Skip to content

ජීවිත වෙනස් කළ පොතක්

මට ලැබුණ වටිනාම තෑග්ග

මට ලැබුණ වටිනාම තෑග්ග
  • ඉපදුණ අවුරුද්ද: 1967

  • රට: ෆින්ලන්තය

  • අතීතයේදී: ටෙනිස් ක්‍රීඩකයෙක්

මගේ අතීතය

 මම හැදුණේ වැඩුණේ ෆින්ලන්තයේ ටම්පෙරෙ කියන ගමේ. ඒක හරිම ලස්සන පිටිසර ගම්මානයක්. අපේ ගෙදර කට්ටියට ආගම ගැන එච්චර උනන්දුවක් තිබුණේ නැහැ. ඒත් හොඳට ඉගෙනගන්න එක, හොඳ පුරුදු වගේ දේවල් එයාලා ගොඩක් වැදගත් දේවල් විදිහට සැලකුවා. මගේ අම්මා ජර්මනියේ කෙනෙක්. ඒ නිසා මං පොඩි කාලේ ඉස්කෝලේ නිවාඩුවට ආච්චිවයි සීයාවයි බලන්න බටහිර ජර්මනියට ගිහින් තියෙනවා.

 පුංචි කාලේ ඉඳලා මං ක්‍රීඩාවට හරි ආසයි. හැම ක්‍රීඩාවක්ම වගේ කළා. ඒත් අවුරුදු 14ක් විතර වෙද්දි මං හිතුවා ටෙනිස්වලින් තමයි මං ඉස්සරහට යන්නේ කියලා. අවුරුදු 16දී මං පුහුණුකරුවෙක් එක්ක පුහුණුවීම් කළා. සාමාන්‍යයෙන් දවසකට එයා එක්ක ට්‍රේනිං සෙෂන්ස් 2ක් කරනවා. ඊටපස්සේ මං තනියෙනුත් පුහුණු වෙනවා. ටෙනිස් ක්‍රීඩාවට ඇතුළත් දේවලට මං ගොඩක් ආස කළා. ඉතිං මං හුඟක් මහන්සි වෙලා ටෙක්නික්ස් ඉගෙනගත්තා. ඉඳලා හිටලා මං යාළුවෝ එක්ක බියර් එකක් එහෙමත් බිව්වා. ඒත් මං මගේ ජීවිතේම කරගෙන හිටියේ ටෙනිස් නිසා මත්පැන්වලට, මත්ද්‍රව්‍යවලට මං ඇබ්බැහි වුණේ නැහැ.

 මං අවුරුදු 17දී ටෙනිස් වෘත්තිකයන්ගේ සංගමයෙන් පවත්වපු තරඟවලට සහභාගි වුණා. a තරඟ කිහිපයක්ම දින්න නිසා මම රටේ ප්‍රසිද්ධ කෙනෙක් වුණා. මට අවුරුදු 22ක් වෙනකොට ලෝකයේ ඉන්න හොඳම ටෙනිස් ක්‍රීඩකයන් 50දෙනා අතර මමත් හිටියා.

 ටෙනිස් ක්‍රීඩාව නිසා ලෝකේ වටේම සංචාරය කරන්න මට පුළුවන් වුණා. එහෙම යද්දී මං ලස්සන ලස්සන තැන් දැක්කා. ඒ වගේම අපරාධ, මත්ද්‍රව්‍ය භාවිතය වගේම පරිසරයට සිදු වන හානිය වගේ දේවලුත් මං දැක්කා. උදාහරණයකට ඇමරිකාවේ සමහර නගරවල ගොඩක් අපරාධ වෙන නිසා ඒ නගරවලට යන්න එපා කියලා අපිට කිව්වා. ඒ වගේ දේවල් නිසා මං ටිකක් අප්සට් එකෙන් හිටියේ. මම කරන්න ආසම දේ මම කළා තමයි. ඒත් මට තෘප්තියක්, සතුටක් දැනුණේ නැහැ.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි

 මං යාළු වෙලා හිටියා සන්න කියලා ගෑනු ළමයෙක් එක්ක. එයා සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. එයා ආගමට ළැදි කෙනෙක් කියලා මං දැනගෙන හිටියේ නැහැ. ඒත් මං ඒකට විරුද්ධ වුණෙත් නැහැ. 1990දී අපි දෙන්නා විවාහ වුණා. ඊළඟ අවුරුද්දේ සන්න බව්තීස්ම වුණා. දෙවි කෙනෙක් ඉන්නවා කියලා මං පිළිගත්තා. ඒත් ආගම ගැන මට ඒ තරම් උනන්දුවක් තිබුණේ නැහැ. ජර්මනියේ හිටපු මගේ ආච්චි බයිබලය කියවනවා මං දැකලා තිබුණා. යාච්ඤා කරන විදහත් එයා මට කියලා දුන්නා.

