Skip to content

පටුනට යන්න

අලුත් ගිවිසුමට දෙවියන්ගේ නම ඇතුළත් කරපු පරිවර්තකයන් දෙන්නෙක්!

අලුත් ගිවිසුමට දෙවියන්ගේ නම ඇතුළත් කරපු පරිවර්තකයන් දෙන්නෙක්!

 මිනිස්සු හුඟදෙනෙක් මුලින්ම කටපාඩම් කරන යාච්ඤාවක් තමයි ස්වාමීන්ගේ යාච්ඤාව. ඒක ඉගැන්නුවේ යේසුස්. බයිබලේ හුඟදෙනෙක් අලුත් ගිවිසුම කියලා හඳුන්වන කොටසේ තියෙන ඒ යාච්ඤාව පටන්ගන්නේ මේ වචනවලින්. “ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා.” (මතෙව් 6:9, ‘පැරණි අනුවාදය’) ඒ පදේ එහෙම කියලා තිබුණාට “යෙහෝවා” නැත්නම් “යාහ්” කියන දෙවියන්ගේ නම ඉංග්‍රීසි බයිබල්වල අලුත් ගිවිසුමේ සඳහන් කරලා නැති තරම්. ඒ වුණාට එයාලා සියුස්, හර්මීස්, ආටෙමිස් වගේ බොරු දෙවිවරුන්ගේ නම් බයිබලේට ඇතුළත් කරලා තියෙනවා. හරි නම් එයාලා බයිබලේ කර්තෘ වන සැබෑ දෙවියන්ගේ නම නේද වැඩිපුරම සඳහන් කරන්න ඕනේ?ක්‍රියා 14:12; 19:35; 2 තිමෝති 3:16.

අලුත් ගිවිසුමේ බොරු දෙවිවරුන්ගේ නම් පවා තියෙනවා නම් සැබෑ දෙවියන්ගේ නමත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ නේද?

 ලැන්සිලොට් ෂැඩ්වෙල් සහ ෆ්‍රෙඩ්රික් පාකර් කියන්නේ බයිබලය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරපු දෙන්නෙක්. එයාලා කිව්වා දෙවියන්ගේ නම ආයෙත් අලුත් ගිවිසුමට ඇතුළත් කරන්න ඕනෙ කියලා. ඒත් ඇයි එයාලා “ආයෙත්” කියන වචනේ පාවිච්චි කළේ? ඒකට හේතුව එයාලා විශ්වාස කළා දෙවියන්ගේ නම බයිබලේ මුල් පිටපත්වල තිබිලා පස්සේ කාලෙකදී ඒක අයින් කරලා තියෙනවා කියලා. ඒත් කොහොමද එයාලා ඒ වගේ නිගමනයකට ආවේ?

 ෂැඩ්වෙල් සහ පාකර් දැනගෙන හිටියා පැරණි ගිවිසුම විදිහට හඳුන්වපු හෙබ්‍රෙව් ලියවිල්ලේ අත්පිටපත්වල දෙවියන්ගේ නම දහස් වාරයක් සඳහන් වෙලා තිබුණා කියලා. ඉතින් එයාලා කල්පනා කළා එයාලා ගාව තිබුණ අලුත් ගිවිසුමේ අත්පිටපත්වල ඇයි ඒ නම සඳහන් වෙන්නේ නැත්තේ කියලා. ෂැඩ්වෙල් දැකපු තවත් දෙයක් තමයි පැරණි ගිවිසුමේ දෙවියන්ගේ නම සඳහන් වෙලා තියෙන කොටසක් අලුත් ගිවිසුමට උපුටලා දක්වද්දී ඒ තැන්වලින් දෙවියන්ගේ නම a අයින් කරලා තියෙනවා කියන එක. උදාහරණෙකට “යෙහෝවා දෙවිගේ දූතයා” කියන කොටස උපුටලා ගද්දී “යෙහෝවා” කියන නම වෙනුවට අලුත් ගිවිසුමේ තියෙන්නේ “කිරියොස්” (Kyʹri·os) කියන ග්‍රීක වචනය. ඒකේ තේරුම “ස්වාමීන්” කියන එක.—2 රාජාවලිය 1:3, 15; ක්‍රියා 12:23.

