Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

විශ්වයේ ආරම්භය ගැන නොදත් කතාව

විශ්වයේ ආරම්භය ගැන නොදත් කතාව

මීට අවුරුදු 3,500කට පෙර ලියන ලද බයිබලයේ මුල්ම පරිච්ඡේදය ඇරඹෙන්නේ මේ විදිහටයි. “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.” විශ්වයේ ආරම්භය ගැන ලියවුණු එම වාර්තාව හුඟදෙනෙක් කියවා හෝ අසා තියෙනවා.

ඒත් මැවුම්වාදීන් සහ මූලධර්මවාදීන් ඇතුළු ක්‍රිස්තියානි නායකයන්, විශ්වයේ ආරම්භය ගැන බයිබලයේ සඳහන් වාර්තාව උගන්වන්නේ විකෘති කරලා. ඒ ඉගැන්වීම් විද්‍යාවටත් එකඟ නැහැ. නමුත් ඒ ගැන හුඟදෙනෙක් දන්නේ නැහැ. බයිබලයේ සඳහන් වී නැති එම ඉගැන්වීම් නිසා සමහරු බයිබලයත් සලකන්නේ සුරංගනා කතා තියෙන පොතක් හැටියටයි.

ඒ නිසා විශ්වයේ සහ ජීවීන්ගේ ආරම්භය ගැන බයිබලයේ සඳහන් සැබෑ වාර්තාව හුඟදෙනෙක් දන්නේ නැහැ. එම වාර්තාව තර්කානුකූලයි, නිවැරදියි සහ විද්‍යාවටත් එකඟයි. විශ්වයේ ආරම්භය ගැන පැහැදිලි වාර්තාවක් බයිබලයේ තිබියදීත් මිනිසුන් මිථ්‍යා කතාවලින් නොමඟ ගොස් සිටීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්.

කිසිවෙකු විසින් නොසෑදූ සැදුම්කරු

බයිබලයේ සඳහන් වාර්තාවට අනුව සෑම දෙයක්ම නිර්මාණය කර තිබෙන්නේ සියලු බලැති දෙවියන්. බොහෝ ආගම්වල අය විශ්වාස කරන දෙවිවරුන්ට වඩා ඔහු වෙනස්. ඔහු තමයි මේ අතිමහත් විශ්වයේ නිර්මාතෘ. නමුත් මිනිස්සු ඔහු ගැන දන්නේ නැති තරම්. ඒ දෙවියන් කවුද? ඔහු මොන වගේ කෙනෙක්ද?

  • දෙවියන් සැබෑ පුද්ගලයෙක්. ඔහු විශ්වය පුරා නිකරුණේ සැරිසරන බලවේගයක් නොවෙයි. සිතුවිලි, හැඟීම් සහ අරමුණක් තිබෙන දෙවි කෙනෙක්.

  • දෙවියන්ට අතිමහත් බලයක් සහ ප්‍රඥාවක් තිබෙනවා. එය ඔහු සාදා තිබෙන දේවල්වල සංකීර්ණත්වයෙන් පැහැදිලිව දකින්න පුළුවන්.

  • අපේ ඇසට පෙනෙන හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවියන්. ඒ නිසා ඔහුගේ ශරීරය ඔහු සෑදූ දේවල්වලින්ම හැදිලා තියෙන්න බැහැ. දෙවියන්ව අපිට නොපෙනෙන්නේ ඒ නිසයි.

  • දෙවියන් සදාකාලිකයි. වෙනත් කෙනෙක් ඔහුව නිර්මාණය කළේ නැති නිසා ඔහුට ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ.

  • දෙවියන්ගේ නම යෙහෝවා. එය බයිබලයේ දහස් වාරයකට වඩා සඳහන් වෙනවා.

  • යෙහෝවා දෙවියන් මිනිසුන්ට බොහෝ සෙයින් ප්‍රේම කරන ඔවුන් ගැන සැලකිලිමත් වන දෙවි කෙනෙක්.

විශ්වය නිර්මාණය කරන්න දෙවියන් කොතරම් කාලයක් වැය කළාද?

