් එයාලගෙන් වටිනා පාඩමක් ඉගෙනගන්න ලැබෙන්නෙත් නැහැ.

සාරා දිගටම ආබ්‍රහම්ට සහයෝගය දුන්නා. කූඩාරම් ගලවන්නත් සතුන් රැළ දක්කන් තැනින් තැනට යන්නත් අලුතින් කූඩාරම් සවි කරන්නත් සාරා ආබ්‍රහම්ට උදව් කළා. අභියෝගවලට, වෙනස්කම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණත් එයා කන්කෙඳිරිගෑවේ නැහැ. යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට දීපු පොරොන්දුව ආයෙත් මතක් කළත් මේ වතාවෙත් ඔහු සාරා ගැන සඳහනක් කළේ නැහැ.—උත්පත්ති 13:14-17; 15:5-7.

අන්තිමේදී අවුරුදු ගාණක් තිස්සේ හිතේ තිබුණු දෙයක් ගැන සාරා ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. ‘අනේ, මං කියන දේ පොඩ්ඩක් අහන්න. දරුවන් ලැබීමේ ආශීර්වාදය යෙහෝවා දෙවි මට දීලා නැහැ.’ ඊටපස්සේ එයා කිව්වා තමන්ගේ සේවිකාව වන හාගර්ගෙන් දරුවන්ව බිහි කරන්න කියලා. ඒක කියන්න සාරාට මොන තරම් අමාරු වෙන්න ඇද්ද! සාරා කියපු දේ අපිට අමුතු දෙයක් විදිහට පෙනුණත් ඒ කාලේදී මිනිසුන්ට ඒක අමුතු දෙයක් වුණේ නැහැ. මොකද තමන්ගේ පරම්පරාව බෝ කිරීමේ අරමුණින් පුරුෂයෙකුට තවත් ගැහැනු කෙනෙක්ව භාර්යාව විදිහට තියාගන්න එක ඒ කාලේදී සාමාන්‍ය දෙයක් වුණා. * ඒ ක්‍රමයම පාවිච්චි කළොත් දෙවියන් ආබ්‍රහම්ට දීපු පොරොන්දුව ඉටු වෙයි කියලා සාරා හිතන්න ඇද්ද? එයා කළේ සුළුපටු කැපකිරීමක් නම් නෙවෙයි. ඒ වෙලාවේ ආබ්‍රහම් ‘සාරාගේ ඉල්ලීමට ඇහුම්කන් දුන්නා.’—උත්පත්ති 16:1-3.

සාරාට ඒ දේ කරන්න මඟ පෙන්නුවේ යෙහෝවා දෙවියන් නෙවෙයි. තමන්ව ඒ තත්වයට පත් කරලා තියෙන්නේ දෙවියන් කියලත් මතු වෙලා තියෙන ප්‍රශ්නයට වෙන විසඳුමක් දෙවියන්ට නැහැ කියලත් සාරා හිතුවා. එයා ගත්ත ඒ තීරණේ නිසා එයාට හුඟක් ප්‍රශ්න අද්දකින්නත් ඉඩ තිබුණා. හැබැයි එයා තමන් ගැනම විතරක් හිතමින් වැඩ කරපු කෙනෙක් නෙවෙයි කියලා ඒකෙන් පැහැදිලියි. හැමෝම තමන් ගැනම විතරක් හිතන ලෝකෙක සාරා ඒ විදිහට හැසිරුණු එක අපිට කදිම ආදර්ශයක් නෙවෙයිද! අපිත් අපේම ආසාවන් ගැන හිතමින් වැඩ කරනවා වෙනුවට දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දෙනවා නම් අපිටත් පුළුවන් සාරා තුළ තිබුණු විශ්වාසය අනුකරණය කරන්න.