දෙවියන්ගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන්

 ෂැඩ්වෙල්ට සහ පාකර්ට කලින් තවත් අය බයිබලේ අලුත් ගිවිසුම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා තිබුණා. හැබැයි ඒවාවල දෙවියන්ගේ නම දකින්න තිබුණේ හරිම අඩුවෙන්. b පාකර් එයාගේ බයිබලේ (A Literal Translation of the New Testament) ප්‍රකාශයට පත් කරන්න කලින් ඒ කියන්නේ 1863ට කලින් වෙන කිසිම පරිවර්තකයෙක් දෙවියන්ගේ නම ඒ තරම් වාර ගාණක් අලුත් ගිවිසුමට ඇතුළත් කරලා තිබුණේ නැහැ. ඒත් කවුද ඇත්තටම මේ ලැන්සිලොට් ෂැඩ්වෙල් සහ ෆ්‍රෙඩ්රික් පාකර් කියන්නේ?

ලැන්සිලොට් ෂැඩ්වෙල්

 සර් ලැන්සිලොට් ෂැඩ්වෙල් (1808-1861) කියන්නේ එංගලන්තයේ උප චාන්සල්වරයෙක්. අපි මේ ලිපියේ කතා කරන්නේ එයාගේ පුතා ගැන. එයාගේ නමත් ලැන්සිලොට් ෂැඩ්වෙල්. එයා නීතිඥවරයෙක්. ඒ වගේම එයා සම්බන්ධ වෙලා හිටියේ එංගලන්ත සභාව කියලා හඳුන්වන ක්‍රිස්තියානි ආගමට. ෂැඩ්වෙල් ත්‍රිත්වය විශ්වාස කරපු කෙනෙක් වුණත් දෙවියන්ගේ නම ගැන එයාගේ හිතේ ලොකු ගෞරවයක් තිබුණා. එයා නිතරම කිව්වේ “යෙහෝවා කියන නම ශ්‍රේෂ්ඨ නාමයක්” කියලා. එයාගේ පරිවර්තනයේ (The Gospels of Matthew, and of Mark) එයා “යෙහෝවා” කියන නම 28 වතාවක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අමතර සටහන්වල 465 වතාවක් සඳහන් කරලා තියෙනවා.

 ෂැඩ්වෙල් දෙවියන්ගේ නම මුලින්ම දකින්න ඇත්තේ හෙබ්‍රෙව් භාෂාවෙන් තිබුණ පැරණි ගිවිසුමෙන්. දෙවියන්ගේ නම වෙනුවට ග්‍රීක භාෂාවෙන් “කිරියොස්” කියන වචනය දාපු අය ගැන එයා කිව්වේ “එයාලා කීයටවත් විශ්වාසවන්ත පරිවර්තකයන් කියන්න බෑ” කියලයි.

The Gospel according to Matthew rendered into English with notes, by L. Shadwell (1859), provided by the Bodleian Libraries. Licensed under CC BY-NC-SA 2.0 UK. Modified: Text highlighted

මතෙව් 1:20 ෂැඩ්වෙල්ගේ පරිවර්තනයේ තියෙන විදිහ

 ෂැඩ්වෙල් එයාගේ බයිබල් පරිවර්තනයේ “යෙහෝවා” කියන නම මුල් වතාවට සඳහන් කරලා තියෙන්නේ මතෙව් 1:20. ඒ පදේ ගැන තියෙන සටහනක එයා මෙහෙම ලිව්වා. “මේ පදේ සහ අලුත් ගිවිසුමේ තවත් තැන්වල පාවිච්චි කරලා තියෙන ‘කිරියොස්’ කියන වචනය වෙනුවට හරි නම් සඳහන් වෙන්න ඕනෙ ‘යෙහෝවා’ කියන නම. ඒක තමයි දෙවියන්ගේ සැබෑ නම. ඒක ආයෙත් ඉංග්‍රීසි පරිවර්තනවලට ඇතුළත් කරන්න ඕනේ.” ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. “දෙවියන්ට ලැබෙන්න ඕන ගෞරවය දෙන්න පුළුවන් වෙන්නේ අපි ඒ නම පාවිච්චි කරනවා නම් විතරයි. මොකද දෙවියන්මයි ඔහුගේ නම ‘යෙහෝවා’ කියලා අපිට දැනුම් දීලා තියෙන්නේ. වෙන කිසිම නමක් ඒ නම අහලකින්වත් තියන්න බෑ.” එයා මෙහෙමත් කියනවා. “‘පැරණි අනුවාදයේ’ (‘කිං ජේම්ස් වර්ෂන්’ පරිවර්තනයේ) ‘යෙහෝවා’ කියන දෙවියන්ගේ නම සඳහන් වෙන්නේ හරිම කලාතුරකින්. ඒ වෙනුවට ඒකේ තියෙන්නේ ‘ස්වාමීන්’ කියන වචනය.” ෂැඩ්වෙල් ඒ ගැන මෙහෙමත් කියනවා. “දෙවියන්ව අමතන්න පුළුවන් ගෞරවයෙන් අඩුම පදවි නම තමයි ස්වාමීන් කියන එක.” මොකද ෂැඩ්වෙල් ඉහළ පැළැන්තියක කෙනෙක් නිසා ගමේ අය එයාට කතා කළෙත් “ස්වාමීන්” කියලා.

