Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | අභියෝග ජීවිතයට බාධාවක්ද?

අභියෝගය: වෙනස් කරන්න බැරි තත්වයන්

අභියෝගය: වෙනස් කරන්න බැරි තත්වයන්

ඔයාගේ සැමියා හෝ බිරිඳ දික්කසාද වුණු නිසා, සනීප කරන්න බැරි ලෙඩක් තියෙන නිසා එහෙමත් නැත්නම් පවුලේ කෙනෙක්ගේ මරණය නිසා ඔයා ඉන්නේ දුකෙන්ද? ඒ වගේ තත්වයන් වෙනස් කරන්න බැරි එක ඇත්ත. ඒත් ඔයාට පුළුවන් ඔයා හිතන විදිහ වෙනස් කරගන්න. එහෙම කළොත් අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න ඔයාට පුළුවන් වෙයි.

බයිබලයෙන් ආදර්ශයක්: පාවුල්

පාවුල් කියන තැනැත්තා දෙවියන් ගැන අනිත් අයට කියලා දෙන්න රට රටවල්වල සංචාරය කරපු කෙනෙක්. ඒත් බොරු චෝදනාවක් නිසා ඔහුට අවුරුදු 2ක් නිවාස අඩස්සියේ ඉන්න වුණා. ඒ තත්වය වෙනස් කරන්න බැරි එක ගැන ඔහු කලකිරුණේ නැහැ. ඒ වෙනුවට කරන්න පුළුවන් දේවල් කළා. උදාහරණෙකට ඔහු තමන්ව බලන්න ආපු අයට දෙවියන්ගේ රාජ්‍යය ගැන කිව්වා. ඔහු ඒ කාලයේ ලියපු ලිපි කීපයක් බයිබලයටත් ඇතුළත් කරලා තියෙනවා.—ක්‍රියා 28:30, 31.

අන්ජා කරන දේ

මුල් ලිපියේ සඳහන් කරපු අන්ජාට පිළිකාවක් තියෙන නිසා ඇය ගෙදරටම කොටු වෙලා. ඒ ගැන ඇය මෙහෙම කිව්වා. “මේ ලෙඩේ නිසා මගේ මුළු ජීවිතේම වෙනස් වුණා. දැන් පොඩි ලෙඩක් හැදුණත් මගේ ජීවිතේට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මම රස්සාවෙන් අස් වුණා. ගෙදරින් එළියට යන්නෙත් නෑ.” අන්ජා මේ තත්වයට මුහුණ දෙන්නේ කොහොමද? ඇය මෙහෙම කිව්වා. “ඉස්සර කරපු හැම දෙයක්ම මට දැන් කරන්න බෑ. මං කරන්නේ කරන්න ඕනම දේවල් විතරයි. මාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්න මං මගේ ලෙඩේට ඉඩ දෙන්නේ නෑ.”

“මම කවර තත්වයක සිටියත් ඉන් සෑහීමට පත් වීමට ඉගෙනගෙන සිටිමි.”—ෆිලිප්පි 4:11 සඳහන් පාවුල්ගේ වදන්

ඔයාට කරන්න පුළුවන් දේ

වෙනස් කරන්න බැරි තත්වයන්ට ඔයාත් මුහුණ දෙනවා නම් මොනවද කරන්න පුළුවන්?

  • කරන්න බැරි දේවල් ගැන හිතනවා වෙනුවට කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න. ඔයාගේ ලෙඩේ සුව කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ව්‍යායාම් කරන එක, පෝෂ්‍යදායි ආහාර ගන්න එක, විවේක ගන්න එක වගේ දේවල් කරන්න උත්සාහ කරන්න.

  • ඉටු කරගන්න පුළුවන් ඉලක්ක තියන්න. ඒ ඉලක්කය ඉටු කරගන්න ඔයාට කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් හැම දවසකම කරන්න.

  • තෘප්තියක් ලැබෙන පුංචි පුංචි වැඩ කරන්න. උදාහරණෙකට පිළිවෙළකට ඇඳුම් අඳින්න. මේසේ පිහදාන එක, පිඟන් කෝප්ප දෙක තුනක් හෝදන එක වගේ දේවල් කරන්න. ඒත් අත්‍යවශ්‍යම දේවල් මුලින් කරන්න.

  • ඔයා මුහුණ දෙන අභියෝග නිසා ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්න. උදාහරණෙකට, දැන් ඉස්සරට වඩා ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න ඔයාට පුළුවන් ඇති. ඔයාගේ අද්දැකීම්වලින් තවත් අයට උදව් කරන්න ඔයාට පුළුවන් වෙලා ඇති.

හිතලා බලන්න දෙයක්: ඔයා මුහුණ දෙන තත්වය වෙනස් කරන්න ඔයාට බැරි වුණත් හිතන විදිහ වෙනස් කරගන්න ඔයාට පුළුවන්.