“ඔබ හිනා වුණා”

ටික කාලෙකින් හාගර් ගැබ්ගත්තාම එයා සාරාව පහත් කරලා සලකන්න පටන්ගත්තා. එයා එහෙම කළේ එයා දැන් සාරාට වඩා වැදගත් කෙනෙක් කියලා හිතුණු නිසා වෙන්න ඇති. සාරා ඒ ගැන මොන තරම් කලකිරෙන්න ඇද්ද! හැබැයි දෙවියන්ගේ අනුමැතියත් ආබ්‍රහම්ගේ අවසරයත් ඇතුව සාරා හාගර්ව ලැජ්ජාවට පත් කළා. හාගර්ගේ දරුවා වුණු ඉෂ්මායෙල් ඉපදිලා දැන් වසර ගාණක් ගෙවිලයි තියෙන්නේ. (උත්පත්ති 16:4-9, 16) ආපහු යෙහෝවා දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබුණා කියලා වාර්තා වෙන්නේ සාරාට වයස 89දීයි. ඒ වෙද්දී ආබ්‍රහම්ට වයස 99යි.

ආබ්‍රහම්ගෙන් විශාල ජාතියක් බිහි කරනවා කියලා දීපු පොරොන්දුව දෙවියන් ආයෙත් ආබ්‍රහම්ට මතක් කළා. මේ වෙනකනුත් ආබ්‍රහම්ව හැඳින්නුවේ ආබ්‍රම් කියලා. හැබැයි මේ වතාවේදී තමයි යෙහෝවා දෙවියන් “සමූහයකගේ පියා” කියන තේරුම තියෙන ආබ්‍රහම් කියන නම එයාට දුන්නේ. ඒ වගේම දෙවියන් දීපු පොරොන්දුව ඉටු කරන්න සාරා දායක වෙන විදිහ දෙවියන් හෙළි කළෙත් මේ වතාවේදීයි. ඔහු ඒක කළේ මේ වෙනකනුත් සාරයි විදිහට හඳුන්වපු සාරාට “කුමාරිකාව” කියන තේරුම තියෙන සාරා කියන නම දීමෙනුයි. දෙවියන් ඒ ගැන ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. ‘මම ඇයට ආශීර්වාද කර ඇගෙන් ඔබට පුතෙක් දෙන්නෙමි. ඇය විවිධ ජාතීන්ගේද රජවරුන්ගේද මව් වීමට සලස්වන්නෙමි.’—උත්පත්ති 17:5, 15, 16.

යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට දීපු පොරොන්දුව සාරා මාර්ගයෙන් ඉටු වෙන්නයි යන්නේ. දෙවියන් කිව්වා සාරාට ඉපදෙන පුතාට “සිනහව” කියන තේරුම තියෙන ඊසාක් කියන නම දාන්න කියලා. සාරා දරුවෙක්ව බිහි කරනවා කියලා යෙහෝවා දෙවියන් කිව්වාම ආබ්‍රහම් හිනා වුණා. (උත්පත්ති 17:17) එයාට දැනුණේ පුදුම සතුටක්.—රෝම 4:19, 20.

වැඩි කාලයක් යන්න කලින් ආබ්‍රහම්ගේ කූඩාරමට අමුත්තන් තුන්දෙනෙක් ආවා. එයාලා ආවේ තද රස්නේ තිබුණු වෙලාවක වුණත් ආබ්‍රහමුයි සාරායි එයාලව ආදරෙන් පිළිගත්තා. ආබ්‍රහම් සාරාට කිව්වා ‘ඉක්මන් කරලා සිහින් පිටි සෙයා මිනුම් තුනක් අරගෙන, රොටි ටිකක් හදන්න’ කියලා. ඒ කාලේදී ආගන්තුක සත්කාරය පෙන්වන්න හුඟක් මහන්සි වෙන්න සිද්ධ වුණා. ආබ්‍රහම් හැම වැඩක්ම සාරා පිට පටවලා නිකං හිටියේ නැහැ. එයාත් ඉක්මනටම ගිහින් නහඹර වස්සෙක්ව අරන් ඇවිත් තවත් කෑම බීම පිළියෙළ කළා. (උත්පත්ති 18:1-8) අමුත්තන් විදිහට ඇවිත් තියෙන්නේ දේවදූතයන්. පස්සේ කාලෙකදී නියෝජිත පාවුල් මේ දේ කිව්වේ ඒ සිද්ධිය මනසේ තියාගෙන වෙන්න ඇති. “ආගන්තුක සත්කාරය දැක්වීමට අමතක නොකරන්න. මන්ද සමහරු නොදැනුවත්වම දේවදූතයන්ට පවා සංග්‍රහ කළෝය.” (හෙබ්‍රෙව් 13:2) ආගන්තුක සත්කාරය පෙන්වීම සම්බන්ධයෙන් ආබ්‍රහම්වයි සාරාවයි ආදර්ශයට ගන්න ඔයාටත් පුළුවන්ද?