“දෙවියන්ට ලැබෙන්න ඕන ගෞරවය දෙන්න පුළුවන් වෙන්නේ අපි ඒ නම පාවිච්චි කරනවා නම් විතරයි. මොකද දෙවියන්මයි ඔහුගේ නම ‘යෙහෝවා’ කියලා අපිට දැනුම් දීලා තියෙන්නේ.”—ලැන්සිලොට් ෂැඩ්වෙල්

 1859දී ෂැඩ්වෙල් මතෙව් පොතේ පරිවර්තනය ප්‍රකාශයට පත් කළා. 1861දී මතෙව් සහ මාක් කියන පොත් දෙකම ඇතුළත් පරිවර්තනයක් ප්‍රකාශයට පත් කළා. හැබැයි ඊටපස්සේ ඒ වැඩකටයුතු හැම එකක්ම ඇනහිටියා. මොකද 1861 ජනවාරි 11වෙනිදා වයස අවුරුදු 52දී ෂැඩ්වෙල් ජීවිතේට සමු දුන්නා. හැබැයි එයා වෙච්ච මහන්සිය නම් අපතේ ගියේ නැහැ.

ෆ්‍රෙඩ්රික් පාකර්

 ෂැඩ්වෙල්ගේ මතෙව් පොතේ පරිවර්තනයේ පිටපතක් ලන්ඩන්වල ධනවත් ව්‍යාපාරිකයෙක් වුණ ෆ්‍රෙඩ්රික් පාකර්ට (1804-1888) කියවන්න ලැබුණා. එයාත් අවුරුදු 20දී ‘අලුත් ගිවිසුම’ පරිවර්තනය කරන්න පටන්ගත්ත කෙනෙක්. හැබැයි පාකර් නම් ත්‍රිත්වය පිළිගත්තේ නැහැ. එයා මෙහෙම ලිව්වා. “දෙවියන්ගේ ආදරණීය පුතාගේ සභාව මුළු හදවතින්ම සත්‍යය පිළි අරන් සියලු බලැති යෙහෝවා දෙවියන්ට නමස්කාර කරනවා දකින එකයි මගේ එකම පැතුම!” පාකර් දැකපු තව දෙයක් තමයි අලුත් ගිවිසුමේ අත්පිටපත්වල ‘කිරියොස්’ කියන වචනය දෙවියන්ටත් පාවිච්චි කරලා තියෙනවා, යේසුස්ටත් පාවිච්චි කරලා තියෙනවා කියලා. ඒ නිසා බයිබලේ යම් තැනක ‘කිරියොස්’ කියන වචනය තිබ්බොත් එතන හරියටම කතා කරන්නේ කවුරු ගැනද කියලා පැහැදිලිව අඳුරගන්න බැහැ. හැබැයි ෂැඩ්වෙල්ගේ පරිවර්තනයේ ‘කිරියොස්’ කියන වචනය වෙනුවට “යෙහෝවා” කියලා පරිවර්තනය කරලා තියෙනවා දැක්කම එයා පුදුම වුණා.

 පාකර් එච්චර දෙයක් තේරුම්ගත්තේ කොහොමද? එයා ග්‍රීක භාෂාව ඉගෙනගත්ත කෙනෙක්. ඒ වගේම ග්‍රීක ව්‍යාකරණ ගැන එයා පොත් සහ පත්‍රිකා කීපයක්ම ලියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි එයා එංගලන්තයේ බයිබලය ගැන අධ්‍යයනය කරන ආයතනයකට සම්බන්ධ වෙලත් හිටියා. ඒ ආයතනයෙන් කළේ අත්පිටපත් හොඳට සෝදිසි කරලා බලලා බයිබලේ නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න පරිවර්තකයන්ට උදව් කරපු එක. ඉතින් පාකර්, එයා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරපු “අලුත් ගිවිසුම” 1842දී කොටස් වශයෙන් මුදාහරින්න පටන්ගත්තා. ඒක තමයි එයාගේ පළවෙනි බයිබල් පරිවර්තනය. c

පාකර්ගේ (හින්ෆෙටර්ගේ) අලුත් ගිවිසුමේ පරිවර්තනය

දෙවියන්ගේ නමට හිමි ගෞරවය දෙන්න ගත්ත උත්සාහයක්!

