Skip to content

පටුනට යන්න

3වෙනි පාඩම

බයිබලය විශ්වාස කරන්න ඔයාට පුළුවන්ද?

බයිබලය විශ්වාස කරන්න ඔයාට පුළුවන්ද?

බයිබලයේ හුඟක් පොරොන්දු, ජීවිතේට උදව් වෙන තොරතුරු තියෙනවා. ඒවා ගැන දැනගන්න ඔයාගේ හිතෙත් ආසාවක් ඇති. ඒත් එච්චර පරණ පොතක තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද කියලත් ඔයා හිතනවා ඇති. බයිබලයේ තියෙන තොරතුරු ඇත්තටම ප්‍රයෝජනවත් කියලා, ඒකේ තියෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා විශ්වාස කරන්න ඔයාට පුළුවන්ද? හුඟදෙනෙක්ට ඒ විශ්වාසය තියෙනවා. ඔයාටත් ඒ ගැන විශ්වාසයක් ඇති කරගන්න මේ තොරතුරු උදව් වෙයි.

1. බයිබලයේ තියෙන සිද්ධීන් ඇත්තටම සිද්ධ වුණාද?

බයිබලයේ තියෙන්නේ “සත්‍ය වචන” කියලා බයිබලයේම කියනවා. (දේශනාකාරයා 12:10) ඒකේ තියෙන්නේ ඇත්තටම වුණ සිද්ධීන් ගැන. ඇත්තටම හිටපු පුද්ගලයන් ගැන. (ලූක් 1:3; 3:1, 2 කියවන්න.) හුඟක් ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් කියනවා ඒකේ සඳහන් වෙන දින, පුද්ගලයන්, ස්ථාන, සිද්ධීන් නිවැරදියි කියලා කියන්න සාක්ෂි තියෙනවා කියලා.

2. බයිබලය පරණ පොතක් වුණත් ඒක අදටත් ගැළපෙනවා කියන්නේ ඇයි?

බයිබලයේ තියෙන සමහර දේවල් ඇත්ත කියලා ඔප්පු වුණේ ඒක ලියලා කාලයක් ගියාට පස්සෙයි. බයිබලයේ තියෙන විද්‍යාවට සම්බන්ධ කාරණා ඒකට හොඳ උදාහරණයක්. ඒවා ලියපු කාලේ ජීවත් වුණ හුඟක් අය හිතුවේ ඒ දේවල් පිළිගන්න බැහැ කියලයි. ඒත් ඒවා සීයට සීයක්ම හරියි කියලා අද ඉන්න විද්‍යාඥයනුත් හොයාගෙන තියෙනවා. ඒකෙන් පැහැදිලියි බයිබලයේ තියෙන්නේ ‘ස්ථිර, සදහටම පවතින, විශ්වාසනීය’ තොරතුරු කියලා.—ගීතාවලිය 111:7, 8.

3. අනාගතය ගැන බයිබලයේ තියෙන දේවල් අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?

“මේ වන තුරු සිදු නොවූ දේවල් ගැන” සඳහන් හුඟක් අනාවැකි a බයිබලයේ තියෙනවා. (යෙසායා 46:10) ඉතිහාසයේ සමහර වැදගත් සිද්ධීන් වෙන්නත් කලින්ම බයිබලයේ ඒ ගැන කියලා තිබුණා. අද කාලේ අපිට අහන්න දකින්න ලැබෙන දේවල් ගැනත් ඒකේ කලින්ම කියලා තිබුණා. ඒ අනාවැකි කොච්චර නිවැරදිද කියලා දකිද්දී ඔයාට පුදුම හිතෙයි! ඒ වගේ අනාවැකි කීපයක් ගැන අපි මේ පාඩමෙන් බලමු.

තවත් හොයමු

බයිබලයේ තියෙන තොරතුරු ඇත්ත කියලා විද්‍යාවෙනුත් ඔප්පු වෙලා තියෙන්නේ කොහොමද කියලත් අකුරටම ඉටු වුණ අනාවැකි කීපයක් ගැනත් බලමු.

4. බයිබලයේ තියෙන දේවල් විද්‍යාවෙනුත් ඔප්පු වෙලා තියෙනවා

අතීතයේ හිටපු හුඟක් අය විශ්වාස කළේ පොළොව ආධාරකයක් මත පිහිටලා තියෙනවා කියලයි. වීඩියෝ එක බලන්න.

අවුරුදු 3,500කට විතර කලින් යෝබ් පොතේ කියලා තිබුණු දේ බලන්න. යෝබ් 26:7 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • පොළොව “හිස් අවකාශයේ” තියෙනවා කියලා බයිබලයේ සඳහන් වෙලා තියෙන එක පුදුම දෙයක් වෙන්නේ ඇයි?

ජල චක්‍රය ගැන හරියටම තේරුම්ගත්තේ 1,800 ගණන්වල. ඒත් මීට අවුරුදු 3,500කට විතර කලින් බයිබලයේ ඒ ගැන කියලා තියෙන දේ බලන්න. යෝබ් 36:27, 28 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • එතන ජල චක්‍රය විස්තර කරලා තියෙන විදිහ ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?