 දවසක් සන්නයි මායි අපි අඳුරන යුවළක් බලන්න ගියා. එයාලා යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්. ඒ ගෙදර ස්වාමිපුරුෂයාගේ නම කේරි. එයා මට “අන්තිම දවස්” ගැන බයිබලයේ තියෙන අනාවැකි පෙන්නුවා. (2 තිමෝති 3:1-5) ඒක දැකලා මං පුදුම වුණා. ලෝකයේ තත්වය මේ තරම් දරුණු වෙන්න හේතුව මට ඒකෙන් පැහැදිලි වුණා. එදා අපි ආගම ගැන තව කතා කළේ නැහැ. හැබැයි එතනින් එහාට මං කේරිත් එක්ක බයිබලයේ තියෙන තොරතුරු ගැන කතා කරන්න පටන්ගත්තා. එයා මට කියලා දීපු දේවල් නිසා මට ලොකු පැහැදීමක් ඇති වුණා. හැබැයි මට කිසිම දේකට වෙලාවක් තිබුණේ නැහැ. නිතරම ගමනේමයි. ඒ නිසා වෙලාවක් දාගෙන කේරිත් එක්ක සාකච්ඡා කරන එක ලේසි වුණේ නැහැ. ඒත් කේරි අත්හැරියේ නැහැ. අපි බයිබල් පාඩම කරපු දවස්වල මං අහපු ප්‍රශ්නවලට එයා මට තැපෑලෙන් පිළිතුරු එව්වා. ජීවිතයේ බැරෑරුම් ප්‍රශ්න හැම එකකටම තර්කානුකූල පිළිතුරක් බයිබලයේ තිබුණා. ටිකෙන් ටික බයිබලයේ සඳහන් වෙලා තියෙන පණිවිඩේ මට තේරුණා. ඒ තමයි දේවරාජ්‍යය මගින් පොළොව සඳහා දෙවියන්ගේ අරමුණ ඉටු කරනවා කියන එක. දෙවියන්ගේ නම යෙහෝවා කියලා දැනගත්තාම සහ දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් තේරුම්ගත්තාම ඒ දේවල් මගේ හිතට ගොඩක් බලපෑවා. (ගීතාවලිය 83:18) යේසුස්ගේ ජීවිත පූජාව අපි වෙනුවෙන් දීලා දෙවියන් කරපු දේ තමයි මගේ හිතට ගොඩක්ම බලපෑවේ. ඒක කරන්න ඕන නිසා හරි, නීත්‍යානුකූල අවශ්‍යතාවයක් පිරිමහන්න ඕන නිසා හරි කරපු දෙයක් නෙමයි. ඒක අපිට ආදරේ නිසා දෙවියන් කරපු දෙයක්. (යොහන් 3:16) මට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් කියලත් මේ පොළොව සාමයෙන් පිරුණු පාරාදීසයක් වුණාම ඒකේ ජීවත් වෙන්න පුළුවන් කියලත් මං දැනගත්තා. (යාකොබ් 4:8) “මෙච්චර දෙයක් කරපු දෙවියන්ට මං ස්තුතිවන්ත වෙන්නේ කොහොමද” කියලා මං හිතන්න පටන්ගත්තා.

 මගේ ජීවිතය මං ගත කරන විදිහ ගැන මම හිතලා බැලුවා. වැඩිපුරම සතුට ලැබෙන්නේ දීමෙන් කියලා මං බයිබලයෙන් ඉගෙනගෙන තිබුණා. ඉතිං මං දැනගත්ත දේවල් අනිත් අයටත් කියලා දෙන්න මට ආසාවක් ඇති වුණා. (ක්‍රියා 20:35) ටෙනිස් තරඟ නිසා අවුරුද්දකට දවස් 200ක් විතර මම ගෙදර හිටියේ නැහැ. මගේ පවුලේ හැමෝගෙම බලාපොරොත්තුව වුණේ මං. මගේ පුහුණු සැසිවාර, මගේ කාලසටහන මේ හැම දෙයක්ම එයාලට බලපෑවා.

 ආගම නිසා ටෙනිස් අතාරිනවා කියලා දැනගත්තාම ගොඩක් අය පුදුම වෙයි කියලා මං දැනගෙන හිටියා. ඒත් යෙහෝවා දෙවියන්ව තවත් හොඳින් දැන හඳුනා ගන්න ලැබුණ අවස්ථාව, ඒ වගේම සදාකාල ජීවිතය කියන්නේ සල්ලිවලින් වටිනාකම මනින්න බැරි දේවල්. ටෙනිස් ක්‍රීඩාවෙන් ලබාගන්න පුළුවන් තෑගිවලට වඩා ඒවා ගොඩක් වටිනවා. එහෙම හිතුවාම ටෙනිස් ක්‍රීඩාව අත්හැරලා දාන එක මට අමාරු වුණේ නැහැ. ඒක මමම ගන්න ඕන තීරණයක් නිසා අනිත් අයගෙන් එන බලපෑම ගණන් ගන්නේ නැහැ කියලා මම හිතාගත්තා. ගීතාවලිය 118:6 කියනවා “යෙහෝවා දෙවි මගේ පැත්තේ සිටින බැවින් මම බිය නොවන්නෙමි. දූවිලි වැනි මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද?” කියලා. ඒ බයිබල් පදය මගේ තීරණයට අනුව ස්ථිරව ඉන්න මට ගොඩක් උපකාරවත් වුණා.