 අවුරුදු ගාණක් තිස්සේ පාකර් මේ වගේ ප්‍රශ්න ගැන එයාගේ ප්‍රකාශනවල සාකච්ඡා කළා. “යම් තැනක ‘කිරියොස්’ කියන වචනය තිබ්බොත් එතන කතා කරන්නේ යේසුස් ගැනද, දෙවියන් ගැනද කියලා හරියටම දැනගන්නේ කොහොමද? ‘කිරියොස්’ කියන වචනය හුඟක් අවස්ථාවලදී පදවි නාමයක් විදිහට පාවිච්චි කරන්නේ නැතුව පෞද්ගලික නාමයක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ ඇයි?”

 ෂැඩ්වෙල් 1859දී මුදාහැරපු මතෙව් පරිවර්තනයේ “කිරියොස්” කියන වචනය ගැන තිබුණ සටහන් පාකර් කියෙව්වා. ඉතින් එයාට හොඳටම පැහැදිලි වුණා “කිරියොස්” කියන වචනය පාවිච්චි කරලා තියෙන සමහර තැන්වලට එන්න ඕනෙ “යෙහෝවා” කියන නම කියලා. ඉතින් පාකර් මොකද කළේ? එයා “යෙහෝවා” කියන නම ඇතුළත් කරලා එයාගේ පරිවර්තනය සම්පූර්ණයෙන්ම සංශෝධනය කළා. ග්‍රීක ව්‍යාකරණවලට අනුව සහ අවට පදවලට අනුව දෙවියන්ගේ නම තියෙන්න ඕනෙ කියලා එයා හිතපු හැම තැනකටම ඒ නම දැම්මා. ඒ විදිහට එයා 1863දී මුදාහැරපු සම්පූර්ණ ග්‍රීක ලියවිල්ලේ (A Literal Translation of the New Testament) දෙවියන්ගේ නම 187 වතාවක් සඳහන් කරලා තිබුණා. පේන විදිහට ග්‍රීක ලියවිල්ල පුරාම දෙවියන්ගේ නම සඳහන් වුණ පළවෙනි ඉංග්‍රීසි පරිවර්තනය ඒකයි. d

පාකර් 1864දී කරපු අලුත් ගිවිසුමේ පරිවර්තනයේ මුල් පිටුව

 1864දී පාකර් තවත් බයිබලයක් (A Collation of an English Version of the New Testament . . . With the Authorized English Version) මුදාහැරියා. ඇත්තටම ඒක එයාගේ පරිවර්තනයේ සහ “කිං ජේම්ස් වර්ෂන්” පරිවර්තනයේ එකතුවක්. ඇයි එයා එහෙම කළේ? එයාට ඕනෙ වුණේ එයාගේ පරිවර්තනය අනිත් එකට වඩා කොච්චර වෙනස්ද කියලා පැහැදිලිව අඳුරගන්න උදව් කරන්න. e

 දෙවියන්ගේ නම මුලින් තිබුණ තැන්වලට ආපහු දාන එක කොච්චර වැදගත්ද කියලා පෙන්නලා දෙන්න පාකර් “කිං ජේම්ස්” බයිබලේ පද කීපයක්ම උදාහරණයට ගත්තා. ඒ අතරින් එකක් තමයි රෝම 10:13. එතන මෙහෙම කියනවා. “මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය.” පාකර් ඒ පදේ ගැන මෙහෙම කිව්වා. “එතන ‘ස්වාමීන්වහන්සේ’ කියලා කියන්නේ යෙහෝවා දෙවියන්ට මිසක් යේසුස්ට නෙවෙයි කියලා ‘කිං ජේම්ස් වර්ෂන්’ එක කියවන කෙනෙක් දැනගන්නේ කොහොමද?”

