Skip to content

ඩයිනෝසෝරයන් ගැන බයිබලයේ සඳහන් වෙනවාද?

ඩයිනෝසෝරයන් ගැන බයිබලයේ සඳහන් වෙනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලේ කොතැනකවත් ඩයිනෝසෝරයන් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒත් දෙවි “සෑම දෙයක්ම” නිර්මාණය කළා කියලා ඒකේ සඳහන් වෙනවා. සෑම දෙයක්ම කියද්දී ඒ නිර්මාණයන් අතර ඩයිනෝසෝරයනුත් හිටියා කියලා හිතන්න පුළුවන්. a (එළිදරව් 4:11) ඩයිනෝසෝරයන් කියන වචනය බයිබලේ නිෂ්චිතවම සඳහන් නොවුණත් විවිධ සත්ව වර්ග ගැන බයිබලේ කතා කරනවා. පහත සඳහන් සත්ව වර්ග අතරේ ඩයිනෝසෝරයනුත් හිටියා කියලා හිතන්න පුළුවන්.

ඩයිනෝසෝරයන් බිහි වුණේ පරිණාමයේ ප්‍රතිඵලයක් විදිහටද?

 ඩයිනෝසෝරයන් බිහි වුණේ පරිණාමයේ ප්‍රතිඵලයක් විදිහට නම්, යම් සත්වයෙක් යම් කාල පරිච්ඡේදයක් ඇතුළත ටිකෙන් ටික පරිණාමය වෙලා ඩයිනෝසෝරයෙක් බවට පත් වෙන විදිහ ෆොසිල වාර්තාවල පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ඩයිනෝසෝරයාගේ පරිණාමයේ මුල් පුරුක් ඒ වාර්තාවල තියෙන්න ඕනේ. ඒත් උන්ගේ පරිණාමයේ මුල් පුරුක් ෆොසිල වාර්තාවල පෙන්වන්නේ නැහැ. ඒ වාර්තාවල උන් එකපාරටම මතු වෙනවා. බයිබලේ කියන්නේ සියලුම සතුන්ව දෙවියන් නිර්මාණය කළා කියලා. එහෙම නම් ෆොසිල වාර්තා බයිබලේ කියන දේට එකඟයි නේද? උදාහරණෙකට ගීතාවලිය 146:6 දෙවියන් ගැන කියන්නේ “අහසත් පොළොවත් මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත් සෑදුවේ ඔහුය” කියලයි.

ඩයිනෝසෝරයන් ජීවත් වුණේ කොයි කාලයේද?

 ජලජ ජීවීන්ව සහ පොළොවේ ජීවත් වන ජීවීන්ව දෙවි නිර්මාණය කළේ ඔහුගේ නිර්මාණයේ පස්වෙනි සහ හයවෙනි දවසේ නැත්නම් ඒ දවස්වලින් යොමු දක්වපු දීර්ඝ කාල පරිච්ඡේදවලදී කියලා බයිබලේ සඳහන් වෙනවා. b (උත්පත්ති 1:20-25, 31) ඒ කියන්නේ අතීතයේ යම් දීර්ඝ කාල පරිච්ඡේදයක් ඇතුළත ඩයිනෝසෝරයන් ජීවත් වුණා කියන දේ බයිබලේට විරුද්ධ නැහැ.

බයිබලේ සඳහන් බෙහෙමොත් සහ ලෙවියාතන් කියන සතුන් ඩයිනෝසෝරයන්ද?

 නැහැ. යෝබ් පොතේ සඳහන් වෙන ඒ සතුන් කුමන සතුන්ද කියලා නිෂ්චිතවම හඳුනාගන්න බැරි වුණත් බෙහෙමොත් කියන්නේ හිපපොටේමස්ට සහ ලෙවියාතන් කියන්නේ කිඹුලාට කියලා සාමාන්‍යයෙන් කියනවා. මොකද බයිබලේ උන් ගැන සඳහන් තොරතුරු අපිට එහෙම හිතන්න උදව් වෙනවා. (යෝබ් 40:15-23; 41:1, 14-17, 31) “බෙහෙමොත්” සහ “ලෙවියාතන්” කියන සතුන් ඩයිනෝසෝරයන් කියලා කියන්න කොහොමටවත් බැහැ. මොකද යෙහෝවා දෙවි යෝබ්ට කිව්වේ ඒ සතුන් දිහා බලන්න කියලා. යෝබ් ජීවත් වුණ කාලේ වෙද්දී ඩයිනෝසෝරයන් මේ පොළොවෙන් වඳ වෙලා සෑහෙන කාලයක් ගත වෙලා ඉවරයි.—යෝබ් 40:16; 41:8.

ඩයිනෝසෝරයන්ට මොකද වුණේ?

 උන් මේ පොළොවෙන් වඳවෙලා ගිය විදිහ ගැන බයිබලේ කිසිම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. එත් දෙවි ‘සෑම දෙයක්ම සෑදුවේ ඔහුගේ කැමැත්ත නිසා’ කියලා බයිබලේ සඳහන් වෙනවා. එහෙම බලද්දී දෙවි ඩයිනෝසෝරයන්ව නිර්මාණය කළේ මොකක් හරි අරමුණක් ඇතුවයි කියලා අපිට හිතන්න පුළුවන්. (එළිදරව් 4:11) ඒ අරමුණ ඉටු වුණාට පස්සේ දෙවි උන්ට වඳවෙලා යන්න ඉඩහරින්න ඇති.

a අතීතයේදී මේ පොළොවේ ඩයිනෝසෝරයන් ජීවත් වුණා කියලා ෆොසිල වාර්තා මගින් ඔප්පු වෙලා තියෙනවා. විවිධ හැඩයන් තිබුණ සහ විවිධ ප්‍රමාණවල ඩයිනෝසෝරයන් විශාල ප්‍රමාණයක් අතීතයේදී ඉඳලා තියෙනවා කියලා ඒ වාර්තාවලින් පැහැදිලියි.

b බයිබලයේ “දවස” විදිහට පරිවර්තනය කරලා තියෙන වචනයෙන් හැම වෙලේම පැය 24ක දවසක් අදහස් කරන්නේ නැහැ. ඒ වචනයට අවුරුදු දහස් ගාණක දීර්ඝ කාල පරිච්ඡේදයක් කියන අදහසත් ඇතුළත්.—උත්පත්ති 1:31; 2:1-4; හෙබ්‍රෙව් 4:4, 11.