Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | අභියෝග ජීවිතයට බාධාවක්ද?

අභියෝගය: ඍණාත්මක සිතුවිලි

අභියෝගය: ඍණාත්මක සිතුවිලි

නිතරම කෝපය, දුක, අමනාපය වගේ ඍණාත්මක සිතුවිලිවලින් ඔයාගේ මනස පිරුණොත් ඔයාගේ කාලය, ශක්තිය නිකරුණේ නාස්ති වෙනවා. ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල්වලට පවා ඔයාට අවධානය දෙන්න බැරි වෙයි. ඒ නිසා ඒ වගේ සිතුවිලිවලින් යටපත් නොවී ඉන්න මොනවද කරන්න පුළුවන්? *

බයිබලයෙන් ආදර්ශයක්: දාවිත්

දාවිත් රජ කනස්සල්ල, දුක වගේ හැඟීම් එක්ක සටන් කරපු කෙනෙක්. තමන් මුහුණ දෙන ගැටලු තමන්ටම විසඳගන්න බැහැ කියලා ඔහු තේරුම්ගත්තා. ඒ නිසා ඔහු ඒ කාරණා දෙවියන්ට බාර දුන්නා. (1 සාමුවෙල් 24:12, 15) දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තිබුණු නිසා ඔහු නිතරම දෙවියන්ට යාච්ඤා කළා. ඔහුට හැඟුණු විදිහ ඔහු ලියලත් තිබ්බා. *

ග්‍රෙගරි කරන දේ

මුල් ලිපියේ සඳහන් කළ ග්‍රෙගරි දැඩි කාංසාව නිසා ඇති වෙන රෝගී තත්වයකින් පෙළෙන කෙනෙක්. ඔහු මෙහෙම කියනවා. “මට කනස්සල්ලක් දැනෙද්දී ඒක පාලනය කරගන්න බෑ. එතකොට මං මානසිකව වැටෙනවා.” ඔහු ඒ තත්වයට මුහුණ දෙන විදිහ ගැන මෙහෙම කිව්වා. “මනස හදාගන්න බිරිඳයි යාළුවොයි මට උදව් කරනවා. මගේ ලෙඩේ ගැන මං විස්තරත් හෙව්වා. වෛද්‍ය උපදෙසුත් ගන්නවා. කෑම බීම, ව්‍යායාම් වගේ දේවල්වල වෙනස්කම් කළාට පස්සේ ලෙඩේ පාලනය කරගන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඉඳලා හිටලා කාංසාවක් දැනුණත් එහෙම වෙන්නේ ඇයි කියලා දන්න නිසා මට දැන් ඒක පාලනය කරගන්න පුළුවන්.”

“ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි.”—හිතෝපදේශ 17:22

ඔයාට කරන්න පුළුවන් දේ

ඍණාත්මක සිතුවිලිවලින් පීඩා විඳිනවා නම් මොනවද කරන්න පුළුවන්?

  • ඔයාට ඇති වෙන සිතුවිලි පොතක ලියන්න.

  • ඔයාට හැඟෙන විදිහ ළඟම යාළුවෙක්ට හරි නෑදෑයෙකුට හරි කියන්න.

  • ඔයාට ඍණ සිතුවිලි ඇති වෙන හැම වෙලාවකම මානසිකව වැටෙන්නේ නැතුව, එහෙම සිතුවිලි ඇති වෙන්න සාධාරණ හේතුවක් තියෙනවාද කියලා කල්පනා කරලා බලන්න.

  • කනස්සල්ල, කෝපය, අමනාපය වගේ සිතුවිලි හිතින් අයින් කරලා වඩා වැදගත් දේවල්වලට මනස යොමු කරන්න. *

හිතලා බලන්න දෙයක්: ඍණාත්මක සිතුවිලි හුඟක් වෙලාවට එන්නේ අපි මුහුණ දෙන තත්වය නිසා නෙමෙයි අපි ඒ කාරණය දිහා බලන විදිහ නිසයි.

^ 3 ඡේ. යම් අසනීප තත්වයන් නිසාත් ඒ වගේ සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. ‘පිබිදෙව්!’ සඟරාව යම් විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ. ඔයා කරන්න ඕන දේ ගැන හොයලා බලලා තීරණයක් ගන්න ඕන ඔයාමයි.

^ 5 ඡේ. බයිබලයේ ගීතාවලිය පොතේ තියෙන ගොඩක් ගීතිකා දාවිත්ගේ යාච්ඤායි.

^ 13 ඡේ. වැඩි විස්තර සඳහා 2015 ජූලි 1 ‘මුරටැඹ’ සඟරාවේ “හිතේ කරදරවලට සහනයක්!” යටතේ තියෙන ලිපි පෙළ බලන්න.