රෝම 10:13 “කිං ජේම්ස්” බයිබලේ (උඩ) සහ පාකර් 1864දී කරපු පරිවර්තනයේ පෙන්නන විදිහ

 පත්‍රිකා සහ තවත් පොත් පත් ප්‍රකාශයට පත් කරන එක වෙනුවෙන්, ඒවාවල ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් පාකර් බ්‍රිතාන්‍ය මුදලින් පවුම් දහස් ගාණක් වියදම් කරලා තියෙනවා. ඇත්තටම ඒ කාලේ හැටියටත් ඒක හිතාගන්න බැරි ගාණක්! උදාහරණෙකට එක අවුරුද්දකදී එයා පවුම් 800ක් ඒ වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. ඒක අද වටිනාකමෙන් ගත්තොත් පවුම් 1,00,000ක්. (රුපියල් 4,41,34,000ක් විතර.) ඒ විතරක් නෙවෙයි එයා එයාගේ යාළුවන්ට සහ ඉහළ නිලතලවල හිටපු ආගමික නායකයන්ට නොමිලේ ප්‍රකාශන දීලා තියෙනවා. පාකර්ට ඕනෙ වුණේ එයාලත් ඒවා කියවලා ඒ ගැන අදහස් දෙනවා දකින්න.

 පාකර්ගේ ප්‍රකාශන සහ එයා කරපු අලුත් ගිවිසුමේ පරිවර්තනය ඒ තරම් පිටපත් ප්‍රමාණයක් මුද්‍රණය වුණේ නැහැ. ඒ වගේම සමහර විශාරදයන් ඒවා පිළිගත්තෙත් නැහැ. ඒකෙන් එයාලා කළේ දෙවියන්ගේ නම ගෞරවයට පත් කරන්න පාකර්, ෂැඩ්වෙල් වගේ විශ්වාසවන්ත පරිවර්තකයන් හෙළපු දහඩිය මහන්සිය හෑල්ලුවට ලක් කරන එකයි.

 කැමති නම් ඔයාට පුළුවන් විනාඩි 10ක මේ වීඩියෝ එකත් බලන්න. ‘වෝර්වික් ප්‍රදර්ශන ශාලා නරඹමු: “බයිබලය සහ දෙවියන්ගේ නම.”’

a “යාහ්” කියලා කියන්නේ “යෙහෝවා” කියන දෙවියන්ගේ නමේ කෙටි නම. එළිදරව් 19:1, 3, 4, 6 “හලෙලූයා” කියලා කියන තැන්වල ඒ කෙටි නම සඳහන් වෙනවා. “හලෙලූයා” කියන එකේ තේරුම “ජනයෙනි, යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න” කියන එක

b ෂැඩ්වෙල් අලුත් ගිවිසුම සම්පූර්ණයෙන්ම පරිවර්තනය කළේ නැහැ. දෙවියන්ගේ නම අලුත් ගිවිසුමට ඇතුළත් කරපු අනිත් පරිවර්තකයන් තමයි ෆිලිප් ඩොඩ්රිඩ්ජ්, එඩ්වර්ඩ් හාවුඩ්, විලියම් නිව්කම්, එඩ්ගර් ටේලර් සහ ගිල්බර්ට් වේක්ෆීල්ඩ්.

c බයිබලේ පරිවර්තනය කරද්දී සහ වෙනත් ආගමික පොත් පත් ලියද්දී පාකර් පාවිච්චි කළේ “හර්මාන් හින්ෆෙටර්” කියන අනුවර්ත නාමයයි. මොකද ව්‍යාපාර කටයුතු සහ ආගමික කටයුතු එකට පටලවගන්න එයා කැමති වුණේ නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ උපග්‍රන්ථවල “හර්මාන් හින්ෆෙටර්” කියන නම කීපවතාවක්ම සඳහන් වෙනවා.

d 1864දී පාකර් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා මුදාහැරපු අලුත් ගිවිසුමේ (An English Version of the New Testament) දෙවියන්ගේ නම 186 වතාවක් සඳහන් වුණා.

e පාකර්ගේ පරිවර්තන මුදාහරින්න කලින් අලුත් ගිවිසුම හෙබ්‍රෙව් භාෂාවට පරිවර්තනය කරලා තිබුණා. ඒ හුඟක් පරිවර්තනවල තැන් කීපයකම දෙවියන්ගේ නම සඳහන් වුණා. ඒ විතරක් නෙවෙයි 1795දී යොහාන් යාකොබ් ෂ්ටෝල්ට්ස් විසින් ජර්මානු භාෂාවට පරිවර්තනය කරපු අලුත් ගිවිසුමේ මතෙව් සිට යූද් දක්වා පොත්වල දෙවියන්ගේ නම අවස්ථා 90කටත් වඩා වැඩියෙන් සඳහන් වුණා.