Skip to content

බයිබලය විද්‍යාවට එකඟද?

බයිබලය විද්‍යාවට එකඟද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලය විද්‍යාව ගැන ලියවිලා තියෙන පොතක් නොවුණත් ඒකේ ලියවිලා තියෙන විද්‍යාවට සම්බන්ධ තොරතුරු නිවැරදියි. බයිබලයේ සඳහන් විද්‍යාත්මක තොරතුරු බයිබලය ලිව්ව කාලයේ හිටපු මිනිසුන් විශ්වාස කරපු දේවලට වඩා හුඟක් වෙනස්. උදාහරණ කීපයක් සලකලා බලමු.

  •   විශ්වයට ආරම්භයක් තිබුණා. (උත්පත්ති 1:1) ඒත් අතීතයේ හිටිය මිථ්‍යා අදහස් දරපු ගොඩක් අය විශ්වය නිර්මාණයක් කියලා විශ්වාස කළේ නැහැ. බැබිලෝනිවරුන් හිතුවේ විශ්වය සාගර දෙකකින් මතු වුණු දෙවිවරුන් දෙන්නෙක් හැදුවා කියලයි. වෙනත් පැරණි ප්‍රබන්ධ කථාවල කියවෙන්නේ විශ්වය යෝධ බිත්තරයකින් ඇති වුණා කියලයි.

  •   විශ්වය පාලනය වෙන්නේ භෞතික නීතිවලින් මිස දෙවි දේවතාවන්ගේ ඕනෑ එපාකම්වලට අනුව නෙමෙයි. (යෝබ් 38:33; යෙරෙමියා 33:25) දෙවි දේවතාවන් තමන්ට හිතෙන හිතෙන දේවල් කරන නිසාත් සමහර අවස්ථාවලදී ඉතා දරුණු විදිහට ක්‍රියා කරන නිසාත් මිනිසුන් ඉන්නේ අසරණ තත්වයකයි කියලා මිථ්‍යා ඉගැන්වීම්වල සඳහන් වෙනවා.

  •   පෘථිවිය තියෙන්නේ හිස් අවකාශයේ. (යෝබ් 26:7) ඒත් පුරාණයේ හිටිය හුඟදෙනෙක් හිතුවේ පෘථිවිය පැතලියි, ඒක යෝධයෙක් හරි මී හරකෙක් හරි කැස්බෑවෙක් හරි උස්සගෙන ඉන්නවා කියලයි

  •   ගංගා හා ඇළදොළවල් පෝෂණය වෙන්නේ සාගර හා වෙනත් ජලාශවලින් වාෂ්පවෙන වතුර ආපහු වැස්ස, හිම හැටියට පොළොවට පතිත වෙන නිසයි. (යෝබ් 36:27, 28; දේශනාකාරයා 1:7; යෙසායා 55:10; ආමොස් 9:6) ඒත් ගංගාවලට වතුර ලැබුණේ පොළොව යට තියෙනවා කියලා හිතපු සාගරවලින් කියලා පුරාණයේ හිටිය ග්‍රීකවරුන් විශ්වාස කළා. ඔවුන් 18වෙනි සියවස දක්වාම ඒ මතය දැරුවා.

  •   කඳු ඇති වෙනවා නැති වෙනවා. අද තියෙන කඳු එක් කාලයකදී තිබුණේ සාගරය යටයි. (ගීතාවලිය 104:6, 8) හුඟක් මිථ්‍යා කතන්දරවල කියවෙන්නේ දැන් තියෙන විදිහටම දෙවිවරුන් කඳු හැදුවා කියලයි.

  •   සනීපාරක්ෂක පුරුදුවලින් සෞඛ්‍යය රැකගන්න පුළුවන්. ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතිවලට අනුව ඔවුන් මළ මිනියක් ඇල්ලුවට පස්සේ සම්පූර්ණයෙන්ම සෝදා පවිත්‍ර වෙන්න අවශ්‍ය වුණා. ඒ වගේම බෝවෙන රෝගයක් තියෙන කෙනෙකුව වෙන් කරලා තියන්න කියලත් අසූචි වළලන්න කියලත් ඒ නීතිවල කියලා තිබුණා. (ලෙවී කතාව 11:28; 13:1-5; ද්විතීය කතාව 23:13) ඒත් ඒ නීති දුන්න කාලයේම ඊජිප්තුවරුන් වෙදකමක් හැටියට අලුත් තුවාලවලට අසූචි මිශ්‍ර කරලා හැදුව බෙහෙතක් පාවිච්චි කෙරුවා.

බයිබලේ විද්‍යාවට පටහැනි අදහස් තියෙනවාද?

 බයිබලය ගැන හොයලා බැලුවොත් එහෙම අදහස් නැහැ කියලා තේරුම්ගන්න පුළුවන්. බයිබලේ තියෙන අදහස් විද්‍යාවට පටහැනියි කියලා කියන්න හේතු වෙලා තියෙන සමහර වැරදි මත කීපයක් බලන්න.

 වැරදි අදහස: විශ්වය නිර්මාණය කෙරුවේ පැය 24 දවස් හයකින් කියලා බයිබලේ කියනවා.

