Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

මං හිතුවේ මං ගැන විතරමයි

මං හිතුවේ මං ගැන විතරමයි
  • ඉපදුණ අවුරුද්ද: 1951

  • රට: ජර්මනිය

  • අතීතයේදී: අහංකාරයි, කෙරුවේ තමන්ට ඕන දේයි

මගේ අතීතය:

මං පුංචි කාලේ අපි හිටියේ නැඟෙනහිර ජර්මනියේ. තාත්තාගේ රස්සාව නිසා මුලින් බ්‍රසීලයෙත් පස්සේ ඉක්වදෝරයෙත් පදිංචියට යන්න වුණා. එතකොට මට අවුරුදු හයයි.

අවුරුදු 14දී මාව ජර්මනියේ ඉස්කෝලෙක බෝඩිමකට දැම්මා. අම්මායි තාත්තායි හිටියේ දකුණු ඇමරිකාවේ. ඒගොල්ලෝ හිටියේ හුඟක් දුර නිසා මට ඕන දේ කරන්න මං පුරුදු වුණා. ඒක අනිත් අයට කොහොම බලපෑවත් මං ගණන් ගත්තේ නැහැ.

මට 17ක් වෙනකොට අම්මායි තාත්තායි ආපහු ජර්මනියට ආවා. මං අම්මලා එක්ක ටිකක් කල් හිටියත් මට ඕන විදිහට දේවල් කරන්න පුරුදු වෙලා හිටපු නිසා ගෙදර ඉන්න එක අමාරු වුණා. ඒ නිසා මං 18දී ගෙදරින් ගියා.

මං හිටියේ සතුටෙන් නෙමෙයි. මම ජීවිතේ අරමුණ හොයන්න පටන්ගත්තා. එක එක් කෙනා ජීවත් වෙන විදිහයි එක එක කණ්ඩායම්වල අය කරන දේවලුයි බලලා අන්තිමේදී මං තීරණයකට ආවා. මං හිතුවා මට කරන්න පුළුවන් හොඳම දේ තමයි මිනිස්සු මේ ලස්සන පොළොව විනාශ කරන්න කලින් ලෝකේ වටේ සවාරියක් ගිහින් ලස්සන තැන් බලන එක කියලා.

මම මෝටර් සයිකලයක් අරගෙන ජර්මනියෙන් පිටත් වෙලා අප්‍රිකාවට ගියා. ඒත් ටික දවසකින් මෝටර් සයිකලය හදාගන්න ඕන වුණ නිසා මට ආපහු යුරෝපයට එන්න සිද්ධ වුණා. එහෙදී දවසක් මං පෘතුගාලයේ වෙරළට ගියාම මට ආස හිතුණා මෝටර් සයිකලය පැත්තකට දාලා බෝට්ටුවකින් හැම තැනම යන්න.

මට හම්බ වුණා අත්ලාන්තික් සාගරය තරණය කරන්න ලෑස්ති වෙන තරුණ තරුණියන් පිරිසක්. මගේ භාර්යාව වුණ ලෝරිත් ඒ අය අතරේ හිටපු කෙනෙක්. අපි කට්ටියම කැරිබියන් දූපත්වලට ගියා. ඊටපස්සේ පෝටෝ රිකෝවල ටික කාලයක් නතර වෙලා ආපහු යුරෝපයට ආවා. මටයි ලෝරිටයි ආසාවක් ඇති වුණා රුවල් බෝට්ටුවක් අරගෙන ඒක ගෙයක් විදිහට හදලා ගන්න. අපි ඒ වගේ බෝට්ටුවක් හොයන්න පටන් අරගෙන මාස තුනක් විතර යද්දී මට ජර්මනියේ හමුදාවට බැඳෙන්න කියලා අණක් ලැබුණා. ඒ නිසා බෝට්ටු හොයන වැඩේ ටික කාලෙකට නතර කළා.

මම මාස 15ක් විතර ජර්මනියේ නාවික හමුදාවේ සේවය කළා. ඒ කාලෙදී තමයි මායි ලෝරියි විවාහ වුණේ. හමුදාවේ හිටපු කාලේ අපි පුංචි බෝට්ටුවක් අරගෙන තිබුණා. ඒ බෝට්ටුව ටික ටික හදන්න අපි පටන්ගත්තා. අපිට ඕන වුණේ ඒක අපේ ගේ විදිහට හදාගෙන ලෝකේ වටේම ගිහින් සිරි නරඹන්න. මම හමුදා සේවයෙන් නිදහස් වෙලා බෝට්ටුවේ වැඩ කර කර හිටපු කාලේ තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණේ.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

බයිබලය පාඩම් කරන්න පටන්ගත්තු මුල් කාලේ නම් මගේ ජීවිතේ වෙනස්කම් කරන්න තියෙනවා කියලා මම හිතුවේ නැහැ. මොකද මම ඒ වෙද්දී මාත් එක්ක එකට ජීවත් වුණු ලෝරි එක්ක විවාහ වෙලයි හිටියේ. සිගරට් බොන එකත් නතර කරලයි තිබුණේ. (එෆීස 5:5) අනික මං හිතුවා දෙවියන්ගේ නිර්මාණ බලන්න ලෝකේ වටේම යන එකත් කොච්චර වටිනවාද කියලා.