යෙහෝවා දෙවියන් “අහසත් පොළොවත් නිර්මාණය කළේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. නමුත් දෙවියන් නිර්මාණය කරන්න කොතරම් කාලයක් ගත්තාද සහ මොනවගේ ක්‍රම යොදාගත්තාද කියා ඒ බයිබල් පදයේ සඳහන් වෙලා නැහැ. එහෙමනම් මේ විශ්වය පැය 24ක දවස් හයකින් නිර්මාණය කළා කියා මැවුම්වාදීන් කියන්නේ ඇයි? ඔවුන් එසේ කියන්නේ බයිබල් වාර්තාව වැරදි විදිහට තේරුම්ගෙන තිබෙන නිසයි. මැවුම්වාදීන්ගේ අදහස් විද්‍යාඥයන්ද පිළිගන්නේ නැහැ. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?

පැය 24ක දවස් හයකින් විශ්වය නිර්මාණය කළා කියා මැවුම්වාදීන් සහ මූලධර්මවාදීන් කියන අදහස බයිබලයට එකඟ නැහැ

  • පැය 24ක දවස් හයකින් විශ්වය නිර්මාණය කළා කියා මැවුම්වාදීන් සහ මූලධර්මවාදීන් කියන අදහස බයිබලයට එකඟ නැහැ.

  • “දවස” කියන වචනය විවිධ කාල සීමාවන් හැඳින්වීමට බයිබලයේ යොදාගෙන තියෙනවා. සමහර අවස්ථාවල එයින් ඉතා දිර්ඝ කාලයක් අදහස් වෙනවා. නිර්මාණය කිරීමට ගත කළ දවස් හය ගැන උත්පත්ති පොතේ සඳහන් වාර්තාව ඊට එක් නිදසුනක්.

  • නිර්මාණය කිරීමට ගත වූ එක් එක් දවසකට අවුරුදු දහස් ගණනක් ඇතුළත් වුණා විය හැකියි.

  • පළමු දවස ආරම්භ වන විටත් ජීවීන්ගෙන් තොර පෘථිවිය ඇතුළු විශ්වය දෙවියන් නිර්මාණය කර තිබුණා.

  • පෙනෙන ආකාරයට නිර්මාණය කිරීමට ගත කළ දවස් හය, මිනිසුන්ට ජීවත් වීමට සුදුසු ලෙස පෘථිවිය සකස් කිරීමට ගත කළ දීර්ඝ කාලයයි.

  • විශ්වයේ වයස පිළිබඳව විද්‍යාඥයන් පැමිණ තිබෙන නිගමනත් නිර්මාණය කිරීමට ගත කළ කාලය පිළිබඳ බයිබලයේ ඇති වාර්තාවත් අතර ගැටීමක් නැහැ.

දෙවියන් පරිණාමය යොදාගත්තාද?

බයිබලය විශ්වාස නොකරන බොහෝ අය පිළිගන්නේ ජීවීන් බිහි වුණේ අජීවී රසායනික ද්‍රව්‍ය අහම්බෙන් එකතු වීමේ ප්‍රතිඵලයකින් කියලයි. ඒ වගේම ඔවුන් කියන්නේ කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව, පුංචි බැක්ටීරියාවක් හා සමානව ක්‍රියා කරන සෛලයක් බෙදෙන්න පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් සෑම ජීවී විශේෂයක්ම බිහි වුණා කියලයි. එය සත්‍යයක් නම් මේ ලෝකයේ ඉන්න සංකීර්ණම ජීවියා වන මිනිසා ඇවිත් තිබෙන්නෙත් බැක්ටීරියාවකින්.

බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක් කියලා විශ්වාස කරන සමහර අය පවා පරිණාමවාදය විශ්වාස කරනවා. එනම් දෙවියන් මුලින්ම ජීවයක් පොළොවේ බිහි කරලා ටිකෙන් ටික එය පරිණාමය වෙන්න සැලැස්සුවා කියා ඔවුන් හිතනවා. ඒත් බයිබලයේ ඒ වගේ දෙයක් සඳහන් වෙන්නේ නැහැ.