සාරා ආගන්තුක සත්කාරය පෙන්නුවේ කැමැත්තෙන්මයි

දෙවියන් සාරා ගැන දීපු පොරොන්දුව ඒ දේවදූතයෙක් ආබ්‍රහම්ට ආයෙත් මතක් කරද්දී සාරා හිටියේ කූඩාරම ඇතුළේ. එයාට ඒක අදහාගන්න බැරි වුණා. “දැන් හොඳටම වයසට ගිහින් ඉන්න මටයි මගේ ස්වාමියාටයි ඒ වගේ සතුටක් අද්දකින්න පුළුවන්ද” කියලා එයා එයාටම කියාගත්තේ තනිවම සිනාසෙමිනුයි. හැබැයි ඒ වෙලාවේ එයා හිතපු විදිහ වැරදියි කියලා තේරුම් කරලා දෙන්න දේවදූතයෙක් මෙහෙම ඇහුවා. ‘යෙහෝවා දෙවියන්ට කරන්න බැරි දෙයක් තියෙනවාද?’ ඒ වෙලාවේ සාරා මොන තරම් බය වුණාද කියනවා නම් වෙව්ලන කටහඬකින් එයා කිව්වා “මම හිනා වුණේ නැහැ” කියලා. එතකොට දේවදූතයා කිව්වා ‘ඔයා හිනා වුණා’ කියලා.—උත්පත්ති 18:9-15.

සාරා හිනා වුණේ එයාට දෙවියන් ගැන ශක්තිමත් විශ්වාසයක් තිබුණේ නැති නිසාද? නැහැ. බයිබලයේ එයා ගැන මෙහෙම කියනවා. ‘සාරා තුළ තිබූ විශ්වාසය නිසා පොරොන්දුව දුන් තැනැත්තාණන් එය විශ්වාසවන්තව ඉටු කරයි කියා ඇය දැන සිටියා. වයස් සීමාව පසු කර සිටියත් දරුවෙකු පිළිසිඳගැනීමට ඇයට හැකියාව ලැබිණ.’ (හෙබ්‍රෙව් 11:11) යෙහෝවා දෙවියන් දෙන ඕනම පොරොන්දුවක් ඉටු කරන්න ඔහුට පුළුවන් කියලා සාරා දැනගෙන හිටියා. ඒ ගැන එයාට සැකයක් තිබුණේ නැහැ. අපි හැමෝටමත් ඒ වගේ විශ්වාසයක් තියෙන්න ඕනෙ නේද? අපි බයිබලය හොඳින් අධ්‍යයනය කරද්දී සාරාට දෙවියන් ගැන ඒ තරම්ම විශ්වාසයක් තියාගන්න මොන තරම් හොඳ හේතු තිබුණාද කියලා තේරුම්ගන්න පුළුවන්. ඔව්, යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ඔහුගේ පොරොන්දු ඉටු කරනවා. සාරා අද්දැක්කා වගේ සමහර අවස්ථාවලදී ඔහු පොරොන්දු ඉටු කරන විදිහ අපිටත් අදහාගන්න බැරි වෙයි.

“ඇයට සවන් දෙන්න”

සාරාට තිබුණු විශ්වාසයට යෙහෝවා දෙවියන් ආශීර්වාද කළා

අවුරුදු ගාණක් තිස්සේ ආසාවෙන් බලන් හිටිය දේ සාරා අවුරුදු 90දී අද්දැක්කා. ඔව්, එයා පුතෙක්ව බිහි කළා. දෙවියන් කියලා තිබුණු විදිහටම ආබ්‍රහම් පුතාට දැම්මේ “සිනහව” කියන තේරුම තියෙන ඊසාක් කියන නම. සාරා යම් වේදනාවකින් හිටියත් එයා මෙහෙම කිව්වා. “දෙවි මාව සතුටට පත් කළ නිසා මම දැන් සිනාසෙනවා. මේ ගැන ආරංචි වන හැමදෙනාම මා සමඟ සතුටෙන් සිනාසෙයි.” (උත්පත්ති 21:6) යෙහෝවා දෙවියන් ආශ්චර්යවත් විදිහට ලබා දීපු ඒ වටිනා තෑග්ග ගැන සාරා මියැදෙන කල්ම සතුටු වෙන්න ඇති. ඒක එයාට ලොකු වගකීමකුත් වුණා.