 ඒ කාලෙම වගේ අනුග්‍රාහකයන් මට හොඳ ප්‍රස්ථාවක් ඉදිරිපත් කළා. අවුරුදු ගාණක් යන කල් රස්සාවක් විදිහට ටෙනිස් තරඟවලට සහභාගි වෙන්න එයාලා මට අවස්ථාවක් ඉදිරිපත් කළා. ඒත් මං හිත හදාගෙනයි හිටියේ. ඉතිං මං බැහැ කිව්වා. අන්තිමේදී මං ATP තරඟවල ක්‍රීඩා කරන එකෙන් පවා ඉවත් වුණා. මං දිගටම බයිබලය පාඩම් කරලා 1994 ජූලි 2වෙනිදා බව්තීස්ම වුණා.

මං දැන් අද්දකින ආශීර්වාද

 දෙවියන් ගැන හිතන්න මං පෙලඹුණේ මට සිද්ධ වෙච්ච විපත්තියක් නිසා නෙමෙයි. මං සත්‍යය හොයපු කෙනෙකුත් නෙමෙයි. මං කිසිම අඩුවක් නැති හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක් කියලයි මං හිතුවේ. ඒත් ඊට වඩා ගැඹුරු අර්ථයක් ජීවිතයට තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. බයිබලයේ තියෙන සත්‍යය දැනගන්න ලැබුණාට පස්සේ හිතාගන්න බැරි තරමට මගේ ජීවිතය තවත් හොඳ අතට හැරිලා තියෙනවා. අපේ පවුලේ අය අතර තියෙන බැඳීම ඉස්සරට වඩා දැන් ගොඩක් ශක්තිමත් වෙලා. මගේ පුතාලා තුන්දෙනාම මගේ ආදර්ශය හිතට අරං වැඩ කරනවා. ඒ ක්‍රීඩකයෙක් විදිහට නෙමෙයි හොඳ ක්‍රිස්තියානියෙක් විදිහට මං තබපු ආදර්ශය. ඒක දකිද්දී මට ලොකු සතුටක් දැනෙනවා.

 මං දැනුත් ටෙනිස් ගහනවා තමයි. පහුගිය අවුරුදු ගණනාව තුළ මං රස්සාවක් විදිහට ටෙනිස්වලට සම්බන්ධ දේවල් කරලා තියෙනවා. උදාහරණයක් හැටියට ටෙනිස් පුහුණුකරුවෙක් විදිහටත් ටෙනිස් පුහුණු මධ්‍යස්ථානයක කළමනාකරු විදිහටත් මං වැඩ කරලා තියෙනවා. ඒත් දැන් මගේ ජීවිතයේ මුල් තැන ලැබෙන්නේ ක්‍රීඩාවට නෙමෙයි. ඉස්සර දක්ෂ විදිහට ටෙනිස් ගහන්න, චැම්පියන් කෙනෙක් වෙන්න මං හැම සතියෙම පැය ගාණක් පුහුණු වුණා. දැන් මම පූර්ණකාලීනව ශුභාරංචිය ප්‍රකාශ කරනවා. මගේ ජීවිතය වෙනස් කරපු බයිබල් ප්‍රතිපත්ති ගැන ඉගෙනගන්නත් ඒ ප්‍රතිපත්තිවලින් ප්‍රයෝජන ලබන්නත් මං දැන් අනිත් අයට උදව් කරනවා. ඒකෙන් මට ලොකු සෑහීමක් සහ සතුටක් ලැබෙනවා. යෙහෝවා දෙවියන් එක්ක තියෙන මගේ බැඳීම ශක්තිමත්ව තියාගන්න සහ ලස්සන අනාගතයක් ගැන මට තියෙන බලාපොරොත්තුව අනිත් අයට කියලා දෙන්න තමයි මගේ ජීවිතයේ මුල් තැන ලැබෙන්නේ. මට වැඩිපුරම සතුටක් ලැබෙන්නේ ඒ දේවලින් තමයි.—1 තිමෝති 6:19.

a ටෙනිස් වෘත්තිකයන්ගේ සංගමයෙන් (ATP) පිරිමි ටෙනිස් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කටයුතු හසුරුවනවා. ATP ක්‍රීඩා වාරයකට තරඟ ගණනාවක් ඇතුළත් වෙනවා. ඒවාවල දිනන අයට ලකුණු වගේම මුදල් තෑගිත් ලැබෙනවා. තරඟවලින් ලැබෙන මුළු ලකුණු ප්‍රමාණයට අනුව තමයි ක්‍රීඩකයෙකුට ලෝක ක්‍රීඩකයන් අතර තැනක් ලැබෙන්නේ.