 බයිබලේ කියන දේ: දෙවියන් විශ්වය නිර්මාණය කළේ ඈත අතීතයේ කියලා සඳහන් වුණත් හරියටම කවදාද කියලා බයිබලේ කියන්නේ නැහැ. (උත්පත්ති 1:1) ඒ වගේම නිර්මාණය කරන්න ගත වුණු දවස්වලට කොයි තරම් කාල පරිච්ඡේදයක් ඇතුළත් වුණාද කියලත් උත්පත්ති 1වෙනි පරිච්ඡේදයේ සඳහන්වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි අහසත් පොළොවත් නිර්මාණය කරන්න ගත වුණු කාල පරිච්ඡේදයටත් බයිබලේ කියන්නේ ‘දවසක්’ කියලයි.—උත්පත්ති 2:4.

 වැරදි අදහස: ගස් වැල්වල පැවැත්මට අවශ්‍ය ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්න නම් හිරු එළිය අවශ්‍යයි. ඒ වුණත් බයිබලයේ කියන්නේ සූර්යයා නිර්මාණය කරන්න කලින් ගස් වැල් නිර්මාණය කෙරුවා කියලයි.—උත්පත්ති 1:11, 16.

 බයිබලේ කියන දේ: බයිබලේ කියන්නේ දෙවියන් මුලින්ම “අහස” නිර්මාණය කෙරුවා කියලයි. ඒ කියන්නේ අහසට අයිති තරුවක් වන ඉරත් නිර්මාණය කෙරුවා කියලයි. (උත්පත්ති 1:1) එහෙමනම් ගස් වැල් නිර්මාණය කෙරුවේ ඉර නිර්මාණය කෙරුවට පස්සෙයි. පළවෙනි දවසේදී, ඒ කියන්නේ පළවෙනි කාල පරිච්ඡේදයේදී හිරු එළිය තිබුණත් පොළොවට ප්‍රමාණවත්ව වැටුණේ නැහැ. ඒත් තුන්වෙනි දවසේ වායුගෝලය පැහැදිලි වුණාට පස්සේ ගස් වැල්වල ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය තරම් හිරු එළිය ලැබුණා. (උත්පත්ති 1:3-5, 12, 13) හිරු එළිය පැහැදිලිවම දැකගන්න පුළුවන් වුණේ ඊටපස්සේ කාලයකයි.—උත්පත්ති 1:16.

 වැරදි අදහස: බයිබලේ කියන්නේ ඉර පෘථිවිය වටා ගමන් කරනවා කියලයි.

 බයිබලේ කියන දේ: “හිරු උදා වෙයි. හිරු බැස යයි. යළි උදා වන පිණිස නියමිත ස්ථානය කරා වේගයෙන් එය ගමන් කරයි” කියලා බයිබලේ කියනවා. (දේශනාකාරයා 1:5) ඇත්තටම එතන කතා කරන්නේ පොළොවේ ඉන්න කෙනෙක් ඉර ගමන් කරන ආකාරය දකින විදිහයි. අදත් ඉර නඟිනවා ඉර බහිනවා කියලා අපි කිව්වත් අපි දන්නවා පෘථිවිය තමයි ඉර වටා ගමන් කරන්නේ කියලා.

 වැරදි අදහස: බයිබලේ කියන්නේ පෘථිවිය පැතලියි කියලා.

 බයිබලේ කියන දේ: “පොළොවේ දුර ඈත කෙළවරවල” කියලා බයිබලේ කියද්දී ඒකෙන් අදහස් කරන්නේ ඈත එපිට ප්‍රදේශවල කියන එක මිස පොළොවේකෙළවරක් තියෙනවා කියන එක නෙමෙයි. (ක්‍රියා 1:8) ඒ වගේම මුළු පොළොව පුරාම කියන අදහස දෙන්න “පොළොවේ සතරදිග්භාගයේ” කියන යෙදුම බයිබලේ පාවිච්චි කරලා තියෙනවා. අපි අදත් පොළොව පුරා කියන අදහස දෙන්න සතරදිග්භාගයේම කියන වචනේ පාවිච්චි කරනවා.—එළිදරව් 20:8; ලූක් 13:29.

 වැරදි අදහස: බයිබලේ කියනවා වෘතයක වටප්‍රමාණය ඒකේ විෂ්කම්භය වගේ හරියටම තුන් ගුණයක් කියලා. ඒත් ඒක හරියටම තුන් ගුණයක් නෙමෙයි ඒකේ අගය pi (π) ඒ කියන්නේ 3.1416ට ආසන්න අගයක්.

 බයිබලේ කියන දේ: 1 රාජාවලිය 7:23 සහ 2 ලේකම් 4:2 කියන්නේ වතුර දාන්න හදපු ‘විශාල වටකුරු තඹ භාජනයේ’ විෂ්කම්භය රියන් දහයක්, ඒකේ “වටප්‍රමාණය රියන් තිහක්” කියලයි. මේ මිමි දීලා තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවට ආසන්න සංඛ්‍යාවලින් වෙන්න පුළුවන්. ඒ වගේම සමහරවිට මේ අගයන්, ඒ කියන්නේ රියන් 30ක වටප්‍රමාණය මැන්නේ භාජනයේ ඇතුල් පැත්තෙනුත් රියන් 10ක විෂ්කම්භය මැන්නේ භාජනයේ පිටත දාර දෙක දක්වාත් වෙන්න පුළුවන්.