Skip to content

දෙවියන් මගේ යාච්ඤා අහයිද?

දෙවියන් මගේ යාච්ඤා අහයිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඔව්. දෙවියන් යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියලා බයිබලේ තියෙන සමහර සිද්ධීන්වලින් පැහැදිලි වෙනවා. ඒ වගේම මෑත කාලේ ජීවත් වෙන හුඟක් අයගේ අද්දැකීම්වලිනුත් ඒ කාරණය තවත් තහවුරු වෙනවා. දෙවියන්ට “ගරුබිය දක්වන අයගේ ආශාව ඔහු ඉෂ්ට කරන්නේය. උපකාරය ඉල්ලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දී ඔවුන්ව බේරාගන්නේය” කියලා බයිබලේ කියනවා. (ගීතාවලිය 145:19) හැබැයි ඔයාගේ යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දෙන්න නම් ඔයාගේ පැත්තෙන් කරන්න ඕන දේවලුත් තියෙනවා.

මේ දේවල් ගැන දෙවියන් සැලකිලිමත් වෙනවා

  •   යාච්ඤා කරන්න ඕනේ යෙහෝවා දෙවියන්ට විතරයි. මොකද “යාච්ඤා අසන තැනැත්තා” හැටියට බයිබලේ හඳුන්වලා තියෙන්නේ ඔහුවයි. (ගීතාවලිය 65:2) යේසුස්ට, මරියතුමීට, සාන්තුවරුන්ට, දේවදූතයන්ට, රූපවලට, සුරුවම්වලට යාච්ඤා කළාට දෙවියන් ඇහුම්කන් දෙන්නේ නැහැ.

  •   යාච්ඤා කරන්න ඕනේ දෙවියන් අනුමත කරන, දෙවියන්ගේ කැමැත්තට එකඟ දේවල් ගැන විතරයි.—1 යොහන් 5:14.

  •   දෙවියන්ට යාච්ඤා ඔප්පු කරන්න ඕනේ යේසුස් මාර්ගයෙන්. අපි යේසුස්ට ගෞරව කරනවා කියලා ඒකෙන් පෙන්වනවා. යේසුස්ම ඒ ගැන මෙහෙම කිව්වා. “මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.”—යොහන් 14:6.

  •   සැක කරන්නේ නැතුව දෙවියන්ට යාච්ඤා කරන්න ඕනේ. අපේ විශ්වාසය අඩු වෙලා නම් විශ්වාසය ශක්තිමත් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලන්න.—මතෙව් 21:22; ලූක් 17:5.

  •   අවංකව හා යටහත්පහත්ව දෙවියන්ට යාච්ඤා කරන්න ඕනේ. බයිබලේ කියන්නේ “යෙහෝවා දෙවි කොතරම් උසස් වුවත් යටහත්පහත් තැනැත්තා ගැන ඔහු සැලකිලිමත් වන්නේය” කියලයි.—ගීතාවලිය 138:6.

  •   නොකඩවා යාච්ඤා කරන්න ඕනේ. යේසුස් ඒ ගැන මෙහෙම කිව්වා. “නොකඩවා ඉල්ලන්න. එවිට ඔබටත් ලැබෙයි.”—ලූක් 11:9.

මේ දේවල් ගැන දෙවියන් සැලකිලිමත් වෙන්නේ නැහැ

  •   ඔයාගේ ජාතිය මොකක්ද කියලා දෙවියන් බලන්නේ නැහැ. බයිබලේ මෙහෙම කියනවා. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.’—ක්‍රියා 10:34, 35.

  •   යාච්ඤා කරද්දී කෙනෙක් ඉන්න ඉරියව්ව දෙවියන්ට වැදගත් නැහැ. ඉඳගෙන, දණගහගෙන, හිටගෙන යාච්ඤා කළත් දෙවියන් ඇහුම්කන් දෙනවා.—1 ලේකම් 17:16; නෙහෙමියා 8:6; දානියෙල් 6:10; මාක් 11:25.

  •   යාච්ඤාව නිහඬව කළත් හඬ නඟා කළත් දෙවියන්ට ප්‍රශ්නයක් නැහැ. අනිත් අයට ඇහෙන්නේ නැති වුණත් අපි හිතින් කරන යාච්ඤා දෙවියන් අහනවා.—නෙහෙමියා 2:1-6.

  •   යාච්ඤා කරන්නේ බරපතළ දෙයක් ගැනද පොඩි දෙයක් ගැනද කියලා දෙවියන් බලන්නේ නැහැ. බයිබලේ කියන්නේ ‘ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම දෙවියන් පිට තබන්න’ කියලයි. (1 පේතෘස් 5:7) ඒ නිසා ලොකු පොඩි ඕනම දෙයක් ගැන දෙවියන්ට යාච්ඤා කරන්න පුළුවන්.