  • ඒ පද කියෙව්වාට පස්සේ බයිබලය ගැන ඔයාට විශ්වාසයක් ඇති වුණාද?

5. ඉතිහාසයේ වුණ වැදගත් සිද්ධීන් ගැන බයිබලයේ කලින්ම කියලා තිබුණා

යෙසායා 44:27–45:2 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • බැබිලෝනිය යටත් කරගන්න අවුරුදු 200කට කලින් බයිබලයේ ඒ ගැන කියලා තිබුණේ මොන වගේ තොරතුරුද?

වීඩියෝ එක බලන්න.

පර්සියාවේ රජ වන සයිරස් සහ එයාගේ හමුදාව ක්‍රි.පූ. b 539දී බැබිලෝනිය යටත් කරගත්තා කියලා ඉතිහාස වාර්තාවලින් පැහැදිලි වෙනවා. ඒ හමුදාව මුලින්ම කළේ නගරයේ ආරක්ෂාවට තිබුණු ගඟේ වතුර වෙන පැත්තකට යවපු එක. ඒකෙන් ගඟේ වතුර ප්‍රමාණය අඩු වුණ නිසා එයාලට නගරයට යන්න ලේසි වුණා. නගරයේ දොරටු ඇරලා දාලා තිබුණු නිසා එයාලා ඇතුළට ගිහින් සටන් කරන්නේ නැතුවම ඒක අල්ලගත්තා. ඒක වෙලා දැන් අවුරුදු 2,500කටත් වඩා වැඩියි. අද බැබිලෝනියේ ඉතුරු වෙලා තියෙන්නේ නටඹුන් විතරයි. බයිබලයේ ඒ ගැන කියලා තිබුණු දේ බලන්න.

යෙසායා 13:19, 20 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඒ අනාවැකිය ඉටු වුණේ කොහොමද?

ඉරාකයේ තියෙන බැබිලෝනියේ නටඹුන්

6. අද අපි අහන දකින දේවල් ගැන බයිබලයේ කලින්ම කියලා තිබුණා

බයිබලයේ කියන්නේ අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” කියලා. (2 තිමෝති 3:1) මේ කාලය ගැන බයිබලයේ කලින්ම කියලා තිබුණු දේවල් බලන්න.

මතෙව් 24:6, 7 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අවසාන කාලයේදී මොන වගේ දේවල් අහන්න දකින්න ලැබෙනවා කියලාද බයිබලයේ කියන්නේ?

2 තිමෝති 3:1-5 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • බයිබලයේ කියන්නේ අවසාන කාලයේ ඉන්නේ මොන වගේ අය කියලාද?

  • මේ පදවල කතා කරන මොන වගේ අයවද ඔයා දැකලා තියෙන්නේ?

සමහරු මෙහෙම කියනවා: “බයිබලයේ තියෙන්නේ නිකම්ම නිකම් ගොතපු කතා.”

  • බයිබලය විශ්වාස කරන්න පුළුවන් කියලා කියන්න ඔයාට තියෙන හොඳම සාක්ෂිය මොකක්ද?

ඉගෙනගත්ත දේ

බයිබලයේ තියෙන ඉතිහාස වාර්තා, විද්‍යාත්මක තොරතුරු සහ අනාවැකිවලින් ඒක විශ්වාස කරන්න පුළුවන් කියලා පැහැදිලි වෙනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • බයිබලයේ තියෙන සිද්ධීන් ඇත්තටම සිද්ධ වුණාද?

  • බයිබලයේ තියෙන දේවල් නිවැරදියි කියලා විද්‍යාවෙනුත් හොයාගෙන තියෙනවාද? ඒ මොනවාද?

  • අනාගතය ගැන බයිබලයේ තියෙන දේවල් ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද? ඒ ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

විද්‍යාවට පටහැනි අදහස් බයිබලයේ තියෙනවාද?

“බයිබලය විද්‍යාවට එකඟද?” (වෙබ් ලිපිය)

ග්‍රීක අධිරාජ්‍යය ගැන බයිබලයේ තියෙන අනාවැකි ඉටු වුණ විදිහ දැනගන්න.

‘“අනාවැකි මාර්ගයෙන් පවසා ඇති දේවලින්” ශක්තියක් ලබන්න’ (5:22)

බයිබලයේ තියෙන අනාවැකි ඉටු වුණ විදිහ ගැන දැනගත්ත එක ඒ ගැන විශ්වාසයක් ඇති කරගන්න කෙනෙක්ට උදව් වුණේ කොහොමද කියලා බලන්න.

“දෙවි කෙනෙක් ඉන්නවා කියලා මං විශ්වාස කළේ නැහැ” (2017 අංක 5 ‘මුරටැඹ’)

a ඉස්සරහට වෙන්න යන දේවල් ගැන දෙවියන් කියපු පණිවිඩත් අනාවැකිවලට ඇතුළත්.

b ක්‍රි.පූ. කියන්නේ “ක්‍රිස්තු පූර්ව.” ක්‍රි.ව. කියන්නේ “ක්‍රිස්තු වර්ෂ.”