Skip to content

පටුනට යන්න

මැලේරියාව

මැලේරියාව

2013 වසරේදී මිලියන 198කට වඩා වැඩිදෙනෙක්ට මැලේරියා රෝගය වැලඳුනා කියලත් ඒකෙන් 5,84,000ක් මිය ගියා කියලත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මිය ගිය අයගෙන් 5දෙනෙකුගෙන් 4දෙනෙක්ම අවුරුදු 5ට අඩු දරුවන්. මේ උවදුරට ගොදුරු වෙලා තියෙන රටවල් 100කට ආසන්න සංඛ්‍යාවක ඉන්න බිලියන 3.2කගේ ජීවිත තියෙන්නේ අනතුරේයි.

1 මැලේරියා රෝගය

මෙය බෝ වෙන්නේ පරපෝෂිතයෙකුගෙන්. උණ, ඇඟ සීතල වීම, දහඩිය දැමීම, හිස රදය, ඇඟපත වේදනාව, ඔක්කාරය හා වමනය වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා. දවස් දෙකකට තුනකට සැරයක් කඩින් කඩ මේ රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන්. පරපෝෂිතයාගේ වර්ගය හා රෝගය හැදිලා ගත වුණු කාලය අනුවත් ඒක වෙනස් වෙනවා.

2 රෝගය හැදෙන විදිහ

  1. රෝග වාහක ඇනෝෆිලස් මදුරුවෙක් කෙනෙක්ගේ ලේ උරා බොද්දී ඒ මදුරුවා තුළ ඉන්න පරපෝෂිතයන් (ප්ලැස්මෝඩියා) මිනිස් සිරුරට ඇතුල් වෙනවා.

  2. මේ පරපෝෂිතයන් මිනිස් සිරුරේ අක්මා සෛලවලට ඇතුල් වෙලා ගණනින් වැඩි වෙන්න පටන්ගන්නවා.

  3. ප්‍රතිඵලයක් විදිහට ඒ අක්මා සෛල පිපිරෙනවා. ඒකෙන් මුදාහැරෙන පරපෝෂිතයන් සිරුරේ රතු රුධිරාණුවලට ඇතුල් වෙලා ගණනින් වැඩි වෙන්න පටන්ගන්නවා.

  4. ඊටපස්සේ ඒවාත් පිපිරෙනවා. ඒවායින් නිකුත් වෙන පරපෝෂිතයන් තවත් රතු රුධිරාණුවලට ඇතුල් වෙනවා.

  5. මේ විදිහට රතු රුධිරාණුවලට ඇතුල් වෙන පරපෝෂිතයන් වැඩි වෙද්දී ඒවා දිගින් දිගටම පුපුරනවා. එහෙම වෙන හැම අවස්ථාවකදීම රෝග ලක්ෂණ මතු වෙනවා.

3 රෝගය වළක්වාගන්න පුළුවන් විදිහ

ඔබ ජීවත්වෙන්නේ මැලේරියා රෝගය පැතිරිලා තියෙන ප්‍රදේශයක නම් . . .

  • මදුරු දැලක් පාවිච්චි කරන්න. ඒ මදුරු දැල,

    • බෙහෙත් ගැල්වූ එකක් වෙන්න ඕනේ.

    • ඉරිලා නැති මදුරු දැලක් වෙන්න ඕනේ.

    • මදුරුවන්ට ඇතුල් වෙන්න බැරි විදිහට දැල මෙට්ටයට යට කරලා තියෙන්න ඕනේ.

  • මදුරුවන් පලවාහරින්න පුළුවන් බෙහෙත් වර්ග බිත්තිවල ඉහින්න.

  • පුළුවන් නම් දොර ජනෙල්වල හීනි දැල් ගහන්න. වායු සමීකරණ හා විදුලි පංකා පාවිච්චි කරනවා නම් මදුරුවන් රැඳෙනවා අඩුයි.

  • ඇඟ සම්පූර්ණයෙන්ම වැහෙන විදිහට ලා පාට ඇඳුම් අඳින්න.

  • වතුර රැඳිලා තියෙන තැන්, කුඩා පඳුරු වැනි මදුරුවන් බෝ වෙන ස්ථාන මඟහරින්න.

  • රෝගය වැලඳිලා කියලා හිතෙනවා නම් ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙන්න.

මැලේරියාව පැතිරිලා තියෙන ප්‍රදේශයකයට යන්න ඔබ සැලසුම් කරනවා නම් . . .

  • මැලේරියා රෝගය බෝ කරන පරපෝෂිතයන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් නිසා ලබාගන්න ඕන ප්‍රතිකාරත් ඒ අනුව වෙනස් වෙනවා. ඒ නිසා ලබාගන්න ඕන ප්‍රතිකාර ක්‍රම ගැන දැනුවත් වෙන්න. ඔබට සුදුසු මොන ප්‍රතිකාර ක්‍රමයද කියලා ඔබ ඒ වගේ ප්‍රදේශයකට යන්න කලින් ඔබේ වෛද්‍යවරයාගෙන් දැනගන්න.

  • මැලේරියාවෙන් ආරක්ෂා වෙන්න මේ ලිපියේ තියෙන තොරතුරු ප්‍රයෝජනයට ගන්න.

  • රෝගය වැලඳිලා නම් ප්‍රතිකාර ගන්න ප්‍රමාද වෙන්න එපා. මොකද රෝගය මතු වෙන්නේ මදුරුවා විදලා සතියත් සති හතරත් අතර කාලයේදියි.