අවුරුදු පහකට පස්සේ ඊසාක් කිරි වැරූ දවසේදී පවුලේ අය උත්සවයක් පැවැත්තුවා. හැබැයි මේ වෙද්දී අවුරුදු 19ක් වයස ඉෂ්මායෙල් නිතරම වගේ ඊසාක්ව විහිළුවට ලක් කරනවා කියලා ‘සාරා දැකලා’ තිබුණා. ඒක නිකම්ම විහිළුවක් නෙවෙයි. ඉෂ්මායෙල් ඊසාක්ට පීඩා කළා කියලා නියෝජිත පාවුල් සඳහන් කරලා තියෙන එකෙන් ඒක පැහැදිලි වෙනවා. සාරා තේරුම්ගත්තා ඒක ඊසාක්ට තර්ජනයක් වෙන්න පුළුවන් කියලා. යෙහෝවා දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න ඊසාක්ටත් වැඩ කොටසක් තියෙනවා කියන දේත් සාරාගේ මනසේ තිබුණා. ඒ නිසා එයා ධෛර්යය වඩවාගෙන ආබ්‍රහම්ගෙන් ඇහුවා හාගර්වත් ඉෂ්මායෙල්වත් ගෙදරින් පිට කරන්න පුළුවන්ද කියලා.—උත්පත්ති 21:8-10; ගලාති 4:22, 23, 29.

සාරා කියපු දේ ගැන ආබ්‍රහම් ‘අමනාප වුණා.’ ආබ්‍රහම් ඉෂ්මායෙල්ට හුඟක් ආදරේ කරපු නිසා එයාගේ වරදක් තියෙනවා කියලා පිළිගන්න ආබ්‍රහම් කැමති වුණේ නැහැ. හැබැයි යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. ‘ඔබේ දාසිය ගැනත් ඇගේ පුතා ගැනත් සාරා කියන දේවල් නිසා ඇය එක්ක අමනාප වෙන්න එපා. ඇයට සවන් දෙන්න. ඔබට පොරොන්දු වූ තැනැත්තා පැවත එන්නේ ඊසාක්ගෙන්.’ හාගර්ටත් ඉෂ්මායෙල්ටත් ඕන දේවල් සපයන්නම් කියලා යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට පොරොන්දු වුණා. දෙවියන්ට විශ්වාසවන්තව ක්‍රියා කරපු ආබ්‍රහම් ඔහුට කීකරු වුණා.—උත්පත්ති 21:11-14.

ඇත්තෙන්ම සාරා ආබ්‍රහම්ට හොඳ සහකාරියක් වුණා. සාරා ආබ්‍රහම්ට කිව්වේ එයා අහන්න කැමති දේවල් විතරක් නෙවෙයි. එයාලගේ පවුලටත් අනාගතයටත් තර්ජනයක් වෙන්න පුළුවන් දේවල් ගැනත් එයා ආබ්‍රහම්ට කිව්වා. ඒක ආබ්‍රහම්ට කරපු අගෞරවයක් කියලා කියන්න බැහැ. නියෝජිත පේතෘස් පස්සේ කාලෙකදී සාරාව ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දක්වපු කෙනෙක් විදිහට හඳුන්වලා තියෙන එකෙන් ඒක පැහැදිලි වෙනවා. (1 කොරින්ති 9:5; 1 පේතෘස් 3:5, 6) ඇත්තටම සාරා එදා ඒ කාරණය ආබ්‍රහම්ට නොකියා හිටියා නම් තමයි ඒක ආබ්‍රහම්ට අගෞරවයක් වෙන්නේ. මොකද, ආබ්‍රහම්ට විතරක් නෙවෙයි මුළු පවුලටම ඒක නරක විදිහට බලපාන්න ඉඩ තිබුණා.