ඒත් මගේ ගතිපැවතුම්වල නම් වෙනසක් කරන්න තිබුණා. මම හුඟක් අහංකාරයි. මං පුරුදු වෙලා හිටියේ මට ඕන දේ කරන්නයි. මගේ හැකියාවන් ගැනත් ඕනෑවට වඩා හිතුවා. මං හිතුවේ මං ගැන විතරමයි.

දවසක් මම යේසුස්ගේ කන්ද උඩ දේශනාව කියෙව්වා. (මතෙව් 5-7 පරිච්ඡේද) යේසුස් කතා කරපු ප්‍රීතිය ගැන මට මුලින්ම තෙරුණේ නැහැ. එක තැනකදී යේසුස් කියනවා සාපිපාසයෙන් ඉන්න අය ප්‍රීතිමත් කියලා. (මතෙව් 5:6) මං හිතුවා ඒ වගේ අය කොහොමද ප්‍රීතියෙන් ඉන්නේ කියලා. පස්සේ දිගින් දිගටම කියවද්දී මං තේරුම්ගත්තා අපි හැමෝටම දෙවියන්ගේ මඟ පෙන්වීම් නැතුවම බැහැ කියලා. ඒත් අපි ඒක තේරුම්ගත්තොත් විතරයි ඒ මඟ පෙන්වීම් ලබාගන්න පෙලඹෙන්නේ. ඒ නිසයි යේසුස් කිව්වේ “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියලා.—මතෙව් 5:3.

අපි මුලින් බයිබලය ඉගෙනගන්න පටන්ගත්තේ ජර්මනියේ වුණත් පස්සේ අපි ප්‍රංශයටත් ඊටපස්සේ ඉතාලියටත් ගියා. ගිය ගිය හැම තැනම අපිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණා. ඒ අය අතරේ තියෙන ප්‍රේමයටයි එකමුතුකමටයි මට ගොඩක් ආස හිතුණා. මුළු ලෝකෙම ඉන්න සාක්ෂිකරුවන් අතර ලොකු බැඳීමක් තියෙනවා කියලා මම දැක්කා. (යොහන් 13:34, 35) අපි දෙන්නත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට බව්තීස්ම වුණා.

බව්තීස්ම වුණාට පස්සෙත් මම දිගින් දිගටම මගේ ගුණාංග හදාගත්තා. ලෝරියි මමයි අප්‍රිකාවේ වෙරළ තීරය දිගේ ගිහින් අත්ලාන්තික් සාගරය හරහා ඇමරිකාවට යන්න බෝට්ටුවෙන් පිටත් වුණා. සීමා මායිමක් පේන්නේ නැති මහ සාගරයක් මැද පුංචි බෝට්ටුවක, අපි දෙන්නා තනි වෙලා ඉද්දී මට හිතුණා මේ මුළු විශ්වයම නිර්මාණය කරපු දෙවියන් එක්ක බලද්දී මං මොන තරම් පුංචි කෙනෙක්ද කියලා. මහ සාගරය මැද මට කරන්න වෙන දෙයක් තිබුණේ නැති නිසා මම බයිබලය හුඟක් කියෙව්වා. යේසුස් පොළොවේ ඉද්දී ගත කරපු ජීවිතය ගැන කියවද්දී මට ගොඩක් ආස හිතුණා. ඔහුට මොන තරම් හැකියාවන් තිබුණත් ඔහු ඔහුට අවධානය ලබාගත්තේ නැහැ. ඔහු කළේ ඔහුට ඕන දේ නෙමෙයි නමුත් පියාණන්ට ඕන දේයි.

දේවරාජ්‍යයට මුල් තැන දෙන්න ඕන කියලා මං තේරුම්ගත්තා

මම යේසුස්ගේ ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කළා. මට ඕන දේවල් කරකර දෙවියන්ට සේවය කරනවා වෙනුවට දේවරාජ්‍යයට මුල් තැන දෙන්න ඕන කියලා මං තේරුම්ගත්තා. (මතෙව් 6:33) අපි ඇමරිකාවට ආවට පස්සේ එහේ පදිංචි වෙලා දෙවියන්ට මුල් තැන දෙන්න තීරණය කළා.

මං දැන් අද්දකින ආශීර්වාද:

මං මට ඕන දේ කරන්න පුරුදු වෙලා හිටපු කාලේ මං ගත්ත තීරණ හරිද වැරදිද කියලා දැනගෙන හිටියේ නැහැ. ඒත් මට ප්‍රඥාවන්ත උපදෙස් හා මඟ පෙන්වීම් දෙන්න කෙනෙක් දැන් ඉන්නවා. ඒ යෙහෝවා දෙවියි. (යෙසායා 48:17, 18) මම යෙහෝවා දෙවියන්ට සේවය කරන නිසාත් අනිත් අයට දෙවියන් ගැන කියලා දෙන නිසාත් මට දැන් ජීවිතේ අරමුණක් තියෙනවා.

බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න නිසා ලෝරියි මායි අතර බැඳීම ගොඩක් ශක්තිමත් වෙලා තියෙනවා. අපිට ලස්සන දුවෙක් ඉන්නවා. එයත් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගෙන ඔහුව එයාගේ මිත්‍රයෙක් කරගෙන තියෙනවා.

අපේ ජීවිතේ රෝස මල් යහනාවක් නෙමෙයි. හැබැයි මොන අභියෝග තිබුණත් අපි යෙහෝවා දෙවියන්ගේ උපකාරයෙන් දිගටම ඔහුට විශ්වාසවන්තව ඉන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවා.—හිතෝපදේශ 3:5, 6.