යම් වර්ගයක් තුළ විවිධත්වයක් ඇති විය හැකි බව විද්‍යාඥයන්ද නිරීක්ෂණය කර තිබෙනවා. එය බයිබලයටත් එකඟයි

  • යෙහෝවා දෙවියන් ඒ ඒ වර්ගවලට අනුව සතුන් සහ ශාකද ප්‍රේමය, ප්‍රඥාව සහ යුක්තිය වැනි ගුණාංග ඇති බුද්ධිමත් මිනිසාවද නිර්මාණය කළා කියලා බයිබලයේ සඳහන් වෙනවා.

  • දෙවියන් නිර්මාණය කළ විවිධ වර්ගවල ශාක සහ සත්වයන් පාරිසරික හේතූන් නිසා යම් වෙනස්කම්වලට ලක්වෙලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ඒ එක් එක් වර්ගයේ ශාක සහ සතුන් තුළ විවිධත්වයක් දකින්න ලැබෙනවා.

  • යම් වර්ගයක් තුළ විවිධත්වයක් ඇති විය හැකි බව විද්‍යාඥයන්ද නිරීක්ෂණය කර තිබෙනවා. එය බයිබලයටත් එකඟයි.

නිර්මාණ තුළින් නිර්මාතෘව දැකිය හැකියි

1800ගණන්වල හිටිය ජීව විද්‍යාඥයෙක් වන ඇල්ෆ්‍රඩ් වොලස්, පරිණාමය ගැන ඩාවින්ගේ ඉගැන්වීම් පිළිගත්තත් මෙවැනි දෙයකුත් කියා තිබෙනවා. “කුඩාම සෛලය, රුධිරය, අපි ජීවත් වන පෘථිවිය සහ මුළු මහත් විශ්වයම දිහා බැලුවම ඒවා ක්‍රියා කරන්නේ යම් සැලැස්මක් හා මඟ පෙන්වීමක් ඇතුවයි කියලා, දකින්න ඇස් තියෙන හිතන්න මනසක් තියෙන කෙනෙකුට අවබෝධ වෙනවා. තව විදිහකින් කිව්වොත් බුද්ධිමත් මනසක් ඒ පිටිපස්සේ තියෙනවා.”

වොලස් ඒ දේ කියන්න අවුරුදු 2,000කට කලින් බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වුණා. “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි. එමගින් ඔහුගේ සදාතනික බලය හා ඔහු සැබවින්ම දෙවි බවට වූ කාරණය සියල්ලන්ටම පැහැදිලි වේ.” (රෝම 1:20) කුඩා තණ කොළයක ඉඳන් විශ්වයේ ඇති සෑම දෙයක් තුළම තියෙන සංකීර්ණත්වය ගැන මොහොතකට හිතලා බලන්න. ඒ තුළින් ඔබට නිර්මාතෘව දැකගන්න පුළුවන් වන බවට කිසිම සැකයක් නැහැ.

මේ සියල්ල සෑදුවේ ප්‍රේමණීය දෙවි කෙනෙක් නම් ‘ඇයි මිනිස්සු දුක් විඳින්නේ, ඔහු දැන් තමන් නිර්මාණය කළ දේවල් ගැන සැලකිලිමත් නැද්ද, අනාගතයේ අපිට මොනවා වෙයිද’ වගේ ප්‍රශ්න ගැන ඔබ හිතනවා ඇති. මිනිසුන් නොදන්න බොහෝ සත්‍ය තොරතුරු බයිබලයේ අඩංගු වෙනවා. ඒවා මිනිසුන්ගේ දර්ශන සහ ආගමික මත නිසා යටපත් වෙලයි තියෙන්නේ. බයිබලයේ සඳහන් සත්‍ය තොරතුරුත් මිනිස් වර්ගයාගේ අනාගතය ගැනත් නිර්මාතෘ ගැනත් ඔබට කියා දෙන්න මෙම සඟරාවේ ප්‍රකාශකයන් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉතා කැමැත්තෙන් සිටිනවා.