ගෞරවාන්විතව, අවංකවම ස්වාමිපුරුෂයා එක්ක අදහස් හුවමාරු කරගන්න හුඟක් වටිනා පාඩම් සාරාගෙන් ඉගෙනගන්න පුළුවන්. යෙහෝවා දෙවියන් සාරා වෙනුවෙන් ආබ්‍රහම්ට කතා කළා වගේ තමන්ගේ ස්වාමිපුරුෂයන් එක්කත් කතා කරනවා නම් කොච්චර හොඳද කියලා අද ඉන්න සමහර භාර්යාවන්ටත් හිතෙනවා ඇති. කොහොමවුණත් දෙවියන් ගැන ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න, ආදරය, ඉවසීම වගේ කදිම ගතිගුණ වර්ධනය කරගන්න එයාලා සාරාව අනුකරණය කරන්න වෑයම් කරනවා.

යෙහෝවා දෙවියන් සාරාව “කුමාරිකාව” විදිහට හැඳින්නුවත් අනිත් අය තමන්ට කුමාරිකාවක් විදිහට සලකයි කියලා සාරා බලාපොරොත්තු වුණේ නැහැ

යෙහෝවා දෙවියන් “කුමාරිකාව” කියන තේරුම තියෙන සාරා කියන නම දීපු නිසා අනිත් අය තමන්ට කුමාරිකාවක් විදිහට සලකයි කියලා සාරා බලාපොරොත්තු වුණේ නැහැ. වයස 127දී සාරා මැරුණාම ආබ්‍රහම් ‘හඬා වැලපුණු’ එක පුදුමයක්ද! * (උත්පත්ති 23:1, 2) ඒ “කුමාරිකාව” නැති අඩුව ආබ්‍රහම්ට තදින්ම දැනුණා. එයා නැති අඩුව යෙහෝවා දෙවියන්ටත් දැනෙනවා ඇති. පාරාදීස පොළොවේ සදාකාලයටම ජීවත් වෙන්න එයාට ආයෙත් අවස්ථාව දෙන්නත් දෙවියන් හුඟක් ආසාවෙන් ඇති. අනාගතයේදී සාරාට අනිවාර්යයෙන්ම ඒ ආශීර්වාදය ලැබෙනවා. එයාගේ ආදර්ශය අනුකරණය කරන අයටත් ඒ ආශීර්වාද අද්දකින්න පුළුවන්.—යොහන් 5:28, 29.

^ 3 ඡේ. මුලදී ඒ දෙන්නාව හැඳින්නුවේ ආබ්‍රම් සහ සාරයි කියලයි. පස්සේ යෙහෝවා දෙවියන් ආබ්‍රහම් සහ සාරා කියලා එයාලගේ නම් වෙනස් කළා. අපි මේ ලිපියේ එයාලව හඳුන්වන්නේ ආබ්‍රහම් සහ සාරා කියලයි.

^ 10 ඡේ. පුරුෂයෙකුට භාර්යාවන් කීපදෙනෙකුවත් භාර්යාවකට පුරුෂයන් කීපදෙනෙකුවත් විවාහ කරගන්න වගේම පුරුෂයෙකුට උපභාර්යාවන්ව තියාගන්නත් යෙහෝවා දෙවියන් යම් කාලෙකට අවසර දීලා තිබුණා. හැබැයි පස්සේ කාලෙකදී දෙවියන් මුලින්ම ඇති කරපු විවාහ සැලැස්ම ගැන මතක් කරමින් පුරුෂයෙකුට ඉන්න ඕනෙ එක භාර්යාවක් කියලත් භාර්යාවකට ඉන්න ඕනෙ එක පුරුෂයෙක් කියලත් යේසුස් මාර්ගයෙන් දැනුම් දුන්නා.—උත්පත්ති 2:24; මතෙව් 19:3-9.

^ 25 ඡේ. බයිබලයේ සඳහන් කාන්තාවන් අතරින් අවුරුදු කීයක් ජීවත් වුණාද කියලා සඳහන් වෙන්නේ සාරා ගැන විතරයි.